You are currently viewing හොරාගේ අම්මාගේ පේනය IMF

හොරාගේ අම්මාගේ පේනය IMF

දීර්ඝ කාලයක් තිස්සේ බලාපොරොත්තු රඳවා සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල්වල මුල් වාරිකය  නිකුත් කිරීම පිළිබඳ  නිවේදනය මේ සතියේ ප්‍රකාශ කරනු ඇතැයි මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය පසුගිය සෙනසුරාදා කීවේ ය. ඒ අනුව ලංකාව පත්ව ඇති ආර්ථික අගාධයෙන් ගොඩ ඒමේ පළමු පියවර ගැනීමට හැකි වෙතැයි ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ සතුටු වනු ඇත. පසුගිය ජුලි 9 වැනි දා ජනතා විරෝධය හමුවේ පලා ගිය ගෝඨාභය රාජපක්ෂට කිරීමට නොහැකි වූ දෙයක් රනිල්ට කිරීමට හැකි වූයේ ඔහුට ජාත්‍යන්තරව ඇති පිළිගැනීම නිසා යැයි අනුගාමිකයන්ට උදම් විය හැකිය.

කෙසේ වුවත් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතූ ප්‍රථම හෝ අවසාන අවස්ථාව මෙය නොවිය හැකිය. මීට පෙර 16 වතාවක් අරමුදලේ පිහිට පැතූ අතර 17 වැනි වතාවේ පිහිට පතන්නේ ඊට පෙර පැවතියාටත් වඩා අසරණ තත්වයකට පත්ව සිටිය දීය. ඉන් පැහැදිලි වන සරල කාරණය ණය ලබා ගැනීමෙන් ආර්ථිකයේ පවතින ව්‍යාධිය කිසිම ආකාරයකින් සුව වී හෝ සුවයක් ලැබෙන සලකුණක් හෝ නැති බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ණය මුදල දෙන්නේ එම මුදල් ආපසු ලබා ගැනීමේ කොන්දේසි සපුරා ඇති නිසා ය. එසේ නැතිව ආර්ථිකය, රනිල් පාරම්බාන ආකාරයට ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් නොවේ. පැහැදිලිව ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් මාර්ගවලින් ණය ගැනීමෙන් පමණක් ලොව කිසිම රටක ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගා නැති බවට අපමණ නිදසුන් ඇත.

පළමුවෙන්ම වැදගත් වන්නේ අපේ රටේ ආර්ථිකය අගාධයට වැටීමට හේතු වූ සැබෑ කරුණු විසඳීමට අවශ්‍ය පියවර ගැනීම මෙම ණය කොන්දේසියට ඇතුළත් ව නොතිබීමයි. ඔවුන්ගේ කොන්දේසි අනුව විදුලි බිල, ආදායම් බදු අනුපාත සහ වෙනත් වක්‍ර බදු පැනවීම කොන්දේසියක් වූ නිසා රජය දැනටමත් ඒවා ඉටු කර ඇත. එහෙත් ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුවක් වන ආර්ථික කළමනාකරණයේ පවතින දූෂණ සහ අඩුපාඩු විසඳීමට කොන්දේසි පනවා ඇති බවක් පෙනෙන්නට නැත. රාජ්‍ය වියදම් සීමා කිරීමට සමාජයේ පහළම කොටස්වලට ලබා දෙන සහන සහ වෙනත් සේවාවන් කපා දැමීමට හෝ අඩු කිරීමට නිර්දේශ තිබුණත් ආර්ථික කළමනාකරණයට අදාළ කිසිවක් එහි සඳහන් වන බවක් නොපෙනේ.

ඊට නිදසුනක් වන්නේ රටට බරක් මෙන්ම විනයක් වූ අමාත්‍යංශ සංඛ්‍යාව අඩු කිරීමට කිසිම කොන්දේසියක් නැත. එම නිසා මෙම ණය නිකුත් කිරීම ප්‍රකාශයට පත් කිරීමත් සමග තවත් ඇමතීන් දුසිම් ගණනාවක් පත් කිරීමට යන බව ප්‍රකාශ වී ඇත. දැනට සිටින ඇමතීන්ගෙන් හෝ කිසියම් සේවයක් සිදු වන බවට සහතිකයක් නැතිව තවත් ඇමතීන් පත් කරන්නේ දේශපාලන අවශ්‍යතාවයට විනා ආර්ථිකයේ වර්ධනයට නොවේ. ඇත්තෙන්ම මෙම ඇමතීන් නිසා සිදුව ඇත්තේ ආර්ථික පරිහානියට පාර කැපීම පමණි. එම නිසා ඇමතිකම් වැඩි කිරීමෙන් ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි බව පුනරුච්චාරණය කළ යුතු නොවේ.

