You are currently viewing ‘අද තිබෙන්නේ පසුගිය 73 වසරක නොදුටු විරූ ආර්ථික අර්බූදයක්..!

‘අද තිබෙන්නේ පසුගිය 73 වසරක නොදුටු විරූ ආර්ථික අර්බූදයක්..!

මෙහි පළවන්නේ ප්‍රසාද් සේනාධීර ‘විවරණ’ වෙනුවෙන් මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වය පිළිබඳ පැවැත්වූ සාකච්ඡාවකි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ලියනගේ මහතා, ජනතාවාදී සමාජ දේශපාලන මතවාදය වෙනුවෙන් කැපවූ දේශපාලන ක්‍රියාකාරියෙකු ද වේ.

ඔබ හිතන්නේ ඇත්තටම රට තුළ ආර්ථික අර්බුදයක් තියෙනවා කියල ද?

2022mar30[2]_gas

ඔව්.. ඒක පාරට බැස්සම පේනවනේ. ගෑස් පෝලිම – ඉන්ධන පෝලිම – භාණ්ඩ හිඟයක්. මේ ඕනෑ තැනකින් පේනවා, රටේ පසුගිය හැත්තෑ තුන් වසරක් තුළ නොදුටු විරූ ආර්ථික අර්බුදයක් තියෙන බව.

හැබැයි රජය පවසන්නේ කියන තරම් රටේ ආර්ථික අර්බුදයක් නැහැ කියලයි..

ඔව්. ඉතින් රජයට ඕනේ තමන්ගේ අඩුපාඩු මකාගන්න. රජය නිතරම කියන එකක් තමා අර්බුදයක් නෑ කියන එක. හොඳම උදාහරණය තමා බලශක්ති ඇමතිවරයා නිරන්තරයෙන් කියන කතාව. ඉන්ධන පෝලිමේ ඉන්න ජනතාව දිහා බැලුවම පේනවා රජය කියන කතාව සත්‍යයක් නොවන බව. ඒ වගේම විදුලිබල ඇමතිතුමගෙ කතාව ඇහුවම අපට පේනවා එහි කිසිම සත්‍යයක් නැති බව. ඒ නිසා රජය කියන දේ පිළිගන්න, අපට මහ පාරේ තියෙන තොරතුරු ඉඩදෙන්නේ නෑ.

අපේ රට විදේශ මුදල්  අර්බුදයකට  යන්නේ ඇයි?

විදේශ මුදල් අර්බුදයට යන්නේ පසුගිය අවුරුදු 2 තුළ නිරෝගී විදේශීය සංචිත තිබිලා නැහැ. නිරෝගී විදේශීය මුදල් සංචිතයක් කියලා කියන්නේ රටේ ආර්ථික ශක්තිය මත උපයා ගත් විදේශ මුදල් සංචිතයක් තිබීම. ඒ වෙනුවට තිබිලා තියෙන්නේ පසුගිය අවුරුදු 15ත් 20ත් අතර කාලය තුළ වෙනත් රටවලින් රජය ලබාගත්, එකතු කරගත්තු, සමුච්ච කරගත්තා වූ විදේශීය විනිමය සංචිතයක් පමණයි. ඒක නිරෝගී එකක් නොවෙයි. නිරෝගී වෙන්නට නම් අපේ ආනයනයට වඩා අපේ අපනයනය වැඩි වීමෙන් හෝ විදේශ මුදල් ඉපයීමේ මාර්ග වලින් ලැබෙන ආදායම වැඩි වීමෙන් හෝඅපි එකතු කර ගන්නා වූ විදේශ මුදල් සංචිතයක් තිබිම තුලින් නිරෝගී එකක් වෙන්නේ. එසේ නොවීම නිසා තමා ඒවා ඉතාමත් ඉක්මනින් නැතිවී යාම  වෙන්නේ. ඒක  එච්චර පුදුමයක් නොවේ.  එක් කරුණක් කියන්න ඕන  එසේ වීමට කොරෝනා වසංගතය සැලකිය යුතු ප්‍රමාණයකින් බලපාල තියෙනවා.

ඔබ කියන විදියට පොඩ්ඩක් හරි තිබූ මේ විදේශ මුදල් අඩු වුණේ ඇයි?

