You are currently viewing සතොස ගබඩාවෙන් පොඩිවන සුදු ලූනු වලින් නැගෙන්නේ ද දුගඳකි..

සතොස ගබඩාවෙන් පොඩිවන සුදු ලූනු වලින් නැගෙන්නේ ද දුගඳකි..

පවතින තත්වය වසන් කිරීමට වෙනත් උප්පරවැට්ටියක් යෙදීමට ගන්නා උත්සාහය ජනවහරේ ප‍්‍රතික්ෂේප කරන්නේ සුදු ලූනු පොඩි කරන්න එපා යනුවෙනි. සුදු ලූනු පොඩි කරන විට නැගෙන වාෂ්පයෙන් ඇස් රතුවීමට අමතරව අන් සියලූ ගඳ සුවඳ යටපත් වේ. එවිට දැනෙන්නේ සුදු ලූනු වාෂ්පය නිසා අන් සියල්ල අමතක කර දැමීම නොදැනුවත්ම සිදු වන්නකි.

මේ දිනවල ලංකා සතොස ආයතනයේ වැලිසර ගබඩාවෙන් පිටකොටුවේ වෙළෙන්දෙකුට අලෙවි කර ඇතැයි කියන සුදු ලූනු තොගය ගැන කෙරෙන කතා බහ සැබැවින්ම සුදු ලූනු පොඩි කිරීමක්දැයි සැක සිතෙන්නේ ඉන් සතොස පමණක් නොව සියලූ රාජ්‍ය ආයතනවල සිදුවන බවට සැක කරන සියලූ වංචා සහගත ගනුදෙනු යටපත් කිරීමේ උත්සාහයක් සේ පෙනෙන නිසාය. ඊට ඉඟියක් වන්නේ මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ දී කතා බහට ලක් වූ විට පිළිතුරු දුන් විෂය භාර ඇමති බන්දුල ගුණවර්ධන මහතා මෙය එකම හෝ අවසාන වංචාව නොවන බව පැවසීම නිසාය. ඉදිරියටත් සුදු ලූනු නැතිනම් වෙනත් දෙයක් වෙළඳ පොළේ මිලට වඩා අඩුවෙන් විකුණා පාරිභෝගිකයන්ට ‘සහන මිලට’ අලෙවි කිරීමට වැඩි මිලක් ගෙවා ලබා ගැනීමට ඉඩ ඇත. ඇත්තෙන්ම සතොස වැලිසර ගබඩාවෙන් සුදු ලූනුවලට අමතරව දැනට වෙළඳ පොළේ සුදුනික තරම් සොයා ගැනීමට අසීරු තත්වයකට පත්ව ඇති තවත් භාණ්ඩ රැසක් විකුණා ඇති බවට තොරතුරු හෙළිවී ඇත. වෙළඳ ඇමතිවරයාගේ කතාවෙන් කියවෙන්නේ අප ඒ ගැන ඇත්තෙන්ම කලබල විය යුතු නැත යන්නයි.

නිදහස ලබා ගත් දින සිට ගත වූ දශක හතකට අධික කාලය දෙස ආපසු හැරී බලන විට වංචා දූෂණ ගැන කිසිවෙකු කලබල වී නැත. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටින විට හෙළි කරන වංචා දූෂණ හා අකටයුතු වැදගත් වන්නේ ඊළඟට ආණ්ඩු පක්ෂයට යෑම සඳහා පමණි. ආණ්ඩු පක්ෂයේ අය විපක්ෂයට පැමිණි විට ඔවුන්ගේ කාර්ය වන්නේ ද දූෂණ වංචා අකටයුතු ගැන හෙළිදරවු කිරීම ය. ඉන් එහාට කිසිවක් සිදු වන්නේ නැත.

