ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක නම වැනි විධායක ජනාධිපති වශයෙන් තේරීපත්වීම කරුණු කීපයක් නිසා ම ඓතිහාසික සිද්ධියකි. 2019 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී ඡන්ද තුන්ලක්ෂයක් ලබා ගත් ඔහුට මෙවර තරගයේ දී ඡන්ද ලක්ෂ හැටක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමට හැකි වන්නේ ද යන්න බොහෝ දෙනා මතු කළ ප්රශ්නයකි. ඔහුට ඡන්ද හැට ලක්ෂයක් ලබා ගත නොහැකි වුවත් පනස්හය ලක්ෂයක් ලබා ගෙන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසට වඩා ඡන්ද ලක්ෂ දොළහකට වැඩි පමණ ඉදිරියෙන් සිටීමට හැකි විය. පැවති තුන්කොන් තරගය නිසා ඔහුට ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනහේ සීමාව ඉක්මවා යෑමට නොහැකි වුවද මනාප ඡන්ද ගණන් කිරීමෙන් පසු ජයග්‍රාහකයා විමට හැකි විය.
දෙවැනිව අනුර කුමාර දිසානායක නමසිය පනස් හයේ දී මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ හැඳින් වු ආකාරයට බමුණු කුලයට අයත් දේශපාලකයෙකු නොවේ. නමසිය පනස් හයේදී ප්රභූයැයි සම්මත ජන කොටස්වල නායකත්වයෙන් තිබුණු එක්සත් ජාතික පක්ෂය පරදවා ගොවි කම්කරු සඟ වෙද ගුරුවරු අයත් ජන කණ්ඩායම්වල නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ ජයග්‍රහණය මාර්ටින් වික්‍රමසිංහ හැඳින් වූයේ බමුණු කුලයේ බිඳ වැටීමක් සේය. ඉංග්‍රිසි තම මවු බස සේ සැලකූ බටහිර සිරිත් විරිත් අන්ධ ලෙස අනුගමනය කළ සමාජ කොටස්වල පරාජය පොදු ජනයාගේ පිබිදීමකි. සමාජයේ බහුතරය වූ සිංහල කතා කරන ජන කොටසේ පහසුව සඳහා සිංහල රජයේ භාෂාව කිරීම රටේ පවතින අනෙක් භාෂාව වූ දෙමළ නොසලකා හැරීම නිසා මෙම ජනතා පිබිදීම ජන වාර්ගික බෙදීමක මූලය වුවද පනස් හයේ සිදු වූ පෙරළිය ලාංකීය ඉතිහාසයේ වැදගත් කඩමකි.
පසුගිය දා පැවති ජනාධිපතිවරණය බොහෝ අතින් බමුණු කුලයේ බිඳ වැටීම දෙවන වරටත් සනිටුහන් කිරීමකි. වියලි කලාපයේ ගොවි පවුලක උපත ලබා ගමේ ගොඩේ හැදී වැඩී ගමේ පාසලේ අකුරු කර පනස් හයේ පෙරළියෙන් බිහි වූ විශ්වවිද්‍යාලයකින් උපාධි ලබා ගත් අනුර කුමාර ගේ උරුමය සම්ප්‍රදායික ගොවි ජන ජීවිතයයි. ඔහුගේ දේශපාලනය හැඩ ගැසුණේ ගමේ ගොඩේ තරුණ විප්ලවවාදීන්ගේ ඇසුරෙනි. විවාදකාරී දේශපාලනයකට උරුමකම් කී එම දේශපාලන ව්‍යාපාරය ඔහුගේ සැබෑ තක්සිලාව විය. එවැනි පුද්ගලයෙකු මහා ධනවතුන්ගේ පොරපිටියක් වූ දේශපාලන කරලියෙන් පන්නරය ලබා ගෙන ජනාධිපති තනතුරට තේරී පත්වීම සුවිශේෂී සිද්ධියකි.
