You are currently viewing ඒකච්ඡන්දයෙන් සම්මත කළ යුත්තේ දූෂණ වංචා පිටු දැකීමේ සමාජ භාවිතාවයි..

ඒකච්ඡන්දයෙන් සම්මත කළ යුත්තේ දූෂණ වංචා පිටු දැකීමේ සමාජ භාවිතාවයි..

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාරම් බෑ ආසියාවේ හොඳම දූෂණ විරෝධී පනත සංශෝධන සහිතව පසු ගිය දා පාර්ලිමේන්තුවෙන් ඒකච්ඡන්දයෙන් සම්මත විය. සමහර විට මෙ වන විට ඊට කතානායකගේ අත්සන යෙදීමෙන් ව්‍යවස්ථා පොතට ද ඇතුළත් වන්නට ඇත. උනනුන් පරයා කෑ මොර ගසා ඇණ බැණ ගන්නා පාර්ලිමේන්තුවෙන් ඒකච්ඡන්දයෙන් මෙම පනත සම්මතවීම අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් සටහන් කිරීමක් විය හැකිය. වෙනත් අයට කෙසේ වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවැනි බලාපොරොත්තු ඇති කර ගැනීම සාධාරණ ය. ඒ අන් කිසිවක් නිසා නොව ඉදිරියේ දී තව තවත් ණය ගැනීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ වෙනත් මූල්‍ය ආයතන සමග සාකච්ඡා කිරීමේ දී හොඳ තුරුම්පුවක් කරගත හැකි නිසාය.

පළමුවෙන්ම 1977 සිට දශක තුනට ආසන්න කාලයක් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය පරාජය කොට 1994 දී බලයට පැමිණි සමගි පෙරමුණ රජය ද අල්ලස් සහ දූෂණ වැළැක්වීමේ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඒකච්ඡන්දයෙන් සම්මත කර ගත්තේය. එවකට අධිකරණ ඇමතිව සිටි මහාචාර්ය ජී ඇල් පීරිස් අල්ලස්වලට අමතරව දූෂණය ද වරදක් සේ එම පනතට එකතු කිරීම විශේෂයෙන් අගය කළ යුතු කරුණක් බව අවධාරණය කෙළේය. එතෙක් වැරදි සේ සැලකුණේ පගා ගැනීම පමණකි. ඊට අමතරව දූෂණය ද වැරදි ගණයට ඇතුළත් කිරීම නිසා සමාජයේ දූෂණ වංචා ඉවත් නොවුවත් අවම වී වඩාත් යහපත් සමාජ තත්වයක් නිර්මාණය වනු ඇතැයි සමගි පෙරමුණ බලයට පත් කිරීමට දර දිය ඇදි බොහෝ දෙනකුගේ අපේක්ෂාව විය. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණක් වන්නේ එම පනත විදේශ මූල්‍ය ආයතනවල ඉල්ලිමක් නොව මේ රටේ ජනතාවගේ ඉල්ලිමක් වීම ය.

දැන් 2023 දී ඒකච්ඡන්දයෙන් සම්මත වූ පනත කලින් පැවති පනතට වඩා සමහර වගන්ති සහ අරුත් ගැන්වීම් වලින් වෙනස් වනු ඇත. එහෙත් ජාත්‍යන්තර මග පෙන්වීම ඇතිව ගෙන එන ලද මෙම පනතින් පැරණි තත්වයට වඩා වෙනස් අලුත් තත්වයක් ඇති විය හැකිද? අල්ලස් හෝ දූෂණ නවත්වා එවැනි වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට හැකියාවක් සහ උවමනාවක් ඇතිවේද? මේවාට කාලය විසින් පිළිතුරු ලබා දෙනු ඇත. එතෙක් අපට සිදු වූ දේ නැවත සිහි ගැන්වීමටත් අනාගතය ගැන සිහින මවන්නටත් හැකිය.

