You are currently viewing අර්බුදය විසඳීම පමා කළ නොහැක..

අර්බුදය විසඳීම පමා කළ නොහැක..

මෙරට සමස්ත ජනතාව ම අද මුහුණ පා සිටින අර්බුදය විසඳීම පමා කළ නොහැකි අවශ්‍යතාවකි. අර්බුදය නිසා වේදනාවෙන් විරෝධතා දක්වන විශාල ජන සංඛ්‍යාවක් ද, කුමක් කළ යුතු දැයි සිතා ගන්නටවත් නොහැකිව අසරණ ව වේදනාවේ ගිලී සිටින විශාල ජන සංඛ්‍යාවක් ද, ගත යුතු පියවර පිළිබඳ ව අන්දමන්දව සිටින රාජ්‍ය යන්ත්‍රණය ද සම්මුතියකට ආ යුතු බව පෙනේ.

මෙය විසඳා ගත යුතු” විසඳා ගත හැකි අර්බුදයකි. එය කළ හැක්කේ පොදු සම්මුතියකිනි. පළමු ව කළ යුතු වන්නේ එකාවන්ව” එකමුතුව” සමගිව අර්බුදය කෙටි කලකින් ජය ගැනීම ය. ඒ අතරතුර දී දිගු දැක්මකින් යුතු තිරසාර සංවර්ධනය සඳහා සම්මුතියකට ආ යුතු ය. සියලු ප්‍රශ්න එකවර විසඳීම වෙනුවට පමා කළ හැකි ඒවා සුදුසු මොහොත එන තුරු කල් දමා දැවෙන ප්‍රශ්න පිළිබඳ අර්බුදය වහාම ජය ගැනීමේ සම්මුතියකට ඒම මේ මොහොතේ කළ යුතු ය.

එම සම්මුතිය සඳහා වන යෝජනාවලිය මගින් ජනතාව අද මුහුණ පා ඇති දැඩි අසීරුතා දවසින් දවස අඩු කරමින් තිරසාර සංවර්ධනයට පදනම සැපයිය යුතු ය. තවද එසේ වන බවට ජනතා විශ්වාසයද දිනිය යුතුය. එ් සඳහා විකල්ප විසඳුම් රාශියක් නොපමාව මතු විය යුතු අතර ඒ අතුරෙන් ජනතා විශ්වාසය වඩාත් ම ලබන යෝජනාව හැකි ඉක්මණින් ක්‍රියාවට නැංවීම ඇරඹිය යුතු ය.

පහත දැක්වෙන යෝජනාව ද එලෙස සලකා බැලීමට ඉදිරිපත් කෙරේ.

විවිධ උද්ඝෝෂණ පාඨ අතරින් ඉතාම බුද්ධිමත් පාඨය ලෙස පෙනෙනුයේ ක්‍රමවේදවල සම්පූර්ණ වෙනසක් සඳහා වන හඬයි. ක්‍රමවේදයන්හි සාර්ථක වෙනසක් මගින් සියලු ගැටලු සාධාරණ කාලයක් තුළ විසඳිය හැක. මෙම යෝජනාවලිය ඒ සඳහා සම්මුතියකට ඒමක් වෙනුවෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන මෙය රාජ්‍ය පාලනයේ සැබෑ ක්‍රියාකාරිත්වය දේශපාලන ස්ථරයෙන් මුදවා නව ආකාරයකට තෝරා ගන්නා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත පාලන අධිකාරියකට පැවරීම සඳහා වන සම්මුතියකි.

මෙහිදී සම්මුතිය ඇති කර ගත යුතු කරුණු කීපයක් පහත දැක්වේ.

1. පාලන අධිකාරියට අමාත්‍යාංශ ලේකම්වරු තෝරාගන්නා ආකාරය.

