You are currently viewing කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්..

කැලෑ නීතිය සාමාන්‍ය භාවිතය වන ලෝක සමයක ආරම්භයක්..

විද්‍යා තාක්ෂණයේ සුවිශේෂී ඉදිරි පිමි සමග ලෝකය එකම ගමක් වී ඇතැයි යන්න එම සංවර්දනයත් සමගම දැන් ලෝකයම වල් වැදෙමින් පවතීයැයි වෙනස් කිරීමට කාලය එළඹ ඇතැයි සිතේ. රටේ ජනතා ඡන්දයෙන් තේරී පත් වූ රාජ්‍ය නායකයෙකු මහ රෑ කඩා වදින හොර කණඩායමක් විසින් අත් අඩංගුවට ගෙන පැහැර ගෙන යෑමක් සිදු විය හැක්කේ වල් වැදී ඇති ලෝකයක ය. සාමය තහවුරු කොට සමානාත්මතාවය සහ ස්වෛරීත්වය පවතින ලෝකයක එවැනි දෙයක් සිදුවීම අදහා ගත නොහැකි තරම්ය. එහෙත් විසි එක්වැනි සිය වසේ පළමු කාර්තුව පසු කරන අපට දකින්නට ඇසෙන්නට ලැබෙන්නේ එවැනි දේය. කණගාටුව වන්නේ මානව අයිතිවාසිකම් සහ නීතිය පදනම් පාලනයක් ගැන කතා කරන බලවත් රටවල් මේ සියල්ල නොදැක්කා සේ සහ නොඇසු කන්ව  බලා සිටීමය. මෙවැනි වනාන්තරයේ නිතියක් පවතින විට කුඩා දුර්වල රජ්‍යයන්ට නිහඬව අසරණව බලා සිටීම හැර කළ යුතු කිසි දෙයක් නැත.

ඇමරිකා එක්සත් ජනපදයේ මහා සමාගම්වල ග්‍රහණයෙන් මිදී ස්වාධීන ආර්ථික සහ දේශපාලන වැඩ පිළිවෙළක් ගොඩ නගමින් සිටි වෙනිසුවෙලාව අද නැවතත් ඇමරිකාවේ යටත් විජිතයක් වීමට ආසන්නයේ පවතී. පසුගිය ජනවාරි 3 වැනිදා ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිද සිලියා ප්ලොරස් එක්සත් ජනපදයේ විශේෂ භට කණ්ඩායමකින් පැහැර ගෙන යෑමෙන් පසුව උප ජනාධිපතිනිය ඩෙල්සි රොඩ්‍රිගස් එරට ශේෂ්ඨාධිකරණයේ නියෝගයක් අනුව ජනාධිපති තනතුරේ දිව්රුම් දුන්නාය. නමුත් ඇයද ඇමරිකාවෙන් පැහැර ගෙන යෑම වැළැක්වීම පහසු වන්නේ නැත. තමා සමග සහයෝගයෙන් කටයුතු නොකරන්නේ නම්  නව ජනාධිපතිනියට මදුරෝටත් වඩා නරක තත්වයකට මුහුණ දීමට සිදුවන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් තර්ජනය කර ඇත.

ඇමරිකාවට මෙම මැදිහත්වීම්වලට ඉඩ සැලසුණේ එම රටවල පාලකයන්ගේ නිවට නියාලු ප්‍රතිපත්තිය නිසාය. නිදසුනක් වශයෙන් එවකට වෙනිසුවෙලාවේ නායකයා වූ සිප්‍රියානෝ කැස්ට්‍රෝ 1902 දී ඇමරිකාවේ රැකවරණය පැතුවේය. ඒ ආර්ථික වශයෙන් බකොළොත්ව සිටි වෙනිසුවෙලාව ජර්මනියේ සහ බ්‍රිතාන්‍යයේ අක්‍රමණයකට ලක්වීමේ අනතුරක් පැවති අවස්ථාවේය. බටහිර යුරෝපීය රටවල හමුදා ප්‍රහාරයකට මුහුණ දීමට නොහැකි වෙනිසුවෙලාව එක්සත් ජනපදයෙන් ආරක්ෂාව ඉල්ලා සිටි අතර කලාපයේ තම ආධිපත්‍යය පවත්වා ගැනීමට සැලසුම් කළ එක්සත් ජනපදය ඊට එකඟ වූයේය. එක්සත් ජනපදයේ අවි බලය නිසා ජර්මනිය පසු බෑවේය. ඇමරිකානු හමුදාවෙන් පිලිපීනයේ දී ජර්මන් හමුදාව ලත් පරාජය ඊට හේතු වන්නට ඇත. කෙසේ වුවත් එය වෙනිසුවෙලාවේ සම්පත් ඇමරිකානු සමාගම්වලට දොර විවෘත කිරීමක් විය.

