පුද්ගලික අංශයේ සේවකයන්ගේ විශ්‍රාම අරමුදල වන සේවක අර්ථ සාධක අරමුදල රැක දෙන ලෙස ඉල්ලා වෘත්තීය සමිති කිහිපයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් 4 ක් පසුගිය 30 වන දා විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන ලදී. මෙම ප්‍රතික්ෂේප කිරීමට හේතුව ලෙස දක්වා ඇත්තේ දැනට මාස කිහිපයකට පෙර අන්තර් සමාගම් සේවක සංගමය ඉදිරිපත් කර තිබූ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබීමයි. මේ සම්බන්ධව ආණ්ඩුව විසින් කිසිදු උපදෙසක් නීතිපතිවරයාට ලබා දී තිබුණේ නැත.
පසුගිය වසරේ දී රනිල් ගේ ආණ්ඩුව විසින් දේශීය ණය ප්රතිව්යුහකරණය සඳහා අර්ථ සාධක අරමුදල භාවිතා කිරීම නිසා 2023 වසරේ සිට 2038 වසර දක්වා රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 0.5% ට සමාන මුදලක් අර්ථ සාධක අරමුදලට ලැබෙන පොළියෙන් කපා ගැනීමට නියමිතය. මේ කප්පාදුව හේතුවෙන් 2038 වසරේ සිට විශ්‍රාම යන පුද්ගලික අංශ සේවකයින්ට ලැබිය යුතු අරමුදලින් 47% පමණ අහිමි වේ. ආණ්ඩුව මෙම පියවර ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සිටම මේ මංකොල්ලය අවබෝධ කරගත් වෘත්තීය සමිති නායකයන්, කම්කරුවන්, බුද්ධිමතුන් මෙන්ම අනෙක් ජනතාවද වහාම මෙම ක්‍රියාව නවත්වන ලෙස ආණ්ඩුවට බල කරන ලදී. බරපතලම කාරණාව වූයේ සේවකයන්ගේ නමින් ඇති මෙම මුදල් එම ගිණුම් හිමියන්ගෙන් නොවිමසා මංකොල්ල කෑමට රනිල් සහ මහ බැංකු අධිපතිවරයා කටයුතු කිරීමයි. මේ පිළිබඳව වෘත්තීය සමිති නායකයන් මහ බැංකු අධිපතිවරයා හමු වී සේවක කැමැත්ත නොවිමසා මෙම කප්පාදුව සිදු නොකරන ලෙස ඉල්ලා සිටියද ඔහු මුනිවත රැක්කේය. සමිති නායකයන් ඔහුට කියා සිටියේ ඔහු අරමුදලේ භාරකරු මිස එම මුදල් අවභාවිතා කිරීමට ඔහුට නොහැකි බවයි.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම නඩු ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනී ස්වස්තිකා ආරුලිංගම් සහෝදරිය මාධ්‍යවලට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ මෙම මංකොල්ලය නැවැත්වීමට දැන් කම්කරුවන්ට කිරීමට සිදුව ඇති එකම ක්‍රියා මාර්ගය වන්නේ සංවිධානය වී වීදිවලට බැස මෙම කප්පාදු වැඩ පිළිවෙල ආපසු හැරවීමට ආණ්ඩුවට බල කිරීම බවයි.
- අර්ථ සාධක අරමුදල රැක ගැනීමේ සටන මහපාරට.. - November 5, 2024
- කඳුලක අන්දරය… - March 15, 2023
- IMF ණයට විකල්පයක් නැද්ද? - March 8, 2023