You are currently viewing යුද්ධය සාමය වන අබුද්දස්ස කාලයක්..

යුද්ධය සාමය වන අබුද්දස්ස කාලයක්..

අබුද්දස්ස කාලේ පරඩැල් දියේ ගිලී තිරුවානා ගල් මතු පිට පාවෙන්නේයැයි ජනවහරේ කියමනක් ඇත. දැන් ලෝකය අත්දකින්නේ එවැනි කාල පරිච්ඡේදයක්යැයි කිව හැකිය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අමු අමුවේම උල්ලංඝනය කරමින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාරවලට ටොන් තුනක් බරැති මහා බෝම්බ දමා ලොවම භීතියට පත් කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ කරන්නේ අප පරිකල්පනයේ අවසනට පැමිණ ඇති නිසාය.

ඉරානයේ නටාන්ස්, පාඩෝ සහ එස්පහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ එල්ල කර දින දෙකකට පසුව ජුනි 24 වැනි දා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සභිකයෙකු වූ අර්ල් කාටර්, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නිල වශයෙන් යෝජනා කෙළේය. ඔහු සඳහන් කරන ආකාරයට ජනාධිපති ට්‍රම්ප් ඉරානය සහ ඊශ්‍රායෙලය අතර සටන් විරාමයක් ඇති කිරීමට සුවිශේෂී මෙන්ම විශිෂ්ට කාර්ය භාරයක් ඉටු කෙළේය. එමනිසා ඔහුට මෙම වසරේ සාම ත්‍යාගය හිමි විය යුතුය.

ඊට දින කීපයකට පෙර ඉන්දියාවත් සමග මිසයිල සහ ගුවන් ප්‍රහාර යුද්ධයකට එළඹ සිටි පාකිස්ථානය ද ජනාධිපති ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය සඳහා නම් කිරීමට තීරණය කර තිබිණ. ඒ යුද වැදී සිටි රටවල් දෙක අතර සටන් විරාමයක් ඇති කිරීමට ජනාධිපති ට්‍රම්ප් මැදිහත්වීම නිසාය. සටන් විරාමයක් ඇති කර ගැනීමට එක්සත් ජනපදයේ මැදිහත්වීමක් නොවු බව ඉන්දියාව ප්‍රකාශ කර තිබීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූයේ නැත. එහෙත් උත්ප්‍රාසය වන්නේ ජනාධිපති ට්‍රම්ප් නොබෙල් ත්‍යාගයට නම් කළ දිනට පසුවදා ම පාකිස්ථානයට ඔහු දැඩි විවේචනයට ලක් කිරීමට සිදු වීමයි.

අසල්වැසි ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට ගුවන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම ගැන පාකිස්ථානයට නිහඬව සිටිය නොහැකිය. එමනිසා පාකිස්ථානය මෙම ප්‍රහාර හැඳින් වූයේ පෙර නොවු විරු ආකාරයට කලාපයේ යුද උණුසුම උත්සන්න කිරීමක් සහ ඉරානය ආක්‍රමණය කිරීමක් සේය. එවැනි ප්‍රහාරයකට නියෝග දුන් පුද්ගලයාට නොබෙල් ත්‍යාගය ලබා දීම තවදුරටත් පාකිස්ථානය අනුමත කරන්නේ ද යන්න ගැන මෙතෙක් ප්‍රකාශයක් කර නැත.  

මීට අමතර ඊශ්‍රායෙලය සහ ඉරානය යන රටවල් දෙකම සටන් විරාමය කඩ කරන බවට පළ වූ වාර්තාවලට ඔහු ප්‍රතිචාර දැක් වූයේ රාජ්‍ය නායකයෙකු නොව සාමාන්‍ය පුද්ගලයෙකු පවා භාවිතා නොකරන අසභ්‍ය වචනයකිනි. වත්මන් තත්වය යටතේ එය ද සාම ත්‍යාගය සඳහා සුදුසුකමක් විය හැකිය.

