පසුගිය දා කොළඹ අලුත්කඩේ අධිකරණයේ විනිසුරුවෙකු ඉදිරියේම නඩුවකට පෙනි සිටීම සඳහා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව ඇතිව ගෙන ආ සැකරුවෙකුට වෙඩි කබා මරා දැමීම මහත් කම්පනයක් වූයේ පුද්ගලයෙකුගේ ජීවිතය අහිමි වීම නිසාම නොවේ. වඩාත් කම්පාවට පත්විය යුතු කාරණය වන්නේ යුක්තිය පසිඳලන අධිකරණයක දී පවා කිසිවෙකුගේ ජීවිතය ගැන සහතිකයක් නැති තත්වයකට අප පත්ව සිටීමයි. සමහර අය පවසන ආකාරයට අධිකරණයක් තුළ මනුෂ්‍ය ඝාතනයක් සිදු වු පළමු අවස්ථාව මෙය නොවන නිසා සිද්ධිය බරපතළ නොවේ. අනිත් අතට රට පුරාම දිනපතාම පාහේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනය කිරීම් වාර්තා වන නිසා අධිකරණය තුළද ඝාතනයක් සිදුවීම බරපතළ කාරණයක් වුවද සාමාන්‍ය දෙයකි.

ක්‍රමයේ වෙනසක් ගැන කතා කරන ජාතික ජනබලවේගයේ මැති ඇමතිවරු මෙම සිද්ධිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව පුන පුනා කිහ. ජනාධිපති අනුර කුමාර දිසානායක ද මෙවැනි ඝාතන පාතාල කල්ලිවලින් මෙහෙයවන දේශපාලන රැකවරණය ලබන කුඩු ජාවාරම්කරුවන්ගේ අවි ගැටුමක් විනා ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොවන්නේයැයි කීවේය.
මේ අය ජාතික ආරක්ෂාව යන්නෙන් අදහස් කරන්නේ දේශපාලන බලය ලබා ගැනීම සඳහා ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම විය හැකිය. දැනට යුදබිමෙන් පරාජය වි සිටින එල්ටීටීඊය එම අර්ථයෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයකි. පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ ජාතික තව්හිද් ජමාත් සංවිධානය ද ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කළ නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයකි. අධිකරණය තුළ සිදු වූ ඝාතනයෙන් පසුව ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි සංවිධාන ගණනාවක් තහනම් කිරීමේ ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබිණ. ඒ සංවිධාන අතර කුඩු ජාවාරම්කරුවන් හෝ පාතාල කල්ලි කිසිවක් සඳහන් නොවීමෙන් ඔවුන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බව නිල වශයෙන්ම පිළිගැනීමකි.
දේශපාලන බලය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විපක්ෂයේ සිටිය දී කියන කතා සහ දේශපාලන බලය ලබා ගැනීමෙන් පසුව කියන කතා අතර පවතින වෙනස හැත්තෑහය වසරක අපේ දේශපාලන අත්දැකිම නිසා බලයේ සිටින දේශපාලකයන් ජාතික ආරක්ෂාව යන්නෙන් අදහස් කරන දේ කලින් කලට වෙනස්වීම පුදුමයක් නොවේ. එහෙත් රටේ සාමාන්‍ය ජනතාවට ආරක්ෂාව යන්නෙන් අදහස් වන්නේ බියෙන් සැකයෙන් තොරව ජීවිත්වීමේ නිදහසයි. ජීවත්වීමේ නිදහස යනු හරි හම්බ කර ගත් දෙයක් කා බී තමන්ගේ පාඩුවේ ජීවත්වීම පමණක් නොවේ. සමාජ ජීවිතයත් බියෙන් සැකයෙන් තොරව ගත කිරීමේ නිදහස තිබිය යුතුය. දේශපාලන රැකවරණය ඇතිව හෝ නැතිව පාතාල කල්ලි ක්‍රියාත්මක වන සමාජයක එවැනි අවස්ථාවක් නැත.
විශේෂයෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බියෙන් සැකයෙන් තොර සහභාගිවීමට ජනතාවට හැකියාව තිබිය යුතුය. අධිකරණ නඩු විභාග ප්‍රසිද්ධියේ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රීය අයිතියකි. යුක්තිය සහ සාධාරණත්වය ඉටු වන ආකාරය නිරීක්ෂණය කිරීමට අදාල පාර්ශ්වයන්ට පමණක් නොව සාමානය ජනතාවට ද අවස්ථාව හිමි විය යුතුය. රහසිගතව පවත්වන නඩු විභාගයකින් ලබා දෙන තීන්දුවට වඩා ප්‍රසිද්ධ නඩු විභාගයකින් ලබා දෙන තීන්දුවේ සමාජයීය වටිනාකම වැඩිය. කුමන හෝ නඩු විභාගයක් ප්‍රසිද්ධියේ පැවැත්වීමට සුදුසු වාතාවරණයක් කිසියම් සමාජයක නැතිනම් එහි ජාතියේ ආරක්ෂාවක් නැත.

