You are currently viewing ආණ්ඩුව රැකීම සහ සංවර්ධනය..

ආණ්ඩුව රැකීම සහ සංවර්ධනය..

සංවර්ධනය පිලිබඳ අපි කවුරුත් කැමති දර්ශක, න්‍යායන්, පුද්ගලයින්, ආකෘති තිබේ.

ඇමරිකාව, සිංගප්පුරුව, ස්වීඩනය, ෆින්ලන්තය, චීනය, වියෙට්නාමය සමහරු ශ්‍රී ලංකාව සංවර්ධනය විය යුතු ආදර්ශ ලෙස සලකයි.

ප්‍රාග්ධනය මුලික, ප්‍රාග්ධනයේ අවශ්‍යතාවයන්ට මුලිකත්වය දෙන ආර්ථිකය නවීකරණයට මුල් තැන දෙයි.

බිල් ගේට්ස්, ඉලාන් මසක්, අදානි, අම්බානි, ඉෂාර නානායක්කාර, ධම්මික පෙරේරා රටක් සංවර්ධනය කිරීමට වැදගත් ව්‍යාපාරිකයින් ලෙස සලකයි.

රට විකුණා හෝ සුළු පිරිසකගේ සංවර්ධනය අපේක්ෂා කරන උග්‍ර දක්ෂිණාංශික රනිල් වික්‍රමසිංහ, සංවර්ධනයෙන් බැහැර වන්නන් ජාතිවාදය ඔස්සේ ගොනු කර තමන්ගේ දේශපාලන වෘත්තීය පවත්වාගෙන යන රාජපක්ෂලා සහ දිලිත් ජයවීර වැන්නන් සහ ‘සියල්ලන් එකතු කරගෙන ඉදිරියට යන සංවර්ධනය’ මතුරමින්  ප්‍රාග්ධනයේ අවශ්‍යයතාවයන්ට සංවර්ධනය ගොනු කරන වත්මන් ආණ්ඩුව සියල්ලෝ අඩු වැඩියෙන් සංවර්ධනය නිසා අවතැන් පිරිස් යටපත් කිරීම, මර්ධනය කිරීම කරගෙන යයි.

සුළං බලාගාර හේතුවෙන් ආර්ථිකමය ලෙසත් උන්හිටි තැන් වලිනුත් අවතැන් වන මන්නාරමේ සහ ත්‍රිකුණාමලයේ වැසියන්, ඉෂාර නානායක්කාර ඇතුළු ගිනි පොලී ක්‍ෂුද්‍ර මුල්‍ය ව්‍යාපාරිකයින් නිසා දීර්ඝ කාලයක් ණය උගුලක සිරවී සිටින මිලියන තුනකට අසන්න කාන්තාවන්, පරිසර හානි … වැළක්විය නොහැකි ඇපකරය. (collateral damage).

ආණ්ඩුවට හිතවත් අයට අනුව මේ ජනතාව ආණ්ඩුවෙන්, පොලිසියෙන්, මුල්‍ය සමාඟම් වලින් ලක්වෙන හිංසනය, මර්ධනය ගැන කරන්න දෙයක් නැත. විකල්පයක් නැත. මේවා මොකක් වුවත් ආණ්ඩුව රකින්නට ඔවුන් බැඳි සිටියි.

ජනතාව හා සාකච්ඡා කොට නිර්මාණය කරන සංවර්ධන ව්‍යාපෘති ඇත්තේ පොතේ පමණයි (participatory development). ඒවා ප්‍රායෝගික නැහැ. සංවර්ධනය පිලිබඳ ප්‍රායෝගික අත්දැකීම් ඇත්තේ ව්‍යාපාරික පන්තියට පමණයි.

NPP ආණ්ඩුවට අවුරුද්දක් වෙද්දි ආණ්ඩුව බලයට ගෙන ඒමට ඡන්දෙන් සහ ක්‍රියාකාරීව උර දුන් අපි අපේක්ෂාභංගත්වයට පත් වෙද්දී, අප හිතමිතුරන් ආණ්ඩුව රකින පිළිවෙතින් නිර්වින්දනය වෙමින් සිටී.

2015 යහපාලන ආණ්ඩුව රකින්නත් මෙලෙසම කුමාර් ඩේවිඩ්, ජයම්පති වික්‍රමරත්න වැනි  වාමාංශිකයිනුත් ගාමිණී වියන්ගොඩ ප්‍රමුඛ පුරවැසි බලය නියෝජනය කරන ලිබරල් සිවිල් සමාජයත් රොඳ බැන්දා මට මතකයි. ETCA ගිවිසුම, IMF වැඩසටහන ආදිය නිසා උග්‍ර වූ ආණ්ඩු විරෝධය හමුවේ ඔවුන් කලේ ආණ්ඩුව රැකීමයි. අඩුම ගානේ යහපාලන ආණ්ඩුවේ ක්‍රියාපිළිවෙල වෙනස් කිරීමට අවශ්‍ය බවටවත් හඬ නඟන්න ඔවුන් උනන්දු වුනේ නැහැ. NPP පාක්ෂික අප මිතුරන් සහ අපි ඒ කාලයේ ප්‍රගතිශීලි යැයි කියාගන්නා යහපාලන ආණ්ඩු පාක්ෂිකයින් ගැන විවේචනය කළා මට මතකයි.

අවුරුදු 10ක් ගතව ඇති මේ කාලයේ අප මිතුරනුත් යහපාලන පාක්ෂිකයින්ගේ ධර්මයේ අනුගාමිකයින් වෙමින් සිටියි. කුමක් වුවත් ආණ්ඩුව රැකීම පරම යුතුකමයි. ජනතා විරෝධී වැඩ නිසාම ආණ්ඩුවේ අත්තිවාරම වන ජන ප්‍රසාදය දුර්වල වුවත් කම් නැත, ආණ්ඩුව රකිමු.

නවලිබරල් රාජ්‍යයක බලය ප්‍රගතිශීලින් සතු කරගැනීමෙන් පමණක් නවලිබරල් දිශාව වෙනස් වන්නේ නැහැ. ඊට නවලිබරල් සංවර්ධනයෙන් බැට කා ඇති ජනතාවගේ සහභාගීත්වයෙන් නිර්මාණය වන විකල්ප සංවර්ධන වැඩපිළිවෙලක් අවශ්‍යයි. වැරදි සංවර්ධනයේ ජීවන අත්දැකීම් ඇත්තන් විකල්ප නිර්මාණයට දක්ෂයි. 

ක්‍ෂුද්‍ර මුල්‍ය වින්දිත කාන්තාවන් සමඟ මට අවුරුදු 8ක පමණ කාලයක ඇති අත්දැකීම් අනුව දන්නවා ආණ්ඩුවට බරක් නොවන, සහභාගීත්ව සංවර්ධන විකල්ප නිර්මාණයට ඔවුන්ට හැකියාව තිබෙන බව. ආණ්ඩුවට කරන්නට තිබෙන්නේ ඒ හැකියාවට අත්වැලක් දෙන පරිසරයක් නිර්මාණය කිරීමයි.

NPP ආණ්ඩුවට අවුරුද්දක් ගත වුනත් ජනතාව සමඟ  නිර්මාණය වෙන විකල්ප වැඩපිළිවෙලක් නැහැ. නිලධාරී මාෆියාව මැඩගෙන ජනතාව එක්ව සංවර්ධන වැඩපිළිවෙල ගැන අලුතින් හිතන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ. පසුගිය ආණ්ඩුවේ පනත් සුළු පැලැස්තර යොදමින් ආපසු ගෙනෙන්නේ ඒ නිසයි.

Leave a Reply