ලංකාව බංකොලොත් වී හමාර ය. ගත් ණය ගෙවා ගන්නට බැරිය. ණය දුන් අය දැන් එක්සත් ජනපදයේ අධිකරණයක නඩු පවරා ඇත. එම නඩුවලට උත්තර බැඳීමට කොහෙන් හරි ඩොලර් උපයා ගත යුතුය. ඖෂධ නැතිව රෝහල් වැසී ගොසිනි. ඉන්ධන නැති නිසා හදිසි අසනීපයකට හෝ රෝහලට යෑමට නොහැකි ව නිවසෙදීම මරණ මංචකයට පත් වන සංඛ්‍යාව දිනෙන් ඉහළ යයි. ඉන්ධන සැපයුම පවත්වා ගත නොහැකි රජය, නිකුත් කළ ටෝකනය ළඟ තබා ගෙන සති දෙකකට ඉන්ධන පිරවුම් හල්වලට නොයන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී. ගෑස් ලබා දීමේ වගකීමෙන් රජය ඉවත් වූවා සේය. ජනතාවගේ පිළිතුර වන්නේ පිරවුම් හල් අසළ පාර දිගට ගෑස් සිලින්ඩර තබා දම්වැලකින් ගැට ගසා තැබීමය.
විධායක බලතල සම්පුර්ණයෙන් ම අත්පත් කර ගත් ජනාධිපතියෙකු, ඔහු පත් කර ගත් අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් හා ඒ තනතුරුවලට හිමි සියලු වරප්‍රසාද භුක්ති විඳින ඇමති මණ්ඩලයකුත් ඇති නමුත් රටම අරාජික වූවා සේය. නීතිය ඇත්තේ පොත්වල පමණි. ආණ්ඩුවෙන් සැබැවින් ම ක්‍රියාත්මක කරන්නේ කැලෑ නීතිය පමණි. එමනිසා කප්පම්කාරයන්ට ඇමතිකම් දැරීමේ බාධාවක් නැත. පොතේ නීතියේ කුමක් සඳහන් වුවත් කප්පම් ගැනීමත් වෙනත් මැරකම්වල යෙදීමත් පාලකයාගේ නීතිය අනුව වරදක් නොවේ. මැරවරයන්ගේ ආරක්ෂාව නියෝජ්‍ය පොලිස්පතීන් පත් කර ඇත.
මේ සියලු තත්වයන් තුළ පාලකයන් පවසන්නේ රටේ ආර්ථිකය කඩා වැටී ඇති නිසා කලක් යන තෙක් සියල්ල විඳ දරා යුතුය යනුවෙනි. රටට මොන හෙණ ගෙඩිය ගැසුවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට 2024 වන තෙක් රට පාලනය කිරීමට හැටනම ලක්ෂයක වරමක් ලැබී ඇතැයි කියයි. පසුගිය පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ජනතාව ප්‍රතික්ෂේප කළ ජාතික යැයි කියා ගන්නා ලැයිස්තුවකින් පාර්ලිමේන්තුවට රිංගා ගත් රනිල් වික‍්‍රමසිංහ 2025 වන තෙක් එම අගමැති තනතුර දැරීමට සූදානම් ය. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමට එතෙක් නොහැකිවනු ඇතැයි ඔහු අනාවැකි පළ කර ඇත.
මේ සියල්ලෙන් කියවෙන්නේ රටේ පවතින අති මහත් බියංකර තත්වයයි. ඇත්තෙන්ම කිරි පිටි නැතිව හඬන ළමයින්, කහට කෝප්පයක් නැති නම් වතුර කොප්පයක් බී හාමතේ ? නින්දට වැටෙන සංඛ්‍යාව අපමණය. දරුවාගේ කුස ගින්න නිවීමට නොහැකි අම්මලා දරුවා ගඟට විසි කොට තමාත් ගඟට පැනීමට උත්සාහ කළ අවස්ථා වාර්තාවී තිබිණ. ඒ කාසියේ එක පැත්තක් පමණි. රටේ අතිමහත් බහුතරය එවැනි දුක්ඛිත ජීවිතයක් ගත කළත් රටේ සම්පත්වලින් සියයට අනූවක් හිමි කර ගත් ජන සංඛ්‍යාවෙන් සියයට එකකටත් වඩා අඩු පිරිසගේ තත්වය කුමක් ද?
මේ පිළිබඳව අදහසක් ඇති කර ගැනීමට කොළඹ කොටස් විනිමය වෙළඳ පොළ ලේඛන ගත කර ඇති ප්‍රධාන සමාගම් කීපයක ප්‍රකාශිත වාර්තා විමසීම ප‍්‍රයෝජනවත් ය.
