දේශපාලනයේ පළපුරුදු නායකයන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් ගේ අනාවැකි බොරු කරමින් ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තු මැතිවරණයෙන් සෑම අතින්ම විශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගත හැකි විය. ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් සියයට පනහ ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකිවීම නිසා අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සරදමට ලක් කළ අනුර කුමාර ගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට ඡන්ද හැටනම ලක්ෂයට ආසන්න ප්‍රමාණයක් ලබා ගත හැකි වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් සියයට 61.5% කි. එම ඡන්ද ප්‍රමාණය ඔහුට ජනාධිපතිවරණයේ දී සියයට පනහ ලබා ගැනීමට නොහැකිවීම ඕනෑවටත් වඩා ඉක්මවා යෑමකි.
වැදගත්ම කාරනය වන්නේ දිවයිනේ දිස්ත්‍රික්ක 22 න් 21කම ජයග්‍රහණය හිමි කර ගැනීමට ජාතික ජන බලවේගය සමත්වීමය. වාර්ගිකත්වය සහ ආගම අනුව තියුණු ලෙස බෙදී ඇති ශ්‍රී ලංකාවේ එක දිස්ත්‍රික්කයක් හැර අන් සියල්ල ජය ගැනීමට හැකි වීම ද සුවිශේෂී ය. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නැගූ හඬකි. වසර හැත්තෑහයක “නිදහස’‘ භුක්ති විඳි, වසර තිහක වර්ගවාදී සහ බෙදුම්වාදී යුද්ධයක අමිහිරි අත්දැකීම් ඇති රටක සැබැවින්ම නව හැරවුම් ලක්ෂයකි. මෙම ජයග්‍රහණය සුවිශේෂී වන්නේ ජාතික පිළිකාවක් වූ එම රෝග ලක්ෂණ තවමත් නොවිසඳී පවතින තත්වයක් යටතේ අත්කර ගැනීමට හැකි වීම ය. නව පහන් තරුවක උදාවකි.
මෙම ජයග්‍රහණය කිසියම් පුද්ගල කණ්ඩායමක හෝ පක්ෂයක කැප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හෝ අංක ගණිතමය වශයෙන් විශ්ලේෂණය කිරීම සම්පූර්ණ චිත්‍රය දැකිමට අසමත් වීමක් පමණක් නොව වැරදි නිගමනවලට එළඹීමට ද හේතු විය හැකිය. රටම ආවරණය වන ආකාරයට මැතිවරණ ව්‍යාපාරයක් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සුළුපටු දෙයක් නොවේ. ඒ සඳහා කාලය සහ මුදල් වැය කිරීමට අමතරව සංවිධාන කටයුතු මෙහෙයවීම සහ අධීක්ෂණය ඉතා වැදගත් ය. එවැනි මෙහෙයුමකට අවශ්‍ය මානව සහ මූල්‍ය සම්පත් කළමනාකරණය අතිශයෙන් වැදගත් වුවත් මැතිවරණයක් ජය ගැනිමට එය ප්‍රමාණවත් නොවේ. කෙටියෙන් ඡන්ද සටනක් ජය ගැනීමට මුදල් සහ පිරිස් බලය ඒකරාශි කිරීමෙන් පමණක් කළ නොහැකි ය. මුදලට පිරිස් බලය සපයන මෑන් පවර් ආයතනයකට ද පිරිස් රැස් කිරීම කළ හැකි වුවද ජනතාව දිනා ගැනීම ඊට කළ නොහැකිය. තීරණාත්මක සාධකය වන්නේ ජනතාව දිනා ගැනිමයි.
අතිබහුතර ජනතාව සිය ඡන්දය ප්‍රකාශ කරන්නේ මැතිවරණ ව්‍යාපාරයේ ආකර්ෂණීය ස්වභාවය නිසා හෝ අපේක්ෂකයාගේ හෝ අපේක්ෂිකාවගේ සිත් ගන්නා කතා විලාශය සහ පලපුරුද්ද නිසා නොවේ. තීරණාත්මක වන්නේ ඔහු හෝ ඇය ජනතා අපේක්ෂා ඉටු කිරීමට සැබැවින්ම කැප වන්නේ ද යන විශ්වාසය සහ බලාපොරොත්තුවයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රධාන දේශපාලන ප්‍රවාහය වීමත් සමග ජනවරමක් ලබා ගන්නා දේශපාලකයන් ජනතාව අමතක කර පාලකයන්ගේ අභිවෘද්ධිය සැලසෙන ක්‍රියාමාර්ගවලට පිවිසීම සුපුරුදු දෙයක් විය. පොරොන්දු දුන්නේ බලය ලබා ගැනීමට විනා ඒවා ඉටු කිරීමට නොවේ. එහි ප්‍රතිඵලය වූයේ ජනතාව දේශපාලකයන් සහ ඔවුන්ගේ පොරොන්දු බිලි බෑමේ ඇමක් බව සක් සුදක් සේ වටහා ගැනීම ය .
