ලංකාවේ මෑත දේශපාලන ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරන සිද්ධීන් දෙකක් පසුගිය සතියේ වාර්තා විය. ඉන් එකක් වන්නේ 2019 පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති සහ ආරක්ෂක ප්‍රධානීන්ට එරෙහිව ඉදිරිපත් කර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවයි. එය ඓතිහාසික අවස්ථාවක් වන්නේ පළමු වරට රටේ ප්‍රධාන විධායකයා වන ජනාධිපතිට පැවරී ඇති වගකීම් ඉටු නොකිරීම සම්බන්ධයෙන් දුන් තින්දුවක් වීම ය. මෙතෙක් ජනාධිපති සහ අනෙකුත් නිලධාරීන් තමන්ට පැවරී ඇති වගකීම් සහ බැඳීම් ඉටු නොකිරීම හෝ ඒවා කඩ කිරීම පිළිබඳ වගකීම්වලින් බැඳී නැතැයි හැඟීමක් තිබිණ. එමනිසා කැමති දෙයක් කිරීමේත්, අකමැති දේ නොකර සිටීමේත් භාවිතයක් තිබිණ. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් එම සාවද්‍ය අදහස බිඳී එහි මූල්‍යමය වගකීම් ද අදාල නිලධාරීන්ට පැවරිණ.
දෙවන කරුණ වන්නේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් නිත්‍යානුකූල නොවන නිසා ඉන් මැතිවරණ කොමිසම බැඳෙන්නේ නැති බව තහවුරු වීමය. පළාත් පාලන හෝ වෙනත් කිසිම ආකාරයේ ඡන්ද විමසීමකට තදබල අකමැත්තක් දක්වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා දෙන පොහොට්ටුව පළාත් පාලන ඡන්ද විමසීමේ පනත අනුව ඡන්දයක් පැවැත්විය යුතු වුවද එය කල් දැමීමේ හෝ නොපැවැත්වීමේ ප්රයත්නයක යෙදී සිටි බව නොරහසකි. ඕනෑම ඡන්දයකට මුහුණ දීමට සූදානම් බව නිතර ජනමාධ්‍යයට පැවසුව ද ජන වරමක් ලබා ගැනීමට ජනතාව ඉදිරියට යෑමට කිසිම කැමැත්තක් තිබුණේ නැත. ඡන්දය පැවැත්විම ව්‍යර්ථ කිරීමට කැබිනට්ටුව අනුගමනය කෙළේ ඇප මුදල් භාර නොගන්නා ලෙස තේරීම්භාර නිලධාරීන් වූ දිස්ත්‍රික් ලේකම්ලාට නියෝග කිරීමය. එහෙත් පළාත් පාලන ඡන්ද විමසීමේ පනත අනුව ක්‍රියා කළ මැතිවරණ කොමිසම එම නියෝගය නොසලකා ක්‍රියා කරන ලෙස දිස්ත්‍රික් ලේකම්ලාට දැන් වූයේය. කැබිනට් මණ්ඩලයට කළ නොහැකි දෙයක් නැතැයි සිතු ජනාධිපතිට සහ ඇමතීන්ට පසුබැසීමට සිදු විය.
පාස්කු ඉරිදා සිද්ධිය පිළිබඳ අධිකරණ තීන්දුවත් ඡන්ද විමසීම පිළිබඳව මැතිවරණ කොමිසම ගත් තීරණයත් සියලූ විධායක බලතල ඇතැයි සිතන ජනාධිපතිට ටොක්කක් ඇණ කියා දෙන පාඩමකි. පාස්කු ඉරිදා බොම්බ ප්‍රහාරයක් සිදු වන බවට සිද්ධියට සති ගණනාවකට පෙර නිශ්චිත තොරතුරු ලැබී තිබුණ ද ආරක්ෂක ඇමතිකම ද දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ කිසිත් නොතකා රටින් පිටව ගියේ තමාට රටේත් ජනතාවගේත් ආරක්ෂාව පිළිබඳ කිසිදු වගකීමක් නැතැයි යන හැඟීමෙනි. පොලිස්පති ඇතුළු අනෙක් නිලධාරීන් ද මහජන මුදලින් නඩත්තු වුවද ජනතාවගේ ආරක්ෂාව තමන්ගේ වගකීමක් නොවන ආකාරයෙන් කටයුතු කර ඇත. පසුගිය සතියේ අගවිනිසුරුවරයා ඇතුළු විනිශ්චයකාර මණ්ඩලයක ඒකමතික තීරණය වූයේ එසේ නොවන බවය. ජනාධිපති ආරක්ෂක ඇමති ලෙසත් අනෙකුත් නිලධාරීන් රටේ සහ ජනතාවගේ ආරක්ෂාව පැවරී ඇති නිලධාරීන් ලෙසත් එම වගකීම් ඉටු කිරීමට අපොහොසත්වීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ඒකමතිකව තින්දු කර ඇත.