එම පාලන අධිකාරිය නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත වේ. අමාත්‍යාංශ ලේකම් ධුර පිරි නැමිය යුතු වන්නේ හා පිරිනැමිය යුතු නොවන්නේ කාටද යන්නට පැහැදිලි නිර්ණායක තිබිය යුතු ය. ඔවුන් සියලු දෙනා දූෂණ චෝදනා නැති, පක්‍ෂ දේශපාලනයට නොගෑවුණු, ප්‍යේෂ්ඨතාව හා කුසලතාව සහිත දැනටමත් රාජ්‍ය සේවයේ ඉහළ මාණ්ඩලික නිලධාරීන් වීම සුදුසු ය. සුදුසු ම පුද්ගලයන්ට මෙම අමාත්‍යාංශ ලේකම්ධුර පිරි නැමීම නිශ්චිත ඉතා කෙටි කාලයක් තුළ නිම කළ යුතු ය. එම අමාත්‍යාංශ ලේකම්ධුර සඳහා නම් නිර්දේශ කළ හැක්කේ කාටද යන්න නිශ්චිතව ප්‍රසිද්ධ කළ යුතු ය. (ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය, ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා සංගමය හා එබඳු වෙනත් සේවා හා ප‍්‍රධාන වෘත්තීය සංගම්වලට එහිදී අවස්ථාව ලැබීම සුදුසුය.) එ් සඳහා සම්මුතිගතවීම අවශ්‍යය.

2. උත්තරීතර සභාව පත් කිරීම.

සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ව පත්කිරීමට, මාරු කිරීමට හා ඉවත් කිරීමට ජනාධිපතිවරයාට ඇති පූර්ණ අභිමතානුසාරී බලය, මෙම යෝජනාවලිය බලාත්මක කාලය තුළ ක්‍රියාත්මක කළ යුත්තේ උත්තරීතර සභාවක උපදෙස් අනුව ය. ජනාධිපතිවරයා එම උත්තරීතර සභාවේ උපදෙස් මත පමණක් එසේ කිරීමට සම්මුතියකට ඒම අවශ්‍යය. එම හත් දෙනා ලෙස 41(ඇ) ව්‍යවස්ථාව යටතේ දැනටමත් පත්කර ඇති අග්‍ර විනිශ්චයකාරවරයා, අභියාචනාධිකරණයේ සභාපතිවරයා, නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, ඔම්බුඩ්ස්මන්වරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, පොලිස්පතිවරයා නම් කළ හැක. මෙහි යම් අයෙකු පත් කර ඇත්තේ දේශපාලන හේතු මතයයි චෝදනාවක් ඒමට ඉඩ ඇති විටෙක හෝ වෙනත් ප්‍රබල හේතුවක් ඇති විටෙක ඔහුව පත් නොකිරීම හෝ ඔහු වෙනුවට එම ආයතනයේ ඊළඟ ජ්‍යේෂ්ඨතමයා පත් කිරීම හෝ සුදුසුය.

3. ව්‍යවස්ථාවේ 52(2) විධිවිධාන ප‍්‍රකාරව අමාත්‍යවරුන්ට ලැබී ඇති අත්‍යන්ත බලය ක්‍රියාත්මක නොකිරීමට අමාත්‍යවරුන් සම්මුතියකට ඒම.

ව්‍යවස්ථාවේ 52(2) විධිවිධාන ප‍්‍රකාරව අමාත්‍යවරුන්ට ලැබී ඇති අත්‍යන්ත බලය නිසා අමාත්‍යවරුන්ට විශාල ලෙස වංචා කිරීමට හැකියාව ලැබී ඇත. අමාත්‍යවරයාගේ විධායක බලය ව්‍යවස්ථාවේ 52(2) හි මෙසේ දැක්වේ.

52 (2) අමාත්‍යාංශයක ලේකම්වරයා ඔහුගේ අමාත්‍යවරයා භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ද, වෙනත් ආයතන ද අමාත්‍යවරයාගේ විධානයට හා පාලනයට යටත්ව මෙහෙයවන්නෙය..’

එනිසා අමාත්‍යවරුන්ට ලැබී ඇති මෙම අත්‍යන්ත බලය ක්‍රියාත්මක නොකිරීමට අමාත්‍යවරුන් සම්මුතියකට ඒම අවශ්‍යය.

