You are currently viewing ශිෂ්‍යත්ව විභාගය කුමකට ද?

ශිෂ්‍යත්ව විභාගය කුමකට ද?

ශිෂ්‍යත්ව විභාගය නිසා ළමයින්ට හොඳට වඩා නරකක් වන බව සියලු ම අය පිළි ගෙන ඇත. එහෙත් එසේ වීමට හේතුව කුමක් ද යන කාරණය පිළිබඳ ව  එවැනි එකඟතාවක් දැකිය නො හැකිය. ඒ නිසා ම විසඳුම් ගැන කතා කරන කොට අඳුරේ අත පත ගාන සෙයක් දැකිය හැකිය. එබැවින් මෙම ලිපියේ  අරමුණ ශිෂ්‍යත්ව විභාගය නිසා ළමයින්ට හොඳට වඩා නරකක් වීමට හේතු විමසා බැලීමයි.

ශිෂ්‍යත්ව විභාගය ළමයින්ට යහපතකට වඩා අයහපතක් වූ යේ අධ්‍යාපනයේ සැබෑ අරමුණ විකෘති කිරීමට පටන් ගත් දා සිටය. අධ්‍යාපනයේ සැබෑ අරමුණ කුමක් ද? බුද්ධිය හා ඊට ඉහළින් චරිතය සංවර්ධනය කිරීම යි.

මාර්ටින් ලූතර් කිං කීවේ  අධ්‍යාපනයේ සැබෑ අරමුණ බුද්ධි සංවර්ධනය හා චරිත සංවර්ධනය බවයි. රැල්ෆ් එමර්සන් කීවේ බුද්ධියට වඩා චරිතය වැදගත් බවයි. ආචාර්ය ඊ.ඩබ්ලිව්. අදිකාරම් කීවේ විෂයකරුණුවලට වඩා චරිතය වැදගත් බවයි. ජෝන් ඩිවී, රවීන්ද්‍රනාත් තාගෝර්, බර්ට්‍රන්ඩ් රසල් ඇතුළු සියලු ම ශ්‍රේෂ්ඨ අධ්‍යාපනඥයන් ජීවිතය කැප කළේ බුද්ධියත් ඊටත් ඉහළින් චරිතයත් සංවර්ධනය වූ මිනිසුන් බහුතරයක් සහිත සාමාජයක් ගොඩ නැගිමටයි.

එහෙත් 1970 ගණන්වල දී ඇමරිකාව ප්‍රමුඛ දියුණු රටවල් අධ්‍යාපනයේ අරමුණ ‘ආර්ථික ලාභය’ බවට  හැරවූයේය. එතැන් පටන් ‘ආර්ථික ලාභය හඹා යෑමට පෙළඹවීම’ උදෙසා අධ්‍යාපන ක්‍රමය සකස් කිරීම ඇරඹිණි.

බුද්ධිය හා ඊට ඉහළින් චරිතය සංවර්ධනය කිරීම සඳහා ගොඩනගා තිබූ අධ්‍යාපන ක්‍රමය ‘ආර්ථික ලාභය’ දිශාවට හැරවීම සඳහා 1970 ගණන්වල සිට අපේ රටේ බලයට පත් ආණ්ඩු ගනු ලැබූ පියවර කීපයක් මෙසේය.