මෙම අලුත් දූෂණ විරෝධී පනත දූෂණ හා වංචාවලින් පිරි අප සමාජ අඹරේ රිදී රේඛාවක් නම් එය ඉක්මණින්ම ඝන කළු වළාකුළෙන් වැසී යන බවට සංඥා දැනටමත් පහළ වී ඇත. ඉන් එකක් වන්නේ මෙම පනත පාර්ලිමේන්තුවේ සාකච්ඡා වන විට ගණපූරණයක් පවත්වා ගැනීමට පැවති අපහසුවයි. පාර්ලිමේන්තු මංත්‍රීන් විශාල සංඛ්‍යාවක් සිට ඇත්තේ සභා ගර්භයෙන් පිටත ය. සීනුව නාද කිරීමෙන් ඔවුන් ගෙන්වා ගැනීමට හැකි වූයේ එමනිසා ය. ඉන් අපට සිතා ගත හැක්කේ ඒකච්ඡන්දයෙන් සම්මත වූ මෙම පනත ගැන දේශපාලන උනන්දුවක් නැතිවීමය. දේශපාලන බලපෑමෙන් තොරව පොලිසියක ස්ථානාධිපති කෙනෙකුවත් පත් නොකෙරෙන අපේ රටේ දේශපාලන උනන්දුවක් සහ කැපවීමක් නැතිව මෙම පනත ක්‍රියාත්මක වේයැයි සිතීම දවල් සිහිනයකි.

දෙවැනිව වැදගත්වන්නේ මෙම පනතට ඉදිරිපත්ව ඇති සංශෝධන සංඛ්‍යාවයි. පනත සම්මත වූ දින රූපවාහිනි නාලිකාවල සන්ධ්‍යා පුවත් විකාශයේ සඳහන් වූ ආකාරයට සංශෝධන සිය ගණනක් එකතු කර ඇත. මෙම පනත මුලින්ම පාර්ලිමේන්තුවට ඉදිරි පත් වූ විට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සලකා බලා සංශෝධන හැට ගණනක් යෝජනා කර තිබිණ. ඊට අමතරව සංශෝධන තිස් හතළිස් ගණනක් තිබී ඇත. කිසියම් පනතකට හෝ මෙතරම් සංශෝධන සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමෙන් අදහස් වන්නේ එය කෙටුම් පත් කිරීමේ දී පැවති නොසැලකිල්ලයි. සංශෝධන හැට ගණනක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යෝජනාවීම ඊට හොඳම නිදසුනකි. පනත් කෙටුම් පත් කරන්නේ නිතිය ගැන ප්‍රවීන දැනුමක් ඇති අය නිසා මෙවැනි වැරදි විශාල සංඛ්‍යාවක් තිබීමෙන් පෙනී යන්නේ නොසැලකිල්ලට වඩා නූවමනාව විය හැකිය. නූවමනාව දේශපාලකයන්ගේ ද නීති කෙටුම්පත් කළ අය ගේද යන්න විමසා බැලීමේ දී අතීත ඉතිහාසයෙන් පෙනි යන්නේ දේශපාලකයන්ට අල්ලස් හෝ දූෂණ වැළැක්වීමටත් එවැනි වැරදිකරුවන් නිතිය ඉදිරියට පමුණුවා දඩුවම් දීමෙටත් උවමනාවක් නැති කමය.

පසුගිය යහපාලන රජය යටතේ මූල්‍ය වංචා ගැන විමර්ශනය කිරීමට වෙනම ඒකකයක් පිහිටු වු විට එවකට විපක්ෂයේ සිටි දැනට පාලන වගකීම භාර ගෙන සිටින දේශපාලන පක්ෂ කෑ මොර ගෑ ආකාරය තවමත් අපට අමතක නැත. අවසානයේ දී එම විශේෂ කාර්ය පවරා තිබු පොලිස් ප්‍රධානියාට ද වංචා චෝදනා එල්ල විය. කරන ලද විමර්ශන කටයුතුවලින් කිසිවෙකු නීතිය හමුවට ඉදිරිපත් කිරීමක් සිදු වූයේ ද නැත. අවසානයේ සිදු වූයේ බෙරේ පලුවක් නැතිවීම පමණි. පාර්ලිමේන්තු සභා ගර්භය තුළ ගණපූරණයක් පවත්වා ගැනීමට වෙහෙසවීමෙන් පෙනී යන්නේ නැවත වරක් බෙරේ පලු යෑම ය.

