ශ්රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව
[පස්වන කොටස]
පුද්ගලික අංශයේ සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල සංස්ථාවල හා සමුපකාර සේවකයින්ගේ සේවය, සේවා යෝජකයා විසින් අවසන් කරනු ලැබු විටෙක එය අසාධාරණ ලෙස සේවය අවසන් කිරිමක් යැයි හැගෙන්නේ නම් කම්කරු විනිශ්චය සභාවක් වෙත ඊට එරෙහිව සහන පතා ඉල්ලූම් කළ හැකිය. එසේම කිසියම් සේවාවක් අවසන් කිරීම සම්බන්ධයෙන් විනිශ්චයාධිකාරිය වෙත ඉල්ලීම කරනු ලබන කම්කරුවා සේවය කළ ස්ථානයේ ඉකුත් මාස 12ක කාලය ඇතුළත යම් දිනයක කම්කරුවන් 15 දෙනකුට අඩු සංඛ්‍යාවක් සේවයේහි නියුක්ත කරනු ලැබ තිබේ නම් එකී කම්කරුවාගේ සේවය අවසන් කිරිමේදි ඔහුට ලැබිය යුතු පාරිතෝෂිකයේ මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන්ද කම්කරු විනිශ්චය සභාවකට ඉල්ලූම් කළ හැකිය.
එපමණක්ද නොව 1993 පාරිතෝෂික පනත ප‍්‍රකාරව පාරිතෝෂිකයක් අහිමි කිරීම එම පනත ප‍්‍රකාරව නිවැරදිව කරනු ලැබ තිබේද යන්න පිළිබඳ ප‍්‍රශ්නයක් පැන නැඟි විටද කම්කරු විනිශ්චය සභාවක් වෙත යා හැකිය. තවද කම්කරුවෙකුගේ සේවා නියුක්තියට අදාළ නියමයන් හෝ කම්කරු තත්ත්වයන් හෝ සම්බන්ධව නියම කරනු ලැබිය හැකි වෙනත් කරුණු සම්බන්ධයෙන්ද කම්කරු විනිශ්චය සභාවක් වෙත යා හැකිය.
මෙබඳු ඉල්ලීමක් ප‍්‍රශ්නයට මුහුණ දුන් කම්කරුවාට හෝ ඔහු නියෝජනය කරන වෘත්තිය සමිතියක් මාර්ගයෙන් හෝ ඉදිරිපත් කිරිමට හැකි බව කම්කරු ආරවුල් පනතේ දැක්වේ. ඉහත කී පරිදි කම්කරුවා විසින් අදාළ ඉල්ලීම කරනු ලබන විට ඔහු විසින් එම ඉල්ලූම්පත් අත්සන් කර තිබිය යුතුය. කම්කරුවා නියෝජනය කරන වෘත්තිය සමිතියක් මඟින් අදාළ ඉල්ලීම කරනු ලබන්නේ නම් එම සමිතියේ සභාපතිවරයා හෝ ලේකම්වරයා ඉල්ලූම් පතට අත්සන් කර තිබිම අනිවාර්ය වේ.
කිසියම් විටකදි මෙබඳු ඉල්ලූම් පතක් නිතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් කිරිමේදි අදාළ නිතිඥවරයා සිය සේවා දායකයා වෙනුවෙන් එම ඉල්ලූම් පත අත්සන් කර ඉදිරිපත් කිරිම නිත්‍යානුකුල වන්නේ ද යන්න මෙහිදි පැන නඟින වැදගත් නිතිමය ප‍්‍රශ්නයකි. “සතොස අධ්‍යක්ෂ මණ්ඩලය එදිරිව ජයසුන්දර” නැමැති 1988 නොවැම්බර් මස 25 වන දින තීන්දු වු ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවේදි තිරණය කෙරුනේ, කාර්මික ආරවුල් පනතේ 46 (2) වගන්තිය හෝ 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 41 වැනි වගන්තිය ප‍්‍රකාරව නිතිඥවරයෙකුට තම සේවා දායකයා වෙනුවෙන් කම්කරු විනිශ්චය සභාවකට යොමු කරන ඉල්ලූම් පතකදි එකී ඉල්ලූම් පතක සිය අත්සන යෙදීමට නිතියෙන් ඉඩ දී ඇති බවයි.
ඉහත කී පරිදි යම් කම්කරුවෙකු විසින් තමන් විසින්ම හෝ තමා නියෝජය කරන වෘත්තිය සමිතිය හෝ නිතිඥවරයෙකු මඟින් කම්කරු විනිශ්චය සභාවකට ඉල්ලූම් පතක් ඉදිරිපත් කර ඇති විට එය විභාග වෙමින් පවතින කල, එකී කම්කරුවා මිය ගිය හොත් උද්ගත වන තත්ත්වය යන්න වැදගත් නිතීමය ප‍්‍රශ්නයකි. සාමාන්‍ය සිවිල් නඩුවක් නම් පාර්ශවකරුවෙකු මිය ගිය විට ඔහුගේ හෝ ඇයගේ නිත්‍යානුකුල උරුමකරුවන් එකී නඩුවට ආදේශ කිරිමේ නිතිමය ප‍්‍රතිපාදන සිවිල් නඩු විධාන සංග‍්‍රහයේ දක්නට ලැබේ. එහෙත් කම්කරු ආරවුල් පනතේ ඉල්ලූම්කරුවෙකු මිය ගිය හොත් අනුගමනය කල යුතු ක‍්‍රියාමාර්ගය පිළිබඳව දක්වා නැති බව පෙනේ. මේ නිසා ඉල්ලූම්කරු මිය ගිය අවස්ථාවකදි ඔහුගේ හෝ ඇයගේ නීතියානුකුල උරුමකරුවන් අදාළ ඉල්ලීම පිළිබඳව නීතිමය ක‍්‍රියාවලියේදි ආදේශ කළ හැකිද යන්න පිළිබඳව අදහස් ලබා ගත හැක්කේ ඒ සම්බන්ධව විනිශ්චිත නඩු තීන්දු වෙත අවදානය යොමු කිරිමෙනි.