මීට පෙර සිටි හත්වන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද වියලි කලාපයේ ගොවි පවුලකින් බිහි වූවෙකු වුවද ඔහුට එම වරම ලැබුණේ ප්රභූයැයි සම්මත සමාජ කොටස්වල ආශීර්වාදය නිසාය. ඔහු සැබැවින්ම එම සමාජ කොටස්වල සුවච සේවකයෙකු වූයේය. එය ඔහුගේත් ඔහු නියෝජනය කළ දේශපාලන පැලැන්තියේත් ඛේදවාචකයක් විය. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම බලයේ සිටි කීප දෙනෙකු විසින් ජනතාව පෙළන උපකරණයක් බවට පත් කර ගන්නා ලදී. නීතිය හා සාමය බිඳ වැටී ආර්ථික සමාජ ජීවිතය පරිහානියට පත් විය. දිවි ගැට ගසා ගැනීම අනවරතයෙන් පීඩාවට පත් කෙරෙන අරගලයක් බවට පත්වුන තරුණ පරපුරට උපන් රට අත්හැර සයුරු තරණය කිරීම හැර විකල්පයක් නොවීය. සමහරුන්ගේ ගමන නිම වූයේ නොසිතු ආකාරයේ විනාශයකිනි. අවසානයේ දී පෙරදිග මුතු ඇටය බංකොළොත් වූයේ පාලකයන් ගේ අමනෝඥ අප්‍රසන්න ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග නිසා ය. නමසිය පනස් හයේදී මෙන් ජනතාව නැවත වරක් වෙනසක් අපේක්ෂා කෙළේ එවැනිම පරිහානියක් තුළ ය.
කැකෑරෙමින් පැවති සමාජ ආර්ථික ආවාටයෙන් ගොඩ ඒමට බිහි වූ සමාජ ව්‍යාපාර ප්රචණ්ඩත්වය අවියක් කර ගැනීමෙන් සිදු වූ හානිය ද සුළුපටු නොවේ. දේශපාලන න්‍යාය ධර්මතා සාවද්‍ය ලෙස අර්ථ ගැන්වීමෙන් ඔහු පිළිපන් ගමන් මාර්ගය සැම විටම නිවැරදි වූයේ නැත. මෙම සමාජ ව්‍යාපාරවලට ප්‍රචණ්ඩත්වයෙන් ප්රචණ්ඩත්වය පරාජය කළ නොහැකි බව තේරුම් ගැනීමට කලක් ගත විය. එසේ වුවද නිවැරදි දැක්මක් ඇතිනම් කාලයත් සමග ඉගෙන ගැනීම සමහර විට ආශීර්වාදයක් විය හැකිය. නම වැනි ජනාධිපති අනුර කුමාර අනෙකුත් ජනාධිපතීන්ගෙන් වෙනස් වන්නේ එවැනි නිවැරදි ජනතාවාදී දේශපාලන දැක්මක් සහ වැඩ පිළිවෙළක් ඇතැයි යන අපේක්ෂාවෙනි.
වඩාත් වැදගත් වන්නේ මෙම ජයග්‍රහණය ඔහු ගේ ගාමක බලය වූ දේශපාලන පක්ෂයේ හෝ සන්ධානයේ ජයග්‍රහණයකට පමණක් සීමා නොවන බව තේරුම් ගැනීම ය. මෙම ජයග්‍රහණයට මංපෙත් විවර වූයේ ජන සමාජයේ විවිධ ස්ථරවල හා විවිධ කොටස් තුළ පවතින ක්‍රමයට එරෙහිව හට ගත් විරෝධතාවයෙනි. එම විරොධතාවය ගොවි පොළේ වැඩ පොළේ දහඩිය වගුරුවමින් තම ශ්‍රමය වැය කළ මිනිසුන් තුළ පමණක් නොව සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන් තුළත් මහා ආයෝජකයන් තුළත් දක්නට ලැබිණ. 2022 ගාළු මුවදොර අරගලය එවැනි ප්රකාශනයකි. තරුණ ශිෂ්‍ය කොටස් ගිනියම් අව්වට වේළෙමින් තොරක් නැතිව කඩා වැටුණු වැස්සට තෙමි තෙමී එම අරගලයට නායකත්වය ගෙන දුන් අතර විවිධ සමාජ කොටස් නොකඩවා ලබා දුන් සහාය සහ ධෛර්ය ඔවුන්ගේ ශක්තිය විය. අනුර කුමාර ගේ ජයග්රහණයෙන් සංකේතවත් වන්නේ ද එම ශක්තිය සහ ධෛර්යයි.
