You are currently viewing අඳුරු මහාද්වීපයෙන් පහන් වූ තවත් පහන් තරුවක් – අග රදගුරු ඩෙස්මන් ටුටු

අඳුරු මහාද්වීපයෙන් පහන් වූ තවත් පහන් තරුවක් – අග රදගුරු ඩෙස්මන් ටුටු

පසුගිය වසර ගෙවී යත්ම ආච් බිෂොප් ඩෙස්මන් ටුටු ගේ අභාවය දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලයේ දීප්තිමත්ව බැබලූණ තවත් පහන් තරුවක නිමාව සටහන් කරයි. අභාවප්‍රාප්ත නෙල්සන් මැන්ඩෙලා විසිවන සිය වසේ මැද භාගයේ සිට නව ජීවයක් ලත් දකුණු අප්‍රිකාවේ නිදහස් සටනේ දේශපාලන නායකයා වූ අතර එහි ආගමික සහ ආධ්‍යාත්මික නායකයා වූයේ අග රදගුරු ඩෙස්මන් ටුටු ය. පැවිදි භාවය නිසා අත් අඩංගුවට ගැනීමක් හෝ කළු ජාතිකයන්ට පැන වූ වෙනත් සීමා කිරීම්වලට ලක් නොවුවද  ටුටු කිසි විටෙකත් වර්ග භේදවාදී පාලකයන්ට අවනත වූයේ නැත. නිදහස් අරගලයට එක් වූ නායකයන් මෙන්ම ක්‍රියාකාරීන් ද බුරුතු පිටින් සිර ගෙවල්වලට යවා වධ හිංසාවලට ලක් කළ නමුත් ටුටු සිය නිදහසේ කාහල නාදය මෘදු කෙළේ නැත.

අගරදගුරු ඩෙස්මන් ටුටු [Archbishop Desmond Tutu]

සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කළ ටුටු එක පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු පහත් කොට සැලකීම සහ වෙනස් කොට සැලකීම ක්‍රිස්තියානි දහම අනුව මහා පාපයක් සේ හැඳින්වූයේය. ඔහු එම පාපයෙන් සුදු ජාතික පාලකයන් මුදවා ගැනීමට සහාය වන ලෙස සුදු ජාතිකයන්ගෙන්  ද ඉල්ලා සිටියේ ය. සමහර කළු අන්තවාදී කොටස්වලින් වෙනස් ව දකුණු අප්‍රිකාව එහි වෙසෙන සියලු ජන කොටස්වලට අයත් බව හැම විටම අවධාරණය කෙළේය. එමෙන්ම ප්‍රචණ්ඩත්වය කවර ජන කොටසකින් එල්ල වුව ද එය හෙළා දැකීමට ටුටු කිසි විටෙක පසුබට වූයේ නැත.

සත්‍යය සහ සන්හිඳියා කොමිසම, සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂිය විමසමින්…
වෛද්‍ය ඇලෙක්ස් බෝරින්ගේ (වමේ) අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු පියතුමා (මැද), ගරු බොංගන්නි ෆින්කා පියතුමා (දකුණ) – 1996 අප්‍රේල් නැගෙනහිර ලන්ඩනය.

මෙය හොඳින් ම පැහැදිලි වූයේ 1994 සුදු වර්ග භේදවාදී පාලනය අවසන් කොට නෙල්සන් මැන්ඩෙලාගේ නායකත්වයෙන් නව රජයක් පිහිටුවීමෙන් පසුව පිහිටුවන ලද සත්‍යය සහ සන්හිඳියා කොමිසමේ සභාපති තනතුරේ ඔහු ක්‍රියාත්මක වූ ආකාරයෙනි. වර්ග භේදවාදී පාලන සමයේ කරන ලද මානව අයිතිවාසිකම් කඩ කිරීම් සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් තම වගකීම භාරගෙන සමාව අයදින පුද්ගලයන්ට ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට ස්ථාපනය කළ මෙම කොමිසම ඉදිරියට නෙල්සන් මැන්ඩෙලාගේ බිරිඳ ( ඒ වන විට ඇය මැන්ඩෙලාගෙන් වෙන්ව සිටියා ය.) විනී මැන්ඩෙලා ද කැඳවනු ලැබිණ.