දෙවැනිව 2021 වසරේ සිට ශීඝ්‍රයෙන් පහත වැටෙමින් තිබූ ආර්ථිකය ගොඩ ගැනීම පසෙක තබා එම ප‍්‍රවනතාවය නතර කිරීමට රනිල් පාලනයට හැකියාවක් නැති බව දැන් සංඛ්‍යා ලේඛනවලින් ම තහවුරු කර ඇත. ජන ලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව 2022 වසරේ ආර්ථිකය ඊට පෙර වසරට වඩා සියයට 7.8 කින් පහත වැටී ඇත. ඊට පෙර වසරේ එනම් 2021 වසරේ ද වාර්තා වූයේ ආර්ථික කඩා වැටීමකි. මෙහි විශේෂත්වය වන්නේ පසුගිය වසරේ අවසාන කාර්තුවේ ආර්ථිකයේ කඩා වැටීමේ ප‍්‍රතිශතය 12.4 කි. එනම් පහත වැටීම වසර අවසන් වන විට වේගවත්ව ඇත යන්නයි. ඉන් අදහස් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් නිර්දේශ කරන මූල්‍ය සහ බදු ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම අනුගමනය කළත් ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකිව බව ය. එය හුදෙක් මතයක් නොව යථාර්ථය බව පැහැදිලි වන්නේ ලංකා මහ බැංකුව මගින් පසුගිය පෙබරවාරි මස සඳහා නිකුත් කර ඇති දර්ශකයක් (මෙම දර්ශකය හඳුන්වන්නේ මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය යනුවෙනි) අනුව ආර්ථිකය තවත් පහත වැටෙනු ඇත. එම දර්ශකය අනුව ආහාර පාන, රෙදිපිළි, කර්මාන්ත සහ කෘෂිකාර්මික අංශවල ක්‍රියාකාරිත්වය ජනවාරි මාසයටත් වඩා පහත වැටෙමින් පවතී. ප්‍රතිශතයක් වශයෙන් සියයට 42.3 කි. මෙම ප‍්‍රවනතාවය සුළු වශයෙන් හෝ වෙනස් විය හැකි වන්නේ අප්‍රේල් අවුරුදු සමයේ මිලදී ගැනීම් ඉහළ යනු ඇතැයි අපේක්ෂාවෙනි. වෙනත් අවුරුදුවල මෙන් මෙම අවුරුද්දේ දී පාරිභෝගික ඉල්ලුමේ කැපී පෙනෙන වර්ධනයක් ගැන සිහින මැවිය හැකි වන්නේ රනිල් ගේ ආර්ථික විද්‍යඥයන්ට පමණි.

මහ බැංකුවෙන් නිකුත් කර ඇති වාර්තාවෙන් පෙබරවාරි මාසයේ කළමනාකරුවන්ගේ මිලදී ගැනීමේ දර්ශකය පහත වැටීමට හේතු වශයෙන් දක්වා ඇත්තේ බදු අනුපාත සහ විදුලි ගාස්තු ඉහළ දැමීම ය. එනම් මූල්‍ය අරමුදලේ නිර්දේශ ඉටු කිරීම නිසා රජයේ ආදායම් ඉහළ ගියත් ආර්ථිකයේ වර්ධනයක් නොවන බව පිළිගැනීමයි. එමනිසා මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම නිසා ජනතාවටත් ආර්ථිකයටත් යහපතක් නොවන බවට සාක්ෂි දැනටමත් අනාවරණය වෙමින් පවතී.

ආර්ථිකය කඩා වැටීමට මූලික හේතූන්ගෙන් ප්‍රධාන වන විදේශ විනිමය සංචිත බින්දුවට වැටීම කළමනාකරණයට අරමුදලෙන් ඉදිරිපත් ව ඇති කොන්දේසි මෙතෙක් ප‍්‍රකාශයට පත්ව නැත. එහෙත් කලකට පෙර මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසා ඇති ආකාරයට විදේශ මූල්‍ය සංචිත පහත වැටීමට මූලික හේතුව වන්නේ අපේ රටේ අපනයන ආදායම් ආපසු රට තුළට නොගෙනීම ය. එනම් බඩු විකිණුවාට සල්ලි ලැබී නැත. ඔහු ගේ (පසුව එසේ නොවන්නේයැයි කී) ප්‍රකාශයක් අනුව පසුගිය වසර 15ක් තුළ ආපසු රට තුළට ගෙනවිත් නැති විදේශ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 35කි. මෙම මුදල් ප්‍රමාණය රට තුළට ගෙන ආවේනම් ගෙවීමට ඇතැයි ගණන් බලා ඇති ණය මුදල වන ඩොලර් බිලියන 55 කළමනාකරණය කළ හැකි තත්වයට පත් කර ගැනීමට තිබිණ.

