You are currently viewing අලුතින් නායකයන් තෝරා ගත් පමණින් දේශපාලනයේ වෙනසක් සිදු වේද?

අලුතින් නායකයන් තෝරා ගත් පමණින් දේශපාලනයේ වෙනසක් සිදු වේද?

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා ඉදිරි මැතිවරණයක දී ඡන්දදායකයන් ක්‍රියා කළ යුතු ආකාරය ගැන වරක් නොව දෙවක්ම උපදෙස් දුන්නේ ය. ඒ අනුව දැනට බලයේ සිටින පාලකයන් (ඔහු ද ඇතුළත් ව) නුසුදුසු නම් ජනතාව තෝරා ගත යුත්තේ ප්‍රතික්ෂේප වූ පාලකයන් නොව අලුත්ම පිරිසකි. ප්‍රතික්ෂේප කළ පාලකයන් යනුවෙන් ඔහු අදහස් කරන්නට ඇත්තේ කලින් තිබූ යහපාලන රජයේ ජනාධිපති ඇතුළු පාලකයන් විය හැකිය. යහපාලන රජය ජනතා අපේක්ෂා ඉටු කිරීමට අපොහොසත් වූ නිසා ඔවුන් පසුගිය ජනාධිපතිවරණයේ දී සහ පාර්ලිමේන්තු ඡන්ද විමසීම්වල දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කළහ. එම නිසා ඔවුන් නැවත වරක් තෝරා පත් කර ගැනීමෙන් ඵලක් නැත. වෙනසක් අවශ්‍ය වන්නේ නම් කළ යුත්තේ අලුත් ම පාලකයෙකුට හෝ කණ්ඩායමකට බලය ලබා දීම ය.

පළමුවෙන්ම උපදේශයක් ලැබුණ විට ඒ ගැන විමසා බැලීමට පෙර උපදේශය ලැබුණේ කාගෙන්ද යන්න පැහැදිලි කර ගත යුතු ය. ඒ උපදේශය ලබා දෙන තැනැත්තාට උපදෙස් දීමට තරම් සුදුසුකමක් තිබෙන්නේ ද යන්න වැදගත් නිසා ය. යමක් කමක් දැන උගත් සහ මාර්ටින් වික‍්‍රමසිංහ සූරීන් නිතර අවධාරණය කළ ආකාරයට උචිතානුචිත විවේක බුද්ධියෙන් යුත් පුද්ගලයෙකු දෙන උපදෙස් වැදගත් ය. ඒවා බැහැර කළ නොහැකිය. වත්මන් ජන සමාජයේ මෙන්ම ඈත අතීතයේ දී පවා පැසුණු බුද්ධියෙන් යුතු උගතුන්ගේ උපදෙස් නොතකා සිටීම අනවශ්‍ය මෙන්ම පහසුවෙන් වළක්වා ගත හැකි හානිකර තත්ත්ව යන්ට නිස්කාරණයේ ලක් වීමක් බවට අපමණ නිදසුන් දැක්විය හැකිය.