1978 වසරේ සිටම නොවෙනස්ව පවතින මෙම ‘52(2)’ විධිවිධානය තුළින් තම අමාත්‍යාංශය හා එයට අයත් ආණ්ඩුවේ සියලු දෙපාර්තමේන්තු ද, වෙනත් ආයතන ද දූෂිත දේශපාලකයන්ගේ විධානයට හා පාලනයට යටත්ව මෙහෙයවන්නට අමාත්‍යාංශ ලේකම්වරු ව්‍යවස්ථානුකූලව බැඳේ. මෙය මුදල් රෙගුලාසි, ටෙන්ඩර් පටිපාටි, පාර්ලිමේන්තු පනත් විධිවිධාන ආදී සියල්ල අභිභවන ව්‍යවස්ථාමය අවශ්‍යතාවක් වන හෙයින් දූෂණයට විශාල අත්වැලක් වී ඇත. සියලු රාජ්‍ය නිලධාරීන් මෙහෙයවීම භාර අමාත්‍යාංශ ලේකම්වරු දූෂිත දේශපාලන ග්‍රහණයෙන් මුදවා ගෞරවනීය ස්ථරයකට නැංවීමද මෙම සම්මුතිය තුළින් ඉටු වේ. අපට නිදහස ලැබු දින සිට පැවති අමාත්‍යාංශ ස්ථීර ලේකම් තනතුරු හා රාජ්‍ය සේවා කොමිසමෙන් ආරක්‍ෂාකර දුන් රාජ්‍ය නිලධාරීන්ගේ ස්වාධීනත්වය, ගෞරවය හා අභිමානය අහිමි කර 1972 ජනරජ ව්‍යවස්ථාවෙහි 110 හා 111 විධිවිධාන ප‍්‍රකාරව රාජ්‍ය සේවා උපදේශක මණ්ඩලය හා රාජ්‍ය සේවා විනය මණ්ඩලය පිහිටුවා රාජ්‍ය සේවා කොමිසමට පැවරී තිබුණු කටයුතු අමාත්‍ය මණ්ඩලයට පවරා දුනි. 1978 දී රාජ්‍ය සේවා කොමිසම යළි පිහිටුවද ව්‍යවස්ථාවේ අංක 55 පරිදි රාජ්‍ය නිලධාරීන් දේශපාලනික අතකොළු කිරීම මෙතෙක් නිසි ලෙස නිවැරදි වී නැත. එනිසා මේ මොහොතේ ඉහත පරිදි සම්මුතිගතවීමේදී රාජ්‍ය නිලධාරීන්ගේ ස්වාධීනත්වය, ගෞරවය හා අභිමානය යම් මට්ටමකට ආරක්‍ෂා කර දීමට හැක.

4. යෝජිත පාලන ව්‍යුහය ක්‍රියාත්මක කිරීම.

පාලන අධිකාරිය විසින් ගනු ලබන තීරණ විධිමත් තීරණ බවට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍යය. කිසියම් හේතුවක් මත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දීමට ගැට‍ළුවක් වේ නම් පාලන අධිකාරිය සමග අමාත්‍ය මණ්ඩලයට සාකච්ඡා කළ හැක. එකඟතාවයකට ඒම අපහසු කරුණු සඳහා උත්තරීතර සභාව බේරුම්කරු ලෙස මැදිහත්වීම සුදුසු වේ. පනත් බවට පත් කළ යුතු ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අමාත්‍ය මණ්ඩලයේ තීරණ සියල්ල පාලන අධිකාරියේ එකඟතාවය සහිත ඒවා වීම අවශ්‍යය. පාර්ලිමේන්තුව තුළ එම යෝජනා පිළිබඳ ව නිදහස් අදහස් පළ කිරීමට සියලු අමාත්‍යවරුන්ට හිමිකම තිබීම සුදුසු ය. අවසන් තීරණ ගැනීමේ බලධාරියා වනුයේ පාර්ලිමේන්තුවයි. පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය කරන යෝජනාවලට හෝ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය ක්‍රියාකාරකම්වලට හෝ බාධාකාරී පරස්පරතාවලට පාලන අධිකාරියට එකඟවිය නොහැකි නම් මෙම ක්‍රමවේදය අවසන් කර නව ක්‍රමවේදයකට යාමට සිදු වේ.

5. අමාත්‍ය මණ්ඩලය පිළිබඳ විශ්වාසය පුනරුත්ථාපනය කිරීම

ඉහත කී ‘52(2)’ විධිවිධානය යටතේ අමාත්‍යවරයෙකුට පවරනු ලැබ ඇති අත්‍යන්ත බලය පුද්ගලයෙකු වෙනුවට කණ්ඩායමකට පැවරීමට පහතින් දක්වා ඇති ආකාරයේ ක්‍රමවේදයේ සංශෝධනයක් සඳහා සම්මුතියකට ඒමෙන් අමාත්‍යවරුන්ට දූෂිතයන් වීමට ඇති ඉඩකඩ ඇහිරීමෙන් විශාල යහපතක් ඇති වේ.

