1860 ගණන්වල සිටම විශේෂයෙන් යුරෝපයේ කාර්මික රටවල්වල කම්කරුවෝ වඩාත්ම අඩු සේවා පහසුකම් හා වේතන මත, පැය 12 සිට 16 දක්වා වැඩ කළ තත්වය මත අඩු පැය සේවය සඳහා වු ඉල්ලීම මතු වෙමින් පැවතුනි. රජයන් හා කම්හල් හිමිකරුවෝ මොවුන්ව වහලුන්සේ සලකා වැඩ ගත් අතර අනතුරුදායක කම්හල්වල සේවකයෝ මරණයට පත්වන විට පවා එය ගණන් ගැනීමක් නොකළහ.
පැය 8 ඉල්ලීම
1884 වසරේ දැනට ඇමෙරිකානු කම්කරු සම්මේලනය ලෙස හඳුන්වනු ලබන සංවිධානය විසින් චිකාගෝ නගරයේ පවත්වන ලද ජාතික කම්කරු සමුළුවේදී, 1886 ජනවාරි 1 වන දින සිට පැය 8ක සේවය නීත්‍යානුකූල හිමිකමක් ලෙස සේව්‍යයන්ගේ එකගතාවයක් නොමැතිවම ප්‍රකාශයට පත් කළේය. මෙම ප්‍රකාශයෙන් පසුව, ඇමරිකාව පුරාම මෙයට අනුකූලතාවය සහ සහයෝගය දක්වමින් දස ලක්ෂයකට වඩා කම්කරුවෝ තම ඉල්ලීම්වලට බලකිරීම සඳහා මැයි 1 වන දින වැඩ නැවැත්වීමක් සහ රැලියක් පැවැත්වුහ.
ඉතිහාසයේ පළමු මැයි දින සැමරුම 1886 මැයි 1 වන දින ඇමරිකාවේ පැවතුන අතර නොයෙකුත් කම්කරුවෝ කර්මාන්ත ශාලා 13,000ක, ලක්ෂ 3 කට ආසන්න පිරිසක් වැඩ වර්ජනයට බැස උද්ඝෝෂණය කළහ. චිකාගෝ නගරයේ 40,000ක කම්කරුවෝ වැඩ නවත්වා තම පෙරටුගාමීත්වය හා කම්කරු ශක්තිය ප්‍රදර්ශණය කෙළේ ය. මොවුන් සමාජවාදී කම්කරු නායකයින් සමඟ එක්වී පවත්වන ලද රැස්වීමේ උණුසුම් කථා පැවතුනද කිසිදු හිංසාකාරී සිදුවීමක් නොවීය. මෙම තත්වය පරිවර්තනය වී චිකාගෝ නගරයේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවෝ පැය 8ක ඉල්ලීම මත වැඩ වර්ජනය කරන ලදී.
1886 මැයි 03 වන දින හේ මාර්කට් ඛේදවාචකය
මාස 06 ක කාලයක් මුළුල්ලේම හාම්පුතුන්ගේ හෙන්චයියන් හා පොලිසිය එක්ව සමාජවාදි නායකත්වයෙන් යුත් වෘත්තීය සමිතියක වානේ කර්මාන්තශාලා කම්කරුවන්ට පහර දී අස්කරන පිළිවෙතක් අනුගමනය කළේය. මෙම ක්‍රියාවලියට විරුද්ධව පිකටිංවලට සහභාගී වු 200ක් පමණ කම්කරුවන් පොලිස් බැටන් ප්‍රහාරවලට සහ වෙඩි තැබීම්වලටද මුහුණදීමට සිදුවිය. මෙයින් කම්කරුවන් දෙදෙනෙකුගේ ජීවිත අහිමි විය. මෙම කරුණ ගැන සාකච්ඡා කිරීමට එම සමිතිවල නායකයන් හේ මාර්කට් චතුරශ්‍රයට එක්වෙන ලෙස කැඳවුම් කළේය. මෙය කෙටි දැන්වීමක් වු අතර, එදින අධික වර්ෂාව හේතුවෙන් 3000ක් පමණ සහභාගී වු අතර, මෙම රැස්වීමට චිකාගෝ නගරාධිපති ඔහුගේ බිරිඳ සහ දරුවන් සමඟ සහභාගි වීය. එම රැස්වීමේ කථිකයින් හිංසන අවුස්සන කිසිදු කථාවක් නොකල බවට ඔහු සාක්ෂි දැරීය. මෙම රැස්වීම අවසන් වීමට මොහොතකට පෙර පොලිස් ඔත්තුකරුවන් දෙදෙනෙකු මෙම රැස්වීමේ කථිකයින් හිංසාව අවුස්සන කථා පවත්වන බව පවසා පොලිස්සිය රැස්වීම් පැවැත්වුණ ස්ථානයට (හේ මාර්කට් චතුරස්රයට) කැදවාගෙන ආවේය. පොලිසිය රැස්වී සිටි පිරිස් විසුරුවා හැරීමට පියවර ගත් අතර ඒ අතරතුර කවුරුන් හෝ විසින් අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලදි. (ඔහු පාලකයින්ගේ ඔත්තුකරුවෙකු බවට පසුව සැක කෙරිනි) මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු එතනම මරුමුවතට පත්විය. සතියකට පසු තවත් 7 දෙනෙක් මරණයට පත් වු නමුදු මොවුන්ගේ මරණ, පොලිසියේ වග විභාගයෙන් තොරව වෙඩි තැබීම නිසා සිදුවූ බව ඔප්පු විය. මෙයට ප්‍රතිචාරයක් ලෙස පොලිසිය දිගට හරහට රැස්ව සිටි කම්කරුවන් දෙසට වෙඩි තබන්නට පටන් ගත් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් කම්කරුවන් 7 දෙනෙකු ජිවිතක්ෂයට පත්විය. තවත් 40 කට ආසන්න පිරිසක් බරපතල තුවාල ලැබු අතර කම්කරුවන්ගේ සුදු කමිස රතු ලේවලින් තෙත්විය. මෙම සිද්ධියෙන් පසුව කම්කරු පාට රතු බවට ප්‍රකට විය. ඒ ලේ රතු කමිස ගෙන කම්කරුවෝ නගරය පුරා පෙළපාලි දැක්වුහ.
