You are currently viewing එක මිටට ගත් බලය පුස් වෙඩිල්ලක් නොවිමට නම්..

එක මිටට ගත් බලය පුස් වෙඩිල්ලක් නොවිමට නම්..

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ඉවත් කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ අනුමත කළ පියවරකි. විශේෂයෙන්ම ජාතික ජනබල වේගය ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කර පාර්ලිමේන්තුවට වගකියන ආණ්ඩුක්‍රමයක් ගෙන ඒම ප්‍රමුඛ සහ වැදගත්ම කාරණයක් බව සෑම වේදිකාවකින්ම අවධාරණය කෙළේය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර පැවති යහ පාලන ආණ්ඩුව ද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගන්නා බවට පොරොන්දු විය. එහි මූලික පියවරක් වශයෙන් සිවිල් සමාජ සංවිධානවලින් සහ මහජනතාවගෙන් අදහස් සහ යෝජනා ලබා ගැනීමේ වැඩ පිළිවෙළක් ද ඉදිරිපත් කෙරිණ. එහි විශේෂ ලක්ෂණය වූයේ කමිටුවේ සාමාජිකයන් ලෙස සමාජ ක්‍රියාකාරීන්ද ඇතුළත් කර තිබීමය. එවකට දේශපාලන පක්ෂයකට සෘජුවම සම්බන්ධ නොවූ සමාජ ක්‍රියාකාරිණියක් ලෙස ඉදිරියෙන්ම සිටි ආචාර්ය හරිනි අමරසූරිය ද එහි සාමාජිකාවක් වුවාය.

මහත් බලාපොරොත්තු ඇතිව ඇරඹුණ එම ක්‍රියාවලිය උපන් ගෙයෙහිම මිය ගියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක කෙටුම් පතක් සකස් කළ ද එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙළේ හෝ ජනතාවට දැන ගැනීමට සැලසුවේ නැත. ඒ නැවත වරක් යුක්තිය සහ සාධාරණත්වයක් අපේක්ෂාවෙන් සිටි ජනතාව මුළා කිරීමකි. අනතුරුව පැවති ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණවලින් ජයගත් පොහොට්ටු රජයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය වූයේ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අවශ්‍ය දේ කිරීමට පාර්ලිමේන්තුව සහ විධායකය බැඳී සිටි අතර අධිකරණයෙන් සාධාරණය ඉටු වනු ඇතැයි ජනතාව තුළ බලාපොරොත්තුවක් කොහෙත්ම තිබුණේ නැත. 2022 ජන අරගලය ජනතාව තුළ කැකෑරෙමින් පැවති බලාපොරොත්තු කඩවීම කූට ප්‍රාප්තවීමකි. ජනතා විරෝධය හමුවේ සර්ව බලධාරී සන්නද්ධ හමුදා සේනාධිනායක වූ ජනාධිපතිට රජ ගෙදර පස්සා දොරටුවෙන් පැන යෑමට සිදුවිය. 

අන්තර්වාර කාල පරිච්ඡේදයේ අනුප්‍රාප්ත ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ පලා ගිය ගෝඨාභයගේම අවතාරයකි.

බලයට පත්ව මාස හයකට වැඩි කාලයක් ගත වුවද සිස්ටම් චේන්ඡ් එකක් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් කරන බවට ඉඟියක් හෝ නැත. ප්‍රකාශ කර ඇති ආකාරයට ජාතික ජනබලවේගයේ නිල කාලය අවසන් වීමට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරනු ඇත. එහෙත් එය තවත් සිහිනයක් නොවනු ඇතැයි කිව හැක්කේ කාටද?

මින් කියවෙන සත්‍යය ඒකාධිපති බලය නැතිව වැඩ කළ නොහැකිය යන්න නොවේද?

විධායක ජනාධිපතිට ගැහැනියකු පිරිමියෙකු කිරීම හැර වෙනත් ඕනෑම දෙයක් කළ හැකියැයි කීවේ මෙම ආණ්ඩුක්‍රමය සම්පාදනය කිරීමට නායකත්වය දුන් ජේ ආර් ජයවර්ධනය. ඔහුගෙන් අනතුරුව ජනාධිපති තනතුරට පත් සෑම දෙනෙකුම අනුගමනය කෙළේ සියලු බලතල සිය ග්‍රහණයේ පවත්වා ගැනීමේ ප්‍රතිපත්තියයි. සියලු බලය එක මිටට ගැනීම තමා ගේ දේශපාලන සුරක්ෂිත භාවය පවත්වා ගැනීමට හොඳම ක්‍රියා මාර්ගය බව භාවිතාවෙන්ම ඔවුහු දැනගත්හ. ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුණු කූඩයට දමා ජනතාව බලගැන්වීමට බලය ලබා ගත් අනුර කුමාර දිසානායක යන්නේ ද එම පාරේම බව දැන් දැන් පෙනේ. 