ඩොනමෝර් ක‍්‍රමය යටතේ පැවති විධායක කාරක සභාවලට තරමක් සමාන වන ලෙසට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන්  224 දෙනා (කථානායකවරයා හැර) එකකට 08 දෙනා බැගින් වන අමාත්‍යාංශ 28කට ගොනු වීමට ආරාධනා කිරීම සහ එ් එක එකට තෝරා ගන්නා සභාපතිවරයා අමාත්‍යවරයා බවට පත් කිරීමට සම්මුතිගතවීම වැන්නක් සලකා බැලිය හැක. (මන්ත්‍රීන් සංඛ්‍යාව හා අමාත්‍යාංශ සංඛ්‍යාව වෙනස් කළ හැක.) එ් අමාත්‍යවරයා විධායක කාරක සභාවේ සමානයන් අතර ප්‍රමුඛයා සහ විධායක කාරක සභාවේ නියෝජිතයා පමණක්වීම සුදුසු ය. අත්‍යන්ත බලයකින් අමාත්‍යාංශය භාරයේ ඇති ආණ්ඩුවේ දෙපාර්තමේන්තු ද වෙනත් ආයතන ද තම විධානයට හා තම පාලනයට යටත් ව මෙහෙයවීමට තනි අයෙකුට බලය නොපැවරීමට මෙම සම්මුතිය යටතේ හැක. මෙහිදී මෙහෙයවීම යන්න වෙනුවට උපදේශන ඉදිරිපත් කිරීම යන්නද, අමාත්‍යවරයා යන්න වෙනුවට කාරක සභාව යන්නද භවිතා කිරීමට සම්මුතිගතවීම සුදුසුය. මෙය විධායකය අධීක්‍ෂණයට කාරක සභා ලෙසට මුළු පාර්ලිමේන්තුවම සහභාගී වීමක්ද වේ.

පෙර දැක්වූ විධායක කාරක සභා නාමය වෙනුවට ස්ථාවර නියෝග අංක 112 ප‍්‍රකාරව ඇති අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා නාමය ආදේශ කිරීම සලකා බැලීම ද සුදුසු ය. අදාළ අමාත්‍යවරයා සභාපති ධුරය දරන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා විසින් සාම්ප්‍රදායිකව දැනටමත් අමාත්‍යාංශයේ හා ඒ යටතේ ඇති සියලු ආයතනවල ක්‍රියාකාරකම්ද, ඉදිරි සියලු සැලසුම් ද සියුම් ව අධීක්‍ෂණය කෙරේ. එම ස්ථාවර නියෝග 112 යටතේ ද, ඊට අමතරව ස්ථාවර නියෝග 125 යටතේ දැක්වෙන කාරක සභා සඳහා පොදු රීති යටතේ ද එම කාරක සභාවලට විශාල අධීක්‍ෂණ බලවරමක් ලබා දී ඇත.

පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අංක 112 යටතේ දැනටමත් බලාත්මක අමාත්‍යාංශයීය කාරක සභාවලට නව සභාපතිවරයෙකු හා නව උප සභාපතිවරයෙකු හඳුනා ගැනීමට ඉඩ සලසා එම නව සභාපතිවරයා ලෙස යෝජිතයාට අමාත්‍යධුරයත්, නව උපසභාපතිවරයා ලෙස යෝජිතයාට රාජ්‍ය හෝ නියෝජ්‍ය අමාත්‍යධුරයත්, පිරිනැමීමෙන් ‘52(2)’  විධිවිධානය යටතේ අමාත්‍යවරයෙකුට පවරනු ලැබ ඇති අත්‍යන්ත බලය මුළු අමාත්‍යාංශයීය කාරක සභාවටම ඇති උපදේශන බලය ලෙස භාරගැනීමේද සම්මුතියකට පැමිණීම බොහෝ අර්බුදවලට විසඳුමක් වනු ඇත.

මෙම අමාත්‍ය මණ්ඩලය අන්තර් කාලීන කර ගැනීමටද, එක් එක් විධායක කාරක සභාවේ එකඟතාව මත සර්ව පාක්‍ෂික කර ගැනීමට ද විශාල ඉඩකඩක් ඇත. එනිසා මෙහි දී සියලු දේශපාලකයන් ඉවත් කිරීම වෙනුවට සම්මුති කාලය තුළ අමාත්‍ය මණ්ඩලයේ සක්‍රීය භාවය අවම කර එහි සැබෑ ක්‍රියාකාරිත්වය ඉහතින් දක්වා ඇති ආරක්‍ෂිත ක්‍රමවේදය ප‍්‍රකාරව තෝරා පත් කරන ‘පාලක අධිකාරිය’ට පැවරීමට සම්මුතිගතවීම සුදුසුය.