  1. ආර්ථික ලාභය උදෙසා  පාසල් අරම්භ කිරීමට ව්‍යාපාරිකයන්ට අවසර දීම. මේ වන විට විශ්වවිද්‍යාල ඇරඹීමටත් ව්‍යාපාරිකයන්ට අවසර දී ඇත.
  2. රජයේ සහ රාජ්‍ය නොවන(ආර්ථික ලාභ අපේක්ෂා නො කළ) පාසල්වල විදුහල්පතිවරු සහ ගුරුවරු ආර්ථික ලාභය අරමුණු කොට අධ්‍යාපනය දෙස බැලීමට පුහුණු කිරීම. පාසලක භූමියේ හා ගොඩනැගිලි ආදියේ වටිනාකම රුපියල්වලින් තක්සේරු කොට ගුරුවරුන් ගේ වැටුප් ඊට එකතු කොට පාසල පැයක් වසා තැබූ විට සිදුවන පාඩුව ගණන් බැලීමට ගුරුවරුන් පුහුණු කැරිණි.
  3. රාජ්‍ය සහ රාජ්‍ය නොවන අංශයේ ගුරුවරු ආර්ථික ලාභය උදෙසා ටියුෂන් දීමට පෙළඹවීම.
  4. කොළඹ පහසුකම් ගමට ගෙන ගිය මධ්‍ය විද්‍යාල නොසලකා හැර ජාතික පාසල් නාමකරණය යටතේ යළි ‘කොළඹට කිරි ගමට කැකිරි‘ ලබා දී පාසල් අතර  විෂමතාව උපරිම කොට ළමයි ඇතුළත් කිරීම සඳහා අසීමිත තරගයක් ඇති කිරීම.
  5. ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වී ම සඳහා වූ තරගකාරී විභාගයක් බවට  ශිෂ්‍යත්ව විභාගය  හැරවීම.
  6. විභාග ප්‍රතිඵල අනුව පාසල් ශ්‍රේණි ගත කොට පාසල් අතර තරගය උත්සන්න කිරීම.
  7. විභාග ප්‍රතිඵලවලින් පළමුවැනියා තෝරා, ඔවුන්ට ප්‍රසිද්ධිය, තෑගි, විදේශ සංචාර ආදිය ලබා දී ම තුළින් විභාග තරගය තවදුරටත් උත්සන්න කිරීම.
  8. චරිත සංවර්ධනය කෙරෙහි බෙහෙවින් බලපාන කලා විෂයයන් හැදෑරීම අධෛර්යමත් කොට ආර්ථික වාසි වැඩි වෙනත් විෂයයන් තොරා ගැනීමට ළමයින් පෙළඹවීම. සාහිත්‍යය කන්න පුළුවන් දැයි එක් රාජ්‍ය නායකයෙක් විමසා තිබූණි.
  9. පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන ව්‍යාපාරික ආයතන සේ සලකා ජලය, විදුලිය සහ දුරකථන සඳහා ව්‍යාපාරික බදු අයකිරීම.

මෙකී සෑම පිවරක් පාසා ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ අස්සක් මුල්ලක් නෑර ‘ආර්ථික ලාභය උදෙසා තරගය’ උත්සන්න කර ඇති බව පෙනීයනවා ඇත.

නිදසුනක් වශයෙන් 2010 ශිෂ්‍යත්ව විභාගයේ 1 පත්‍රයේ දැක්වෙන මෙම ප්‍රශ්නය දෙස බලන්න.

32වැනි ප්‍රශ්නය: කවියක පද හතර මාරුකර ලියා ඇති අයුරු පහත දැක්වේ. ඒවායේ නිවැරදි අනුපිළිවෙළ කුමක් ද?

ඵලයක් නෙළුවා
මිලකර විකුණා
පැලයක් සිටුවා
සතුටක් ලැබුවා

මේ කවියේ පද නිවැරදි අනුපිළිවෙළට සකස්  කරන විට ළමයා ගේ මනසට සිදුවන්නේ කුමක් ද? මිල කර විකුණා සතුටක් ලබන්නට මනස සකස් වෙයි. මිලකර විකුණා ආර්ථික ලාභයක් ලැබීම සතුට ලැබීමේ මාර්ගය බව විශ්වාස කිරීමට ළමයා පෙළඹෙයි. අපූරුයි නේ ද? මෙම ප්‍රශ්නය සැකසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ම නියැළි කෙනකු මිස අන් කෙනකු නොවේ.

එහෙත් 1970 ගණන්වලට පෙර ගුරුවරයකු අතින් ලියැවුණු මතු දැක්වෙන කවිය දෙස බලන්න.

මේ ගසේ බොහෝ පැණි දොඩම් තිබේ
පැහිල ඉදිල බිමට නැමිල බරවෙලා අතූ
නංගිටයි මටයි ගෙඩි දෙකක් ඇතී
වැඩිය කඩන නරක ළමයි හෙම නොවේ අපී

පැහිල ඉදිල බිමට බරවෙලා තිබුණත් නංගිටයි මටයි ගෙඩි දෙකක් පමණක් ඇතී කියන්නේ ඇයි? පැහිල ඉදිල බිමට බර වූ අතුවල දොඩම් ඉතිරි කරන්නේ කාටද?  අනෙක් ළමයින්ටයි. මෙම කවියෙන් පිළිබිඹු කැරෙන්නේ අධ්‍යාපනයේ සැබෑ අරමුණයි.

හැත්තෑ ගණන්වලට පෙර සහ පසු ගුරුවරු අතින් ලියැවී ඇති මෙම කවි දෙකෙන් පමණක් වුව අධ්‍යාපනයේ සැබෑ අරමුණ විකෘති කිරීම ගුරුවරුන්ට බලපා තිබෙන සැටිත් එය පුංචි ළමා මනසට බලපාන සැටිත් මොනවට පැහැදිලි වෙයි.