විදේශ මුදල් සංචිත අඩූවුනේ පසුගිය අවුරුදු 2 තුල. අපේ අපනයන ප්‍රමාණය ඩොලර් බිලියන 11 විතර තිබුනා. අපේ ආනයනය ඩොලර් බිලියන 23 ක් විතර තිබුනා. එතකොට ඒකේ හිඟය ඩොලර් බිලියන10 ක් 12ක් විතර. ඒ කියන්නේ මේ ප්‍රමාණය අපේ රටෙන් පිටට යනවා සෑම වසරකම. පසුගිය වසර දෙකේ සහ ඊට කලින් ඩොලර් බිලියන 10ක් 12ක් ප්‍රමාණයක්. එතකොට ඒ අතරතුර එවා පිය වෙන්න  අපට ලැබෙන්නේ නැත්නම් අර්බුදයක්. පාස්කු ප්‍රහාරයට කලින් සංචාරකයින් ගෙන් ඩොලර් බිලියන 4.1/2 ක් පමණ ලැබුණා. ඒක අඩු උනා ඩොලර් බිලියන 1.1/2 කට. අපේ විදේශීය ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ එකවතාවක් ඩොලර් බිලියන 7.2ට තිබුන. එක අඩුවෙනවා ඩොලර් බිලියන් 2 කට. එතකොට ඒ ඩොලර් බිලියන 5 ක් අඩුවෙනවා. මේක පියවා ගන්න බැරිවෙනවා. ඕකට එකතු වෙනවා මෙතෙක් කල් එකතු කරගත්ත ණය කන්දට අපි ගෙවන්න ඕන පොලිය සහ ණය වාරිකයන්. ඒක 2022 වසරට ඩොලර් බිලියන 6.2 දක්වා ඉහල යනවා. මේ තමා අපේ ආර්ථිකයට නොලබීම සහ  රටේ ආර්ථිකය විශාල වශයෙන් කාන්දු වීම සිදු වෙනවා.

රට තුළ විදේශ විනිමය උපයා ගන්නට උත්සාහ කළේ විදේශ රටවල ශ්‍රමිකයන්ගෙන් පමණයි.  අපනයනයන්ට මූලිකත්වය දුන්නේ නෑ නේද? 

නෑ.  භාණ්ඩ  අපනයනයට දුන්න මූලිකත්වය සහ දුන්න ඉලක්කයන් එතරම් ප්‍රමාණවත් නෑ. නමුත් මට කියන්න බෑ ඊට වැඩිය.  ප්‍රේෂණයන්  කෙරේ උනන්දුවක් දැක්වූ එක ප්‍රතිපත්තියක් වගයෙන් ස්ථාපිත කරන්න අමාරුයි.

අපනයනය සඳහා නිෂ්පාදන දියුණු කරලා අපට විදේශ මුදල් සොයා ගන්න බැරිද?

ඒක කරන්න පුළුවන්. ඊට වඩා විශාල වශයෙන් කරන්න පුළුවන් අපේ ආනයන අඩු කරන එකෙන්. උදාහරණයක් ලෙස ගත්තොත් අපි තාමත් 1977 වර්ෂයේ ඇඟලුම් කර්මාන්තය ආරම්භ කළා ආරම්භ කළාට අවශ්‍ය අමුද්‍රව්‍යයන් රටේ නිෂ්පාදනය කරන්න උත්සාහයක් අරන් නෑ. ඒ නිසා ලෝක සැපයුම් දාමයට අහු වෙන්න ඕන කියන තර්කය දාන්න කලින් ආණ්ඩුව විසින් කළ යුතු ව තියෙනවා දේශීය සැපයුම් දාමය අඛන්ඩව ශක්තිමත් කරන විදිහට ආර්ථිකය සකස් කරන්න. නමුත් පසුගිය අවුරුදු 20 – 40 තුළ  එහෙම දෙයක් අපි දුටුවේ නෑ .

අපේ රට කෘෂිකර්ම රටක් කියලනේ කියන්නේ. හැබැයි ඒක දියුණු කරල අපනයනය කරලා විදේශීය විනිමය හොයන්න වැඩ පිළියෙලක් නෑ නේද ?