අලුත්කඩේ සිද්ධියෙන් පෙනි යන්නේ සාමාන්‍ය ජනතාවගේ පමණක් නොව විනිශ්චයකරුවන්ගේ ආරක්ෂාව පවා තහවුරු වී නැති බවයි. ඊට විසඳුමක් වශයෙන් අධිකරණයට පැමිණෙන අය සීමා කිරීමත් පැමිණෙන අය. නිතිඥයන් ඇතුළත්ව, සියලු දෙනා දැඩි පරික්ෂාවට ලක් කිරීමත් සමාජයේ පවතින බරපතළ අර්බුදය මගහැර යෑමේ උත්සාහයකි. මෙවැනි ‘ආරක්ෂණ’ වැඩ පිළිවෙලක් නිසා සමහර විට ඉදිරියේ දී අධිකරණයක් තුළ වෙඩි තබා හෝ වෙනත් ආකාරයෙන් සිදු කරන මිනිස් ඝාතන වැළැක්වීමට හැකි වනු ඇත. එහෙත් ඉන් සමාජයේ නැතිනම් ජාතියේ ආරක්ෂාව තහවුරු වී ඇතැයි කියන්නේ කෙසේද? මෙය තේරුම් ගත යුත්තේ අධිකරණයක් තුල දී පවා මිනිස් ඝාතන සිදු වන්නේ නම් එම සමාජය කෙතරම් දුරට පරිහානියට පත්ව ඇද්ද යන්නයි. රටේ සාමය සහ ආරක්ෂාව තහවුරු වී තිබේ නම් අධිකරණයක් තුළ අනාරක්ෂිත තත්වයක් ඇති වන්නේ නැත. අධිකරණයක් තුළ පවා ආරක්ෂාව නැතිනම් පෙනි යන්නේ රටේ කිසිම තැනක ආරක්ෂාව නැත යන්නයි. එය ජාතික ආරක්ෂාව පිළිබඳ කරුණක් ද යන්න ද්විතීය කාරණයකි.
රටක ආරක්ෂාව තහවුරු වී ඇත්නම් අධිකරණයට හෝ මැති ඇමතිවරුන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ නැත. අද ජාතික ජනබලවේගයේ ජනාධිපති ඇතුලු මැති ඇමතිවරුන් ආරක්ෂාව සඳහා විශාල සන්නද්ධ කණ්ඩායම් යොදා ගෙන නැති නිසා ආරක්ෂාව ගැන ගැටලුවක් නැතැයි කිව හැකිය. එහෙත් එය දිය රත් වන තෙක් සිසිල් ජලයේ කෙළිදෙළෙන් ඉන්නා කකුළුවෙකුගේ කතාව සිහිපත් කරන්නකි. මෙම අපරාධවලට සම්බන්ධයැයි සැකපිට අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගේ වතගොත විමසා බලන්නේ නම් සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව තහවුරු වන්නේ කෙසේද යන්න බරපතළ ගැටලුවකි. ආරක්ෂක අංශවල සේවය හැරදා ගිය හෝ සේවයෙන් නිදහස් කරන පුද්ගලයන්ට අමතරව සේවයේ යෙදි සිටින ආරක්ෂක අංශවල නිලධාරීන් ද අපරාධවලට සම්බන්ධ වී ඇති බව දැකිය හැකිය. ඉන් අදහස් වන්නේ ආරක්ෂාවට ඉන්නා අයගෙන් පවා ආරක්ෂාවීමේ අවශ්‍යතාවයක් පවතින්නේ ය යන්නයි.
ඇත්තෙන්ම දශක ගණනාවක් තිස්සේම අපේ රටේ නිතිය සහ සාමය පවත්වා ගැනීමේ යාන්ත්‍රණය දුර්වලවීමට වඩා කඩා බිඳ දැමීමට ලක්ව ඇත. නීතිය යනු තමා කියන දෙයැයි කිමට තරම් විධායක ජනාධිපතියෙකු සාහසික වූයේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටීම නිසාය. පාලකයා රටේ නිතියට ඉහළින් සිටීම නිසා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ සිට සෑම ආයතනයක්ම පරිහානියට පත්ව ඇත. මෙය පාලනයේ ඉහළ ස්ථරවලට පමණක් සීමා වූවක් නොවේ.
මෙම වියවුල් තත්වය පැහැදිලි කිරීමට හොඳම නිදසුනක් පසුගිය දා සමාජ මාධ්‍යයේ සහ මුද්‍රිත මාධ්‍යයේ පළ විය. ඒ වත්තල ප්‍රදේශයේ දී පැහැරගත් ලොරියක් පිළිබඳ සිද්ධියකි. එම ලොරියේ රියැදුරු ලොරිය නතර කොට තේ පානය සඳහා අසළ තිබු කඩයකට ගිය අවස්ථාවේ කිසියම් පුද්ගලයෙකු ලොරිය පැහැර ගෙන ගොස් ඇත. කෙසේ නමුත් මහත් පරිශ්‍රමයක් දරා එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමටත් ලොරිය නිදහස් කර ගැනීමටත් පොලීසියට හැකි විය. වැදගත්ම කාරණය එය නොවේ අත් අඩංගුවට ගත් පුද්ගලයා පිළිබඳව නීතිය ක්‍රියාත්මක වූ ආකාරයයි. පුවත් පත්වල පළවූ ආකාරයට මුස්ලිම් තරුණයෙකු වූ එම පුද්ගලයාට එරෙහි නීති පියවර ගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය.