6. යෝජිත පාලන ව්‍යුහය අධීක්‍ෂණය කිරීම.

කෙසේ වුවද ‘පාලක අධිකාරිය’ට ඇති බලය අයෝග්‍ය හෝ අදූරදර්ශී ලෙස භාවිතා කිරීමේ අවදානම වැළැක්වීමට 4(අ), 43(අ), 75, 148-154 ආදී ව්‍යවස්ථා ප‍්‍රකාරව පාර්ලිමේන්තුවට අධිකාර බලය ඇත. ඊට අමතරව යෝජිත විධායක යන්ත්‍රණයේ ක්‍රියාකාරකම්ද, ඉදිරි සියලු සැලසුම් ද  සියුම් ව අධීක්‍ෂණයට හා විමසීමට ස්ථාවර නියෝග ප‍්‍රකාරව පාර්ලිමේන්තුවට අධිකාර බලය ඇත.

ස්ථාවර නියෝග අංක 17-75 ප‍්‍රකාරව පාර්ලිමේන්තුවේ සභාගර්භයට ද, පහත දැක්වෙන ස්ථාවර නියෝග අංක ප‍්‍රකාරව පාර්ලිමේන්තුවේ කාරක සභාවලට ද දැනටමත් විධායකය පාලනය කිරීමට විශාල අධිකාර බලයක් ඇත. පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාව (අංක 93-99), විශේෂ කාරක සභා (අංක 100-110), ආංශික අධීක්‍ෂණ කාරක සභා (අංක 111) (බොහෝවිට සභාපති විරුද්ධ පාක්‍ෂිකය), අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා (අංක 112) (සභාපති අදාළ අමාත්‍යවරයාමය.), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (අංක 119)(සංස්ථා වර්ගයේ ආයතන හැර අනෙකුත් සියලු රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරකම් ද, ඉදිරි සියලු සැලසුම් ද නිතිපතා සියුම් ව අධීක්‍ෂණය හා විමසීම කෙරේ.), පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (අංක 120) (සංස්ථා වර්ගයේ සියලූ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරකම් ද,  ඉදිරි සියලු සැලසුම් ද නිතිපතා සියුම් ව අධීක්‍ෂණය හා විමසීම කෙරේ.), රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (අංක 120) (රාජ්‍ය මූල්‍ය පිළිබඳ සියලු ක්‍රියාකාරකම් ද, ඉදිරි සියලු සැලසුම් ද සියුම් ව අධීක්‍ෂණයට හා විමසීමට ක්‍රියා කරයි. සභාපති විරුද්ධ පාක්‍ෂිකයෙකු වන නිසා මෙය ගැන ඇති පොදු ජන විශ්වාසය යහපත්ය.)

7. යෝජිත පාලන ව්‍යුහය තුළින් අර්බුදයට විසඳුම් ලැබීම.

එම අමාත්‍යාංශ ලේකම්වරු තම අමාත්‍යාංශයට විශේෂිත පදනමින් ද, සම්පූර්ණ විධායකය සඳහා ‘පාලක අධිකාරිය’ ලෙසින් සාමූහික පදනමින් ද ප්‍රමුඛතා පදනමක් යටතේ සැලසුම් සැකසිය යුතුය. (ප්‍රධාන ගණන් දීමේ නිලධාරී ලෙස දැනටමත් මුදල් රෙගුලාසි (මු.රෙ.) 127 ප‍්‍රකාරව පවරා ඇති වගවීම මෙහිදී ඉතා ප‍්‍රයෝජනවත්ය.)

එම අමාත්‍යාංශ ලේකම්වරු තම අමාත්‍යාංශයට අයත් සියලූ දෙපාර්මේන්තු ප‍්‍රධානීන්, සංස්ථා ආයතන ප‍්‍රධානීන් හා ව්‍යාපෘති ප‍්‍රධානීන් ආදීහු සමග සමීප සම්බන්ධතාවක් පවත්වමින් දිගු දැක්මක් මත වර්තමාන අර්බුදය විසඳීමට ක්‍ෂණික, කෙටිකාලීන හා මධ්‍යකාලීන විසඳුම් ඉදිරිපත් කළ යුතුය. (ගණන් දීමේ නිලධාරී ලෙස දැනටමත් මුදල් රෙගුලාසි (මු.රෙ.) 128 ප‍්‍රකාරව ආයතන ප්‍රධානීන්ට පවරා ඇති වගවීම මෙහිදී ඉතා ප‍්‍රයෝජනවත්ය.)

