උඩරට රාජධානිය ඉංග්‍රීසින් විසින් අත්පත්කරගත් පසු ඉන් පලා ආ මුල් පදිංචිකාර පවුල් කිහිපයකින් අපේ ගම ජනාවාස වීම ඇරඹී ඇත. විසිවන සියවස ඇරඹෙන වකවානුවේ දී ඉංග්‍රීසි ජාතිකයන්ට අයත් වූ බෙල්මන්ට් ගෲප් නම් වූ තේ, රබර් වතුයායක් ගමේ අක්කර සිය ගණනාවක් අවුරා තිබී ඇති අතර ඉතිරි භූමි භාගය කැලෑ සහ ගැමියන්ගේ දේපල විය.
එබැවින් එකල සිටි ශ්‍රමිකයන්ගෙන් කොටසක් තේ, රබර් වතුයායේ කම්කරුවන් වූ අතර සෙස්සෝ තමන් සතු ඉඩම කැබැලිවල පොල් සහ වී වගා කළ ගොවීන් වූහ.
50 දශකය ඇරඹෙන විට අපේ ගමේ වැඩෙමින් තිබූ වතු ආර්ථිකය පැහැදිලි වෙනසකට පාත්‍රවන්නට විය. ඉංග්‍රීසින්ට අයිතිව තිබූ බෙල්මන්ට් ගෲප් වතුයාය ඉන්දීය බෝරා සමාගමක් මිලට ගෙන පසුව කැබැලිවලට කඩා ගමේ වර්ධනයවී තිබුණු අතමිට යමක් කමක් තිබූ මධ්‍යම පාන්තිකයන් කිහිප දෙනෙකුට විකුණන ලදි.

මේ ක්‍රියාවලියේ දී තේ වගාව සහමුලින්ම විනාශ වී ගිය අතර ඒ වෙනුවට පොල් ආදේශ විය. රබර් වතු පමණක් ශේෂ ලෙස ඉතිරි විය. තවත් ගැමියන් පිරිසක් ගෙවතු වගා ලෙස ගම්මිරිස්, කෝපි වගා කලහ. යල මහ දෙකටම අවශ්‍ය තරම් වැසි හා උල්පත් ජලය පවතින නිසා ගමේ තැනිතලා ප්‍රදේශවල පුළුල් ලෙස වී වගාව කෙරිණ.
මේ පරිවර්තනය හේතුවෙන් ගමේ ශ්‍රමිකයෝ බහුතරය තමන්ගේම ඉඩම වගා කළ ගොවියෝ වූහ. රබර් කම්කරුවන්, අතලොස්සකට සීමා වූ අතර, ඔවුහුද දවසේ ඉතිරි කාලය ගොවිතැනට කැප කළහ.
60 දශකය ඇරඹෙන විට බීඩි එතීම හා අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ගම පුරා පැතිරිණ. මූලිකව ගත් කල ඒවා ගෘහස්ථ කර්මාන්ත වුයේය. ගමේ පිරිමින් ගොවිතැනේ නිරත වන විට ස්ත්‍රීන් බීඩි එතීමේ සහ අත්යන්ත්‍ර පේෂකර්මයේ යෙදුනාහ. 70 දශකය අවසන් වන විට විවෘත ආර්ථික ප්‍රතිපත්ති රට තුළ ක්‍රියාත්මකවීමත් සමගම වෙළඳ පොල ගැටළු හේතුවෙන් අත්යන්ත්‍ර පේෂකර්මාන්තය ක්‍රමයෙන් අහෝසිවී ගියේය. ගමේ තරුණියෝ නගරයේ ඉදි කළ බලවේග පේෂකර්ම හෝ ඇගළුම් කම්හල්වලට ශ්‍රමිකයන් ලෙස ගියහ. තවත් පිරිසක් මැද පෙරදිග ශ්‍රමිකයන් ලෙස විදේශගත වූහ.

ස්වංයංපෝෂිත ආර්ථිකය බිඳවැටීම.
ඉහතින් දැක්වු පරිදි විකාශය වූ ගමේ ශ්‍රම බලකාය කිසියම් ස්වයංපෝෂිත ආර්ථිකයක් නිර්මාණය කරගෙන තිබිණ. එහෙත් 21 වන සියවස ආරම්භයත් සමගම එය විවිධ හේතු නිසා ක්‍රමයෙන් බිඳ වැටෙන බව පෙනෙන්නට විය.
