You are currently viewing උදා වූයේ සුභ වසරක් ද? තවත් වසරක් ද?

උදා වූයේ සුභ වසරක් ද? තවත් වසරක් ද?

වසරක් අවසානයේ සාමාන්‍ය සිරිත වන්නේ නව වසරක් නැතිනම් ඊට සුභ යන්න විශේෂණ පදය ද එකතු කර සුභ නව වසරක් පැතීම ය. එවැනි පැතුමකින් විශේෂ දෙයක් අපේක්ෂා නොකළත් එය අනාගතය ගැන ඇති බලාපොරොත්තුව මෙන්ම විශ්වාසය පළ කරන්නකි. එහෙත් උදා වු 2022 වසර ගැන එවැනි කුමන හෝ බලාපොරොත්තුවක් ඇති කර ගැනීම මුළාවක් බව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ. නිදහසින් පසු ක්‍රමයෙන් වූ ආර්ථික සහ දේශපාලන කඩා වැටීම අද ප්‍රමාණාත්මක වෙනස්වීම ඉක්මවා ගුණාත්මක වෙනසක් දක්වා ශීඝ්‍රයෙන් ගමන් කරමින් ඇත. රූපවාහිනි කැමරා ඉදිරියේ ගොවීන් කම්කරුවන්, ගෘහණියන් නගන ශෝකාලාප කුස ගින්නෙන් සහ අසහනයෙන් දැවෙන ගැහැණුන්ගේ සහ මිනිසුන්ගේ විලාපයකි. ඒ කැමරා ඉදිරියේ කරන රඟපෑමකට වඩා වේගයෙන් විනාශය කරා ඇදි යන මිනිසුන්ගේ මර ළතෝනියකි.

ඛේදය වන්නේ මෙම ශෝකාලාපය දේශපාලන නායකයන්ගේ සවන්වලට නෑසීම ය. නැතිනම් නොඇසුවන්ව සිටීම ය. පසුගිය දශක හතකට අධික කාලයක් තිස්සේ කරන ලද ආකාරයට තවදුරටත් ජනතාව මුළා කළ හැකිය යන අන්ධ විශ්වාසය ප්‍රකාශ කිරීමකි. බොරුව දිගින් දිගටම උස් හඬින් කීමෙන් සත්‍යය සදහටම වසන් කළ හැකිය යන විශ්වාසය යි. එහෙත් සෑම දෙයක් මෙන් බොරුවෙන් මුළා කිරීම ද අවසන් වෙමින් පවතින බව මෙම අඳ බාල දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් දන්නේ නැත.

පළමුවෙන්ම, රටේ පාලනය භාර ගෙන සිටින සහ ඉදිරියේ දි පාලනය භාර ගැනීමට දත් කමින් සිටින දේශපාලකයන් තේරුම ගත යුතු වන්නේ වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු සුන් කර ගත් ජනතාවට දැන් බොරුව විනිවිද දැකීමට හැකියාව උදා වී ඇත යන්නයි. ජනතාව එම අවබෝධය ලබා ගෙන ඇත්තේ පරම්පරා ගණනාවක් තිස්සේ ලැබූ අත්දැකීමෙනි. යහ පාලනය, සංවර්ධනය සහ සෞභාග්‍යය පොරොන්දු වෙමින් බලය ලබා ගන්නා පාලකයන් නිමේෂයකින් ඒ සියල්ල අමතක කොට ජාතික සම්පත් නිර්ලජ්ජී ව කොල්ලකෑම සිය ජීවන වෘත්තිය බවට පත් කර ගෙන ඇති බව ජනතාවගෙන් වසන් කළ නොහැකිය. මුළු ජීවිත කාලයේ දීම දේශපාලනය හැර වෙනත් කිසිම වෘත්තියක් කිරීමට සුදුසුකමක් හෝ අවස්ථාවක් නොතිබු නිකමුන් වසර කීපයක් ඇතුළත මහා ධන කුවේරයන් බවට පත්ව ඇති බව රටේ පවතින නීතියට වසන් කළ හැකි නමුත් ජනතාවට වසන් කළ නොහැකිය.