අපේ රට කෘෂිකර්ම රටක් කියන එක අද එච්චර වලංගු ප්‍රකාශයක් නොවේ. මොකද කෘෂිකර්මාන්තයෙන් ලංකාවේ ජාතික ආදායමට එකතු වෙන ප්‍රමාණයෙන් එතරම් විශාල නැහැ. ඒ නිසා කෘෂිකාර්මික රටක් කියන එක ඒ තරම් නිවැරදි නෑ. නමුත් ඔය කියන කතාවේ ඇත්තක් තියෙනවා. ලංකාවේ කෘෂිකර්මාන්තය පදනම් කර ගෙන කර්මාන්ත කරා  යෑමට පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් රබර් හොඳම නිෂ්පාදනයක් කියල කිව්වට, අපි ලංකාවේ රබර් පිටරට යවනවා සාමාන්‍ය විදිහට. අනික් පැත්තෙන් අපි රබර් නිෂ්පාදන භාණ්ඩ පිටරටින් ගෙන්වනවා. අපේ රටේ දේශීය නිෂ්පාදන පදනම් කරගත්තට තවත් වටිනාකමක් එකතු කරන නිෂ්පාදන කරා යම් තරමක් දුරට ආදේශ වෙන්න පුළුවන්. අනික් පැත්තෙන් අපනයනය වර්ධනය වෙන්න පුළුවන්.

අපේ රටේ එළවළු පළතුරු අපනයනය කර විදේශ විනිමය සොයා ගන්න බැරිද?

පුළුවන්. දැනට යම් ප්‍රමාණයක් වෙනවා. පිළිවෙලකට කළොත් අපේ පලතුරුවල ගුණය වැඩි කරන්න ඕන. ඒවට අවශ්‍ය පර්යේෂණ දැනුම මම හිතන්නේ අපට තිබෙනවා. රට වටේ මුහුදක් තියෙනවා. මාළු අපනයනය කරන්න පුළුවන්. ඒවා සඳහා අවශ්‍ය නිසි ප්‍රතිපත්ති ආණ්ඩුව විසින් සකස් කළ යුතුයි.

රටට සෘජු විදේශීය ආධාර එන්නේ නෑ නේද?

ඔව්. සෘජු විදේශ ආයෝජන අපේ රටට එන්නේ ඩොලර් බිලියනයකටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ඒක ප්‍රශ්නයක්. දැන් කලාපයේ අනිකුත් රටවල විදේශ ආයෝජන ගත්තොත් වැඩියි. ඒකට ප්‍රධාන හේතුව තමා ආයෝජකයෙක් රටට එන්නේ මේ රටේ ආයෝජනය කිරීම සඳහා වඩා හොඳ තත්වයක් තිබේ නම්, ඒ වගේම   රට ඇතුළේ තියෙන පොදු සේවා අංශවලට දෙනවට වැඩිය. රටේ තත්වේ එහෙම ගත්තම  වඩා  වාසිසහගත වෙන්නේ මූල්‍ය රක්ෂණ ඉඩම් ගනුදෙනු, වෙළඳාම මේ වගේ අංශ වලට මිසක් ඇත්ත නිෂ්පාදන කටයුතුවලට නොවේ. ඒ නිසා විදේශීය ආයෝජන ඒමට අවශ්‍ය වාතාවරණය අපේ රටේ ප්‍රමාණවත්ව නෑ. නමුත් ඉතින් විදේශීය ආයෝජන මත ම ආර්ථිකය රැඳෙන්න ඕන නෑ. ඒ කියන්නේ දේශය නිෂ්පාදන හරිහැටියට වෙනවානම්, දේශීය නිෂ්පාදන ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්තිය ආණ්ඩුව හදනවානම්  ඉබේම විදේශීය ආයෝජන එන්න ඉඩ තියෙනවා.

 මේ යන විදියට ගියොත් රටේ අනාගතය කුමකින් කුමක් වේ ද?

රටේ අනාගතයට කුමක් වෙයිද කියන එක තීන්දු වෙන්නේ මේ අර්බුදයට රට කොහොමද මුහුණ දෙන්නේ කියන එක මත. ඒ කියන්නේ අර්බුදයක්ම එක පැත්තකින් හානිකරවගේම අභියෝගයක්. ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියලා ගත්තොත් මට හිතෙන්නේ ආණ්ඩුව පසුගිය අවුරුදු දෙකේ පෙන්නුම් කරලා තියෙන්නේ මේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා කිසිදු නිවැරදිව ආර්ථික සමාජීය දේශපාලන ප්‍රතිපත්තියක් ඔවුනට නැති බවයි.

Prasad Senadheera

සුමනසිරි ලියනගේ මහතා සමඟ සාකච්ඡා කලේ ප්‍රසාද් සේනාධීර

Leave a Reply