නොබෙල් සාම ත්‍යාගය පිරිනැමෙන රාජ්‍ය නායකයන් හැම විටම සාමයට කැප වූවන් නොවීම මීට පෙර කරන ලද ප්‍රදානයන්ගෙන් ද තහවුරු වේ. ඒ තවත් ඇමරිකානු ජනාධිපති වරයෙකු වූ බරාක් ඔබාමාට ද එම ත්‍යාගය පිරිනැමීමය. ජනාධිපති තනතුර භාර ගැනීමටත් පෙර සාමය සඳහා ඔහුගේ ඇප කැපවීම අගය කළ නොබෙල් කොමිටිය බරාක් ඔබාමාට එම ත්‍යාගය පිරිනැමුවේය.

ඊට හේතු පාඨය වූයේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ දි ඔහු ඇමරිකාවේ මැදිහත් වීමෙන් ලොව බොහෝ තැන්වල සිදු වෙමින් පවතින යුදමය ගැටුම් අවසන් කරන බවට දුන් ප්‍රතිඥාවයි. එහෙත් බලයට පත් ඔහු අනුගමනය කෙළේ සාමයට වඩා යුද්ධය ඵලදායි වන්නේය යන ප්‍රතිපත්තියයි. ඔහු පාලන බලයේ සිටි වසර අට ඇතුළත ඇප්ගනිස්ථානය, ඉරාකය, සිරියාව, ලිබියාව, යේමනය, සෝමාලියාව සහ පාකිස්ථානය යන රටවල හමුදාමය මැදිහත්වීම් සිදු විය. 2011 මැයි මාසයේ දී පාකිස්ථානයට ගුවන් මෙහෙයුමක් දියත් කෙළේ අල් කයිඩා නායක බින් ලාඩන් ඝාතනය කිරීමට ය.

ඔබාමාගේ පාලන සමයේ ඩ්‍රෝන ගුවන් ප්‍රහාර එල්ල කොට පුද්ගලයන් ඝාතනය කිරීම හමුදා උපාය මාර්ගයක් බවට පත් විය

මෙවැනි පසුබිමක් තුළ නොබෙල් සාම ත්‍යාගය, සාමය වෙනුවෙන් ඇප කැප වී වැඩ කිරීම ඇගයීමකට වඩා දේශපාලන අරමුණු පදනම් කර ගත් තවත් රැවටීමකට වෙනස් නොවේ. මෙවැනිම පදනමක් යටතේ ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ද නොබෙල් සාම ත්‍යාගය පිරිමනැමුව හොත් පුදුම විය යුතු නැත.

ඇත්තෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් සාමය හෝ සාධාරණත්වය අගය කරන නායකයෙකු නොවේ. ඔහුගේ අරමුණ වන්නේ ඇමරිකාව දැනට හිමි කර ගෙන සිටින ලෝක ආධිපත්‍යය අභියෝගයක් නැතිව ඉදිරියටත් පවත්වා ගැනීමය. ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කරමු (Make America Great Again ) උද්ඝෝෂණ පාඨයේ සැබෑ අර්ථය එයයි. එහෙත් එම ආශ්චර්ය සියලු ඇමරිකානුවන් සඳහා නොවේ. ආර්ථික සමෘද්ධිය යනුවෙන් ඔහු අදහස් කරන්නේ එලොන් මස්ක් වැනි ප්‍රකෝටිපතියන්ට ධනය වඩ වඩාත් රැස්කර ගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග සකස් කිරීම ය.