වී වගාව සඳහා අවශ්‍ය වූ කෘෂිකාර්මික යෙදවුම්වල වියදම් ක්‍රමයෙන් ඉහළ යාමත් සමගම ගොවීහු ඉන් ඉවත් වන්නට වූහ. අද වන විට බොහෝ කුඹුරු යායවල් පුරන් වී ඇත. දේශගුණික විපර්යාසයන් නිසා ගෙවතුවල ගම්මිරිස්, කරාබු අස්වැන්න හා වෙළඳපොල මිළ අවිනිශ්චිතවීමත් හේතුකොටගෙන එම වගාවද අත් හැරෙමින් තිබේ. ගමවටා තිබූ කඳුවැටිවල සංරක්ෂණය වී තිබූ කැලෑ ඉඩම් පදිංචියට එළි පෙහෙලිවීම නිසා ඒවායේ ජීවත් වු රිලව් හා දඬු ලේනුන් රංචු ලෙසින් ගම ආක්‍රමණය කොට ගමේ පොල් වගාව සිය ආහාරය කොට ගැනිම අරඹා ඇති හෙයින් ගැමියෝ එම වගාවට දැක්වූ උනන්දුව ද අද දක්නට නැත.
ඉහත දැක්වූ ආර්ථික හා පාරිසරික හේතු කොටගෙන ගමේ පැවැති ශ්‍රම බලකාය ක්‍රමයෙන් ගොවිතැනින් ඉවත්වන ප්රවනතාවයට නූතන පරපුරේ ආකල්පද බලපා ඇති බව පෙනේ. ගමේ මහ විදුහලෙන් ඉගෙනුම අරඹා උසස් පෙළ සඳහා නගරයේ පාසලටත් ටියුෂන් පංතිවලටත් යන බොහෝ සිසුන් තරගයෙන් අසමත්ව විරැකියාව උරුම කරගෙන යලි ගමට එන්නේ නූතන තාක්ෂණික සංස්කෘතියේ සිහිනවලින් හිස පුරවා ගෙනය. ගුවන් විදුලිය, රූපවාහිනිය හා අනෙකුත් මාධ්‍යයන් මෙන්ම ආභරණයක් වූ ජංගම දුරකථනයත් ඒ හරහා ඔවුන් අවතීර්ණවන අන්තර්ජාලයත් තත්ත්වය තවත් බරපතල කරවා ඇත.
වර්තමානයේ ගමේ කුඹුරට බහින්නට හෝ තවත් වගාවකට කුලියට ගන්නට හෝ තරුණයෙක් නැති තරම්ය. සහනාධාර ක්‍රමය යටතේ අක්කරය දෙක වගා කළ දෙමව්පියන්ගේ කුඩා රබර් ඉඩමේ කිරි කපන්නට දරුවන් සුදානම් නැත. පොල් ගහකට යන්නට අලුත් පරපුර දන්නේ නැත. මව්වරුන් වෙව්ලන දෑතින් බඩවියත රැකගන්නට බීඩි වට්ටිය ඔඩොක්කුවට ගත්තද දූ දරුවන් ඒ දෙස බලන්නේ ලැජ්ජාවෙනි. පුදුමය නම් මේ තරුණියන් ඇඟළුම් කම්හල්වලට යාමටද දක්වන මැලිකමය.
වාණිජවාදි ශ්‍රමිකයන්ගේ අවතීර්ණය
ගමේ පැවති ස්වයංපෝෂිත ආර්ථික කඩා වැටීමත් සමග අස්සක් මුල්ලක් නෑර වෙළදාම පැතිරිණි. ප්‍රධාන පාර දෙපස ගමේ ලොකු කඩ කිහිපයක්ද ගම මැද්දට විහිදුනු අතුරු පාරවල් කුඩා කඩපිංචවල් ජාලයක් ද බිහිවින. තරුණයෙකුගෙන් කුමක් කරන්නේ දැයි ඇසුවහොත් දෙන පොදු පිළිතුර වන්නේ ‘බිස්නස්’ කියාය.