අප කවුරුත් දන්නා ආකාරයට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කෙළේ දෙමළ තරුණ කණ්ඩායම් සන්නද්ධ ක්‍රියා තුළින් ඊලාම් රාජයයක් පිටිවිටුවීමට ගත් උත්සාහය වැළැක්වීමේ අරමුණෙනි. එම පනත වලංගු කාලය ද මාස කිපයකට සීමා විය. එම බියකරු පනත අවලංගු කරන බවට ජාතික ජනබලවේගය ද මැතිවරණ පොරොන්දුවක් දුන්නේය.
තේරුම් ගැනිමට අපහසු වන්නේ වත්තල දී ලොරියක් පැහැර ගැනීම ත්‍රස්තවාදී ක්‍රියාවක්යැයි හැඳින් වූයේ කෙසේද යන්නයි. එම පැහැර ගැනිම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් විය හැක්කේ එය ත්‍රස්තවාදී කටයුත්තක් අරමුණු කර ගෙන සිදු වූයේ නම් පමණි. එවැනි සොයා ගැනිමක් ගැන පුවත් පත් වාර්තාවල සඳහන් වූයේ නැත. එය සාමාන්‍ය අපරාධයක් පමණි. ත්‍රස්තවාදයට කිසියම් ආකාරයකින් හෝ සම්බන්ධ කළ හැකි වන්නේ එම තරුණයා මුස්ලිම් කෙනෙකු වීම නිසා පමණි. මෙම සිද්ධියෙන් සතියකට පමණ පසු නැගෙනහිර පළාතේ අන්තවාදී මුස්ලිම් ව්‍යාපාරයක් ගැන තොරතුරු ලැබි ඇතැයි වාර්තා විය. ජනාධිපති අනුර කුමාර දිසානයක තමාට ද එවැනි තොරකුරු ලැබී ඇතැයි පැවසුවේය.

අපට ශක්තික සත්කුමාරගේ සිද්ධිය සිහි වන්නේ මෙම පසුබිම යටතේය. ඔහු රචනා කළ කෙටි කතාවකින් බුද්ධාගමට අපහාසයක් වන නිසා අන්තර්ජාතික සිවිල් සහ දේශපාලන සන්ධාන පනත ; (I C C P R පනත) යටතේ ඔහු අත් අඩංගුවට ගෙන දිගු කලක් රඳවා ගෙන තිබිණ.
නීතිය සහ සාමය රැකීමට සිටින නිලධාරින් සහ ආයතන ක්‍රියාත්මක වන්නේ පාලකයන්ගේ කැමැත්ත අනුව බව පැහැදිලි කිරීමට මෙම අවස්ථා දෙක ප්‍රමාණවත්ය. එහි අවසාන ප්‍රතිඵලය රටේ නිතිය හා සාමය බිඳ වැටී සියලු දෙනාම අනාරක්ෂිත තත්වයට පත් විමය. පාතාලය සහ වෙනත් සමාජ විරෝධී කණ්ඩායම්වලට නිදහසේ ක්‍රියාත්මක විය හැකි වන්නේ එවැනි තත්වයක් යටතේය. නිතිය හා සාමය බිඳ වැටීම රටේ ආරක්ෂාවට තර්ජනයකි. එය ජාතික ආරක්ෂාව නොවන්නේ කවර අර්ථ ගැන්වීමෙන්ද යන්න පැහැදිලි කළ යුතුය.
රටේ නිතිය හා සාමය තහවුරු කළ හැකි වන්නේ පාතාලය සහ ඊට රැකවරණය ලබා දෙන්නන් දඩයම් කිරීමෙන් පමණක් නොවේ. මෙම ව්‍යාධියේ රෝග ලක්ෂණ හැඳින ගෙන ඊට පිළියම් යෙදිය යුතුය. දේශපාලනය එහි එක් ලක්ෂණයකි. නීති පැනවීම ව්‍යාධිය තුරන් කිරීමේ එක මාර්ගයකි. වඩාත් වැදගත් වන්නේ සමස්ත සමාජයටම වගවෙන සහ රටේ පරිපාලනයට වගකියන පාරද්‍රශ්‍ය පද්ධතියක් නිර්මාණය කිරීමය. ජාතියේ ආරක්ෂාව තහවුරු වන්නේ එවිටය.
- අධිකරණයටත් ආරක්ෂාව නැති විට ජාතියට ඇති ආරක්ෂාව කුමක් ද? - March 8, 2025
- අතීසාරයට අමුඩ ගැසීමෙන් රෝගය සුව නොවන බව නොදන්නා ජන බලය.. - February 15, 2025
- රජයෙන් වී මිලදී ගැනීමෙන් සහල් අර්බුදය විසඳේ ද? - January 23, 2025