ඇත්තෙන්ම මෙම රට ආර්ථික අගාධයකට වැටී බංකෙළොත් භාවයට පත් වූයේත් රට ත්‍රස්තවාදි යුද බිමක් වූයේත් දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ අතකොළු බවට පත්ව ඇති නිලධාරීන් සිය වගකීම් නිසි ආකාරයට ඉටු නොකිරීම නිසාය. නිදසුනක් වශයෙන් ජනාධිපති ජේ ආර් ජයවර්ධන සහ ඔහුගේ ඇමති මණ්ඩලයත් ඔවුන්ගේ පාලනය යටතේ තිබු ආරක්ෂක අංශත් නිසි ආකාරයට ක්‍රියාත්මක වූයේ නම් 83 කළු ජූලියක් ඇති වන්නේ නැත. වැලිකඩ බන්ධනාගාරය තුළ සිරකරුවන් ඝාතනය වන්නේ නැත. නීතිය නිසි ආකාරයට ක්‍රියාත්මක වූයේ නම් තිස් අවුරුදු වාර්ගික ගැටුමක් ඇති වන්නේ නැත. ඉන් පසුව විවිධ අවස්ථාවල සිංහල මුස්ලිම් කෝළාහළ ඇතිවීමට ද මූලික වශයෙන් හේතු වූයේ නීතිය රැකීමට මහජන මුදලින් නඩත්තුවන ආරක්ෂක නිලධාරීන් සහ ජනවරමක් ඇතැයි සිතන දේශපාලකයන් පවතින නීතියත් ආචාරධර්මත් ගරු නොකර ක්‍රියාත්මක වූ නිසාය.
මෙම දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් වන නිලධාරීන් ගේ ආකල්පය රටේ නීති සහ අණපනත් පවතින්නේ ජනතාව පාලනය කිරීමට විනා තමන් පාලනය වීමට නොවන්නේය යන්නයි. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිත් ඊට පහළින් සිටි නිලධාරීනුත් ක්‍රියා කෙළේ එසේය. එපමණක් නොව එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු තමන් බෝම්බ ප්‍රහාරයක් සිදුවන බව දැන සිටියත් එය එතරම් බරපතළ නොවනු ඇතැයි සිතු බව ප්‍රසිද්ධියේ කීමට තරම් සැහැසි වූයේය.
මෙම සිද්ධිය ගැන පරික්ෂා කොට වාර්තා කිරීමට පත් කළ ජනාධිපති කොමිසමෙන් සහ ඊටත් පෙර දේශපාලන විශ්ලේෂකයෙකු වන ආචාර්ය රාජන් හූල් විස්තරාත්මකව පැහැදිලි කළ ආකාරයටත් පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට දේශපාලකයන්ට හෝ ආරක්ෂාව භාර නිලධාරීන්ට කිසිදු අවශ්‍යතාවයක් තිබුණේ නැත. එවැනි හැඟීමකට පදනම් වන්නේ මීට පෙර තම වගකීම් පැහැර හැරි කිසිම අවස්ථාවක තීරණ ගත යුතු අයට වගකීමක් නොපැවරුණ නිසාය. මූලික අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳව වගකීම් බොහෝ විට පැවරුණේ පොලිස් ස්ථානයක භාරව සිටි නිලධාරීන්ට ය. පොලිස් නිලධාරීන්ට නියෝග ලබා දෙන දේශපාලකයන්ට කිසි විටෙක වගකීම පැවරුණේ නැත. 88-89 කාලයේ ඇඹිලිපිටිය සිසු ඝාතනයට සම්බන්ධ දේශපාලකයන්ට නිතිය ක්‍රියාත්මක වූයේ නැත.
මෙම තීන්දුව ඓතිහාසික වන්නේ නියෝග ක්‍රියාත්මක කරන නිලධාරීන් පමණක් නොව එම නියෝග ලබා දෙන සහ රටේ නීතිය පවත්වා ගැනීමට අවශ්‍ය විධි විධාන නොසලසන දේශපාලන නායකත්වය ද වගකිව යුතු බවට පත් කිරීම නිසාය. මෙම තීන්දුව පදනම් කර ගෙන රට බංකොළොත් භාවයට පත් කිරීමේ වගකීම ද දේශපාලකයන් සහ නිලධාරීන්ට පැවරීමේ හැකියාව පවතින බව තේරුම් ගත යුතුය. දේශපාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් වී සිටින නිලධාරි පැලැන්තියට සිය වගකීම් ගැන සිහිපත් කළ හැකි වන්නේ එවැනි තත්වයක් තුළ පමණි.
පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳව ජනාධිපති ප්රමුඛ කැබිනට් මණ්ඩලය තිරණ ගෙන ඇත්තේ ද පාස්කු ඉරිදා ප්‍රහාරයේ දී ක්‍රියා කළ ආකාරයටම ය. පාස්කු ප්‍රහාරයේ දී ගත යුතු තීරණ නොගෙන සිටි බලධාරීන් මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් නොගත යුතු තීරණ ගෙන ඇත.