උක්ත ‘බිස්නස් ‘ද විවිධය. විදුලි කියතක් ගත් තරුණයින් රාශියක් කුළියට ගස් කැපීමේ නියැලේ. එම කැපූ ගස් ලී මෝල්වලට විකුණන ගස් මුදලාලිලාද බහුලය. ෆිනෑන්ස් සමාගම්වලට ණයවි බාග ලොරි හෝ ටාටා බට්ටෙක් මිලදී ගත් තවත් තරුණයින් පිරිසක් මෝල්වලට ලී හෝ නගරයේ වෙළඳපලට පොල් හෝ පටවන රියදුරන් වී ඇත.
විදේශගතව සිටින සිය අම්මා එවු මුදලින් හෝ ෆිනෑන්ස් සමාගමෙන් ගත් ණය වලින් තරුණයින් රාශියක් ත්‍රීවීල් රියදුරු වෘත්තිය තෝරාගෙන ඇත. එය අවශ්‍යතාවයට වඩා මෝස්තරයක ස්වරූපය ද ගෙන තිබේ. එකල අත් බෙහෙතක් කරමින් දිනක් දෙකක් ඉවසා ලෙඩ සුව කරගත් උණ රෝගීන් හිස රත් වූ සැනින් වහා නගරයේ බටහිර වෛද්‍යවරයා වෙත රැගෙන ගොස් ‘හයර්’ මවන්නේ ද මෙම ත්‍රීවීල් ශ්‍රමිකයෝය.
එකල පාර දෙපස පානුයි පරිප්පුයි කෑමට තිබූ කඩ කිහිපය දැන් කොත්තු හා ‘රයිස් ‘ විකුණන කුඩා කෑම කඩ බවට පරිවර්තනය වී ඇත.
ඉහත දැක්වූ ක්‍රියාවලිය හරහා ගමේ ශ්‍රමිකයන්ගේ වින්‍යාශය මෙසේ කැටිකර දැක්විය හැකිය. ගොවිතැනේ තවමත් නියැලෙන්නේ ගමේ වැඩිහිටි පරම්පරාවේ අතලොස්සකි. ඒ නිසා ශ්‍රමිකයන් අතර ගොවීන් අතුරුදහන් වෙමින් පවතී. කුලියට සේවය කරන කම්කරුවන් ද විරලය. ගෘහස්ත කර්මාන්ත අහෝසි වී යමින් පවතී. කලක් ජනප්‍රිය රැකියා සැපයූ ක්ෂේත්රයක් වූ ඇඟලුම් කම්හල්වලට සේන්දු වූ තරුණ ශ්‍රමිකයන් ප්‍රමාණයද අඩුවී ඇත. ඉතිරිව ඇත්තේ වැඩිහිටි රබර් කම්කරුවන් අතලොස්සක් පමණි.
වර්තමානයේ ගම තුළ ආධිපත්‍ය දරන්නේ ස්වයං රැකියා ශ්රමිකයන්ය. ඔවුහු වාණිජත්වය මත පදනම් වූවෝය. කඩහිමියන්, දැව කර්මාන්තයේ නියැලෙන්නන්, ලොරි හා ත්‍රීවිල් රියදුරන්, නගරයට පොල් විකුණන්නන්, කිරි ගවයන් ඇති කරන්නන් මේසන් හා වඩුබාස්ලා මේ ගණයට අයත්වේ.
වාණිජවාදි ශ්‍රමිකයන් ආර්ථිකය
ඉහත ප්‍රකාශිත වාණිජවේදි ශ්‍රමිකයන්ගේ ආර්ථිකය ඔවුන් සිතන තරම් සුන්දර නොවේ. බහුතරයක් තමන් නොදැනි වැටී ඇති ණය උගුලෙන් ගැලවීමට මුදල් ඉපයීම සඳහා මුළු දවසම වෙහෙසෙති. එක් ණයක් පියවීමට තවත් තැනකින් ණය ගනිති.
ගම තුල ණය සඳහා ඇති වැඩිවන ඉල්ලුමට සරිලන පරිදි විවිධ ක්ෂුද්‍ර මූල ණය දෙන ආයතන (micro finance) ගණනාවක් ක්‍රියාත්මක වෙයි. ඒ අතර ග්‍රාමිය ශ්‍රමිකයන් “පිරමිඩ” මූල්‍ය හා භාණ්ඩ සංවිධාන ගැමියන්ට හඳුන්වා දීර්ඝකාලීන තවත් ණය උගුලකට අසු කරයි.