රට මුහුණ පා ඇති ආර්ථික අර්බුදයෙන් ගලවා ගැනීමට මාස හයක වැඩ සටහනක් ඉදිරිපත් කළ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ( ඔහු මහ බැංකුවේ අධිපති තනතුරට පත් වූයේ වෘත්තීය ප‍්‍රවීනතාවය අනුව නොව දේශපාලන ගැති භාවය නිසා ය.) 2021 වසර අවසන් වන විට ලංකාවේ විදෙස් සම්පත් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.1 දක්වා වැඩි කරන බව පැවසුවේය. මෙම කියමන ආර්ථිකය ගැන දැනුමක් ඇති කිසිවෙකු විශ්වාස කෙළේ නැත. එය සාක්ෂාත් කර ගත නොහැකි ඉලක්කයක් නොවන නමුත් වැඩ පිළිවෙළක් හෝ සැලැස්මක් නැති මෙම ආණ්ඩුවට එය කිසිසේත් ළඟා කර ගත නොහැකි බව පැහැදිලි සත්‍යයකි. එහෙත් වසර ඉක්මීමට දින කීපයකට පෙර සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබූ ඔහු විදෙස් සම්පත් රැස් කර ගැනීමේ ඉලක්කය සපුරා ගත් බව හෙළි කෙළේය. වඩාත් ගැඹුරින් කරුණු විමසා බැලීමේ දී හෙළි වූයේ එය තවත් ඇස්බැන්දුමක් බව ය.

මෙම විදෙස් මුදල් ප්‍රමාණය ගණන් බලා ඇත්තේ ආනයන අපනයන ආදායමෙන් උපයා ගැනීමක් හෝ වෙනත් සම්ප්‍රේෂණයක් මගින් නොව ගෙවීමට ඇති ණය ආපසු ගෙවන කාලය දීර්ඝ කර ගැනීමෙනි. එනම් විදෙස් විනිමය හරහා ගෙවිය යුතු ණය දේශීය මුදල්වලින් ගෙවා එකඟ වූ කාලයක් ඇතුළත පොලි මුදලක් සහිතව විදෙස් විනිමයෙන් ගෙවා ඇපයට තැබු රුපියල් ආපසු ලබා ගැනීමේ  එකඟතාවයකි. Currency Swap යනුවෙන් ඉංග්‍රීසියෙන් හඳුන්වන මෙම ගනුදෙනුව ඇත්තෙන්ම ණය කල් දැමීමේ ක්‍රියා මාර්ගයක් විනා රටේ සම්පත්වල වර්ධනයක් නොවේ. වඩාත් සරලව බංකොලොත් භාවයේ අවමානයෙන් ගැලවී සිටීමේ විජ්ජාවකි.

මේ අනුව ඉන්දියාව චීනය යන රටවලින් මෙන්ම දුප්පත් බංග්ලාදේශයෙන් ලබා ගත් ණය සහනය අපේ රටේ මහ බැංකුවේ අධිපතිවරයා පවසන්නේ විදෙස් සංචිතවල ඉහළ යෑමක් සේය. මෙම පුද්ගලයා මීට පෙර මහ බැංකුවේ අධිපතිව සිටිය දී රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රතිරූපය නගා සිටුවීමට මහ බැංකුවේ නීති රීතිවලට පටහැනිව එක්සත් ජනපදයේ ඉමාඩ් ෂා සුබේර් නම් කූට ව්‍යාපාරිකයෙකුට ගෙවීමට එකඟ වූ ඩොලර් දශ ලක්ෂ 8.5කින් අත්තිකාරමක් වශයෙන් ඩොලර් දශ ලක්ෂ 6.5ක් ගෙව්වේය. මෙම ගනුදෙනුව ගැන විමර්ශනය කළ එක්සත් ජනපද අධිකරණ ආයතනයකින් එම පුද්ගලයාට එරෙහිව නඩු පැවරීම නිසා ඔහුට දඩ මුදලක් නියම කොට වසර 12ක සිර දඬුවමක් ද නියම කෙරිණ. මෙම අයථා මුදල් ගනුදෙනුව ගැන ශ‍්‍රී ලංකාණ්ඩුවෙන් කිසිම විමර්ශනයක් මෙතෙක් සිදු කර නැත. ‘දඬුවම’ වූයේ ඔහුට මෙතෙක් මහ බැංකුවේ අධිපතිවරයෙකුට හිමි නොවු ආකාරයට විශ්‍රාම වැටුපක් ලබා දීම ය. එක්සත් ජනපදය වැනි රටක නම් සිර ගෙදර සිටිය යුතු මෙවැනි පුද්ගලයන් නැවත වරක් මහ බැංකුවේ අධිපති තනතුරට පත් කොට කැබිනට් ඇමතිවරයෙකුට සමාන වරප්‍රසාද ලබා දීමෙන් පාලකයන් අදහස් කරන්නේ ජනතාව මුළා කිරීම නොවේ ද?

