You are currently viewing ගෙදර ඇති මුව හමට තඩි බෑම ප්‍රශ්නයට විසඳුමක් නොවේ..

ගෙදර ඇති මුව හමට තඩි බෑම ප්‍රශ්නයට විසඳුමක් නොවේ..

නිදහස ලබා ගත් දින සිට ලංකාවේ දේශපාලනයේ ජනප්‍රියතම මාතාකාව වූයේ අල්ලස් ය. පසුව දුෂණ ද ඊට එකතු විය. බලය අපේක්ෂාවෙන් සිටි සෑම දේශපාලන පක්ෂයක්ම සහ පුද්ගලයෙකුම බලයේ සිටින අයගේ අල්ලස් ගැනීම්, දූෂණ ක්‍රියා සහ වංචා ගැන වේදිකාවේත් පාර්ලිමේන්තුවේත් බෙරිහන් දීම තම අවංක අව්‍යාජ භාවය තහවුරු කිරීමට මෙන්ම  සමාජ විරෝධී ක්‍රියාවල යෙදෙන අය දේශපාලන බලයෙන් ඉවත් කිරීමට පොරොන්දු වීමත් සුපුරුදු ක්‍රිඩාවක් විය.

අල්ලස් ගැනීම සමාජයේ ප්‍රබලව කතා බහට ලක් වූයේ පනස් හයේ සමාජ පෙරළියත් සමගය. පනස් හයේ දී මහජන එක්සත් පෙරමුණ නමින් පිහිටුවන ලද ආණ්ඩුවේ ඇමතිවරුන් නොයෙකුත් ආකාරයේ දූෂණ හා වංචාවල යෙදෙන බවට නිතර චෝදනා එල්ල විය. ඇත්තනේම ඔවුන්ට එල්ල වූ චෝදනා වසර හැත්තෑවක් ගතව ඇති අද සිදුවන දේ සමග සසඳා බලන විට සිල්ලර වැඩ ය. මහජන එක්සත් පෙරමුණ බිඳ වැටී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් පිහිටුවන ලද ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වූ ඒ පී ජයසුරිය මහතාට විරුද්ධව තලගොඩපිටිය අල්ලස් කොමිසමට ඉදිරිපත් වූ චෝදනාවක් වූයේ ඔහු කිරි මුට්ටියක් සහ සහල් මිටියක් ලබා ගැනීමය. ප්‍රසිද්ධ වැඩ ඇමති හෙන්රි අබේවික්‍රම මහතාට විරුද්ධව ඉදිරිපත් වූයේ තරුණියකට ගුරුපත්වීමක් ලබා දීම ය. ඔහු සරදමට ලක් වූයේ අප්‍රසිද්ධ වැඩ කරන ප්‍රසිද්ධ ඇමති සේය.

මේ තත්වය නිසා අල්ලස් හෝ දූෂණ චෝදනා ඉදිරිපත් කිරීම දේශපාලන මඩ ගැසීමේ ව්‍යාපාරයක් ලෙස ද නම් කෙරිණ. ඒ පිළිබඳව මෑතක දැක්විය හැකි හොඳම උදාහරණය හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විශ්වාස භංග යෝජනාවයි. ඖෂධ මිලදී ගැනීමේ දී බරපතළ දූෂණ සිදුව ඇතැයි එම යෝජනාවෙන් දක්වා තිබුණ ද එවැනි දෙයක් සිදුව නැතැයි පැවසූ රනිල් රාජපක්ෂ ආණ්ඩුව යෝජනාව පරාජය කොට ඔහුගේ නිර්දෝශීභාවය තහවුරු කෙළේය. සිද්ධිය බරපතළ වූයේ මහජන පෙත්සමක් අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විවාදයට ලක්ව තිබු ගනුදෙනුව ගැන පරීක්ෂණ ඇරඹීමත් සමගය. කොමිසමේ පැමිණිල්ලක් අනුව ඇමති රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කළ ද ඇමතිකමට කිසිදු හානියක් සිදු වූයේ නැත.

අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින මෙම කරුණ සඳහන් කෙලේ අපේ රටේ පවතින දේශපාලනයේ ස්වභාවය ගැන කිසියම් පැහැදිලි කිරීමකටය. දූෂණ වංචා සහ අල්ලස් ගැනීම දේශපාලනයේ පිළිගත් චර්යාවක් වූ අතර ඒවා උස් හඩින් විවේචනය කිරීම ද එහි තවත් ලක්ෂණයකි. පැහැදිලිවම දෙබිඩි චරිත ලක්ෂණයකි.

වත්මන් දේශපාලනයට උරුම වූ මෙම දෙබිඩි චරිත ලක්ෂණය මහජනයා ඉදිරියේ නිරුවත් වූ අවස්ථා දෙකක් ජන විඥානයට එකතු කර ඇත. එය පළමුවෙන්ම දක්නට ලැබුණේ යහපාලන ආණ්ඩු සමයේ දී එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට නීතිපති දෙපාර්තම්න්තුවෙන් දිල්රුක්ෂි වික්‍රමසිංහ පත් කිරීමත් සමග ය. ඇය ඊට පෙර එම තනතුරේ සිටි අයට වෙනස්ව ප්‍රබලයැයි හදුන්වා ගන්නා දේශපාලන චරිත සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබු අල්ලස් හෝ දුෂණ චෝදනා ගැන පරික්ෂණ කටයුතු ආරම්භ කළාය. ඒ ගැන දේශපාලන විනිශ්චය ලැබීමට වැඩි කලක් ගත වූයේ නැත.

දිල්රුක්ෂි වික්‍රමසිංහ

පළමුවෙන්ම චෝදනා ඉදිරිපත් වූයේ ඇයගේ මූලිකත්වයෙන් ආරම්භ කර තිබු පරීක්ෂණ ගැන නොව ඇයගේ පෙළපත් නාමයේ ඇති වැරැද්දක් ගැනය. වික්‍රමසිංහ කෙනෙකු නිසා ඇයට අගමැති රනිල් වික්‍රමසිංහ සමග ඥාති සම්බන්ධතාවයක් ඇතැයිද එම නිසා අපක්ෂපාතීව රාජකාරිය ඉටු කරන්නේ නැතැයි පාර්ලිමේන්තුව තුළත් ඉන් බැහැරවත් චෝදනා එල්ල විය. ඇයගේ මෙහෙයවීමෙන් සිදු කරන විමර්ශන කටයුතු දේශපාලන පලි ගැනීම් සේ බෞතීස්ම කෙරිණ. අවසානයේ දී ඇයට අධ්‍යක්ෂ ජනරාල් තනතුර අතහැර ආපසු නිතිපති දෙපාර්තමේනුතුවට යෑමට සිදු විය. ඇයගේ ආරක්ෂාවට දේශපාලන නායකත්වය ඉදිරිපත් වූයේ හෝ මහජන මතයක් ගොඩ නැගුණේ නැත. දේශපාලකයන්ට අල්ලස් හෝ දූෂණ ගැන කතා කිරීම දේශපාලන වේදිකාවට සීමා කිරීමට හැකි විය.

ඉතිහාසය දෙවන වරටත් එළි දැක්වෙන්නේ ජාතික ජනබල වේගය ආණ්ඩුය බලයට පැමිණීමෙන් පසුව මහාධිකරණ විනිසුරු රංග දිසානායක අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමත් සමගය. එම පත්වීමත් සමග මෙතෙක් නිද්‍රාශීලීව සිටි කොමිසම අවදි කෙරිණ. හිටපු ඇමතිවරුන් මෙන්ම  උසස් තනතුරු දැරූ කීප දෙනෙකුම බන්ධනාගාරවල නිවැසියන් බවට පත් විය. ඇත්තෙන්ම ඒ ඔහු තනතුරට පත්වීමට පෙර කරන ලද විමර්ශන පදනම් කර ගෙන ඉදිරිපත් වූ චෝදනා කඩිනමින් අධිකරණයේ විභාගයට ලක්වීම නිසාය.