ආර්ථික ලාභය උදෙසා තරගයට පෙළඹ වී ම අධ්‍යාපන ක්‍රමය බවට පත් වන විට නිරායාසයෙන් ම අධ්‍යාපනයේ ප්‍රමාණය වැඩි වී ගුණය පිරිහේ.  ඒ වාගේ ම මිනිසා ගේ බුද්ධිය වර්ධනය වී චරිතය පිරිහේ.

ජාතික අධ්‍යාපන කොමිසමේ සමීක්ෂණ වාර්තාවකට(2006) අනුව මව් භාෂාව විශිෂ්ට ලෙස භාවිත කළ හැක්කේ 10 ශ්‍රේණියේ සිංහල ළමුන් ගෙන් 3%ට පමණි. දෙමළ ළමුන් ගෙන් 0.8%ට පමණි. එහෙත් ලංකාවේ සාක්ෂරතාව 90%ත් වැඩිය. එමගින් තහවුරු වන්නේ පවතින අධ්‍යාපන ක්‍රමය මගින් ප්‍රමාණය වර්ධනය වුවත් ගුණය පිරිහෙන බවයි. විශ්වවිද්‍යාලවලට ඇතුළත් කැරෙන ශිෂ්‍යයන් ගේ ප්‍රමාණය වැඩි වී ම හා ඔවුන් ලබන අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය බිඳවැටී ම සසඳා බලන්න.

හැත්තෑ ගණන්වලින් පසු ක්‍රමයෙන් විදුහල්පතිවරු, ගුරුවරු, වෛද්‍යවරු, විනිසුරුවරු පමණක් නොව  හාමුදුරුවරු පවා අපරාධවලට යොමු වීමේ වේගය වැඩි වෙමින් පවතී. මේ සියලු දෙනා ම ඉහළ ලකුණු ලබා ගෙන  විභාග සමත් වී ඇත. එමගින් තහවුරු වන්නේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළින් මිනිසා ගේ බුද්ධිය වර්ධනය වුවත් චරිතය පිරිහෙන  බවයි.

2010 වසරේ දිනකට ළමයින් 3ක් දූෂණක කර ඇති බවත් 2012 දී දිනකට ළමයි 4.89ක් දූෂණය කර ඇති බවත් වාර්තා වී ඇත. වාර්තා නො වූ ළමා දූෂණ තවත් කොපමණ තිබිය හැකි ද? මේ දූෂකයෝ සියලු දෙනා ම පාසල් අධ්‍යාපනය ලද අය බව මතක තබා ගන්න. හැත්තෑ ගණන්වලට පෙර තරහකාරයකු ගේ වත් ළමයකුට වෙනස්කමක් නො කළ වැඩිහිටි පරම්පරාවක් සිටි රටකට අත් වී ඇති ඉරණමක මහත!

දැන් ඉතා කුඩා කාලයේ සිට ම ළමයින් තුළ ආත්මාර්ථය වර්ධනය වන සැටි දකින කොට අනාගතයේ ශීලාචාර රටක් ඉතිරි වේ යැයි කිසි සේත් සිතිය නොහැකිය. එක් දිනක් හෝ පාසලට නොගිය හොත් එදින පාසලේ ඉගැන් වූ දේ කිසි ළමයෙක් පෙන්වන්නේ නැති නිසා 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තම දියණිය වෛරස් උණ වැළඳී සිටිය දීත් පාසල් යන්නට ඔනෑ කියා අඬන බව තැපැල් ස්ථානාධිපතිනියක් මෑත දී මා සමග පැවසුවාය. මෙකල උගත් දූ පුතුන් කී දෙනකුට ඔවුන් වෙනුවෙන් ජීවිතයේ හොඳ ම දේ කැප කළ දෙමාපියන් ගේ සිත් කියවිය හැකි ද?

ඉදින් කළ යුත්තේ කුමක් ද? අධ්‍යාපනයේ සැබෑ අරමුණ යළි දෙපයින් සිටුවීමයි. වෙනත් වචනවලින් කියනවා නම් ආර්ථික ලාභය උදෙසා තරගයට පොළඹවන අධ්‍යාපන ක්‍රමය පිටුදැක බුද්ධියත් ඊටත් ඉහළින් චරිතයත් සංවර්ධනය කැරෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමයි.