මෙම පාලක පංතිය රටේ ජනතාව තඹ දොයිතුවක් තරමට ගණන් නොගන්නා බවට තවත් නිදසුනක් දැක් විය හැකිය. පසුගිය වසරේ දිනක හදිසියේ නින්දෙන් අවදි වූවාක් මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම කාබනික පොහොරවලට සීමා කිරීමට රසායනික පොහොර ආනයනය තහනම් කෙළේය. ජනාධිපතිවරණයේ දී ගොවින්ට රසායනික පොහොර නොමිලයේ ලබා දීමේ පොරොන්දුව අමතක කළ මොහු රසායනික පොහොර භාවිතයෙන් වකුගඩු රෝග ඇතිවන නිසා මෙවැනි පියවරක අවශ්‍යතාවය හුවා දැක් වූයේය. ජනාධිපතිවරණ සමයේ දී නොමිලයේ දෙන රසායනික පොහොර භාවිතයෙන් වකුගඩු රෝග ඇතිවන බව නොදැන සිටි මෙම පුද්ගලයා ට හදිසියේ ම බුද්ධිය පහළ වූයේ කෙසේද යන්න කිසිවෙකු ප‍්‍රශ්න කෙළේ නැත.

කෘෂිකර්මය යනු අද විද්‍යාත්මක දැනුම පදනම් විෂයක් බව නොදත් මෙම පුද්ගලයාට විරෝධය එල්ල වූයේ ගොවිතැනින් පණ නළ ගැට ගසා ගන්නා ගොවීන්ගෙනි. ගහෙන් ගෙඩි එන්නාක් මෙන් රසායනික පොහොර භාවිතය අතහැර කාබනික කෘෂිකර්මයට මාරු විය නොහැකි බව දත් ගොවි ජනතාව සහ ක්ෂේත‍්‍රයේ වියතුන් නැගූ හඬ පාලකයන්ට ඇසුණේ නැත. අවසානයේ දී කුඹුර අතහැර මහ මගට බැස  ගොවීන් කළ උද්ඝෝෂණය සුනාමියක් බවට පත්වීමට පෙර රසායනික පොහොර තහනම ඉවත් කිරීමට පාලකයන්ට සිදු විය.