ගමේ මරණාධාර සමිති ආරම්භ වූයේ සුභසාධක ව්‍යාපාරයක් ලෙස පවුල් අතර අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගයන් ලබාදීමේ මෙවලමක් ලෙසය. එහෙත් එම සමිතිවලින් ද ණය දෙන අංශ බිහිවුයේ සමූපකාර ග්‍රාමීය බැංකුව, සණස ආදී ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන හා තරක කරමින් අත්වැල් බැඳ ගන්නටය.

ණය අර්බුදය තවත් උග්‍ර වන්නේ ඔවුනගේ පවුල්වල සාමාජිකයන්ගේ හිත්වල වැඩෙන සුපිරි සිහින සමාජයක අවශ්‍යතාවයන් සමගය. මෙම ශ්‍රමිකයන්ගේ අතේ රුපියල් දසදහස් ගණන් ගැවසුනත්, සංසරණය වුවත් ගිණුමේ රැදෙන්නේ දිනපතා ඉහළ යන සෘණ අගයකි. සරලව පවන්නේ නම් බහුතරයකගේ ණයබරිතතාවය ඉහළ යන්නකි.
මේ නිසාම ඔවුනගේ වෘත්තින්වල චර්යාධර්ම නොරැකේ. හිතූ ගණන් තමන්ගේ ඥාතීන්ගෙන්ද අයක කර ගනිති. ශ්රමයට නිත්‍ය මිලක් නැත.එය ඔහුගේ අවශ්‍යතාවය අනුව ඉහළ යයි. ගනුදෙනු වලද වංචාව සිදුවන්නේ ලැජ්ජා බියෙන් තොරවය.
ස්වයංපෝෂිත කෘෂිකාර්මික ගමක් වෙළඳපල ආර්ථිකයට යටවීම නිසා ඇතිවන ආර්ථික ප්‍රතිරූපය හුවාදක්වන තවත් උදාහරණයක් වන්නේ අපේ ගමය.
ආගමික, සංස්කෘතික හර පද්ධතීන්ගේ අභාවය.
වාණිජවාදී ශ්‍රමිකයන් සිය ආර්ථික සමෘද්ධිය සඳහා ආත්මාර්ථකාමි වීම නොවැලැක්විය හැකි තත්ත්වයකි. තරගයට උරදෙන විට පැවැතගෙන ආ ගැමි සංස්කාතියේ හර පද්ධතීන් නොදැනීම දෙදෙරා ගොස්ය. නූතන ස්ත්‍රිය තව දුරටත් ගැමි සමාජයේ සිටි ගුණ යහපත් මව නම් නොවේ. කුඹුරට බැසීමට හා වෘත්තියක නියැලෙන්නට අකමැති තරුණියන් වහා පෙළඹෙන්නේ වාණිජවාදී තරුණයෙක් හා පෙමින් බැදී ඉක්මනින් විවාහ වී ඔහුගේ ආර්ථික ශක්තියෙන් ස්මාර්ට් ෆෝන් එකක් ගෙන දිවා රෑ දෙකෙහිම ෆේස් බුක් රස විඳින්නටය.
තවත් නොබෝ කලෙකින් ගමේ පන්සලේ පෝයදාට සිල් ගන්නට උපාසක අම්මලා නැතිවනු නොඅනුමානය. එදා පන්සලේ චෛත්‍ය, ඝණ්ඨාර කුළුණු ඉදිකරන්නට දායක සභාව මුදල් සොයන ලද්දේ පුන් පෝයදා රාත්‍රියේ සල්පිල් පවත්වා රුපියල දෙක සම්මාදන් කරමිනි. වර්තමානයේ වාණිජවාදී සල්ලිකාර සත්ගුණවත් ශ්‍රමිකයකුගේ පරිත්‍යාගයෙන් ඒ සියල්ල සිදු වේ.