එය කළ හැක්කේ අධ්‍යාපනයේ සැබෑ අරමුණ කෙරෙහි දැඩිව එල්බ ගෙන ආණ්ඩු වෙනස් වෙන කොට වෙනස් නොවන, ඇමතිවරු වෙනස් වෙන කොට වෙනස් නොවන ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමෙන් පමණි.

නිදසුනක් වශයෙන් පාසල් වර්ගීකරණය සඳහා ජාතික ප්‍රතිපත්තිය කුමක් විය යුතු දැයි කෙටියෙන් විමසා බලමු. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පදනම් කර ගෙන මෙම ප්‍රතිපත්තිය සකස් කර තිබේ.

මෙම ජාතික ප්‍රතිපත්තිය මගින් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක ම  එක සමාන පහසුකම් ඇති පාසල් පද්ධතියක් ඇති වේ. මේ අනුව ඔනෑ ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක  තිබිය හැක්කේ චිත්‍රයේ දැක්වෙන පාසල් වර්ග තුන පමණි.

1-5 පාසලේ පන්තියක උපරිම ළමයින් 30 බැගින් සමාන්තර පන්ති 3කි. එවිට පාසලේ උපරිම මුළු ළමයින් ගණන 450කි. නිවසේ සිට කිලෝ මීටර 2ක් ඇතුළත මෙවැනි ප්‍රාථමික පාසලක් තිබිය යුතුය. මෙවැනි පාසලක තිබිය යුතු පහසුකම් නීතියෙන් නියම කර තිබිය යුතුය.

6-11 පාසලේ පන්තියක උපරිම ළමයින් 35 බැගින් සමාන්තර පන්ති 4කි. එවිට පාසලේ උපරිම මුළු ළමයින් සංඛ්‍යාව 840කි. නිවසේ සිට කිලෝ මීටර 4ක් ඇතුළත මෙවැනි ද්විතීයික පාසල් පිහිටුවිය යුතුය. මෙවැනි පාසලක තිබිය යුතු පහසුකම් ද නීතියෙන් නියම කර තිබිය යුතුය.

12-13 පාසලේ පන්තියක උපරිම ළමයින් 30 බැගින් සමාන්තර පන්ති 20කි. එවිට මෙවැනි පාසලක උපරිම ළමයින් ගණන 1200කි. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ඇතුළත මෙවැනි පාසල් එකක් හෝ දෙකක් හෝ තුනක් පිහිටු විය යුතුය. මෙම පාසලේ විද්‍යා, වාණිජ, කලා ආදී සියලු ම අංශ තිබිය යුතුය.

12-13 පාසල සියලු ජනවර්ගවලට පොදු පාසලක් විය යුතුය. මෙහි දී ඕනෑම විෂයයක් සිංහල හෝ දෙමළ හෝ ඉංග්‍රීසි හෝ කැමති භාෂාවකින් ඉගෙනීමට අවස්ථාව තිබිය යුතුය. ශ්‍රී ලාංකේය ජාතිය ගොඩනැගීමේ පදනම  එමගින් නිර්මාණය වනු ඇත. ත්‍රිකුණාමළය කොට්ඨාසයට අවශ්‍ය මෙවැනි පාසල් 3කි. කැබිතිගොල්ලෑවට 1කි.

මෙවැනි 12-13 පාසල් ලංකාවට ම අවශ්‍ය වන්නේ 500-600ක් පමණි. එම පාසල්වලට අන්තර්ජාල පහසුකම් ලබා දිය හැකිය. පොදු කාලසටහනක් ක්‍රියාත්මක කළ හැකිය. එමගින් එක පාසලක ළමයි ඉගෙන ගන්නා දේ ඒ වේලාවේ ම හම්බන්තොට හෝ යාපනයේ හෝ මඩකලපුවේ හෝ නුවරඑළියේ හෝ කොළඹ හෝ ළමයින්ට ද තම පන්ති කාමරයේ සිට ඉගෙන ගත හැකිය. එවිට දක්ෂ ගුරුවරු සොයා මොණරාගල ළමයි නුගේගොඩටත් මඩකලපුවේ ළමයි ගම්පහටත් පැමිණීමේ අවශ්‍යතාව  අහෝසිවනු ඇත.

මෙම ජාතික ප්‍රතිපත්තිය අනුව පහසුකම් දෙන කොට පළමුවෙන් ම බෙදන්නට වන්නේ අඩු ම පහසුකම් ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටයි. එවිට දේශපාලකයන්ට හෝ වෙනත් කිසිවකුට තම තමුන්ට කැමති ස්ථානවලට පහසුකම් බෙදා දීමට තිබෙන ඉඩ ප්‍රස්ථා අහෝසි වී යයි. කොළඹට කිරි ගමට කැකිරි යනුවෙන් කියැවෙන ‘අසාධාරණය‘ නැති කිරීම සඳහා  ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක ඇති වැදගත්කම එයයි.