ඇත්තෙන්ම වංචා, දූෂණ සහ කොමිස් ගැසීම නතර කිරීමට අපට අවශ්‍ය අලුත් පනත් නොව දේශපාලන කැපවිමයි. එම කැපවීම අණ පනත්වලින් පවතින සංස්කෘතික රටාව යටතේ කිසිසේත් අපේක්ෂා කළ නොහැකිය. බලය ලබා ගැනීමට දේශපාලන පක්ෂ කරන අරගලයේ  ආරම්භයේ සිට අවසානය දක්වා ඇත්තේ හෙළි නොකරන, හෙළි නොවන දූෂණ සහ වංචා ය. අපේක්ෂක ලැයිස්තුවක් හෝ වංචා දුෂණවලින් තොරව සකස් කිරීමය හැකියාවක් නැත. ටිපෙක්ස් ගා මකා දමන ලද නම් ඡන්ද කාලයේ අසන්නට ලැබෙන සුලබ ප්‍රවාත්තියකි. එමනිසා ඒකච්ඡන්දයෙන් සම්මත වූ මෙම ආසියාවේ හොඳම පනතට අත් වන්නේ මීට පෙර පැවති අණ පනත්වලට අත් වූ ඉරණම ය.

වංචා, දූෂණ සහ අල්ලස් ගැනීම වැළැක්වීමට වැදගත් වන්නේ අණ පනත් නොව දේශපාලන කැපවීම ය. ඊට හොඳ නිදසුනක් ලංකාවේ දේශපාලකයන් ආදර්ශයට ගන්නේයැයි කියන සිංගප්පූරුවෙන් සොයා ගත හැකිය. නූතන සිංගප්පූරුවේ නිර්මාතා ලි ක්වාන් යූ පාලන සමයේ ඔහුගේ නියෝජ්‍ය ඇමතිවරයෙකු සිය දිවි නසා ගත්තේ අල්ලස් චෝදනාවක් ගැන විමර්ශන ආරම්භ කිරිමටත් පෙර ය. ඒ ඔහු දඩුවමටත් සමාජ අපකීර්තියටත් ලක්වීමේ බිය නිසා ය. ( දැන් සිංගප්පූරුවේ තත්වය ලී ක්වාන් යූ සමයට වඩා වෙනස් වෙමින් පවතින බව ප්‍රවාහන සහ වෙළඳ සබඳතා පිලිබඳ ඇමති ගැන කෙරෙන පරීක්ෂණ වලින් පෙනේ. ඔහු සිය දිවි නසා ගැනීමට පෙළඹී නැත්තේ දඩුවම ගැන ඇති දැනුම නිසා විය හැකිය.)

කෙසේ වුවත් අධිකරණයෙන් දඩුවම් නියම වුවද අඩුම වශයෙන් ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත්වීමේ හෝ ඉවත් කිරීමේ භාවිතයක් අපේ රටේ නැත. ඒ දඩුවම් නියම වුවත් දේශපාලන බලය ඇති තාක් නිවැරදිකරුයැයි සැලකීමේ සමාජ භාවිතාව නිසා විය හැකිය. සමහර විට පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ හොර බඩු ගෙනවිත් අත් අඩංගුවට පත් වුවත් දේශපාලනය අනුව දඩුවම ලිහිල් විය හැකිය. එවැනි මංත්‍රීන් ද මෙම පනතට පක්ෂ වන්නට ඇත.

