නන් දොඩවනවා යන්න වැදගැම්මකට නැති අරුත් සුන්, තැනට නොගැලපෙන කතා සම්බන්ධයෙන් ජනවහරේ යෙදෙන කියමනකි. තවත් අර්ථයකින් පිස්සු වැටීමට පෙර නන් දෙඩවීම සිදු වන බවද හැඟවේ. එනම් මානසික රෝග විශේෂඥයෙකු වෙත යෑමට පෙර කෙනෙකුට පිස්සු හැදෙන බව කලින්ම හැඳින ගත හැක්කේ නිතර නන් දොඩවන්නේනම් ය. එහෙත් රටේ පාලකයා නන් දොඩවන්නේනම් තත්වය වඩාත් භයානකය. එ ඔහුගේ නන් දෙඩවීම සමස්ත ජනතාවටම බලපාන හෙයිනි. එමනිසා පාලකයා නන් දොඩවන්නේ ද යන්න ගැන විමසිලිමත්වීම රටටම වැදගත් කාරණයකි.
අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ( තවත් සමහරු නන් දොඩවන ආකාරයට රාජපක්ෂ) අහම්බෙන් ජනාධිපති තනතුරට පත් වූ දින සිට නන් දොඩවන්නේ ද යන්න විමසිලිමත් බොහො දෙනකුට මතුවන ප්රශ්නයකි. එක අතකින් ඔහු අද කියන දෙයට හාත්පසින්ම වෙනස් දෙයක් තව දින කීපයකින් කීම දැන් ප්රකටව දැක්වෙන මනෝ ලක්ෂණයක්ව ඇති නිසාය. මෙය හුදු නන් දෙඩවීමක් නොවන්නේ ඔහු මහජන කැමැත්තෙන් තොරව විධායක ජනාධිපති තනතුරට පත්ව ඇති නිසාය. ඔහුගේ මාමා ජේ ආර් ජයවර්ධන කී ආකාරයට මෙම තනතුරට ගැහැනියෙකු පිරිමියෙකු කිරීම හැර අන් කුමන දෙයක් හෝ කිරීමේ හැකියාව ඇති නිසාය. ඊට අමතරව ඔහු කරන කියන දෙයක් දේව භාෂිතයක් සේ පිළිපදින සහ ඒ වෙනුවෙන් පෙනී සිටින පොහොට්ටු මංත්‍රීන් පිරිසක් පාර්ලිමේන්තුවේ බහුතරයක්ව සිටිති. ඔහුගේ නන් දෙඩවීම් නීති ගත වනුනේ ඔවුන්ගේ සහායෙනි.
පසුගිය දා ත්‍රිකුණාමලයේ දී ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් විසිර යෑමේ උත්සවයකට සහභාගි වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩු පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන්යැයි කීවේය. ඉන් අදහස් කරන්නේ ආණ්ඩු පත් කිරීමට හෝ ඉවත් කිරීමට පරමාධිපත්‍යය ඇතැයි කියන ජනතාවට කිසිදු වගකීමක් නැත යන්නය. ජනතාව ඡන්දය දෙන්නේ මංත්‍රීවරුන් පත් කර ගැනීමටය. එසේ තේරී පත්වන මංත්‍රීන්ට කැමති ආණ්ඩුවක් පත් කර ගෙන රට පාලනය කළ හැකිය. පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වුවද සල්ලි නැතිනම් නැවතත් ඡන්ද විමසීමක් පැවැත්වීම ද අවශ්‍ය නොවේ.