මෙම ජාතික ප්‍රතිපත්තිය අනුව සෑම ළමයකුට ම කිලෝමීටර 2ක් ඇතුළත පාථමික පාසලක් ද, ඉන් පසු කිලෝ මීටර 4ක් ඇතුළත 6-11 ද්විතීයක පාසලක් ද, ඉන් පසු අ.පො.ස.(සා/පෙළ) විභාගය සමත් වන ළමයින්ට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ 12-13 උසස් පාසලක් ද ලැබේ.  එවිට පළමුවෙන් ම ශිෂ්‍යත්ව විභාග තරගය ඉබේ ම අහෝසි වී යයි. එවිට ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල ඉගෙනීමට උනන්දු ළමයින්ට පහසුකම් ලබා දෙන විභාගයක් ලෙස පමණක් ශිෂ්‍යත්ව විභාගය පවතිනු ඇති.

මෙම ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ විට උසස් පෙළ විභාග තරගය ද අහෝසි වන බව පැහැදිලි වනවා ඇත. එපමණක් නොව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල උසස් තාක්ෂණ පාසල් ඇති කිරීමෙන් මෙම ජාතික ප්‍රතිපත්තිය අංග සම්පූර්ණ එකක් බවට පත් කළ හැකිය.

ආදර්ශවක් ගුරු පරපුරක් බිහි නො කර විසමතා නැති මෙවැනි පාසල් ක්‍රමයක් පමණක් සාර්ථක වේ දැයි කෙනකු ප්‍රශ්න කළ හැකිය. ගෞරවනීය  ගුරුවෘත්තියක් නොමැති ව කිසිම අධ්‍යාපන ක්‍රමයක් සාර්ථක වන්නේ නැත. හැත්තෑ ගණන්වලට පෙර ගරු කළ නො හැකි ගුරුවරු සිටියේ 10%වඩා අඩු පිරිසකි. අද වන විට ගරු කළ හැකි ගුරුවරු සිටින්නේ 10% අඩු පිරිසකි.

එබැවින් යළිත් ගෞරවනීය ගුරු වෘත්තියක් බිහි කළ හැකි ජාතික ප්‍රතිපත්තියක් රටට අවශ්‍යය. එමගින් අධ්‍යාපනයේ සැබෑ අරමුණට කැපවුණු අය පමණක් බඳවා ගෙන නුසුදුස්සන් නෙරපාහැරීමට බලය ඇති ස්වාධීන අධ්‍යාපන කවුන්සිලයක් ස්ථාපනය කළ හැකි විය යුතුය.

විසමතා නැති පාසල් පද්ධතියක් හා ගෞරවනීය ගුරු වෘත්තියක් බිහි කළා වුවත් අධ්‍යාපනයේ සැබෑ අරමුණට ගැලපෙන විෂයමාලාවක් නොමැති ව රටේ දරුවන් ගේ අනාගත ඉරණම විසඳේවි දැයි කෙනෙක් ප්‍රශ්න කළ හැකිය.

ජාතික අධ්‍යාපනය ළමයකු ලෙස සැලකුව හොත් ඔහු බුද්ධියත් ඊටත් ඉහළින් චරිතයත් සංවර්ධනය වූ මිනිසකු බවට පත්කිරීම සඳහා  අවැසි සියලු ප්‍රතිපත්තිවලින් සමන්විත ජාතික  අධ්‍යාපන ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම මගින් පමණක් ළමයින් ගේ අනාගත ඉරණම විසඳිය හැකි වනු ඇති.

එබැවින් හැත්තෑගණන්වල සිට විකෘති කර තිබෙන අධ්‍යාපනයේ සැබෑ අරමුණ අමතක නොකර ශිෂ්‍යත්ව විභාගයේ ඵල විපාක  ගැන කතාකරමු. එවිට ශිෂ්‍යත්ව විභාගය ආර්ථික අමාරුකම් ඇති පවුල්වල ඉගෙනීමට උනන්දු ළමයින්ට ආධාර ලබා දීම සඳහා පමණක් පැවැත්වෙන විභාගයක් බවට පත්කළ හැකි වනු ඇත.

[2013.11.03 රාවය පුවත්පතේ පළ වූ ලිපියකි]

Leave a Reply