විනී මැන්ඩෙලා [Winnie Mandela]

ඇයට විරුද්ධව නැගී තිබුණ චෝදනාව වූයේ නිදහස් අරගල සමයේ දී කළු ජාතික තරුණයන් පිරිසක් ඝාතනය කිරීමට ආධාර අනුබල දීම ය. දකුණු අප්‍රිකාව තුළ මහත් ආන්දෝලනයක් ඇති කළ මෙම සිද්ධිය නිදහස් අරගලයේ කළු පැල්මකි. කොමිසම ඉදිරියට ඇය කැඳ වූ ටුටු සමාව අයදින ලෙස වරක් නොව තෙවරක්ම ඇයගෙන් ඉල්ලා සිටියේය. එහෙත් ඇය ඊට එකඟ වූයේ නැත. ඒ නිසාම ඇයට සමාව ලබා දිමට ටුටු එකඟ වූයේ නැත. ටුටු ගේ මෙම පියවර නිදහස් අරගලයේ සමහර අයගේ විවේචනයට ලක් වුවද ඔහු හැම අවස්ථාවකම මනුෂ්‍යත්වයේ නාමයෙන් සාධාරණය සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටියේ ය.

නිදහස අරගලයේ දී අප්‍රිකානු ජාතික කොංග්‍රසයේ දේශපාලන දැක්ම සහ ක්‍රියා මාර්ග සමග සමීපයෙන් ම සිටි ටුටු, නෙල්සන් මැන්ඩෙලාගෙන් පසුව එම පක්ෂය තුළ වංචා, දූෂණ සහ ඥාති මිත්‍ර සංග්‍රහය ඉස්මතු වන විට එය තදින් ම විවේචනය කෙළේය. මේ නිසා ඔහු පාලකයන්ගේ කෝපයට ලක් වුව ද ජනතා අපේක්ෂා ඉටු කිරීම සහ ඒ වෙනුවෙන් පෙනි සිටීම වඩා වැදගත් බව අවධාරණය කෙළේය.

සෑම සැබෑ මානව හිතවාදියෙකු මෙන්ම ටුටු ද ජාත්‍යන්තරවාදියෙකු වූයේය. අප්‍රිකාවේ සෙසු රටවල කළු ජාතික පාලනය යටතේ සිදුවන අකටයුතු ඔහු අනුකම්පා විරහිතව විවේචනය කෙළේය. කළු ජාතික පාලනය යටතේ දරිද්‍රතාවය සහ සමාජ අසමානත්වය වඩාත් පුළුල් වීම ඔහු හැඳින්වූයේ කළු පාලකයන්ගේ අසමත් වීමක් සේය.

ඔහුගේ හදවත සසල කළ තවත් ජන අරගලයක් වූයේ ඊශ්‍රායෙලයේ යුදෙව් පාලකයන් පලස්තීන ජනතාව තම උපන් බිමෙන් පලවා හැර සරණාගතයන් බවට පත් කිරීමත් එම ජනතාවගේ මානව අයිතිවාසිකම් අහිමි කිරීමත් ය. මෙම මර්දනය සහ පීඩණය දකුණු අප්‍රිකාවේ වර්ග භේදවාදි පාලනයෙන් වෙනස් නොවන බව පෙන්වා දුන් ඔහු ඊශ‍්‍රායෙල් රාජ්‍යයට විරුද්ධ වීම සහ පලස්තීන ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිම මානවවාදීන්ගේ ශුද්ධ වූ අයිතියක් බව නිතර අවධාරණය කෙළේය.

එක්සත් ජනපදය ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීම ද ඔහු තදින් ම හෙළා දුටුවේ ය. ලංකාවේ බෙදුම්වාදි යුද සමයේ සිදු වූ යුද අපරාධ ද ඔහුගේ විවේචනයට ලක් විය.

දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලය දෙස බැලීමේ දී නෙල්සන් මැන්ඩෙලා සහ අග රදගුරු ඩෙස්මන් ටුටු එකම කාසියක දෙපැත්තකි. මැන්ඩෙලා නිදහස් අරගලයට අයිතිවාසිකම් දිනා ගැනීමේ කෝණයකින් නායකත්වය දුන් අතර ඩෙස්මන් ටුටු අයුක්තියට සහ අසාධාරණයට විරුද්ධ වීම සදාචාරමය අයිතියක් බව පෙන්වා දුන්නේය. මෙම සුසංයෝගය නොවන්නට දකුණු අප්‍රිකාවේ නිදහස් අරගලයේ ගමන් මාර්ගය ලෝක පූජිත නොවනු ඇත. 

Leave a Reply