ලෝකයේ දෙවන විශාල ආර්ථිකය වන චීනයේ අපනයනවලට සියයට 150ක තීරු බදු පැන වූයේ ඇමරිකානු වෙළඳ පොළ සුවිශේෂී වශයෙන්ම ඇමරිකානු ආයෝජකයන් සඳහා වෙන් කර ගැනීමටය. එහෙත් එම තීරු බදු ඇමරිකානු නිෂ්පාදකයන්ට ද බලපාන නිසා ඒවා ඉවත් කර ගැනීමට ද ඔහුට සිදු විය. නිදසුනක් වශයෙන් ඇමරිකානු තීරුබදුවලට ප්‍රතිචාර වශයෙන් චිනය ඇමරිකාවට අපනයනය කරන දුර්ලභ ගණයේ ඛනිජ වර්ග තහනම් කළ විට ට්‍රම්ප්ට තීරු බදු හකුළා ගැනීමට සිදු විය. 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ව්‍යප්තවාදී ප්‍රතිපත්තිය නිසාම ඔහුට කැනඩාව එක්සත් ජනපදයේ 51 වැනි ප්‍රාන්තය ලෙස එක් කර ගැනිමට අවශ්‍ය විය. මෙය පැරණි යටත් විජිත සමයේ හමුදා බලයෙන් රටවල් අත්පත් තර ගැනීමට වෙනස් වන්නේ නැත. විසි එක්වැනි සියවසේ හමුදා බලය නොයොදා රටවල් අත්පත් කර ගැනීමට ඇති පහසු ක්‍රියා මාර්ගය මුල්‍ය බලය යෙදවීම ය. කැනඩාවට එරෙහිව සම්බාධක සහ වෙනත් තහංචි පැනවීමෙන් එය අත්පත් කර ගත හැකියැයි ට්‍රම්ප් අදහස් කරයි. ඛනිජ සම්පත්වලින් පොහොසත් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට හමුදා බලය පවා යෙදවීමට ඔහු සූදානම් ය.

පසුගිය සතියේ බ්‍රසල්ස් නුවර පැවති නේටෝ රාජ්‍ය නායක හමුවේදී යුද වියදම් වැඩි කිරීමට එකඟතාවය මැනැවින් ප්‍රකාශ විය. සමහර විචාරකයින් දක්වන ආකාරයට එහි දි සිදු වූයේ එකඟතාවය ප්‍රකාශ කිරීමට වඩා යුරෝපිය රටවල නායකයන්ගේ දීන භාවය ප්‍රකාශ කිරීමකි. නේටෝ මහලේකම් මාර්ක් රූට් ජනාධිපති ට්‍රම්ප් හැඳින්වූයේ නේටෝ සංවිධානයේ පියා (Daddy) සේය. ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීම ඔහු හැඳින් වූයේ ට්‍රම්ප් ගේ පෞරුෂත්වය සහ සාමයට ඇති කැපවීම විදහාපාන්නක් සේය. ට්‍රම්ප් වැනි නායකයෙකු නොවන්න එවැනි දෙයක් කිසිසේත්ම සිදු විය නොහැකියැයි රූට් සහතික වූයේය.

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන වරට ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව මෙතෙක් ක්‍රියා කර ඇත්තේ සාමය සහ සාධාරණත්වය අගය කරන නායකයෙකු සේ නොවේ. ඔහු ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කිරීමට සූදානම් නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන තමන් නොදන්නා බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කෙළේය. ඔහුට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කිරීමට නීතියෙන් බාධාවක් නැතැයි පසුගිය සතියේ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ද තින්දු කර ඇත. වෙනත් ආකාරයෙන් ඔහුට ඒකාධිපතියෙකු සේ ක්‍රියා කිරීමට නීතිමය හෝ පරිිපාලනමය බාධාවක් නැත.

පුදුමයට හේතු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව නොසලකා හිතුවක්කාර ලෙස ක්‍රියා කරන නායකයෙකු සාම කුමරෙකු සේ පිළිගැන්වීමට ගන්නා උත්සාහයයි. ගාසා තීරයේ කෙරෙන ජන ඝාතනයට අවි ආයුධ සහ දේශපාලන රැකවරණය ලබා දෙන, තම සාහසික ක්‍රියාවන්ට එරෙහිවන ඕනෑම කෙනෙකු ඝාතනය කිරීමේ අයිතියක් ගැන කතා කරන නායකයෙකු සාම ත්‍යාගයක් සඳහා නම් කළ හැකිවන්නේ පරිකල්පනයේ අවසානයට පැමිණි විටය.  

Leave a Reply