මෙම නන් දෙඩවීම ඔහු සම්බන්ධයෙන් බෙහෙවින් ගැලපේ. ඔහු ඇත්තෙන්ම මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූයේ ද නැත. අගමැති තනතුරට පත් වූයේ ද ඔහු කියන ආකාරයට පාර්ලිමේන්තුවෙන් නොවේ. ගාලු මුවදොර පිටියේ පැවති උද්ඝෝෂණය නිසා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ තනතුරෙන් අකමැත්තෙන් ඉවත්වීමෙන් ඇති වූ පුරප්පාඩුවට ඒ ආකාරයෙන් ම අපකීර්තියට ලක්ව සිටි ගෝඨාභය රාජපක්ෂ විසින් නම් කිරීම නිසාය. එම පත්වීම පාර්ලිමේන්තුවෙන් අනුමත වූයේ ඔහු නියෝජනය කරන පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොව, මංත්‍රීන් 225කින් එක ඡන්දයක් පමණක් තිබුණ නිසා නොව පොහොට්ටුවේ මංත්‍රීන් ගෝඨාභය රාජපක්ෂට ගැති වූ නිසාය. ඉන් පසුව ජනාධිපති තනතුරට පත් වූයේ ද ගෝඨාභය ගේ කැමැත්ත අනුවය. එමනිසා පාර්ලිමේන්තුවෙන් ආණ්ඩු පත් කරන්නේය යන්න රනිල්ට අදාළ වන්නේ නැත. එය හුදු නන් දෙඩවීමකි.
අනිත් අතට 1978 ජේ ආර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට මංත්‍රීන් තේරී පත්වන්නේ පක්ෂය අනුවය. ජනතාව සිය කැමැත්ත ප්‍රකාශ කරන්නේ පක්ෂයට ය. පක්ෂය ඡන්දය ඉල්ලන්නේ කිසි දිනක ඉටු නොකරන හුදු පොරොන්දුවක් පමණක් වන මැතිවරණ ප්‍රකාශන තුළිනි. මනාපය අනුව තේරී පත්වන මංත්‍රීන් ජනතාවට සැබැවින්ම වගකිව යුත්තේ එම පොරොන්දු සම්බන්ධයෙනි. රනිල් පසුගිය මහා මැතිවරණයේ දී නායකත්වය දැරූ පක්ෂයේ ප්‍රතිපත්ති ලෙස ඉදිරිපත් කළ පොරොන්දු මුළු රටේ ම ජනතාව එක හෙළා ප්‍රතික්ෂේප කෙළේ කිසිම දිස්ත්‍රික්කයකින් හෝ ඔවුන් තෝරා නොගැනීමෙනි. කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ද ඔහු ප්‍රතික්ෂේප කළහ. මෙවැනි පුද්ගලයෙකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සරදමකින් ජනාධිපති පදවියට පත්වීමත් නන් දෙඩවීමත් තේරුම් ගැනීම අපහසු නොවේ.
රනිල් වික්‍රමසිංහ ත්‍රිකුණාමලයේ ප්රකාශනය කිරීමට පෙර පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය නන් දෙඩවීමක් වන්නේ ඔහුගේ පත්වීමේ ස්වභාවය නිසා ය. පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන්නේ ද යන්න ගැන රටම උනන්දුවෙන් බලා සිටින විට දොඩමළු වූ ඔහු කල් දැමීමට ඡන්දයක් නැතැයි කීවේය. ඔහු නියෝජනය කරන පක්ෂය ඇතුළත් රටේ සියලු ම ප්‍රධාන දේශපාලන පක්ෂ, නැති ඡන්දයකට නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කෙළේත් ඒ සඳහා ඇප මුදල් තැන්පත් කෙළේ ඇයි? ආණ්ඩුවකට නිශ්චිත කාර්යයක් නැතිව, කිසියම් පරිත්‍යාගයක් හැර මහජනයාගෙන් මුදල් භාර ගැනීමට නොහැකිය. එවිට නැති ඡන්දයකට ඇප මුදල් භාර ගැනීමත් වැරැද්දකි. ඇත්තෙන්ම ඔහු ඇප මුදල් භාර ගැනීම වළක්වාළීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. ඡන්ද විමසීම භාරව සිටින මැතිවරණ කොමිසම මැදිහත්වීමෙන් එය වැළකිණ. පසුව ඇප මුදල් භාර නොගැනීමේ නියෝගයක් යවා නැතැයි ප්‍රකාශ විය. එය තවත් නන්දෙඩවීමකි.