පසු ගිය වසරේත් මෙම වසරේ මේ දක්වාත් අපේ රටේ ආහාර පාන ක්ෂේත්‍රයේ දරුණු අර්බුදයක් පැවති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. ඉහතින් සඳහන් කළ ආකාරයට කහට කෝප්පයක් හෝ නැතිව වතුර කෝප්පයකින් කුස ගින්න නිවා ගන්නා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මේ රටේ සිටිති. එහෙත් පසුගිය මුදල් වසර තුළ අපේ රටේ ආහාර පාන සහ දුම්කොළ ක්ෂේත්‍රයේ සමාගම්වල ආදායම් වර්ධනය සියයට 303 කි. සාමාන්‍ය ජනතාවට දෛනික රැකියාවට යා නොහැකි තත්වයක් පැවති නමුත් ප්‍රවාහන අංශයේ වර්ධනය සියයට 682 කි. සාමාන්‍ය ජනතාවට පාන් පෙත්තක් කෑමට නොහැකි තත්වයක් උදා වුවද පාරිභෝගික සේවා අංශයේ වර්ධනය සියයට 173.6 කි. ඒ මහා ව්‍යාපාරික ලෝකයේ සමස්ත චිත‍්‍රයයි. විනිමය වෙළඳ පොළ ලේඛන ගත සමාගම්වල වාර්ෂික වාර්තා විමසීමෙන් චිත්‍රය වඩාත් නිරවුල් කර ගත හැකිය. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව ආයෝජන ඇමතිකමක් ලබා ගත් ධම්මික පෙරේරා ගේ පරිපාලන සමාගමට අයත් හේලීස් සමාගමේ පසුගිය වසරේ පිරි වැටුම රුපියල් බිලියන 28.1 කි. එය එම සමාගම පැවති වසර 144 ක ඉතිහාසයේ වාර්තා වූ ඉහළම අගය යි.
ඊට අමතරව කල් බදු මූල්‍ය අංශයේ ප්‍රමුඛයෙකු වන LOLC සමාගමේ පසුගිය වසරේ ලාභය ඊට පෙර වසර හා සසඳන විට රුපියල් බිලියන 39.3කින් එනම් සියයට 443.8කින් ඉහළ ගොස් ඇත. මින් වැඩිම ප්‍රමාණයක් උපයා ඇත්තේ ලංකාවෙන් පිටස්තරව කරන ලද ගනුදෙනුවලිනි. ව්‍යාපාරික ක්ෂේත්‍රයට සාපේක්ෂකව අලුතින් පිවිසි සමාගමක් වන සොෆ්ට්ලොජික් සමාගම ද පසුගිය වසර තුළ ඉහළ මට්ටමේ සාර්ථකත්වයක් අත් කර ගෙන ඇත. එහි ආදායම රු. බිලියන 111.2 කින් එනම් සියයට 35කින් ඉහළ ගොස් ඇති බව වාර්තා කරයි.
පසුගිය වසරේ රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ පෙර නොවු ආකාරයේ කඩා වැටීමක් දක්නට ලැබිණ. මෙම කඩා වැටීම කෙතරම් බරපතළ වූයේ ද යත් ගෝඨාභය රාජපක්ෂ බලයට පත් කිරීමට දර දිය ඇදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පවා රෝහල්වල පවතින තත්වය ගැන ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමට සිදු විය. රාජ්‍ය සෞඛ්‍ය සේවාව අඩාල වුවත් රෝගීන්ගෙන් මුදල් අය කර පවත්වා ගන්නා 140ක් පමණ වන පෞද්ගලික රෝහල්වල ව්‍යාපාරික කටයුතුවල කැපී පෙනෙන වර්ධනයක් දැකිය හැකිය. පෞද්ගලික රෝහල් අතර ප්‍රමුඛයා වශයෙන් හැඳින්වෙන ලංකා හොස්පිටල් සමාගමේ වාර්ෂික පිරිවැටුම පසු ගිය වසරේ පළමු කාර්තුව තුළ රුපියල් බිලියන 2.8කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
සුළු සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරිකයන්ට තම කර්මාන්ත හෝ ව්‍යාපාර පවත්වා ගත නොහැකිතත්වයක් උදා වුවද මහා සමාගම් ලාභ උපයා ගත්තේ ඒ ආකාරයෙනි.
මහා සමාගම්වලට පෙර නොවු විරු ආදායම් උපයා ගැනීමටත් සාමාන්‍ය ජනතාවට දිවි ගැට ගසා ගැනීමටත් නොහැකි වූයේ ආර්ථිකයේ පැවති විලෝපනය නිසා ය. පාලනයකින් සහ සැලසුමකින් තොර වූ ආර්ථිකයේ උද්ධමන අනුපාතය මෙතෙක් ඉතිහාසයේ නොවු ආකාරයට සියයට 45.3කින් ඉහළ ගිය බව වාර්තා විය. ආහාර පාන මිල උද්ධමනය සියයට 58 කි. එය ලංකාවේ පමණක් නොව ලෝකයේ ද වාර්තාවකි. ආහාර පාන මිල අසීමිත ලෙස ඉහළ යෑමෙන් සමාජයේ දුප්පත්ම ජන කොටස්වලට පමණක් නොව මධ්‍යම පංතියට ද දැඩි බලපෑමක් ඇති කෙරිණ. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සකස් කරන ලද වාර්තාවක් අනුව ලංකාවේ මුළු ජන සංඛ්‍යාවෙන් සියයට 22කට ආහාර සහනාධාර ලබා දිය යුතු තත්වයක පසුවේ. එම වාර්තාවේ ම සඳහන් වන ආකාරයට ලංකාවේ පවුල්වලින් සියයට 86ක් මිල උද්ධමනය නිසා කෑමට ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර ඇත.