මෙය හුදු මනක්කල්පිතයක් නොවන බව ඡන්ද ප්‍රතිඵල දෙස උඩින් පල්ලෙන් බැලීමෙන් පවා තහවුරු කර ගත හැකිය. ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට නිශ්චිත බහුතරයක් එනම් සියයට පනහේ සීමාව ඉක්ම වූ බහුතරයක් ලැබුනේ අරගලය තදින් ම ක්‍රියාත්මක වූ බස්නාහිර, දකුණ සහ වයඹ පළාත්වලිනි. කොළඹ දිස්ත්‍රික්කයේ මෙම ප්රවනතාවය හොඳින්ම කැපී පෙනේ.
උතුර නැගෙනහිර සහ වතුකරයේ ජාතික ජන බලවේගයට ලැබුණු සහාය සෑහීමට තරම් නොවේ. එය අනුර කුමාර සඳහන් කළ ආකාරයට ම වෙනස් කොට සැලකීමට හේතුවක් නොවිය යුතු නමුත් එසේ වූයේ ඇයිද යන්න තේරුම් ගැනීම පද්ධතිය වෙනස් කිරීමේ ගමන් මග තීරණය කිරීමේ දී වැදගත් ය. උතුර නැගෙනහිර දෙමළ ජනතාව ස්වයං පාලනයක් වෙනුවෙන් පෙනි සිටි පාක්‍යසෙල්වම් අරියනෙත්තිරම් නොසලකා සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස තෝරා ගත්තේ ඇයිද යන්න තේරුම් ගත යුතුය.
දෙමළ ජනතාව බෙදුම්වාදය අනුමත නොකරන නමුත් ඔවුහු තම දේශපාලන දුක් ගැනවිලිවලට සාධාරණ විසඳුමක් අපේක්ෂා කරති. ඔවුන් ඒ ගැන පැහැදිලි නිශ්චිත ස්ථාවරයක් ගත් සජිත් ප්‍රේමදාස තෝරා ගත්තේ එම නිසා ය. වතුකරයේ දෙමළ ජනතාව ද දිගු කලක් තිස්සේ පීඩාවටත් මර්දනයටත් ලක්වන නිසා ඒවාට විසඳුම් ලබා දීම තිරණාත්මක ය. මෙම ජන කොටස්වල සහාය නැතිව වුවත් මධ්‍යම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමටත් පවත්වා ගැනීමටත් හැකි වුවද ආර්ථික සංවර්ධනය සහ සමාජ සාධාරණත්වය පවත්වා ගැනීමට සියලු ජන කොටස්වල සහභාගිත්වය සහ සහයෝගය ලබා ගැනීම අනිවාර්ය ය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේත් ඔහුට පසුබිම්වන පෙරමුණු සහ පක්ෂවල දේශපාලන අනාගතයත් තීරණය වන වැදගත් සාධක දෙකක් වන්නේ සමාජ දේහය වෙළාගත් පිළිකාවක් වන වංචාව දුෂණය සහ අසාධාරණය තුරන් කිරීම සහ ජනතාවට සමෘද්ධිමත් ජීවිතයක් ගොඩ නගා ගැනීමට හැකි කරවන දේශපාලන සහ ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම ය. එහෙත් ඒ සියල්ල රඳා පවතින්නේ ජනතාවට වගකියන සහ වගවෙන එමෙන්ම ජනතාව ඵලදායි ලෙස සහභාගි කර ගන්නා පරිපාලන යාන්ත්‍රණයක් බිහි කිරීම මතය. එනම් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතා සහභාගිත්වය ඇතිව සම්මත කර ගැනිම මතය. 1978 දී ජේ ආර් ජයවර්ධන පාලනය හිතුවක්කාර ලෙස පැන වූ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිය සහ සාමය පවත්වා ගැනිමට හෝ ආර්ථින සංවර්ධනයක් ඇති කිරීමට සමත් වූයේ නැත. තිස් අවුරුදු වාර්ගික යුද්ධය ප්‍රධාන ජන කොටස් දෙක අතර ගැඔුරු බෙදීමකට හේතු වූ අතර ආර්ථික සංවර්ධනය සම්පුර්ණයෙන්ම කඩා වැටිණ. මෙම ප්‍රශ්නයට සාර්ථක විසඳුම් සොයා ගත් සිංගප්පූරුව වැනි රටවල් කෙටි කාලයක් ඇතුළත අත් කර ගත් ආර්ථික සහ සමාජයීය ජයග්‍රහණ ආදර්ශයට ගැනීමට කාලය පැමිණ ඇත.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තවත් පලයක් වන්නේ සමාජ දේහය වසා ඇති දූෂණය සහ විවිධ ආකාරයේ සමාජ විරෝධී ක්‍රියාවන් උත්සන්න වීමය. මේවාට විසඳුම් ලබා දීමේදී නීතිය වැදගත් වුවද ජනාධිපති අනුර කුමාර ධූරප්‍රාප්ති උත්සවයේ දී පැවසු ආකාරයට නීතියෙන්ම එය ලබා දිය නොහැකිය. කලක් තිස්සේ මුල් බැස ගත් මෙම සමාජ විරෝධී ක්‍රියා තුරන් කිරීම සඳහා ප්‍රබල සමාජ ව්‍යාපාරයක් ද අවශ්‍ය ය. ඒ සඳහා නීති රීතිවලට අමතරව ජනතාවට සෘජුවම වගකියන ජනතා සහභාගිත්වය ඇති නව ආයතන බිහි කිරීමට සිදු වනු ඇත. එහෙත් එම ආයතන සහ ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වීමට නම් එය ආණ්ඩුවේ වගකීමකට වඩා ජනාතාවගේ අවශ්‍යතාවයක් බවට පත් කළ යුතුය.
ජනාධිපතිවරණයේ ජයග්‍රහණයේ මල්පල ගැන්වීමට නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් පමණක් නොව ජනතා සහයෝගය දිනා ගැනිම ද අවශ්‍ය ය. එය තීරණය වන්නේ ද දේශපාලන ක්‍රියා මාර්ගය මත ය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සීනි බෝල පොරොන්දු මගින් ඡන්දය දිනා ගැනිමට ( ඔහුට ඡන්ද දශ ලක්ෂ දෙකක් ලබා ගැනීමට සීනි බෝල ද හේතු වන්නට ඇත.) උත්සාහ කළ ආකාරය කිසිසේත් විසඳුමක් නොවේ. එය තාවකාලිකව තමාත් ජනතාවත් මුළා කර ගැනීමේ උත්සාහයකි.
සැබෑ විසඳුම් වන්නේ ජනාතව කෙරේ විශ්වාසය තබන ප්රජාතන්ත්රවාදී පාරද්‍රශ්‍ය ක්‍රියා මාර්ගයක් පමණි.
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024
- වෘකයා පොරවා ගත් බැටළු හම ඉවත් කිරීමට පෙර සිතා බැලිය යුතුය.. - October 14, 2024