You are currently viewing කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය..

කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය..

එක්සත් ජනපදය ඊශ්‍රායෙලය සහ තුර්කිය යන රටවල සහාය සහ රැකවරණය ලත් කැරලි කණ්ඩායම් නොවැම්බර් 27 දින සිරියාවේ ඇලෙප්පෝ නගරයට හදිසි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් ආරම්භ වූ යුද්ධය දෙසැම්බර් 09 වන විට අවසන් විය. කැරලිකරුවන් දමස්කස් නගරයට ආසන්න වෙත්ම ජනාධිපති බසාර් අල් අසාඩ් සටනක් නැතිවම පාලන බලය අතහැර ඉවත්වීමෙන් 2011 සිට පැවති කැරලිකාර තත්වය අවසන් වනු ඇතැයිද එය කුරිරු පාලකයෙකුට එරෙහිව නැගුණු ජනතා විරෝධයක ජයග්‍රහණයක්යැයි ද බොහෝ ජනමාධ්‍ය වාර්තාවලින් දැක්විණ. අල් අසාඩ් ගේ පලා යෑමෙන් වඩාත්ම සතුටට පත් වූයේ එක්සත් ජනපදය ඇතුළත් බටහිර රටවල් ය. ඒ අන් කිසිවකටත් වඩා සිරියාව ඉරානය යටපත් කර ගැනීමේ යුද්ධයට එරෙහිව තිබු ප්‍රධාන බාධකයක් වීමය. දැන් ඉරානයට පහර දීම කාලයේ ප්‍රශ්නයක් පමණි.

සිරියාවේ අල් අසාඩ් පාලනය පෙරළා දැමීමෙන් මැද පෙරදිග දේශපාලනයට ඇති විය හැකි බලපෑම තක්සේරු කිරීමට තවමත් කාලය පැමිණ ඇතැයි කිව නොහැකිය. එහෙත් බටහිර රටවලට හිස රදයක් වූ ගඩාපි ගේ පාලනය බිඳ දැමීමෙන් සහ ඔහු මිලෙච්ඡ ආකාරයෙන් මරා දැමීමෙන් ලිබියාවට තවමත් සාමය හෝ සමෘද්ධිය ළඟා වී නැති බව පමණක් සිහි කිරීම වැදගත් ය. අල් අසාඩ් ගේ හමුදාව බොහෝ ප්‍රදේශවලින් සටනක් නැතිවම ඉවත්වීමත් දමස්කස් නගරයේ පාලනය සටනක් නැතිවම භාර දීමත් නිසා බොහෝ ජීවිත සහ දේපොළ හානි වැළැක්වීම වැදගත් ය. අල් අසාඩ් ගේ අගමැති මොහම්මද් අල් ජලාලි රටින් පලා නොගොස් කැරලිකරුවන් ට පාලනය භාරදීමේ කටයුතුවලට සහභාගි වූයේය. ඉන් පසුව විවිධ කැරලි කණ්ඩායම් බලය බෙදා ගැනීම සාමකාමීව සිදු කරන්නේ ද නැතිනම් ලිබියාවේ මෙන් එකිනෙකා සමග සටන් කිරීමෙන් රට නැවත බෙදී යෑමක් සිදු වන්නේ ද යන්නත් ඉදිරි සති කිපය තුළ තීරණය වනු ඇත.

විපක්ෂ සටන්කාමියෙකු අභාවප්‍රාප්ත සිරියානු ජනාධිපති හෆීස් අසාද්ගේ කැඩුණු හිස මත පා තබා සිටින අයුරු-[ 2024 දෙසැ. 08 සිරියාවේ ඩමස්කස් නුවර]

එවැනි අවිනිශ්චිත තත්වයක් ඇති වීමට මූලික හේතුව වන්නේ සිරියාව දුර්වල කිරීම සහ එහි පාලනය මෙහෙයවීම අසල්වැසි බලවත් රටවල් කීපයකම අවශ්‍යතාවය වන නිසාය. ඊශ්‍රායෙලයේ සයන්වාදීන්ගේ මහා ඊශ්‍රායෙල් සැලැස්ම අනුව සම්පූර්ණ සිරියාවම ඊශ්‍රායෙලයට ඈඳා ගත යුතුය. ඒ සඳහා සැලසුම් ප්‍රකාශයට පත් වූයේ පලස්තීන ප්‍රදේශයේ ඊශ්‍රායෙල් යුදෙව් රාජ්‍යය ප්‍රකාශයට පත්වීමත් සමග ය. එම මහා ඊශ්‍රායෙල් සැලැස්ම අනුව ජොර්දානය ද ඊශ්‍රායෙලයේ කොටසකි.