අනෙක් අතට ජන සමාජයේ දැනට පවතින තත්වය හෝ අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයන් ගැන හෝ අවබෝධයක් නැතිව අඳුරේ අත පත ගාන පුද්ගලයෙකු දෙන උපදෙස් පිළිපැදීම හෝ පිළිගැනීම රාත්‍රියේ වැටුණු වළේ දවාලේත් වැටීමකි. එක අර්බුදයකින් වඩාත් බරපතළ අර්බුදයකට වැටීමකි. එම නිසා උපදේශය මෙන් ම උපදේශය දෙන තැනැත්තා ද වැදගත් ය.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට උපදෙස් දීමට තරම් පරිණත බුද්ධියකින් යුත් පුද්ගලයෙක් ද යන්න තවම තහවුරු කර නැත. වාර්ගික, ආගමික, සාමයික මෙන් ම ආර්ථික වශයෙන් ඉතිහාසයේ පෙර කිසි දා නොවූ ආකාරයේ ප්‍රපාතයකට තල්ල වෙමින් සිටින ලංකාව සෞභාග්‍යය කරා යන ගමන පසෙක දමා අගාධයේ පත්ළට වැටීමෙන් වැළැක්වීමට තරම් හැකියාවක් හෝ  ඕනෑ කමක් ඔහු මෙතෙක් ප්‍රදර්ශනය කර නැත. හොද්ද වර්ණවත් කිරීමට ගන්නා කහ කුඩු ආනයනය තහනම් කිරීමේ සිට බෝග වගාවට යොදා ගන්නා පොහොර තහනම දක්වා ඔහු ගත් තීරණ එකක් වත් පැසුණු බුද්ධියකින් ගත් ඒවා නොවේ. පාරිභෝගික භාණ්ඩ මිල පාලනයට ගත් උත්සාහයේ සිට රසායනික පොහොර භාවිතය තහනම් කිරීම දක්වා වූ ප්‍රතිපත්ති තීරණ හකුළා ගැනීමට සිදු විය. එහෙත් ඒවායින් සිදු වු හානිය සම්පුර්ණයෙන් ම තුරන් වූයේ නැත. මෙවර මහ කන්නයේ ආරම්භයේ දී පොහොර සම්බන්ධයෙන් ඇති වූ අර්බූදකාරී තත්වය පසුව එම තහනම ඉවත් කර ගැනීමෙන් පිරිමසන්නේ නැත. එහි ප්‍රතිඵලය වශයෙන් ලබන වසරේ බරපතළ සහල් හිඟයක් ඇතිවීම පාලනය කළ හැකි වන්නේ විදෙස් රටවලින් වටිනා විදෙස් විනිමය වැය කරමින් සහල් ආනයනය කිරීමෙනි. (මෙම ලිපිය ලියන අවස්ථාවේදී ද මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් විසි දහසක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ බව පළ විය.) සහල් ආනයනය කිරීමට පොහොර ආනයනයට වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදු වනු ඇත. සහල් ආනයනයෙන් හිඟය පිරිමසා ගැනීමට හැකි වුවත් දැනටත් යැපුම් මට්ටමේ සිටින ගොවීන්ගේ ආර්ථිකය කඩා වැටීමෙන් සිදු වන හානිය ගණන් බැලීමට සිදු වන්නේ සිය දිවි නසා ගන්නා ගොවීන්ගේ සංඛ්‍යාවෙනි.

අපිව විශ්වාස කරලා නැවතත් ඉදිරියට එන්න ඔබ ඉල්ලපු විප්ලවීය වෙනස අනිවාර්යෙන්ම සිදු කරනවා මට ඕනනම් පුළුවන් හමුදාවේ වගේ කරන්න – ජනපති

මීට අමතරව රාජ්‍ය අංශය දූෂණයෙන් මුදා ගෙන කාර්යක්ෂම කිරීමට සේවයේ යෙදි සිටින හෝ විශ්‍රාමික හමුදා නිලධාරීන් ප්‍රධාන තනතුරුවලට පත් කිරීමෙන් උද්ගත ව ඇත්තේ පෙර තිබුණාටත් වඩා නරක තත්ත්වයකි. මෙම හමුදා නිලධාරීන් පරිපාලන ක්‍රියාවලියට නිසි නායකත්වයක් සහ මග පෙන්වීමක් ලබා දීමට අපොහොසත් වීමෙන් රාජ්‍ය සේවය වඩාත් පිරිහීමට පත්ව සේවකයන් දුර්මුඛ වීම කලක් යන තෙක් නිවැරදි කළ හැකි තත්වයක් නොවේ. රාජ්‍ය පරිපාලනය දුර්වල වීම සහ අකාර්යක්ෂම වීම සමස්ත රටම කඩා වැටීමකි. එය ඉහළ සිට පහළට දෙන නියෝගවලින් හෝ තර්ජනවලින් නිවැරදි කළ නොහැකි ය.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වසර දෙකක පාලන කාලය තුළ රටේ දේශපාලනයේත් ආර්ථිකයේත් දක්නට ලැබෙන පරිහානිය අනුව ඔහුට ඉදිරි ඡන්ද විමසීමක දී ජනතාවට තම පාලකයන් තෝරා ගැනීමට උපදෙස් දීමට තරම් සුදුසු මට්ටමේ සිටින නායකයෙකු නොවන බව පෙන්වා දී ඇත. ඒ ගැන සවිස්තරාත්මක ව සාකච්ඡා කිරීම මෙම ලිපියේ අරමුණ නොවේ. අපට වඩාත් වැදගත් වන්නේ ඔහු පවසන ආකාරයට අලුත් නායකත්වයක් එනම් මෙතෙක් දේශපාලනයේ නොසිටි පුද්ගලයෙකු පත් කර ගැනීමෙන් රට මුහුණ දී ඇති අර්බුදයට විසඳුම් ලබා ගත හැකි ද යන්නයි.