සන්ධ්‍යා කාලයේ රූපවාහිනි ප්‍රවෘත්ති නරඹන කෙනෙකුට ජාතික ජනබලවේගයේ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඊට පෙර සිටි ජනාධිපතීන් අතර වෙනසක් දැකිම අපහසු ය. එකම වෙනස වන්නේ පෙර මෙන් නොව දැන් ජනාධිපති නිලධාරීන්ට කියන දේ ඔහුගේම කටහඬින් ඇසීමට අවස්ථාවක් නොලැබීම පමණි. විද්‍යාත්මක ක්‍රමයක් යටතේ අමාත්‍යංශ බෙදා ඇමතිවරුන් පත් කළ ද ඒ සියලු අමාත්‍යංශවල නිලධාරීන්ට අවවාද උපදෙස් ලබා දෙන්නේ ජනාධිපති ය. (අමත්‍යංශ බෙදිම කෙතරම් විද්‍යාත්මක ද යන්න වෙනම සාකච්ඡා කළ යුතුය.) ඒවාට සවන් දෙන උසස් නිලධාරින් ද පෙර පුරුදු ආකාරයට කටුස්සන් සිහි ගන්වමින් හිස සල සලා ජනාධිපතිට සවන් දෙන ආකාරයත් රූපවාහිනි තිරයෙන් දැකිය හැකිය. විශේෂය වන්නේ සමහර නිලධාරින් විස්මයෙන් බලා සිටීම පමණි.

මින් කියවෙන ප්‍රධාන කරුණු දෙකකි. 

අමාත්‍යංශවල පමණක් නොව පළාත් පාලන ආයතනව බලයද එක මිටට ගැනීමේ ප්‍රබල උත්සාහයක් ඇත.

වැඩ කිරීමට සියලු බලය එක මිටට ගැනීම 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මෙතෙක් බලයේ සිටි සෑම නායකයෙකුම අනුගමනය කළ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ගයයි. සමහර නීති රීති පැනවීමට පවතින ක්‍රමය යටතේ ඉඩක් නොමැතිනම් ක්‍රමය වෙනස් කිරීමට ඔවුන් පසුබට වූයේ නැත. හිටපු අග්‍රවිනිහ්චයකාර ෂිරාණි බණ්ඩාරනායක දෝෂාභියෝගයකින් ගෙදර යැවු ආකාරය අමතක වීමට තරම් කලක් ගත වූයේ නැත. ඒ සියල්ලේ අවසාන ප්‍රතිඵලය රට බංකොළොත් වීම ය.

ජනවරමින් එක මිටට බලය ලබා ගත් සියලු නායකයන් ගියේ එකම මාර්ගයේය. ජනාධිපති අනුර කුමාර දිසානායක ඔවුන්ගෙන් වෙනස් වනු ඇතැයි බලාපොරොත්තු තබා ගැනිම හොඳ වුවද යහපත් දෙයක් නොවේ. ඒ වැරැද්ද ඇත්තේ බලය ඒකරාශි කර ගැනිම තුළය. එමනිසා නිවැරදි පාලන ක්‍රමයක් සඳහා පිවිසුම වන්නේ බලය විමධ්‍ය ගත කිරීමයි. විමධ්‍යගත කිරීම තුළින් අදාල පාර්ශ්වයන්ට තීරණ ගැනීමේ ක්‍රියාවලියට සෘජුවම සහභාගි විය හැකිය. ඉන් අදහස් වන්නේ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට සීමා නොකොට පාලනයට සහභාගි කරවා ගැනීමය. එම ක්‍රියා මාර්ගය එක පෑන් පහරින් තීරණ ගැනිම මෙන් කඩිනම්, ක්ෂණික නොවනු ඇත. එහෙත් එය ජනතාවගේ සාමුහික තීරණයකි.

නිදසුනක් වශයෙන් ඉන්දියාව සමග ගිවිසුම් හෝ අවබෝධතා ඇති කර ගැනීමේ දී ජනතාව සමග සංවාදයක් පවත්වා ගත යුතුය. ඒ අන් කිසිවක් නිසා නොව එවැනි ගිවිසුම්වල ප්‍රතිඵලය දැරිය යුත්තේ ජනතාව නිසාය. පසුගිය ආණ්ඩුකාලයේ විවිධ කොන්දේසි යටතේ ගත් ණය ගෙවිය යුත්තේ ජනතාවයි. ණය ගෙවා ගැනිමට නොහැකිව රට බංකොළොත් වූ විට පීඩාවට පත් වූයේ පාලන බලයේ සිටි අය නොව ජනාතවයි. ඖෂධ වෙනුවට වතුර ආනයනය කළ විට වැය වූයේ භාණ්ඩාගාරයේ ඇති මහජන මුදල් ය.

ඉතාම සරලව අප තේරුම් ගත යුතු කරුණක් වන්නේ  බලය එක මිටට ගත් විට ජනතාව නිරායුධ වන බවය. නිරායුධ කළ ජනතාවට බලධරයින්ගේ අනුකම්පාව මත අස්වැසුමක් ලබා ගැනීම හැර වෙනත් ක්‍රියා මාර්ග නැත.

ජනතාවාදී පාලනයක් ඇති කිරීමේ මුල් පියවර වන්නේ ජනතාව පාලනයට සම්බන්ධ කර ගැනීමට සුදුසු ව්‍යුහයන් ඇති කිරීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුත්තේ ඒ සඳහාය. බලය එක මිටට ගැනීම පාලකයන්ගේත් ජනතාවගේත් සුබ සිද්ධිය සඳහා නොවන බවට ඉතිහාසයේ අපමණ නිදසුන් ඇත.

Leave a Reply