මෙහිදී අපේ ආර්ථිකයටත් දේශපාලනයටත් වැළදී ඇති ව්‍යාධියේ තවත් පැත්තක් හෙළි වේ. මෙම ප්‍රකාශය කිරීමත් සමග ජනතාව අතර බරපතළ සංවාදයක් ඇති වූ නිසා දෝ මහ බැංකු අධිපති සිය ප්‍රකාශය ඉල්ලා අස් කර ගත්තේය. මේ ගැන කරුණු විමසීමේ දී අපනයන ආදායම් රට තුළට ගෙන එන්නේ ද යන්න විමර්ශනය කිරීම තමාගේ රාජකාරියක් නොවන බව පවසා ඇඟ බේරා ගැනීමට උත්සාහ ගත්තේය. මුදල් ගෙන්වා ගැනීමේ වගකීම පසෙක තබා ලැබිය යුතු විදේශ මුදල් පිළිබඳ හෝඩුවාවක් හෝ නැති මහ බැංකුවක් ස්වාධීන වුවත් කරන්නේ කුමක්දැයි ප‍්‍රශ්න කළ යුතුය.

අනෙක් අතට රට තුළට ගෙන නො ආ විදේශ මුදල් පිළිබඳ මහ බැංකුවේ අධිපතිගේ මූලාශ‍්‍රය අප නොදන්නා නමුත් ඔහු ඉදිරිපත් කළ සංඛ්‍යා මෙවැනි ව්‍යාජ ගනුදෙනු ගැන විමර්ශනය කරන ආයතනයක් වන ග්ලොබල් පයිනෑන්ෂල් ඉන්ටග‍්‍රැටි (Global Financial Integrity) ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන සමග සැසඳෙන බව දැකිය හැකිය. 2009 සිට 2017 දක්වා රට තුළට ගෙන ඇවිත් නැති මුදල් ප‍්‍රමාණයේ එකතුව ඩොලර් බිලියන 36.833 කි. මහ බැංකු අධිපති පවසා ඇත්තේ ඩොලර් බිලියන 35 ක සංඛ්‍යාවකි. ඔහු වැඩි දුරටත් ඇඟලූම් අංශයේ වටිනාකම් එකතුව සියයට 55ක් වුවද ආපසු ගෙනවිත් ඇත්තේ සියයට 14ක් පමණක් බව ද සඳහන් කෙළේය. මහ බැංකු අධිපති මෙම ප‍්‍රකාශය ද පසුව කුමන හේතුවක් නිසා ඉල්ලා අස් කර ගත්තේය.

තව තවත් සාක්ෂි සාධක ඉදිරිපත් නොකළත් පැහැදිලි වන්නේ අප හොරාගේ අම්මාගෙන් පේන බලන රටක් බවට පත්ව ඇති බවයි. මීට දේශපාලකයන් පමණක් නොව දැනට ස්වාධීනත්වය ලබා දීමට පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කර ඇති මහ බැංකුව සම්බන්ධයෙන් ද යෙදෙන්නේය. මහ බැංකුවේ බැදුම්කර වංචාව ගැන දැනට සිටින අගමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළත් නායකයන්ගේ බලවත් (පාර්ලිමේන්තු) උද්ඝෝණය නිසා පත් කළ වොහාරික විගණන කොමිසමේ වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත්තේ මහ බැංකුවේ සමස්ත කි‍්‍රයා පටිපාටියම විමර්ශනයට ලක් කළ යුතුය යන අදහසයි. එහෙත් අදාල බලධාරින් ඒ ගැන කිසිදු පියවරක් නොගත් බව ජනතාව දනිති.

මෙවැනි වාතාවරණයක් තුළ තව තවත් ණය ගැනීමෙන් සිදු වන්නේ ජනතාවගේ ජීවන බර කිසිසේත් දරා ගැනීමට නොහැති තත්වයකට පත්වීමය. ලෝක ආහාර සංවිධානය පසුගිය අවුරුද්දේ නිකුත් කළ වාර්තාවක් අනුව ලංකාවේ සමස්ත ජන සංඛ්‍යාවෙන් සියයට 59ක ට ප‍්‍රමාණවත් ආහාර ලැබෙන්නේ නැත එනම් ඔවුන් පසු වන්නේ කුස ගින්නේය යන්නයි. තරු පහේ හෝටල්වල බුෆේ ක‍්‍රමයට ආහාර ගන්නා පංතියට මෙම සංඛ්‍යා ලේඛනවල වැදගත් කමක් නැත. ඔවුන්ට ලබා ගත හැකි ආහාරවල කිසිදු සීමාවක් නැත. එහෙත් රටක ආර්ථිකය යනුවෙන් හඳුන්වන්නේ එම අතලොස්ස නොවේ.

මීට පෙර 16 වතාවක් ණය ගැනීමෙන් සිදුව ඇත්තේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්වය වඩ වඩාත් පිරිහීමට පත්වීමය. 17 වැනි වරට ගන්නා ණයෙන් ඊට වඩා වැඩි දෙයක් සිදු වන්නේ නැත. ආර්ථිකය හසුරුවන්නේ එමට දූෂිත පැලැන්තිය නිසාය. මෙය වෙනස් කිරීමට නම් පුටු මාරු කිරීමට වඩා සිස්ටම් චේන්ජ් එකක් අනිවාර්ය ය. 

Leave a Reply