පළාත් පාලන ඡන්ද විමසීමේ පනත අනුව පැවැත්විය යුතු ඡන්ද විමසීමක් නොපැවැත්විය හැකි වන්නේ රටේ බරපතළ ව්‍යසනයක දී හෝ එය නොපැවැත්වීමට පාර්ලිමේන්තුවෙන් නීතියක් සම්මත කිරීමෙන් පමණි. එවැනි කොන්දේසියක් නැතිව තිබිය දී ඡන්ද විමසීමක් කල් දැමීට හැකියාවක් නැති බව මෙම පාලකයන් නොදැන සිටියායැයි කිව නොහැකිය. රනිල් වික්‍රමසිංහ නීති උපාධියක් ලබා පනස් වසරක් ගත කොට ඇති නිසා මෙම සරල නීතිය ඔහු නොදන්නවා නොවේ. ඊට අමතරව නීතිය පිළිබඳ හසළ දැනුමක් ඇති අධිකරණ ඇමතියෙක් ද කැබිනට් මණ්ඩලයේ සිටියි. කැබිනට් මණ්ඩලයේ අනෙක් බොහෝ දෙනෙකු ද කෙස් පැහී හැළෙන තෙක්ම රට පාලනය කිරීමට හෝ නොකිරීමට විවිධ ආකාරයෙන් දායක වූ අයයි.
එමනිසා මෙවැනි ඔළමොට්ටල තිරණ ගෙන ඇත්තේ නොදත් කම නිසා නෙවේ. තමන්ට දේශපාලන බලය හිමි නිසා කැමති ඕනෑ දෙයක් කිරීමේ වරමක් ඇතැයි යන උද්දච්චකම නිසාය. ජනාධිපති විධායක බලතල සීමා කිරීමට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් අයම අඩුකළ බලතල නැවත ලබා දීමට 20 වැනි සංශෝධනයට ඡන්ද දුන්හ. ඉන් පසුව රටේ තත්වය වෙනස් වූ නිසා නැවත වරක් ජනාධිපති බලතල සීමා කිරීමට 21 වැනි සංශෝධනයට අත් එස වූහ. මින් කියවෙන්නේ කුමක් ද? ව්‍යවස්ථාදායකයේ සිටින්නේ තර්ක බුද්ධියක් ගෑවිලාවත් නැති අවස්ථාවාදින් පිරිසකි යන්න නෙවේද?
78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව තමාට ගැහැනියෙකු පිරිමියෙකු කිරීම හැර අනෙක් ඕනෑම දෙයක් කිරීමට හැකියැයි ජේ ආර් කීවේ ව්‍යවස්ථාවෙන් ලැබෙන බලතල නිසාම නොවේ. ඕනෑම පනතකට වග විභාගයක් නැතිව අත් ඔසවන පිරිසක් ව්‍යවස්ථාදායකයේ සිටි නිසාත් නැවතත් එවැනිම අය තේරී පත්වෙන බවත් හොඳින් දත් නිසාත් ය. පාලකයාගේ කැමැත්තට හිස නොනැමු අගවිනිසුරුවරියක් දොෂාභියෝගයක් සම්මත කර ගෙන නින්දා අපහාසයට ලක් කොට ගෙදර යැව්වේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතලවලට අමතරව ජනාධිපතිගේ කැමැත්තට අවිවාදයෙන් හිස නමන පිරිසක් කැබිනට් මණ්ඩලයේත් පාරිලිමේන්තුවේත් සිටි නිසා ය.
මෙම නිවට භාවය දේශපාලකයන්ට පමණක් සීමා නොවන බවද අවධාරණය කළ යුතුය. අවස්ථාවාදී දේශපාලකයන් දෙන ඕනෑම නියෝගයක් කිසිදු වග විභාගයකින් තොර ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරී පැලැන්තියක් ද සිටිති. ඡන්දයට ඉදිරිපත්වන අයගේ ඇප මුදල් භාර නොගන්නා ලෙස දිස්ත්‍රික් ලේකම්ලාට නියෝග කළ රාජ්‍ය පරිපාලන ලේකම් ද එවැන්නෙකි. කැබිනට් තින්දුවත් තිබු පමණික් නීතිය කඩ කළ නොහැකි බව මෙම නිලධාරියා දැන නොසිටියේනම් බරපතළ අඩුවකි. නීතිය නොදැන පරිපාලනය කිරීම වඳුරාට දැලි පිහියක් දීමක් වන්නේ මෙවැනි තත්වයක් යටතේය.
සිය රාජකාරි පැහැර හැර මහා මිනිස් ඝාතනයකට ඉඩ සැලසූ බුුද්ධි අංශයේ ප්‍රධානියාට උසස්වීම් ලබා දීමත් ඒ හා සමානය.
මෙවැනි පසුබිමක් තුළ රටේ ජනතාවත් සමස්තයක් වශයෙන් රටත් පවතින්නේ මහත් අවදානම් තත්වයක බව පැහැදිලි ය. පාලකයන්ට සහ ඔවුන්ට ආවතේව කරන පරිපාලන යන්ත්‍රය වෙනස් කරනතෙක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් හෝ වෙනත් ඕනෑම තැනකින් මුදල් ලැබුණත් අපට අනාගතයක් නැති බව පැහැදිලිය.
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024
- වෘකයා පොරවා ගත් බැටළු හම ඉවත් කිරීමට පෙර සිතා බැලිය යුතුය.. - October 14, 2024