අලුත් නායකත්වයක් පත් කර ගැනීමෙන් පමණක් මෙම ප්‍රශ්නවලට විසඳුම් ලබා ගත නොහැකි බවට හොඳම පිළිතුර වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාම ය. 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන විට ඔහුට ප්‍රාදේශීය සභාවක හෝ දේශපාලන අත්දැකීම් තිබුණේ නැත. ඔහු එය සුදුසුකමක් සේ ඒ දිනවල හුවා දැක්වූවත් දේශපාලන අත්දැකීම් හෝ දේශපාලන පරිචයක් නැති පුද්ගලයෙකුට කළ හැකි වන්නේ ක්‍රමයට අනුගත වීම හෝ සියල්ල අවුල් කිරීම පමණක් බව පසුගිය වසර දෙක තුළ මැනවින් ඔප්පු කර ඇත. බලය ඇති නම් සියල්ල කළ හැකි යැයි සිතූ ඔහු විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිට තිබූ බලතලවලටත් වැඩි බලතල ඒකරාශි කර ගත් නමුත් රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණේ නැත. සිදුව ඇත්තේ අවුලෙන් අවුලට වැටීම ය.

එම නිසා අලුතින් පුද්ගලයෙකුට දේශපාලන නායකත්වය ලබා දීමෙන් පමණක් පවතින ප්‍රශ්න වලට විසඳුම් ලබා ගත නොහැකි බව දැනටමත් තහවුරු කර ඇත. ඒ සමගම මෙතෙක් එනම් දශක හතක කාලයක් තිස්සේ රට පාලනය කළ කිසිවෙකුට රටට නිසි නායකත්වයක් ලබා දීමට නොහැකි වු බවද සත්‍යයකි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබන විට කලාපයේ අනෙක් රටවල් හා සැසදීමේදී ශක්තිමත් ආර්ථිකයකින් සහ මනා පරිපාලන සහ අධිකරණ ව්‍යුහයක් පැවති ලංකාව අද ඒ සියල්ල විනාශ කර දමා  ඕනෑම කෙනෙකුව වළං බිඳිය හැකි පාළු අම්බලමක් බවට පත් කර ඇත. එයින් තහවුරු වන්නේ බලයේ සිටි නායකයන්ගේ අසමත් කම පමණක් නොවේ. දශක අනූවකට ආසන්න කාලයක් තිස්සේ පාලකයන් තෝරා ගැනීමට සර්ව ජන ඡන්ද බලය හිමි කර ගත් ජනතාව ද ගැලපෙන නායකයන් තෝරා ගැනීමට අපොහොසත් ව ඇත. 2015 දී ප්‍රතික්ෂේප කළ නායකත්වය 2019 දී නැවත තෝරා ගත්තේ එම නිසා ය. ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙන වැරැද්ද අපගේ ඉතිහාසයේ උරුමය යි.