එහෙත් දියුණු රටවල තත්වය මෙය නොවේ. දියුණු රටවල තත්වය ගැන සඳහන් කිරීමට සිදු වන්නේ රනිල් වික්‍රමසිංහ 2048 දී ලංකාව දියුණු රටකට පත් කිරීමට සූදානම් වන නිසාය.

මෝටර් රථ අනතුරකින් පසු අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ අත්අඩංගුවට ගැනීමට එරෙහි වීම සම්බන්ධයෙන් පොලිසිය චෝදනා කිරීමෙන් පසු නවසීලන්ත අධිකරණ අමාත්‍ය කිරි ඇලන් [Kiri Allan] මහත්මිය ඉල්ලා අස්විය.

මේ සතියේ සඳුදා නවසීලන්තයෙන් ලැබුණු පුවතක් අනුව ඉරිදා රාත්‍රියේ බීමත්ව රිය පැදවීමේ වරදක් නිසා පොලිසිය සමග ඇති වූ සිද්ධියක දී එරට අධිකරණ ඇමතිවරිය ඊට පසුවදාම එනම් සඳුදා තනතුරෙන් ඉල්ලා අස් වූවාය. අපේ රටේ නම් සිදු වන්නේ සඳුදා අදාල පොලිස් නිලධාරියාට වහාම ස්ථාන මාරුවීමක් ලබා දී සමහර විට විනය පරීක්ෂණයකට ලක් කිරීම ය. බිමත්ව රිය පැදවූ දේශපාලකයෙකුගේ පුතෙකුගේ වාහනයේ ගැටී මිය ගිය පොලිස් නිලධාරියාගේ පවුලේ අය වෙනුවෙන් හෝ යුක්තිය ඉටු වූ බවක් දැන ගන්නට නැත. බන්ධනාගාරයකට කබා වැදී සිරකරුවන්ට තර්ජනය කළ ඇමතිවරයා එම තනතුරෙන් ඉවත් කර වෙනත් ඇමති තනතුරක් දීම අපේ නීතියේ භාවිතාවට සෑහේ.

අද අපට අවශ්‍ය වන්නේ අන්තර්ජාතික මූල්‍ය අරමුදල හෝ වෙනත් මූල්‍ය ආයතනයකින් නිර්දේශ කරන නිසා අණ පනත් පැනවීම නොව ආර්ථික (හා පරිසර) විනාශයත් දේශපාලන පරිහානියත් වැළැක්වීමේ සහ වැරදිකරුවන් පිටු දැකීමේ සමාජ භාවිතාවකි. දේශපාලන නායකයන් බලය පවත්වා ගැනීමට චංචා දූෂණ සහ වෙනත් අවභාවිතාවල යෙදෙන්නන් ආරක්ෂා කරන්නේ නම් එවැනි අය ප්‍රතික්ෂේප කොට සමාජ තහංචි පැනවීමට සමාජ සංස්ථාවට ශක්තියක් සහ ධෛර්යක් තිබිය යුතුය. ගාලු මුවදොර අරගලය පැවති සමයේ සමහර ආගමික නායකයන් දේශපාලකයන් සම්බන්ධයෙන් එවැනි තහංචි පැන වුවද අරලය බිඳ වැටීමත් සමග තහංචි ද අකර්මණ්‍ය වූ බවක් පෙනේ. දැන් නැවතත් පඬුරු පාක්කුඩම් රැගෙන ආගමික නායකයන් හමුවීමට යන දේශපාලකයන් රූපවාහිනි තිරයෙන් දැකිය හැකිය.

මෙවැනි පරිසරයක අල්ලස් දූෂණ සහ වංචා නැවැත්වීමේ ප්‍රබල ආයුධයක් වන්නේ ජනමතයයි. ජන මතයේ ප්‍රබලත්වය මත අනෙකුත් සමාජ සංස්ථා ද එය අනුකරණය කරනු ඇත. ඒකච්ඡන්දයෙන් සම්මත කළ යුත්තේ එවැනි සමාජ භාවිතාවකි.                  

Leave a Reply