එමනිසා 2019 දී ගොඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේත් ඉන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉල්ලා සිටියේත් තමා සාම්ප්‍රදායික පොරොන්දු දේශපාලනයෙන් බැහැර වූවෙකු බව පැවසීමෙනි. බලයට පැමිණ වැඩි කාලයක් ගතවීමට පෙර ඔහු සාම්ප්‍රදායික හෝ කිසිම දේශපාලනයක් නොදත් අත්තනොමතික පාලකයෙකු බව ඔප්පු කෙළේය. ඔහුට මෙතෙක් නිදහස් ලංකාවේ කිසිම පාලකයෙකුට නොවු ආකාරයෙන් බලය අතහැර පිටුපස දොරින් පැන යෑමට සිදු වූ ආකාරය තවමත් ජනතා සිත් සතන් තුළින් ඉවත්ව නැත. රටම බංකොළොත් භාවයේ ගිල්වා දැමූ ඔහු පලවා හැරීමට යොදා ගත් ‘ගෝටා ගෝ හොම්’ සටන් පාඨයෙන් අදහස් වූයේ ජනතාව මුළා කළ සියලු දේශපාලකයන් ඉවත් කිරීම ය. ( රට බංකොළොත්වීමට ඊට පෙර සිටි පාලකයන් ද වගකිව යුතුය.)
ඇත්තෙන්ම ලංකාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂය එයයි. ගාළු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරි පිට අව්වට වේළෙමින් වැස්සට තෙමෙමින් තරුණ තරුණියන් දහස් ගණනක් සති ගණනාවක් හඬ නගා කීවේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ජනතා සුභ සිද්ධිය සඳහා නොවන බවය. පාලකයන් රාජ්‍ය සම්පත් හොරා කෑමෙන් ජනතාවගේ අනාගතය බේරේ වැවේ ගිල්වා ඇති බවය. අරගලයට පහර දීමට පැමිණි පිරිස් බේරේ වැවට පැන දිවි ගලවා ගැනීම එය සංකේතවත් කිරීමකි. අරගලය ජයග්‍රහණයකින් තොරව අවසන් වුවත් එම අරමුණු සහ පරමාර්ථ ජනතා සිත් සතන් තුළ මුල් බැස ගෙන ඇත.
2019 දී සියයට තුනක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් අනුර කුමාර ට 2024 දී ප්‍රධාන ප්රවාහයේ සියලු අපේක්ෂකයන් අභිබවා සියයට 42ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනිමට හැකි වූයේ ජනතාව තුළ මුල් බැස ගත් එම අවබෝධය සහ බලාපොරොත්තුවයි. අවබෝධය ජනතාව ලබා ගන්නේ පිටු සිය ගණනක් වූ මැතිවරණ ප්‍රකාශන කියවීමෙන් පමණක් නොවේ. ජාතික ජනබල වේගයට ඡන්දය ලබා දුන් හැටඅට ලක්ෂයකට අධික ජනතාවගෙන් කී දෙනකු එහි මැතිවරණ ප්‍රකාශය කියවා ඇත්ද යන්න කිසිවෙකුට නිශ්චිතව කිව නොහැකිය. කුමන ගණන් බැලීමක් අනුව හෝ එම ප්‍රමාණය සියයට දශම ගණනකට වඩා වැඩි විය නොහැකිය. ඔවුන්ගේ ප්රචාරක රැස්විම්වලට සහභාගි වූ සංඛ්‍යාව ඊට වඩා මදක් වැඩි විය හැකිය. අතිබහුතරය ඡන්දය දී ඇත්තේ ජාතික ජනබල වේගය කලින් සිටි පාලකයන්ට වඩා වෙනස් දෙයක් කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. ජනාධිපතිවරණයේ දී අනුර කුමාරට ඡන්දය නොදුන් දශ ලක්ෂයකට අධික ඡන්දදායකයන් පිරිසක් පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ඡන්දය දී ඇත්තේ රටේ බහුතරයක් වෙනසක් අපේක්ෂා කරන බව දැකීමෙන් විය හැකිය. තරුණ තරුණියන් කීප දෙනෙකු ගාළු මුවදොරින් ආරම්භ කළ අරගලයට පසුව රට පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එක් වූවා මෙනි.
එමනිසා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් සාර්ථක වන්නේ ජනතාවගේ අවබෝධය ගැන නිසි තක්සේරුවක් කොට ජනතා බලාපොරොත්තු ඉටු කිරීමෙනි.