ජේම්ස් මොන්රෝ [James Monroe]

පාලන බලයේ සිටි කැස්ට්‍රෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා රටින් පිටව සිටිය දී එක්සත් ජනපදයේ සහාය ඇතිව 1908 දී බලය පැහැර ගත් ජුවාන් විසෙන්ටේ ගෝමස් ඇමරිකානු සමාගම්වලට වෙනිසුවෙලාවේ ආයෝජනය කිරීමට ආරාධනය කෙළේය. ඒ අනුව වෙනිසුවෙලාවේ තෙල් කැණීම් සඳහා ඇමරිකානු සමාගම් පැමිණි අතර පළමු තෙල් ළිඳ විවෘත වූයේ 1912 දීය. මෙහි විශේෂත්වය වන්නේ පළමු තෙල් ළිඳ විවෘත කිරීමෙන් වසරක් ඇතුළත වෙනිසුවෙලාව මැද පෙරදිග රටවල් අභිබවා ලොව ප්‍රධානතම තෙල් නිෂ්පාදකයා බවට පත්වීමය. අපනයනය අතින් වෙනිසුවෙලාව දෙවැනි වූයේ එක්සත් ජනපදයට පමණි.

ඇමරිකා එක්සත් ජනපදය ලතින් ඇමරිකානු රටවල් සිය ග්‍රහණයේ පවත්වා ගැනීමට උත්සාහ කළ ද එම රටවල් තුළ ඇමරිකානු ආධිපත්‍යයට විරෝධයක් ගොඩ නැගීම වැළැක්වීමට සමත් වූයේ නැත. පසුගිය ශතවර්ෂයේ අග භාගයේ දී තරුණ හමුදා නිලධාරියෙකු වූ හියුගෝ චවේස් හමුදා කැරැල්ලක් දියත් කිරීමට උත්සාහ කෙළේද ඇමරිකානු සමාගම්වල ආධිපත්‍යයෙන් තෙල් සම්පත ආරක්ෂා කර ගැනීමට සහ එහි ප්‍රතිලාභ රටේ ජනතාවට ලබා දීමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටය. කැරැල්ල අසාර්ථ වුවත් ඔහුට ජනාධිපතිවරණයෙන් ජය ගැනීමට හැකි විය. තම දේශපාලන සහ ආර්ථික බලය රැක ගැනීමට ක්‍රියාත්මක වූ එක්සත් ජනපදය 2002 දී චවේස්ට එරෙහිව හමුදා කැරැල්ලක් සැලසුම් කළ ද එය අසාර්ථක විය. ජනතා විරෝධය හමුවේ ජුන්ටාවට පසු බැස්සේය. එතැන් සිට 2013 දී මිය යන තෙක්ම වෙනිසුවෙලාවේ නායකත්වය හිමි වූයේ හියුගෝ චවේස්ටය. නිකොලස් මදුරෝ ජනාධිපති ධුරයට තේරී පත් වූයේ ඉන් පසුවය.

තෙල් ඇතුළු රටේ සම්පත් ජනතා සුභ සිද්ධියට කැප කිරීමට පියවර ගත් චවේස් ක්‍රියාත්මක කළ සමාජ සුභ සාධන වැඩ පිළිවෙළ ශක්තිමක් දේශපාලන පදනමක් විය. නිකොලස් මදුරෝ ගේ ශක්තිය වන්නේ ද එම පදනමයි. එහෙත් ඇමරිකාවෙන් තෙල් අපනයනයට පැන වු සම්බාධක නිසාත් වෙනත් ආර්ථික තහංචි නිසාත් රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවන මට්ටම කැපී පෙනෙන ලෙස පහත වැටිණ. නොබෙල් ‘‘සාම ත්‍යාගයෙන්‘‘ පිදුම් ලත් මාරියා කොරිනා මචාඩො වැනි අය මෙහෙයවන්නේ අසහනයට පත් එම ජනකොටස් ය. ආර්ථික සහ දේශපාලන හේතු නිසා රටින් පලා ගිය දශ ලක්ෂ ගණනක් වූ ජන කොටස්වල ආශීර්වාදය ලැබෙන්නේ ද ඔවුන්ටය.