ඇත්තෙන්ම අද ජනතාව ඉදිරියේ ඇති සැබෑ අභියෝගය නිවැරදි නායකයෙක් තෝරා ගන්නේ කෙසේ ද යන්නයි. පවතින ක්‍රමය දෙස ආපසු හැරී බලන විට පෙනී යන්නේ එන්න එන්න වඩාත් පිරිහුණ දේශපාලකයන් තෝරා ගැනීමේ ඉතිහාසයක් ඇති බව ය. අපේ දේශපාලන ව්‍යුහය එනම් දේශපාලන පක්ෂ ක‍්‍රමය තුළින් සැබෑ අවංක නායකත්වයක් බිහි නොවන බවට අටුවා ටීකා අවශ්‍ය නොවේ. පවතින දේශපාලන පක්ෂ වෙනුවට අලුතින් දේශපාලන පක්ෂ පිහිටුවා ගැනීම ඉසරදයට කොට්ට මාරු කිරීමට වඩා වැඩි දෙයක් නොවේ. එසේ නම් මෙම උභතෝකෝටියට ඇති විසඳුම කුමක් ද? දේශපාලනය අතහැර තමන්ගේ පාඩුවේ ජීවත්වීමද?. ජන සමාජය පවතින තාක් දේශපාලනය අතහැර දැමිය නොහැකිය. දේශපාලනය යනු සමාජ ව්‍යුහයේ වියමනයි. එය බිඳ වැටීමෙන් සිදු වන්නේ අරාජිකත්වය යි. කළ යුතු වන්නේ මෙම දේශපාලන හුය සමාජයට සේවය කරන තත්වයට පත් කිරීම ය. දැන් ඉන් සේවයක් සිදු වන්නේ ජන සමාජයට නොව පුද්ගලයන් කණ්ඩායමකට ය. වෙනස් විය යුත්තේ මෙයයි.

පැහැදිලිව ම ජනතාවට වගකියන ජනතාවට සැබැවින් ම බලපෑම් කළ හැකි, ජන මතයට හිස නමන පාලන ක්‍රමයක් අප නිර්මාණය කළ යුතුය. එවැනි ක්‍රමයක් ගැන පූර්වාදර්ශ සොයා ගැනීම අසීරු විය හැකිය. නමුත් අපේ අරමුණ විය යුත්තේ එයයි.

එවැනි ගමනකට මූලික පිවිසුමක් වන්නේ රාජ්‍ය බලය හිතුවක්කාර ලෙස යොදා ගැනීම වළක්වන ප්‍රජාතන්ත්‍රවාදය පදනම් නීති රීති සම්ප්‍රදායක් බිහි කිරීම ය. නීතිය යනු අධිකරණයකින් ලබා ගත හැකි තීන්දුවක් පමණක් නොවේ. නීතියේ පදනම විය යුත්තේ සමාජ සාධාරණත්වය යි. සාධාරණ සමාජයක් යනු එක නීතියක් එක රටක් වැනි අරුත් සුන් සටන් පාඨයක් නොවේ. වාර්ගික, ආගමික හෝ භාෂාමය වෙනසක් නැතිව සියලු පුද්ගලයන් සමාන අය සේ සලකන සමාන අවස්ථා සලසන පාලන ක්‍රමයකි. සාධාරණත්වය සියලු දෙනාට සමානව හිමි විය යුතු ය. එවැනි ක්‍රමයක වංචාව, දූෂණය, හොරකම සහ ඥාති මිත්‍ර සංග්‍රහ පැවතිය නොහැකි ය.

පවතින දේශපාලන ක්‍රමය යටතේ දේශපාලන පක්ෂ පැවතීම සහ ඒවායින් රාජ්‍යය මෙහෙයවීම ඉදිරියටත් තව බොහෝ කලක් සිදු වන නිසා අපට කෙටි කාලීන ව කළ හැකි වන්නේ දේශපාලනයට සහ දේශපාලකයන්ට බලපෑම් කළ හැකි ජනතා සංවිධාන ගොඩ නැගීමෙනි. එම සංවිධාන අඩුම වශයෙන් කෙටි කාලයේ දී හෝ දේශපාලන බලය ලබා ගැනීම අරමුණු කර නොගත යුතු අතර ඔවුන්ගේ උත්සාහය විය යුත්තේ දේශපාලනයට හා තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් කිරීමට. එවැනි මතයක් ප‍්‍රබලව සමාජ ගත වන තෙක් අලුත් නායකයන් තෝරා ගැනීමෙන් සිදු වන්නේ නාම මාත්‍රික වෙනසක් පමණි.

Leave a Reply