අද රට මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලන අර්බූදයට මූලික වශයෙන්ම හේතු වන්නේ වංචාව, දූෂණය සහ හොරකම බව ජනතාවගේ අවබෝධයයි. මුළු රටම ගිල ගත් පිළිකාවක් වන මෙම ත්‍රිත්වය අප හැම දිනපතාම අත්දකින සත්‍යයකි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පවා පිළිගැනීමට සිදු විය. ඔවුන්ගේ යෝජනාව වූයේ එය වැළැක්වීමට නව නීති සම්පාදනයයි. නීති සම්පාදනය වුවත් ඒවා ක්‍රියාත්මක නොවන ඇස්බැන්දුම් බව ජනතාව දනිති. නීතිය ක්‍රියාත්මක නොවන තැනක වංචාව, දූෂණය සහ හොරකම වැළැක්විය නොහැකිය. නීතිය ක්‍රියාත්මක නොවන්නේ වංචනිකයන්ට, දූෂිතයන්ට සහ හොරුන්ට ආරක්ෂාව සපයන දේශපාලනයක් තිබිම නිසාය. ආණ්ඩුවෙන් ඉතාමත් සුළු සේවයක් හෝ ලබා ගැනීමට දේශපාලකයන් පසුපස යෑමට ජනතාවට සිදුව ඇත්තේ එබැවිනි. මෙතෙක් පැවති කිසිම පාලනයකින් එය සිදු වූයේ නැත. ඒ සඳහා දේශපාලන වුවමනාවක් තිබුණේ ද නැත. ජාතික ජන බලවේගයට එම ත්‍රිත්වය තුරන් කිරීමේ දේශපාලන වුවමනාවක් ඇතැයි ජනතාව තුළ විශ්වාසයක් පවතී. වර්ගය, ආගම සහ පංතිය නොසලකා සියලු ජන කොටස් ජාතික ජන බලවේගයට සහාය දුන්නේ එම නිසාය.
දෙවැනි කාරණය හොරුන්ට දඬුවම් දීමෙන් පමණක් වංචාව සහ දූෂණය වැළැක්විය නොහැකිය යන්නයි. පුද්ගලයන් වෙනස් කිරීමෙන් හෝ එය සාක්ෂාත් කර ගත නොහැකිය. වරද ඇත්තේ පුද්ගලයන් තුළ නොව පාලන ක්‍රමයේය. එම ත්‍රිත්වයට ක්‍රියාත්මක විය හැක්කේ පවතින ක්‍රමය නිසාය. එමනිසා ක්‍රමයේ වෙනසක් ද අවශ්‍ය ය. ගාළු මුවදොරින් ‘සිස්ටම් චේන්ජ්’ එකක් ඉල්ලා සිටියේ පුද්ගලයන් වෙනස් කිරීම සම්පූර්ණ විසඳුමක් නොවන නිසාය. හොරුන් සිරගෙදරට දැමුවත් වංචනිකව උපයා ගත් ධනය රජයේ භාණ්ඩාගාරයට භාර දුන්නත් ප්රශ්නය විසදෙන්නේ නැත. පැරණි හොරුන් වෙනුවට අලුතින් හොරු බිහි වනු ඇත.
වංචාව දූෂණය සහ හොරකම වැළැක්විය හැකි වන්නේ ජනාතවට සෘජුව වගකියන සෘජුව සහභාගි විය හැකි පාරද්‍රශ්‍ය පාලන ක්‍රමයක් නිර්මානය කිරීමෙනි. ඒ සඳහා ජාතය්‍යන්තර මූල්‍ය ආයතනවලින් හෝ වෙනත් සංවිධානවලින් ආධාර උපදෙස් ලැබෙනු ඇතැයි කිව නොහැකිය. ඒ අන් කිසිවක් නිසා නොව එම සංවිධාන තුළත් වගවීම, වගකීම සහ පාරද්‍රශ්‍ය භාවය නැති නිසාය. සාධාරණ යුක්ති සහගත ජනතාවට වගකියන පාලන ක්‍රමයක් ඔවුන්ගෙන් ඉල්ලා සිටීම ඉබ්බන්ගෙන පිහාටු ඉලීමට වෙනස් නොවේ.
ජනතාවට වගකියන පාලන ක්‍රමයක් ඇති කිරීමට නම් මූලික වශයෙන්ම ජනතාව මත විශ්වාසය රඳවන ව්‍යුහයන් සැකසිය යුතුය. ජනතා විශ්වාසය වසර පහකට පසුව හෝ පාලකයාගේ කැමැත්ත අනුව පවත්වන ඡන්ද විමසීමකින් තහවුරු කළ නොහැකිය. ඒ සඳහා දැනට පුද්ගලයන් සහ ආයතන සතු කර ගෙන ඇති බලය සැබැවින්ම ජනතාව අතට පත් කෙරෙන ව්‍යුහයන් සැකසිය යුතුය. එය බලය විමධ්‍යගත ගත කිරීමකි. පළාත් සභාවකින් හෝ පළාත් පාලන ආතනයකින් එම කාර්ය සපිරෙන්නේ නැත. දෙසිය විසිපහම එපා කීම තුළ ගැබ්වන්නේ ක්‍රමයේ වෙනසකි.
එය නව දේශපාලන ගමනක ආරම්භය සනිටුහන් කරන නිර්මාණාත්මක කාර්යකි. ඒ සඳහා නව උපමානයන් සහ දර්ශක සකස් කර ගැනිමට සිදුවන දුෂ්කර කාර්යක් විය හැකිය. ජාතික ජන බලවේගයේ අනාගතය සනිටුහන් වන්නේ එවැනි ගමන් මාර්ගයක් නිර්මාණය කිරීමට ඇති කැපවීම සහ අධිෂ්ඨානය මතය.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024
Pingback: රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - Lanka Socialist Forum