ගාසා තීරයේ ජනඝාතන සංහාරයක  යෙදී සිටින අගමැති නෙතන්යාහු මෙම හමුදා මෙහෙයුම හේතු යුක්ති කරන්නේ 1974 දී ඇති කර ගත් ගිවිසුමේ පාර්ශ්වයක් වූ සිරියානු ආණ්ඩුව බිඳ වැටී ඇති නිසා එම ගිවිසුම තවදුරටත් වලංගු නොවන්නේය යනුවෙනි. එම ප්‍රදේශය කැරලිකරුවන් අතට පත්වීම ඊශ්‍රායෙලය ගණන් බලන ආකාරයට ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයකි. සිරියාවේ හමුදා ශක්තිය ඊශ්‍රායෙලයේ ආරක්ෂාවට තර්ජනයක් වන නිසා සිරියාවේ හමුදා කඳවුරු ගුවන් තොටුපොළ සහ නාවිත ශක්තිය ගුවන් ප්‍රහාර එල්ල කොට විනාශ කිරීම දැනටමත් ආරම්භ කර ඇත. පසුගිය සතියේ එක දිනක පමණක් ඊශ්‍රායෙලය සිරියාවේ අගනුවර දමස්කස් ඇතුළු ස්ථාන ගණනාවකට ගුවන් ප්‍රහාර 250කට අධික සංඛ්‍යාවක් එල්ල කළ බව සිරියාවේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉන් සිදුව ඇති ජීවිත සහ දේපොළ හානි ගණන් බැලීමට අන්තර්වාර රජයට තවම විවේකයක් නැත.

සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්

මෙම ප්‍රහාර අරාබි රටවල දැඩි විරෝධයට ලක් වුවද ඊශ්‍රායෙලයේ ආරක්ෂකයා වන එක්සත් ජනපදය එය අනුමත කරන්නේ සුපුරුදු ආකාරයට ඊශ්‍රායෙලයේ ආරක්ෂාව සඳහා එවැනි ප්‍රහාර එල්ල කිරීම සාධාරණීය කිරීමෙනි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශත මැතිව් මිලර් පවසන ආකාරයට එල්ල විය හැති ත්‍රස්තවාදි ප්‍රහාරයක් වැළැක්වීමට දේශ සීමාවට ඔබ්බෙන් හමුදා මෙහෙයුම ඊශ්‍රායෙලයේ ආත්ම ආරක්ෂාව සඳහා ගන්නා පියවරකි.

හයාට් තහ්රිර් අල් ෂාම් [Hayat Tahrir al Sham-HTS] සටන්කාමීන් -2022 මැයි

මෙහිදි කරුණු දෙකක් පැහැදිලි කර ගත යුතුය. ඉන් එකක් වන්නේ ත්‍රස්තවාදීන්යැයි හඳුන් වන මෙම කැරලි කණ්ඩායම්වලට අවි ආයුධ, පුහුණුව සහ මුදල් ලබා දෙන්නේ ද එක්සත් ජනපදය ඊශ්‍රයෙලය සහ තුර්කිය වැනි රටවල්ය. සිරියාවේ ඊසාන දිග ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය ට එක්සත් ජනපදය 2015 සිටම ආධාර කරන අතර එම ප්‍රදේශයේ 900 කට අධික ඇමරිකානු හමුදා භට කණ්ඩායමක් ද රඳවා සිටී. සිරියානු ජාතික හමුදාව සෘජුවම තුර්කියේ නිර්මාණයකි. මෙම කණ්ඩායම් අතුරෙන් වඩාත්ම බලවත් අල් කයිඩා සංවිධානයෙන් උපත ලත් හයාට් තහ්රිර් අල් ෂාම් [HTS] හමුදාවට ඊශ්‍රායෙලයේ අනියම් සහාය දිගටම ලැබිණ. එමනිසා මෙම ත්‍රස්තවාදින් බිහි කර ඇත්තේද එම රටවල් විසින්ම ය. එවිට ආරක්ෂාව පිළිබඳ ගැලුව කුමක් ද යන්න පැහැදිලි නැත.