මේ තත්වය දේශපාලකයන් තම ‘‘නිර්දෝෂී භාවය’’ ඔප්පු කිරීමට යොදා ගන්නේ ඉතාමත් දක්ෂ ආකාරයෙනි. සුදු ලූනු ගනුදෙනුව පාර්ලිමේන්තුවේ දී පළමුවෙන්ම කතාබහට ලක් වූ විට වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා අභියෝග කෙළේ තමා එවැනි සිද්ධියකට සම්බන්ධ බව ඔප්පු කළහොත් පසුවදාම ඇමති කමෙන් පමණක් නොව මංත‍්‍රී කමෙන් හා දේශපාලනයෙන් ද ඉවත් වන්නේයැයි උස් හඬින් පවසාය. එය බෙහෙවින්ම සාධාරණ කතාවකි. චෝදනා කළ පමණින්ම කිසිවෙකු වැරදිකරු වන්නේ නැත. ඒවා ඔප්පු කළ යුතුය. ඔප්පු කිරීමක් නිත්‍යානුකූල වන්නේ අධිකරණයකින් තීරණය කිරීමෙන් පමණි. අධිකරණයේ දී සියලූ කරුණු අපක්ෂපාතවත් සාධාරණවත් විමසා බලා තීරණය කරනු ඇතැයි විශ්වාසයක් සහ පිළිගැනීමක් ජන සමාජයේ පවතී.  ඕනෑම ශිෂ්ට සමාජයක පදනම එයයි.

අපේ මෑත ඉතිහාසය පෙන්නුම් කරන සත්‍යය නම් දේශපාලකයන්ගේ කිසියම් අකටයුත්තක් ගැන අධිකරණයේ නිසි නඩු විභාග පැවැත්වීම ඉතාමත් විරල බවය. පැමිණිල්ලේ ඇති වැරදි නිසා විත්තිකරු නිදහස්වීම හෝ ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති නිසා චෝදනාව ඉවත් කර ගැනීම නිතර සිදු වන්නකි. සිල් රෙදි බෙදා දීමේ සිට මිග් ගනුදෙනුව දක්වා ඉතිහාසය එයයි. එමනිසා බන්දුල ගුණවර්ධන මහතාට ඇමති තනතුරෙන් ඉවත්වීමට හෝ දේශපාලනයෙන් ඉවත්වීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. විය හැකි එකම දේ එවැනි වංචා දූෂණ ගැන පළ කරන පුවත්පත්වල කතුවරුන් සහ ජනමාධ්‍යවේදීන් හමුවීමට සීඅයිඩියෙන් පැමිණීම පමණි.

එහෙත් ඉඳ හිට හෝ මහජනයා අතර කතාබහට ලක්වෙන මෙවැනි සිද්ධීන්ගෙන් දේශපාලකයන් නොවන සහ දේශපාලනයේ යෙදීමට අවශ්‍යතාවයක් නැති හුදී ජනයාට පහන් සුව සඳහා සිහිපත් කළ හැකි කරුණු බොහොමයක් ඇත. සුදු ලූනු සිද්ධිය වැදගත් වන්නේ එය හෙළිදරවු කළ පුද්ගලයා තමා දැරූ තනතුරෙන් එනම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලා අස්වීමට හේතු වූ කරුණු ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීම ය. පසුගිය මාස කීපය තුළ මහ බැංකුවේ අධිපති ඇතුළුව ඉහළ තනතුරුවල සිටි  පුද්ගලයන් ගණනාවක් තමන් දැරූ තනතුරුලින් ඉල්ලා අස් වුව ද එම තීරණය ගැනීමට හේතු කාරණා ප‍්‍රසිද්ධියේ පැවසුවේ නැත. මහ බැංකුවේ අධිපති තනතුරෙන් ඉල්ලා අස් වූ මහාචාර්ය ලක්ෂ්මන් මහතා පැවසුවේ වයස අසූවට පත්වීමත් සමග තනතුරෙන් ඉල්ලා අස්වීමට සැලසුම් කළත් පුද්ගලික හේතු මත ඊට මාස කීපයකට පෙර ඉවත්ව යෑමට තීරණය කෙළේය යන්නයි. මහජන මුදලෙන් නඩත්තු කරන ලද අය එතරම් හෝ කාරුණික වූයේ නැත.