මෙම ආහාර හිඟය වඩාත්ම බලපාන්නේ ජාතියේ අනාගතය වන ළදරුවන්ට ය. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කරන ආකාරයට වයස අවුරුදු පහට වඩා අඩු ළමයින් 56,000ත් උග‍්‍ර මන්දපෝෂණයෙන් පෙළේ. එමෙන්ම බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂක පවසන ආකාරයට දිනකට එහි පැමිණෙන රෝගී ළමයින්ගෙන් සියයට 20ක් මන්දපෝෂණයෙන් පෙළෙති. දකුණු ආසියානු කලාපය හා සසඳන විට ලංකාව වයස අවුරුදු පහට වඩා ළමයින් අතර උග‍්‍ර මන්ද පෝෂණය අනුව දෙවැනි තැනට පත් වේ.
මේ සියලූ සංඛ්‍යා ලේඛනවලින් කියවෙන සරල කාරණය වන්නේ ලංකාවේ එක අන්තයක ඉතා සුළු පිරිසක් ආර්ථිකයේ ඵල ප්‍රයෝජන උපරිම ආකාරයෙන් භුක්ති විඳින අතර සියයට 90කටත් වඩා වැඩි බහුතරය දිනෙන් දිනම දරිද්‍රතාවේ පත්ළටම කිඳා බැසීම ය. කොරෝනා වසංගතය ඊට දායක වුවද මෙම තත්වයට එකම හේතුව එය නොවේ.
ඉන්ධන, ගෑස්, ඖෂධ සහ ආහාර පාන හිඟය බලපාන්නේ සමාජයේ පහළ පංතිවලට අයත් ජන කොටසට යි. මන්දපෝෂණයෙන් අනාගතය අහිමි වන්නේ එම ජන කොටස්වල බාල පරපුරටයි. අවසානයේ දී ඉහළම ධනපති පංතියේ අවශ්‍යතාවයන් සපිරීමට හැඩ ගැසෙන ආර්ථිකයේ බර ද දැරිය යුත්තේ ඔවුන් ය. අධිවේගී මාර්ග, ගුවන් තොටුපොළ, වරාය සහ වරාය නගර ඉදි කිරීමටත් නෙළුම් පොකුණු ඉදි කිරීමටත් ගත් ණය සහ පොලී ගෙවිය යුත්තේ ද පීඩාවට පත් ජනතාව ය. එම ණය සහ පොලී ගෙවීමට ඩොලර් නැති නිසා දුක් විඳින්නේ ද එම ජනතාව ය. ආර්ථිකය කඩා වැටෙන විට ධනපති සමාගම්වල ලාභය පෙර නොවු විරු ආකාරයට ඉහළ යන්නේ මෙම ලිබරල් ආර්ථික න්‍යාය මතය.
එමනිසා ලෝක බැංකුවෙන් හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයට ගැනීමෙන් ඩොලර් නැතිකමෙන් අර්බුදයට පත්ව ඇති ආර්ථිකය ගොඩ නැගීමට හැකි වන්නේ නැත. එම මුදල්වලින් ඉන්ධන සැපයුම යථා තත්වයට පත් කිරීමට හැකි වුවත් දරිද්‍රතාවය නැති වන්නේ නැත. පවතින ‘සංවර්ධන රටාව’ අනුව බොහෝවිට සිදුවිය හැක්කේ ඉහළම ආදායම් ලබන අයගේ ආදායම් ප්‍රතිශතය තවත් කීප ගුණයකින් වැඩිවීම සහ පහළම ආදායම් ලබන අය තවත් පහතට වැටීම යි. ලිබරල් ආර්ථිකයේ අස්වැන්න එයයි.
අර්බුදයෙන් තම ආදායම් තත්වය වඩාත් වැඩි කර ගන්නා පංතියට අයත් ධම්මික පෙරේරා වැනි අයට කළ හැකි වන්නේ මේ තත්වය තවදුරටත් පවත්වා ගැනීමට පැලැස්තර ඇලවීම පමණයි. කල් පවත්නා විසඳුම වන්නේ දුප්පතුන් තව තවත් දුප්පත් කරන ධනවතුන්ට විවෘතව ඇති ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කිරීම පමණි. ගෝල්පේස් භාෂාවෙන් ‘සිස්ටම් චේන්ජ්’ එකක් අවශ්‍ය වන්නේ එමනිසා ය.
මෙම ලිපිය ලිවීමේ දී WSWS වෙබ් අඩවියේ පළ වූ තොරතුරු පදනම් කර ගත් බව කරුණාවෙන් සලකන්න.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024