පෝයදා පන්සලට තරුණ තරුණියන් එන්නේ ශ්‍රද්ධාවෙන් පමණක් නොවේ. විනෝදකාමි හමුවක්ද ලෙසින්ය. ඒ අතර ඔවුනට නායක හාමුදුරුවන්ගේ බණ ද ඇසේ. පන්සලේ මෙන්ම ගමේ පාසලේ උගන්වන ස්වාමීන් වහන්සේලා ද වාණිජවාදී වී හමාරය. පන්සලේ හාමුදුරුවන්ට ද ප්‍රයිවට් බස් රථයක් අයිතිය. පන්සල, පාසල, ධර්මය උච්චාරණය කරනවා මිස අධ්‍යාත්මක සංවර්ධනයක් නම් ගමට ලබා නොදේ. ඒ අන් කිසිවක් නිසා නොව වාණිජමය ශ්‍රමිකයන්ගේ ප්රාග්ධනයේ බල මහිමය නිසා ඇති වන බලපෑමයි.
ගමේ ඉපැරැණි සංස්කෘතික දායාද දැනටමත් වැලලී ගොස්ය. මරණාධාර සමිතියට බැදී නැත්නම් මළ ගෙදර රාත්‍රිය පාළුවට යයි. තත්ත්වය කොතරම් බියකරුද යත් ගමේ ප්‍රථම සරසවි සිසුවා බිහි කළ ගුරුවරයා වූ මගේ බාප්පා මරණාධාර සමිතියට බැදී නොසිටි හෙයින් ඔහුගේ දේහයට රාත්‍රියේ තනි රකින්නට සිටියේ තාත්තාත්, මමත් තවත් කිහිප දෙනෙකුත් පමණි. ඉන් කලබලයට පත් මගේ තාත්තා එනම් ගමේ පළමු ගුරුවරයා, වහාම පසුදාම සමිතියට බැඳීමට තරම් තත්ත්වයකට ඇද වැටුණි. ගමේ සංස්කෘතික වටිනාකම මුදලට යටවී ඇත්තේ එලෙසිනි.
අනාගතය

ගමේ ශ්‍රමිකයන්ගේ ඉහත දැක්වූ ආර්ථික සාමාජීය හා සංස්කෘතික තත්ත්වයේ අනාගතය අතිශයින් භයානකය. එහි නන්නත්තාර ස්වරූපය නිතැතින්ම ඉතිහාසයේ තිබූ විනයගරුක හා චර්යාත්මක සමාජය අරාජිකත්වයක් කරා ඇදවැටීම නොවැලැක්විය හැකිය. එම බලවේග ඕනෑම මොහොතක අවස්ථාවාදී දේශපාලනික බලවේගවලට හෝ තවත් කැරැල්ලකට හෝ ආවැඩීමට යොදාගත හැකි ඉඩක්ද ඇත.
මේ ප්රවනතාවය වළකා ගැනීමට නායකත්වය දිය යුත්තේ අපේ රටේ ගැමි සමාජයේ තවමත් ඉතිරිව සිටින සමාජ වටිනාකමින් හා හර පද්ධතීන් හඳුනාගත් වැඩිහිටි ජ්‍යෙෂ්ඨ පුරවැසියෝය. ඔවුන්ගේ මතකයේ තාමත් පෙරදී පැවති ස්වයංපෝෂිත ආර්ථික රටාව රැදී පවතී. දැනටමත් අපේ ගම්වල ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන තිබේ. ඒවා හුදෙක් පිං පඩි සඳහා පෙත්සන් අත්සන් කරන න්‍යාය පත්‍රයෙන් ඔබ්බට ගෙන යා යුතුය.
සමාජය නිසි දිශානතියකට හැරවීමට ප්‍රාථමික ශක්තිය ඇත්තේ කේන්ද්‍රයේ ඇති ග්‍රාමීය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සංවිධානවලටය. වෙනසක් සඳහා ඉහළින් පහළට කරන මන්දගාමී සැළසුම්වලට වඩා පහළින් ඉහළට විමධ්‍යගත ග්‍රාමීය කුඩා ඒකක මගින් කෙරෙන බලපෑම් හා වෙනස්කම්වලට ග්‍රාමීය ශ්‍රමිකයන් ඵලදායි ලෙස හැසිරවීමටත් ඒ අනුව ආර්ථික සමාජ සංස්කෘතික සදාචාරයන් ප්රතිස්ඨාපනය කිරීමටත් හැකියාවක් ඇත්තේය.
- ගමේ ශ්‍රමිකයන්ගේ ඓතිහාසික විකාශනය.. - September 16, 2025