You are currently viewing ඇන්.ඇම්.සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය සමරයි..

ඇන්.ඇම්.සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය සමරයි..

මෙරට වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සහෝදරයාගේ 118 වෙනි ජන්ම දිනය පසුගිය 06 වෙනි දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී සමරනු ලැබුවේය.’සමාජවාදී අධ්‍යාපන කවය’විසින් සංවිධානය කරනු ලැබූ මෙම සැමරුම් සභාවේ මෙහෙයුම් කටයුතු නීතිවේදී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහෝදරයා විසින් සිදුකරන ලදි.

මෙහි ප්‍රධාන දේශකයෝ වශයෙන් මහාචාර්යජයදේවඋයන්ගොඩ,පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් හා නීතිඥ සාලිය පීරිස් සහභාගි වූහ.මෙම සැමරුම සඳහා මෙරට වාමාංශික ව්‍යාපාරයේ ප්‍රමුඛ ක්‍රියාධරයන් හා අරගලයේ ක්‍රියාකාරීන්ද සහභාගීවීම විශේෂත්වයකි.වත්මන් දේශපාලන සන්දර්භයේ පවත්නා ප්‍රජාතන්ත්රීය විරෝධී ස්වරූපය හා නීතිමය පසුතලය සමාජ ක්‍රියාකාරිත්වයෙන් පසුපසට ඇද දැමීම පිළිබඳ විශේෂ කථිකාවක් ලෙස මෙම සැමරුම හැඳින්විය හැක.

විවිධ ප්‍රතිසංස්කරණ මත ඇතිකරගත් දේශපාලන එකඟතාවයන් නිසා බලාපොරොත්තුවූ අරමුණු කරා ළඟාවීමට නොහැකි වුවද,ප්‍රජාතන්ත්රවාදය හකුලාදැමීමට එරෙහිව ඇන්. ඇම් සහෝදරයා නැගී සිටි බව මහාචාර්ය ජයදේව උයන්ගොඩ ස්වකීය අදහස් දැක්වීමේදී කියා සිටියේය.එවැනි අවස්ථා ගණනාවකදීම පාර්ලිමේන්තුවේදීත් ඉන් බැහැරවත් ඇන්.ඇම්.සහෝදරයා ක්‍රියාකළ අන්දම මෙරට දේශපාලන ඉතිහාසයේ පැහැදිලිවම සනිටුහන් වී ඇතැයි ඔහු සඳහන් කළේය.විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධව ඇන්.ඇම්.සහෝදරයාගේ පැවති බරපතල විවේචනයන් මගින් මෙය මැනවින් ප්‍රකාශවී ඇතැයි ඔහු පෙන්වා දුනි.

නීතිඥ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා කියා සිටියේ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා හා ඔහු විසින් ගොඩනැගූ දේශපාලනය ලාංකීය සමාජයේ සෑම පැතිකඩක්ම නියෝජනය කළ නමුත් පසුකාලීනව විවිධ මානයන් ඔස්සේ එම ස්වරූපය බිඳවැටීම බලවත් පරාජයන් මතුකළ බවයි.’ භාෂා දෙකක් එක රටක්,එක භාෂාවක් රටවල් දෙකක්’යනුවෙන් කළ සඳහන 1972 නව ව්‍යවස්ථාවක් ගෙන ඒමේදී බිඳ වැටුණු බවත්,එය මෙරට සුලු ජාතීන්ගේ බලාපොරොත්තු සුන්කිරීමට හේතුවූ බවත් ඔහු පෙන්වා දුනි.ඒ හරහා සමස්ත ලාංකීය ජන සමාජයම මහත් ව්‍යසනකාරිත්වයකට ඇද වැටී ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී නීතිඥ සාලිය පීරිස් අදහස් දක්වමින් පෙන්වා දුන්නේ,අදවන විට නීතියේ බලය අකර්මණ්‍ය කරමින් පාලකයින් ස්වකීය පාලනය ඉදිරියට ගෙන යාමට ප්‍රයත්න දරණ ආකාරයයි.මේ යටතේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය බිඳවැටී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.අදවන විට ප්‍රජාතන්ත්රීය අයිතිය ලෙස අර්ථ දක්වන්නේ පාලකයින්ගේ වරප්‍රසාද මිස ජනතාවගේ අයිතිය නොවේය යන්න ඔහු වැඩිදුරටත් කියා සිටියේය.මෑත කාලයේදී පාලකයින්ගේ බලපෑම් මත නීතිය මගහැර යාමේ අවස්ථා කීපයක්ම ඇතිවූ බව ඔහුගේ අදහස් දැක්වීමේදී පෙන්වා දුනි.

ඇත්ත වශයෙන්ම මෙම ජන හමුව ආචාර්ය ඇන්.ඇම්.සහෝදරයාගේ ගුණ වැනීමකට පමණක් සීමා නොවීම අතිශයින්ම වැදගත්ය.අද පවත්නා දුර්දාන්තවාදයත් ඊට එරෙහිව ජනතාවගේ ප්‍රජාතන්ත්රීය අයිතිය ඉදිරියට ගැනීමත්,නීතියේ ස්වාධීනත්වය ස්ථාපිත කීරීමත් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් මෙහිදී සිදු කෙරුණි.මේ කාර්යය සාධනයේදී විශාල භාරදූර වගකීමක් මෙරට වාමාංශික ව්‍යාපාරයට පැවරී ඇතැයි යන්න මෙම කථිකාවෙන් මතුවිය.

Leave a Reply