අමාත්‍යාංශය තුළ අමාත්‍යාංශය පිළිබඳවද, අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන පිළිබඳවද විධිමත් ව සැකසූ සහ යාවත්කාලීන කරනු ලබන සර්වග‍්‍රාහී දත්ත ජාලය සම්බන්ධයෙන් ගැඹුරු අවබෝධයක් ඇත්තේ එහි ජ්‍යේෂ්ඨතම නිලධාරීන්ට මිස අමාත්‍යවරුන්ට නොවේ. නිලධාරීන් දූෂිත අමාත්‍යවරුන්ගේ අත්‍යන්ත පාලනයට හා දේශපාලනීකරණයට ගොදුරු වී සිටියදී බුද්ධිමත් ¥රදර්ශී නිර්මාණශීලී කාර්යසාධනයක් ඔවුන්ගෙන් ලැබිය නොහැක. මිලිනව අප්‍රාණිකව සිටින ජ්‍යේෂ්ඨතම නිලධාරීන්ට පමණක් නොව සමස්ත රාජ්‍ය නිලධාරීන්ටම මෙම යෝජිත ක්‍රමවේදය නිසා නව ජීවයක් හා නව ප්‍රාණයක් ලබාදෙනු ඇත. එහි සැබෑ වාසිය, ආස්වාදය හා සතුට සේවාලාභී සමස්ත ජනතාවම ගුණිත ශ්‍රේණියෙන් භුක්ති විඳිනු ඇත.

එකී විසඳුම්වලට අවශ්‍ය මූල්‍යකරණය සඳහා යොදාගත හැකි උපරිම දේශීය සම්පත් ප්‍රමාණය සමග සංකලනය කළ හැකි අවම විදේශ සම්පත් ප්‍රමාණය හඳුනාගත යුතුය. විදේශ සම්පත් ආධාර (ප්‍රදාන හා ණය) ඉතා අරපරිස්සමෙන් ලබා ගැනීමටත්, යොදා ගැනීමටත් ක්‍රියාකළ යුතු ය. මෙබඳු සංශෝධිත ක්‍රමවේදයක් ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල විශ්වාසය දිනාගත හැකි වර්තමාන අර්බුදයට ඇති හොඳම ව්‍යවස්ථානුකූල විසඳුමක් බව ඒත්තු ගැන්වීමට අවශ්‍ය වේ.

මෙහිදී තේරුම්ගත යුතු තවත් විශේෂ කරුණක් නම් සමස්ත හෝ ප්‍රධාන පාලක කණ්ඩායම ඉල්ලා අස්වන තුරු විසඳුමක් සඳහා නොඑන බවට දැඩි පූර්ව කොන්දේසියක සිටින සැමගේ සහාය ද මෙබඳු සම්මුතියකට අත්‍යාවශ්‍ය වන බවයි.

එබඳු ඉල්ලා අස්වීමකින් ඇති වන රික්තය පිරවීමට යොදා ගන්නා අය තෝරා ගන්නේ ජනතාව විසින් නොව යම් කණ්ඩායමක් විසින් නම් එය ජනතා පරමාධිපත්‍යයේ පදනම හා ගැටේ. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මකවීම ද, භුක්ති විඳීම ද පිළිබඳ ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය පාලනයට අදාළ වන පහත සඳහන් පදනම් විධිවිධාන දෙක සම්මුතිගතවීමකදී ඉතා වැදගත්ය.

‘4(අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන මන්ත්‍රීවරයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින්ද, ජනමතවිචාරණයකදී ජනතාව විසින්ද ක්‍රියාත්මක කළ යුත්තේ ය.
(ආ) රටේ ආරක්‍ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය..’

හිස්වන පුටු පුරවනුයේ ජනතාව විසින් තෝරා පත්කර ගනු ලබන්නන්ගෙන්ද යන්න අප සම්මුතිගත වීමේදී අමතක නොකළ යුතුය.

Leave a Reply