හියුගෝ චවේස් [Hugo Chavez]

කෙසේ වුවත් ජාතික ස්වාධීනත්වය සහ ආර්ථික සමානාත්මතාවය පිළිබඳ චවේස් ගේ සහ ඊට පෙර පැවති බොලිවාරා සම්ප්‍රදාය පහසුවෙන් අමතක කළ නොහැකිය. ඇත්තෙන්ම චවේස්ටත් දේශපාලන ආභාෂය ලැබුණේ ජාතික වීරයෙකු වශයෙන් සැලකෙන සිමොන් බොලිවාරාගෙනි. ස්පාඤ්ඤ අධිරාජ්‍යයට එරෙහිව ජාතික ස්වාධීනත්වය සඳහා සහ ස්වදේශීය ජනතා අයිතිය වෙනුවෙන් අරගල කළ බොලිවාරා අදත් සැලකෙන්නේ මහත් ගරුත්වයෙනි. දකුණු ඇමරිකානු රටවල එකතුවක් වෙනුවෙන් පෙනී සිටි ඔහු වෙනිසුවෙලාවට අමතරව කොළොම්බියාව, ඉක්වැදෝරය, පීරැ සහ බොලිවියාව යන රටවල ජාතික වීරයෙකු ලෙස සැලකේ. බොලිවියාව යන නමද ඔහුට ගෞරවයක් වශයෙන් යෙදේ. මෙම බලපෑම නිසා ඇමරිකානු යටත් විජිතයක් වශයෙන් වෙනිසුවෙලාව පවත්වා ගැනීම පහසු නොවේ.

ඒ වෙනුවට යොදා ගත හැකි උපාය මාර්ගයක් වන්නේ ඇමරිකාවට ගැති පාලකයෙකු සහ පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීමය. ට්‍රම්ප් ගේ උත්සාහයද එයයි. ජනාධිපතිවරණයේ දී පොරොන්දු වූ ආකාරයට ට්‍රම්ප් ඇමරිකානු භටයන් විදේශ රටක යුද්ධයකට නොයවනු ඇතැයි සිතිය හැකිය. යම්හෙයකින් ඇමරිකානු හමුදා පාලනයක් ඇති කිරීමට උත්සාහ කළ හොත් වෙනිසුවෙලාව තවත් වියට්නාමයක් විය හැකි බවට දැනටමත් අනතුරු හඟවා ඇත. විය හැකි පහසුම දේ ඇමරිකානු ගැති පාලනයක් පිහිටුවීමය. එහෙත් ඇප්ගනිස්ථානය, ඉරාකය සහ ලිබියාව වැනි රටවල් පූර්වාදර්ශයක් වන්නේ නම් එවැනි ක්‍රමයක් කිසිසේත් සාර්ථක වනු ඇතැයි සිතිය නොහැකිය.

අනිත් වැදගත් කරුණ වන්නේ වෙනිසුවෙලාවේ නිත්‍යානුකූලව තේරී පත් වූ ජනාධිපති පැහැර ගෙන යෑමෙන් පසුව ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ ඇති විය හැකි වෙනස්කම් ය. ජනාධිපතිවරයා පැහැර ගෙන යෑමට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් මෙතෙක් දැඩි විරෝධයක් පළ වුයේ නැති වුවත් මෙම නිහීන ක්‍රියාවෙන් ලැබෙන්නේ භයානක පූර්වාදර්ශයකි. මෙම න්‍යාය අනුවම යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි රුසියාව විසින් පැහැර ගෙන ගියහොත් ඇතිවන තත්වය කුමක් ද? චීනය තායිවානයේ ජනාධිපති පැහැර ගෙන ගියහොත් තායිවානයේ සහායට ඉදිරිපත් වන්නේ කවුද? ඉන්දියාව 1987 දී ලංකාවට ගුවනින් පරිප්පු දැමීම වැනි සිද්ධීන් අපට අමතක කළ හැකි ද?

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මෙම සාහසික අත්තනොමතික ක්‍රියාව අන්තර්ජාතික නීතිය සහ රාජ්‍යයන්ගේ ස්වෛරීත්වය පිළිබඳ සියලු සංකල්ප උඩු ගුවනට පාකර හැරීමකි. එකම සත්‍යය වන්නේ බලය ශක්තිය වේ යන්නයි. එහෙත් තොරතුරු සන්නිවේදනය සහ කෘත්‍රීම බුද්ධිය ජනතා උපකරණයක්ව පවතින යුගයක පැරණි ක්‍රමයේ බලඅධිකාරියක් ගොඩ නැගීමත් පවත්වා ගැනීමත් පහසු නොවේ. නිව්යෝර්ක් නගරයේ තමන්ට කැමති පුද්ගලයෙකු නගරාධිපති කර ගැනීමට නොහැකි වූ ජනාධිපති ට්‍රම්ප් ගේ ලෝක ආධිපත්‍යයක් ගොඩ නැගීමේ සිහිනය අවසන් වන්නේ නිසැකායෙන්ම මහත් ඛේදවාචකයකිනි.

Leave a Reply