ඇත්තෙන්ම බ්‍රිතාන්‍යයන්ගෙන් පාලන බලය ලැබී ගත වූ වසර හැත්තෑපහක් ඇතුළත මේ රටේ දේශපාලකයන් බහුතරයක් සිදු කර ඇත්තේ නන් දෙඩවීම් බව රනිල් වික්‍රමසිංහ ගේ කතා ඇසීමෙන් තහවුරු වන්නකි. රනිල් පළාත් පාලන ඡන්ද විමසීම ගැන නන් දෙඩවූ දිනයේම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කළ ඔහුගේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත ඔවුන් (ඇමතිවරුන්) රට වෙනුවෙන් කෙතරම් කැප කිරීම් කරන්නේ ද යන්න ගැන පුදුමයට පත් වූයේය. රටේ භාණ්ඩ මිලත් ජීවත්වීමට අවශ්‍ය අනෙකුත් දේවලත් මිල ගව් ගණනින් ඉහළ යන අවස්ථාවක දී ඔහුගේ වැටුපෙන් රු. 241,000 ක් බදු මුදල් වශයෙන් කපා ගෙන ඇතැයි හෙළිදරවු කෙළේය. තමා මෙතරම් පරිත්‍යාගයක් කරන විට රටේ සෙසු ජනතාවට වැඩි වූ විදුලි බිල, ජල බිල ගෙවා ගැනීම ගැන දුක් විය යුතු නැත. ඔහුගේ තර්කය අනුව ඇත්තෙන්ම නැත.
මෙම ඇමති ජනතාව වෙනුවෙන් කෙතරම් කැප කළ පුද්ගලයෙකු ද යන්න වටහා ගැනීමට මදක් අතීතයට යා යුතුය. එය අතීතයක් වුවද එතරම්ම ඈත අතීතයක් නොවේ. එය සිදු වූයේ ගොඨාභය පාලන සමයේ දීය. කිසියම් කරුණකින් උදහසට පත් ජනාධිපති ගෝඨාභය ඇමතිකම තබා ගෙදර යන්නැයි සුසිල් ප්‍රේම්ජයන්තට නියෝග කෙළේය. සියල්ල භාර දුන් පසු ඔහුට ගෙදර යෑමට පා පැදියක් තරම්වත් දෙයක් ඉතුරු වූයේ නැත. අවසානයේ දී ත්‍රී රෝද රථයක නැගී ගෙදර ගියේ රූපවාහිනී කැමරා ඉදිරියේ ය.
අපට මතුවන ප්රශ්නය පා පැදියක් හෝ නැති මෙම පුද්ගලයා ඇමති තනතුරක් නැවත ලැබීමෙන් පසුව මසකට රුපියල් 241,000ක් බදු වශයෙන් ගෙවීමට ලැබෙන වැටුප කුමක් ද යන්නයි. බදු වශයෙන් කපා ගත් මෙම මුදල උපරිම වශයෙන් වැටුපෙන් හෝ දීමනාවලින් සියයට 40 ඉක්මවා යන්නට නැත. එවිට තවත් සියයට හැටක් ඉතිරි වේ. ඒ එක ඇමතියෙකු සම්බන්ධයෙනි. සෙසු අයටත් මෙවැනිම වැටුප් ලැබෙනවා ඇත. ඒ සියලු දෙනාම රට වෙනුවෙන් මෙවැනි කැප කිරීම් කරන බව ජනතාව දැන ගත යුතුය. එසේත් නැත්නම් ඔවුන් ජනතාව මුළා කිරීමට නන් දොඩවන බව තේරුම් ගත යුතුය.