නායකයන් එල්ලා මරා දැමීම
මෙම සිද්ධියෙන් පසු මෙම ව්‍යාපාරයට නායකත්වය දුන් නායකයින් 8 දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබු අතර, පස් දෙනෙකුගෙන් යුත් සභා විභාගයෙන් පසු 1887 නොවැම්බර් 11 වන දින මෙම නායකයන්ගෙන් 4දෙනෙකු ප්‍රසිද්ධියේ ම එල්ලා මරණ ලද අතර තවත් නායකයෙක් අනෙකුත් නායකයින් තිදෙනා වසර කීහිපයකට පසුව නිදහස් කෙරුණි. මෙම සිදුවීම වන විට මෙම නායකයින්ගෙන් වැඩි දෙනෙකු එම ස්ථානයේ නොසිටි අතර ඔවුන්ට මෙම දඩුවම් ලබා දෙන ලද්දේ ඔවුන් සමාජවාදී මත දරණ කම්කරු අයිතින් වෙනුවෙන් නායකත්වය දුන් නිසාය. කම්කරුවන්ගේ පැය 08ක සේවය සදහා අරගලයට නායකත්වය දුන් නිසාය
මැයි දිනය ප්‍රකාශයට පත් කිරීම
මැයි 01 වන දින ලෝක කම්කරු දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලද්දේ 1886 හේ මාර්කට් සිදුවීම සිහි කිරීම සඳහාය. පසු කලක මෙම දිනය රටවල් ගණනාවකම නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. මේ ජාත්‍යාන්තර කම්කරු සංවිධානය විසින් හෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලය විසින් මෙතෙක් ලෝක කම්කරු දිනය වශයෙන් ප්‍රකාශයට පත්කොට නැති නමුදු මෙම දිනය දිනාගෙන ඇත්තේ කම්කරුවන් විසින්ම ය. තවත් රටවල් කිහිපයක්ම මෙම කම්කරු දින සඳහා වෙනත් දින නිවාඩු දී ඇත. මෙම ඛේදවාචකය සිදුවු ඇමරිකාව මෙම දිනය හදුන්වන්නේ ”නීතිය සහ සාමය සඳහා වු දිනය” වශයෙනි. ඒ සඳහා ඔවුන් සැප්තැම්බර් 04 වන දින යොදාගෙන ඇත්තේ හේ මාර්කට් සිද්ධිය අමතක කරවීම සඳහා ය.
ලංකාවේ මැයි දිනය සැමරීම
ලංකාවේ මෙම දිනය 1930 ගණන් වල සිටම සමාජවාදී හා ලිබරල් වාදී පක්ෂයක් විසින් සමරා ඇති අතර 1956-64න් පසුව ලංකාවේ ධනේශ්වර පක්ෂය විසින් වෘත්තීය සමිති පිහිටුවා ඔවුන්ගේ පක්ෂවල දැවැන්ත පෙලපාලි සහ රැස්වීම්වලට විශාල කම්කරු පිරිසක් රැස්කරගත්තා පමණක් නොව කම්කරුවන්ට හිමි රතු පාටද සොරා ගන්නා ලදි. 1956 බණ්ඩාරණායක අගමැතිවරයා ලංකාවේ මැයි දිනය නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළේ එම දිනයේ දී කම්කරුවන් වැඩ නවත්වා උත්කර්ශවත් ආකාරයෙන් හා සටන් කාමීත්වයෙන් දහස් ගණන් මැයි දින පෙළපාලිවලට සහභාගී වීම වළකා ලීමටය. මෙම තීරණය පිටුපස ප්‍රබල දේශපාලන උවමනාවක් තිබුණි. මෙම මැයි දිනය කම්කරු විරෝධි, කම්කරුවන්ව තම දේශපාලන උවමනා වලට යොදවා ගන්නා හා වෘත්තිය සමිති හරහා ඔවුන්ව කොටු කරගත් රතු, නිල්, කොළ පාට දේශපාලන පක්ෂ විසින් ඉතා අප්‍රසන්න ආකාරයෙන් සිහිකරන අතර, එම දිනයේ වටිනාකම සහ ගරුත්වය අවමානයට ලක් කර ඇත.
ඊ.ඒ.පී.අල්විස්
(මුද්‍රණ ශිල්පින් සංගමයේ හිටපු සභාපතිවරයෙකි)
- ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද? - December 10, 2024
- යුද්ධයෙන් මිය ගිය අය සැමරීමට ඉඩ දෙන්න.. - November 27, 2024
- මහාචාර්ය කුමාර් ඩේවිඩ් සහෝදරයා ජාත්‍යන්තර බුද්ධිමතෙකි.. - October 21, 2024