වත්මන් අල්ලස් කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක

එහෙත් දේශපාලකයන් අධිකරණයට ඉදිරිපත් කිරීම සහ නිසි නඩු විභාගයකින් පසුව දඩුවම් ලැබීම පවතින දේශපාලන සංස්කෘතියේ භාවිතාව නොවේ. නඩු පැවරුවත් දේශපාලකයන් බලාපොරොත්තු වන්නේ නිදොස් කොට නිදහස් කිරීමකි. එය වෙනස් කිරීමට කිසිවෙකු උත්සාහ කරන්නේනම් ඒ සඳහා කිසිම බරක් නැති, එහෙත් බරක් ඇතැයි කූට දේශපාලකයන්ට පෙනෙන අවි යොදා පහර දිය යුතුය. 

මීට ශතවර්ෂයකටත් පෙර ඉතිහාසයේ දෙවන වරට සිදු වන්නේ ප්‍රහසනයක් ලෙසින්යැයි කාල් මාක්ස් කී බව දේශපාලකයන් දන්නේ නැත.

අද කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්, දිසානායක කෙනෙකු වන නිසා ජනාධිපති දිසානායකට ඥාති සම්බන්ධයක් ඇතැයි චෝදනා කරන්නේ නැත. ඒ වෙනුවට චෝදනා එල්ල වන්නේ ඔහුගේ පත්වීම නිර්දේශ කළ ව්‍යවස්ථා සභාවටය. ඔහු සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කොට ව්‍යවස්ථා සභාව නොමග යැවීමක් ගැනය. ඔහු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනතුරේ සිටිය දී ලබා දුන් නඩු තීන්දු සහ ඔහුගේ බිරිඳ (පසුව වෙන් වූ) මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් යටතේ සේවය කිරීමය. ( මහ බැංකුවේ කවර තරාතිරමක සේවකයකු වුවත් ඔහු හෝ ඇය සේවය කරන්නේ එහි අධිපති යටතේ බව මොවුහු අමතක කරති.) ඊට අමතරව ඔහුගේ ළමයා කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් කිරීම ද නුසුදුසුකමකි. මෙම චෝදනාවල කිසිම පදනමක් නැති බව දැනටමත් හොඳින් තහවුරු වි ඇති නිසා ඒ ගැන නැවත සාකච්ඡා කළ යුතු නැත. එහෙත් අල්ලස් හෝ දූෂණ ගැන විමර්ශන කටයුතු වේගවත්ව සිදු වන විට දේශපාලකයන් භූමිතෙල් වැටුණු ගැරඩි මෙන් දඟලන්නේ වෙනත් අරමුණක් ඇතිව බව පැහැදිලි කර ගත යුතුය.

දෙවැනිව දූෂණ වංචා සහ හොරකම් පිටු දැකීමේ ප්‍රබල ජනමතයක් ද ගොඩ නැගිය යුතුය. රනිල් වික්‍රමසිංහ තම පුද්ගලික ගමනක් සඳහා රජයේ මුදල් යොදා ගැනීම සුළු හෝ සැලකිල්ලට නොගත යුතු කරුණක් යැයි තර්ක කරන සමාජයක නීතිය සියලු දෙනාට සාධාරණව ඉටු වන්නේයැයි කිව හැකි ද? වංචාවේ හෝ දූෂණයේ පරිමාණය අනුව පියවර ගැනීම නිතිය ඉටු කිරීමක් වන්නේ කෙසේද?

සැබැවින්ම තරාතිරම නොබලා නිතිය ක්‍රියාත්මක වන්නේ නම් වැදගත් වන්නේ පුද්ගලයා නොව න්‍රියා පිළිවෙතයි. එය යථාර්ථයක්වීමට නම් පුද්ගලයන්ට අමතරව ක්‍රමයද වෙනස් විය යුතුය. ගාළු මුවදොර අරගලයෙන් සිස්ටම් චේන්ඡ් ඉල්ලා සිටියේ එම නිසාය. පවතින පාර්ලිමේන්තුවෙන් සිස්ටම් චේන්ඡ් කළ නොහැකි බව එහි ක්‍රියා පිළිවෙතින් නැවත නැවතත් තහවුරු කරයි.

Leave a Reply