මැති ඇමතීන් තමන් කරන කැපවීම් ගැන දොඩවන්නේ රටේ ජනතාව කුසගිනි නිවා ගැනීමට නොහැකිව තැවෙන වාතාවරණයක ය. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශයට පත් කර ඇති වාර්තාවක් අනුව රටේ ජනතාවගෙන් සියයට 39.1ක්, දශ ලක්ෂ 8.7කට ප්‍රමාණවත් ආහාර වේලක් ලැබෙන්නේ නැත. වරප්රසාදිත අතලොස්සකගේ හැර රටේ බහුතරයකගේ ජීවන මට්ටම කඩා වැටී ඇති බවට සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම අනවශ්‍ය ය. සිහි බුද්ධියෙන් නෙත් විදහා බලන ඕනෑම කෙනෙකුට පෙනෙන තරම් අසරණ භාවයක් සහ දරිද්‍රතාවයක් රටම වෙළා ගෙන ඇත. මේ දුක පාලකයන්ට නොපෙනෙන්නේ සහ නොදැනෙන්නේ ඔවුන්ට පාර්ලිමේන්තුවෙන් එහා ලෝකයක් නොපෙනෙන නිසාය. සංවර්ධනය, සමෘධිය, සෞභාග්‍යය ඇත්තේ දියවන්නාවෙන් වට වූ එම භූමි කොටසේ ය. ආණ්ඩු පිහිටුවන්නේත් ඉවත් කරන්නේත් ඔවුන් ය. මහජනතාව මහපාරට බැස විරෝධය පාන්නේනම් ඒවා වැළැක්වීමට පොලිසියට අමතරව ත්‍රිවිධ හමුදාවක් සිටිති. පාලකයන් වග කියන්නේ ඔවුන්ටය. ජාතික අයවැයෙන් සියයට 10ටත් වැඩි ප්‍රමාණයක් ආරක්ෂක වියදම් වශයෙන් වෙන් කරන්නේ රටේ ආරක්ෂාවට වඩා පාලකයන්ගේ ආරක්ෂාව සඳහා ය.
පාලකයන් ජනතාව මුළා කිරීමට උත්සාහ කරන්නේ ආර්ථික හා ජීවන මට්ටම ගැන නන් දෙඩවීමෙනි. රනිල් වික්‍රමසිංහ කරන්නේ ද එයයි.
මේ සියල්ලේ අවසානය වහා ළඟා වෙමින් පවතින බව නන් දොඩවන අය අකමැත්තෙන් වුවද තේරුම් ගත යුතුය. එහෙත් ඔවුන් අවසානය දක්වාම උත්සාහ කරන්නේ ජනතාව මුළා කිරීමට නන් දෙඩවීම බව රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ දීත් අන් තැන්වලදීත් කරන කියන දෙයින් පෙනේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පරමාධිපත්‍යය ඇතැයි කියන ජනතාව මැඩි පොල්කුඩු සේ ඉවත දමන්නේ ඒ නිසාය. ඡන්ද විමසීම් හාස්‍යයට ලක් කරන්නේ එම නිසාය.
මෙම දූෂිත ජරා ජීර්ණ ක්‍රමය වෙනස් කිරීමටත් ජනතාවට සැබැවින්ම වග කියන පාලන තන්ත්රයක් නිර්මානය කිරීමටත් ජනතාව සක්‍රීයව දේශපාලන ප්රවාහයට එක් විය යුතුය. සක්‍රීයව යන්නෙන් ඡන්දය ප්‍රකාශ කිරීම පමණක් අදහස් වන්නේ නැත. තමන් විසින් තෝරා පත් කර ගන්නා නියෝජිතයන් ගැන විමසිලිමත් වීමේත් පැවරුණ කාර්ය ඉටු නොකරන්නේ නම් නියෝජිත භාවය ඉවත් කර ගැනීමේත් ව්‍යුහයන් සකසා ගත යුතුය. සැබෑ වෙනසක් බලාපොරොත්තු විය හැක්කේ එවිටය.
- හසරක් නැතිව වෙනසක් සොයා යන ගමනක්.. - January 8, 2025
- හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ.. - December 30, 2024
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024