ප්‍රශ්නය වන්නේ මෙම අර්බුදයෙන් පාලකයන් කිසිත් ඉගෙන නොගෙන තමන්ගේ අඳ බාල ක්‍රියාව දිගින් දිගටම යුක්ති සහගත කිරීමට ගත් උත්සාහයයි. පසුගියදා පුවත් පත් හිමියන් සහ කතුවරුන් ඇමතූ ජනාධිපති රාජපක්ෂ මහතා කාබනික පොහොර භාවිතය පිලිබඳව තමන් ගත් තීරණයට ඇමතිවරුන්ගේ සහාය නොලද නිසා අත්හැර දැමීමට සිදු වූයේයැයි දුක් වූයේය. ඉන් කියවෙන්නේ ගොවීන් සහ කෘෂිකාර්මික විද්වතුන් පෙන්වා දුන් කිසිත් ඔහු පිළිනොගන්නා බව ය. ලෝකයේ කිසිම රටක් සම්පූර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයට යොමුව නොමැති බවත් වැඩි දියුණු කරන ලද බීජ වර්ගවලින් ඉහළ අස්වැන්නක් ලැබීමට නම් අනිවාර්යෙන්ම රසායනික පොහොර භාවිතය කළ යුතු බවත් ඔවුන් හේතු සාධක සහිතව පෙන්වා දුන් නමුත් ‘‘මයි මතයේ’ එල්බ සිටින දේශපාලන නායකත්වය එය පිළිගත්තේ නැත. අස්වැන්න අඩුවීමට හිලවු වශයෙන් ගොවීන්ට වන්දි ලබා දෙන බව ගෝල බාලයෝ පුන පුනා කිහ. මුදල් නොට්ටුවලින් බඩ ගින්න නොනිමෙන බව ඔවුන්ට වැටහෙන්නේ නැත. නැතිනම් මුදල් නෝට්ටු කීපයකින් ජනතාව තවත් වරක් රැවටිය හැකියැයි සිතූහ. 

පසුගිය කාල සීමාවේ, වඩාත් නිශ්චිතව ගෙවී ගිය වසරේ ගුරුවරුන්, ගොවීන් මෙන්ම පාරිභෝගික ජනතාව වීදි බැස කළ උද්ඝෝෂණවලින් කියවෙන වැදගත්ම පාඩම වන්නේ අරමුණට ඇති කැපවීමත් සංවිධාන ශක්තියත් කැටි කර ගත් ජනතා ව්‍යාපාරයටකට කෙතරම් හෝ දර දඬු පාලකයෙකු දණ ගැස්විය හැකිය යන්නයි. පොදු, සාධාරණ අරමුණක් පැවතිම සහ මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ශක්තියක් ගොඩ නගා ගැනීම පහසු කටයුත්තක් නොවේ. එය කැපවීමෙන් සහ පරිත්‍යාගයෙන් කළ යුතුය. පැහැදිලිවම දේශපාලන බලය අත් කර ගැනීමට කරන උත්සාහයකින් වෙනස් විය යුතුය.

දේශපාලන බලය සඳහා අරගල කොට එය ලබා ගත් පසුව පවතින පාලන තන්ත‍්‍රයේ ගතිකත්වයෙන් මිදීමට නව පාලකයන් සමත් වූ අවස්ථා විරල ය. ජනතා අපේක්ෂා පදනම් කර ගෙන දේශපාලන බලය දිනා ගත් අය වැඩි කලක් යෑමට පෙර පවතින ක‍්‍රමයට අනුගතව එය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම ඉතිහාසයේ ගමන් මගයි. සුවිශාල ජන වරමකින් බලයට පත් මියන්මාරයේ අවුන්ග් සාන් සුකිට පවා ස්ථාපිතව තිබු හමුදාවට නතු පාලන තන්ත‍්‍රය සහ අධිකරණය මෙල්ල කිරීමට නොහැකි විය.

පාලන බලය කවරෙකු සතුව තිබුණ ද පාලකයාට අභියෝග කිරීමට ජනතා ශක්තිය පෙළ ගැස්වීම අසීරු කාර්යක් වුවත් ඊට විකල්පයක් නැත. එවැනි ආදර්ශ නොමැති වුවද නව ලිබරල්වාදය ලෝකයම ගිල ගෙන ඇති සමයක ජනතාවට තම  ඕනෑ එපාකම් අනුව ආණ්ඩුවක් මෙහෙයවිය හැක්කේ එවැනි ක‍්‍රමයකින් පමණය.

එමනිසා රාජපක්ෂ පාලනයත් ඉදිරියේ ඇතිවිය හැකි වෙනත්  ඕනෑම පාලනයකුත් ජනතා අපේක්ෂාව අනුව හැසිරවීමට නම් ජනතාව සැබෑවටම බලගැන්වීමේ වැඩ පිලිවෙලකට මුල පිරීම යුගයේ අවශ්‍යතාවයයි. 

Leave a Reply