තුෂාන් ගුණවර්ධන

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කි‍්‍රයාකාරි අධ්‍යක්ෂක තනතුරෙන් ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා ඊට හේතු වූ කරුණු ප‍්‍රසිද්ධ කෙළේය. ඔහුට තම රාජකාරිය කර ගෙන යෑම අපහසුවට පත් කළ හේතු ගණනාවක් තිබුණ ද සුදු ලූනු සිද්ධිය ගැන පරීක්ෂණ කිරීම ආරම්භ කිරීමත් සමග ඇති වූ දේශපාලන බලපෑම් නිසා තනතුරෙන් ඉල්ලා අස්වන බව පැවසුවේය. දේශපාලන බලපෑම් එල්ල වූයේ කාගෙන් ද යන්න ඔහු හෙළි කෙළේ නැත. එම තනතුර සම්බන්ධ පත් කිරීමේ බලධාරියා වන වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා එම අධිකාරියේ ව්‍යවස්ථාව අනුව කි‍්‍රයාකාරී නැතිනම් විධායක අධ්‍යක්ෂක යනුවෙන් තනතුරක් නැති බව පැවසුවේය. ඒ අනුව නැති තනතුරකින් ඉල්ලා අස්වීම ගැන කිසිවෙකු කලබල විය යුතු නැත.

තුෂාන් ගුණවර්ධව මහතා ඊට පිළිතුරු දෙමින් තමාගේ පත්වීම් ලිපියේත් තමාට නිකුත් කර ඇති හැඳුනුම් පතේත් ඔහු හඳන්වා ඇත්තේ විධායක අධ්‍යක්ෂක යනුවෙන් බව අවධාරණය කෙළේය. පත්වීමේ ලිපිය බලවත් සාධකයක් බව දැන් නැවතත් මහ බැංකුවේ අධිපති තනතුරට පත්ව සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතා තහවුරු කර ඇත. ඔහු මීට පෙර මහ බැංකුවේ අධිපති තනතුරට පත්වන විට ලබා දුන් ලිපියේ ඔහුට විශ‍්‍රාම වැටුපක් හිමි බව සඳහන්ව ඇති නිසා එම වැටුප ඉල්ලා සිටියේය. ඊට පෙර සිටි මහ බැංකුවේ අධිපතීන්ට විශ‍්‍රාම වැටුපක් නොලැබුණත් ඔහුටත් ඉන් පසුව පත්වන අයටත් විශ‍්‍රාම වැටප් ගෙවීමට මහ බැංකුව තීරණය කර ඇත. ඒ තර්කය අනුව පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂක යනුවෙන් තනතුරක් නොමැති වුවද පත්වීම් ලිපිය අනුව ඔහුට එවැනි තනතුරක කටයුතු කිරීමට බාධාවක් නැත.

මෙහිදී මතුවන තවත් ගැටලූවක් වන්නේ නිල වශයෙන් නැති තනතුරක් ඇතැයි සලකා කටයුතු කිරීම අදාල පුද්ගලයා තනතුරෙන් ඉල්ලා අස්වන තෙක් ඇමති බන්දුල ගුණවර්ධන මහතාගේ අවධානයට ලක් නොවුයේ ඇයි ද යන්නයි. ඇමතිවරයාම පිළිගන්නා ආකාරයට ඉතාමත් වැදගත් ආයතනයක නැති තනතුරක් ඇතැයි කටයුතු කිරීම බරපතළ වැරැද්දකි. ඇමතිවරයා කළ බරපතළ වැරැද්ද වන්නේ එම පුද්ගලයා තනතුරෙන් ඉල්ලා අස්වන තෙක් ඒ ගැන කිසිදු පියවරක් නොගැනීම ය. කන්න හිතුණාම කබරගොයා තලගොයෙකු වන්නේ මෙවැනි අවස්ථාවල ය.

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ඉදිරිපත් කළ තවත් වැදගත් අදහසක් වූයේ මේවා දේශපාලන පත්වීම්යැයි සඳහන් කිරීම ය. සම්පූර්ණ සත්‍යයකි. අධ්‍යාපන හෝ වෘත්තීමය සුදුසුකම් නොබලා දේශපාලන හේතු සාධක මත රජයේ කනකුරුවලට පත් කිරීම රටේ ආර්ථිකය මෙන්ම පරිපාලනය විනාශයට පත්වීමට මූලික හේතුවයි. එයද නිදහස ලත් දින සිටම දක්නට ලැබුණු බරපතළ, සුව කිරීමට බෙහෙතක් මෙතෙක් සොයා ගත නොහැකි වූ බරපතළ ව්‍යාධියකි. ප‍්‍රමාද වී හෝ එම එම රෝගය හඳුනා ගැනීම ගැන බන්දුල ගුණවර්ධන මහතාට ස්තූති කළ යුතුය.