මෙම පියවර ආක්‍රමණයක් සේ හැඳින් වූ එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් රුසියාවට එරෙහිව විවිධ සම්බාධක පැනවූහ. එම රටවල තිබු රුසියානු වත්කම් සියල්ල ද රජය ට පවරා ගන්නා ලදී. දැන් නේටෝ රටවල සහාය ලබන යුක්‍රේන- රුසියානු යුද්ධයට හේතු වූයේ ද එම ගැටුමයි. රුසියාව ජාත්‍යන්තර නීතිය නොසලකා ක්‍රියා කර ඇති නිසා සම්බාධක පැනවීමත් යුක්‍රේනයට අවි ආයුධ සැපයුමත් ‘ජාත්‍යන්තර නීතියට’ එකඟ ය. එහෙත් ඊශ්‍රායෙලය සිරියාවට ඉවක් නැතිව ගුවනින් බෝම්බ දැමීමීම ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයකි. දැනට වසරක ට අධික කාලයක් තිස්සේ ගාසාවටත් බටහිර ඉවුරටත් එරෙහිව ජනඝාතන සංහාරයක් කිරීම ද එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් දකින ආකාරයට ඊශ්‍රායෙලයට එරෙහිව සම්බාධක පැනවීමට හේතුවක් නොවේ. ඒ ඊශ්‍රායෙලය හැම විටම ඇමරිකාවේ අවශ්‍යතාවය වෙනුවෙන් පෙනී සිටින නිසාය.

නේටෝ යුද හවුලේ ප්‍රබල සාමාජික රටක් වන තුර්කියද 1974 සිටම සයිප්‍රසයේ උතුරු කොටස අත්පත් කර ගෙන සිටී. තුර්කිය උතුරු සයිප්‍රසය ආක්‍රමණය කෙළේ එහි දකුණු ප්‍රදේශයේ ග්‍රික සම්භවයක් ඇති ජන කොටස උතුරේ තුර්කි සම්භවයක් ඇති ජන කොටසට වෙනස් කොට සලකන්නේය යන චෝදනාව නිසාය. මෙය ද නේටෝ යුද හවුල හෝ එහි ප්‍රධානියා වන එක්සත් ජනපදය තුර්කියට එරෙහිව සම්බාධක පැනවීවීමට හෝ එරෙහිව වෙනත් ක්‍රියා මාර්ග ගැනිමට හේතුවක් කර ගත්තේ නැත.

සිරියානු කැරලි නායක අබු මොහොමඩ් අල්-ජොලානි

තවත් වැදගත් කරුණක් අවධාරණය කළ යුතුය. හයාට් තහ්ර්ර් අල් ෂාම් නම් මෙම කැරැල්ලට නායකත්වය දුන් කණ්ඩායම 91/11 ප්‍රහාරය සිදු කෙළේයැයි චෝදනා කරන අල් කයිඩා හා සම්බන්ධ නිසා එක්සත් ජනපදය ඇතුළු බොහෝ රටවල් එය ත්‍රස්තවාදී සංවිවිධානයක් සේ නම් කර ඇත. සිරියානු කැරැල්ලේ මුල් අවධියේ දී මෙම සංවිධානය හැඳින් වූයේ අල් නුස්රා නමිනි. එහි නායක අබු මොහම්මද් අල් ජොලානි අත් අඩංගුවට ගැනිමට සහාය ලබා දෙන පුද්ගලයෙකුට ඩොලර් දශ ලක්ෂ දහයක ත්‍යාගයක් ලබා දෙන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්ර්තමේන්තුව ප්‍රකාශ කෙළේය. එය මෙතෙක් ඉවත් කර ගෙන නැත. ඒ වෙනුවට එම සංවිධානය සිරියාවේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසුව ත්‍රස්තවාදී හංවඩුව ඉවත් කිරීම ගැන සලකා බලන බව එක්සත් ජනපදයේ සමහර ජනමාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජනපදයට එවැනි පූර්වාදර්ර්ශ අපමණ පවතී.

කෙසේ වුවත් සිරියාවේ අල් අසාඩ් ගේ පාලනය බිඳ වැටීම වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක ආරම්භයක් විය හැකි ද යන්න සැක සහිතය. ලිබියාවේත් ඇප්ගනිස්ථානයේත් මෙවැනි කුමන්ත්‍රණකාරී මෙහෙයුම්වලින් මෙතෙක් ස්ථාවර ජනතාවාදි පාලනයකට මුල පිරුමක් සිදුව නැත. මැද පෙරදිග උසස්ම ජීවන තත්වයක් පැවති ඉරාකයේ ඇමරිකානු ආක්‍රමණයෙන් පසුව අදත් පවතින්නේ ඛේදනීය තත්වයකි. එය කුමන ආකාරයකින් හෝ නිතිය පදනම් අන්තර්ජාතික සමයක් වන්නේ නැත. 

Leave a Reply