මේ සම්බන්ධයෙන් ගැටළුවක් මුලින් පැන නැගුණේ ‘ගුණතිලක එදිරිව වෝකර් සන්ස් ඇන්ඩ් ලිමිටඩ්‘ (ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 87/73) යන 1978 අප්‍රේල් මස 5 වෙනි දින තින්දු වු නඩුවේදිය. මෙහිදි ගරු ශර්වානන්ද විනිසුරු තුමා ආගන්තුක ප‍්‍රකාශයක් කරමින් සඳහන් කලේ ඉල්ලූම්කරුවෙකු මිය ගිය අවස්ථාවක ඔහුගේ උරුම කරුවන් ආදේශ කර නොහැකි බවයි. මෙම ප‍්‍රකාශය ඉනික්බිතිව විනිශ්චිතව ‘අමරජීව එදිරිව කොළඹ විශ්ව විද්‍යාලය (1993) 2 ශ‍්‍රී ලංකා නිති වාර්තා 327’ නඩුවේදි පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේදි සාකච්ඡා කෙරින.
මෙහිදි සෙසු විනිසුරුතුමාන්ලාගේද එකඟතාවය ඇතිව ගරු මාර්ක් ප‍්‍රනාන්දු විනිසුරු තුමා තීරණය කලේ කම්කරු විනිශ්චය සභාවකට ඉදිරිපත් වු ඉල්ලූම් පතෙහි ඉල්ලූම්කරු මිය ගිය බව එකි විනිශ්චය සභාවට දැනුම් දෙනු ලැබු කල එකී ඉල්ලූම්කරුගේ අයිතිවාසිකම් ඔහුගෙන් පසුව වෙනත් අයෙකුට පැවරෙන්නේ නම් ඒ කා වෙතද යන්න කම්කරු විනිශ්චය සභාව විසින් තිරණය කරනු ලැබිය යුතු බවයි. ඉල්ලූම්කරු මිය ගිය පමණින් අදාළ ඉල්ලූම් පත නිශ්ප‍්‍රභා කිරිම වැරදි සහගත තීරණයක් බවද මෙහිදි වැඩි දුරටත් විනිශ්චිතය.
ඉල්ලූම් පතක් විභාග වෙමින් පවතිනවිට ඉල්ලූම්කරු මිය ගිය හොත් ඔහු හෝ ඇය වෙනුවට වෙනත් අයෙකු ආදේශ කිරිමට අදාළ නිතිමය ප‍්‍රතිපාදන කාර්මික ආරවුල් පනතේහි දක්වා නැතත්, එම පනතේ 31 සී (2) වගන්තියට අනුව ඒ සම්බන්ධව සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගැනිමට කම්කරු විනිශ්චය සභාවට තීරණයක් ගත හැකි බව ඉහත කී නඩුවේදි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබ ඇත.
එහෙත් මෙම වගන්තිය මඟින් කම්කරු විනිශ්චය සභාවට දී ඇති බලය මෑතකදි සිදු කෙරුනු සංශෝධනයක් මඟින් කාර්මික ආරවුල් පනතේ 31 A වගන්තියට එක්වු ප‍්‍රතිපාදන මඟින් සීමා වී ඇති බව පෙනේ.
එහෙත් කාර්මික ආරවුල් පනතේ 31 බී (2) වගන්තිය ප‍්‍රකාරව කම්කරුවෙකු වෙනුවෙන් ඔහු නියෝජනය කරන වෘත්තිය සමිතියක් අදාළ ඉල්ලූම් පත ඉදිරිපත් කර ඇති විට ඒ පිළිබ`දව අභියාචනයක් පවතිත්දි එකී කම්කරුවා මිය ගියද ඒ වෙනුවට උරුමකරුවෙකු ආදේශ කිරිමක් අවශ්‍ය නොවන්නේ යැයි ‘ඕල් සිලෝන් කොමර්ෂල් ඇන්ඞ් ඉන්ඩස්ට්‍රියල් වර්කස් යුනියන් එදිරිව සීමා සහිත කොලට්ස් සමාගම (1987) 1 ශ‍්‍රී ලංකා නිති වාර්තා 181 නඩුවේදි’ අධිකරණය ප‍්‍රකාශ කර තිබේ. මෙහිදි වැඩි දුරටත් තින්දු කෙරුනේ අදාළ අභියාචනය එකි වෘත්තිය සමිතියට අඛන්ඩව පවත්වාගෙන යා හැකි බවයි. මෙහිදි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ නඩුව අවසානය අදාළ කම්කරුවාට හිමි වන ප‍්‍රතිලාභ කිසිවක් වේ නම් එකි කම්කරුවාගේ නීතියානුකුල උරුමකරුවන්ට ඒවා ඉල්ලා සිටිමට හැකියාවක් ලැබිමයි.