මේ ගැන තුෂාන් ගුණවර්ධන මහතාට ඉදිරිපත් කිරීමට අදහසක් ඇත. තමාගේ අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් ලැයිස්තුවක් ඉදිරිපත් කළ ඔහු පාරිභෝගික කටයුකු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමහරුන්ට කම රියැදුරාට තරම් හෝ සුදුසුකම් නැතැයි චෝදනා කෙළේය. තම පත්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද්දක් බව තුෂාන් ගුණවර්ධන මහතා හැඟවුව ද අනෙක් පත්වීම් ගැන සඳහන් කරන්නේ නැත. කෙසේ හෝ ඒවාත් විෂය භාර ඇමතිවරයාගේ නිර්දේශය අනුව විය යුතුය. අවසානයේ දී දේශපාලනය නිසා හෝ වෙනත් හේතු නිසා නුසුදුස්සන් පත් කිරීමේ වගකීමෙන් විෂය භාර ඇමිතිවරයාට නිදහස් විය නොහැකිය.

සතොස ආයතනයේ වැලිසර ගබඩාවෙන් සුදු ලූනු කිලෝවක් රුපියල් 135ට විකුණා පසුව එම ලූනුම හෝ වෙනත් සුදු ලූනු කිලෝව රුපියල් 445 ගණනේ මිලදී ගෙන ජනතාවට ‘‘පහසු මිලට’’ අලෙවි කිරීම කුමන හෝ හේතුවක් නිසා ප‍්‍රසිද්ධ සාකච්ඡාවට හේතු වූවද එය සතොසේ හෝ වෙනත් රාජ්‍ය ආයතනවල සිදු වූ එකම අකටයුත්ත නොවේ. එය දෛනිකව සිදුවන අකටයුතු දූෂණ සහ වංචා දාමයක එක පුරුකක් පමණි. එවැනි සිද්ධීන් ගැන විරෝධය හෝ අප‍්‍රසාදය පළ කරමින් තනතුරුවලින් ඉවත්වීම උත්ප‍්‍රාසය දනවන සිද්ධියක් වුවද ජාතික දේහය වෙළා ගෙන ඇති ව්‍යාධියට පිළියමක් නොවේ. ඉල්ලා අස්වීමෙන් හිස්වන තනතුරට ඊළඟට පත්වන පුද්ගලයා දූෂණ වාංචාවලින් තොර පාලනයක් ඇති කරන්නේයැයි අතීත අත්දැකීම් අනුව අපට කිසිම විශ්වාසයක් නැත. කලින් සඳහන් කළ ආකාරයට දූෂණ වංචා ගැන ප‍්‍රසිද්ධියේ කතා කිරීම වැදගත් වන්නේ එළඹෙන මැතිවරණයේ දී මනාප ලබා ගැනීම සඳහා පමණි.

මහ බැංකුවේ බැඳුම්කර වංචාව, මිග් ගනුදෙනුව, සිල් රෙදි බෙදාදීම වැනි සිද්ධීන්ගෙන් අපට උගන්වන පාඩම එයයි. ඒ සියල්ල සුදු ලූනු පොඩි කිරීම් පමණි. එහෙත් දැනට ආර්ථික වශයෙන් රට මුහුණ දී ඇති අවදානම් තත්වය යටතේ නැගෙන දුගඳ සුදු ලූනු පොඩි කිරීමෙන් හෝ යටපත් කළ නොහැකිය.

කෙසේ වුවත් වාග්ලංකාරයේ දක්ෂයෙකු වූ බන්දුල ගුණවර්ධන මහතාට බල්ලොත් එක්ක නිදා ගත් විට නැගිටින්නේ මැක්කොත් එක්ක බවට ජනවහරේ නියමනක් ඇති බව සිහිපත් කළ යුතුය.  

Leave a Reply