පසුගියදා කතානායක විසින් සහතික කරන ලද මාර්ගගත ආරක්ෂාව පනතේ සමහර වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට අනුකූල නොවන නිසා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කර ගත යුතුව තිබුණේයැයි මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දෙහිදෙණිය මහතාගේ අත්සනින් කතානායක වෙත යවා ඇති ලිපියක සඳහන් වේ. මෙම ලිපියේ පිටපත් ජනාධිපතිට සහ ආරක්ෂක ඇමතිට ද යවා ඇත.
පහත පළ වන්නේ එම ලිපියේ සිංහල පරිවර්තනය යි.
2024 පෙබරවාරි 1 වැනි දින සහතික කරන ලදුව 2024 පෙබරවාරි 2 දින ආණ්ඩුවේ ගැසට් පත්‍රයේ පළ කරන ලද මාර්ගගත ආරක්ෂාව පනත පිළිබඳව ඔබ වෙත මෙසේ දන්වනු කැමැත්තෙමු. ඉහති කී පනත සමාලෝචනය කළ අපි 1996 අංක 21 මානව හිමිකම් කොමිසන් සභා පනතේ 10(ඇ) සහ (ඈ) වගන්ති ප්‍රකාරව අපගේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට කැමැත්තෙමු.
ආරම්භයේ දීම මුල්ම මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පනතේ අන්තර්ගතය සම්බන්ධයෙන් 2023 ඔක්තෝබර් 2 වැනි දින මහජන ආරක්ෂාව පිළිබඳ ගරු ඇමතිවරයාට සන්නිවේදනය කළ අපගේ නිරීක්ෂණ සහ නිර්දේශ නැවත අවධාරණය කරනු කැමැත්තෙමු. ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන අධිකාරීන්ට මාර්ගගත ක්‍රියාකාරිත්වය ට අදාලව පවතින අපරාධ නීතිය අර්ථ ගැන්වීමේ දී සහ යොදා ගැනීමේ දී සැලකිය යුතු අභියෝගයන්ට මුහුණ දීමට සිදුව ඇති බව අවධාරණය කෙළෙමු. පළමුව අර්ථාන්විත ආයතනික ප්‍රතිසංස්කරණ හඳුුන්වාදීමෙන් තොරව පනත ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ගැන ආණ්ඩුවට අනතුරු හැඟ වූයෙමු.
එසේ වුවත් පනත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලංකාවේ පුරවැසියන් ගණනාවක්ම අභියෝග කළ බව එම නිවේදනයේ සඳහන් වේ.
එම මුලික අයිතිවාසිතම් පෙත්සම් සලකා බැලු ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවේ දී එම පනත සම්මත කළ යුතු ආකාරය නියම කරන ලදී. ඒ අනුව
“උසාවියේ තීරණයට සම්පූර්ණයෙන්ම අනුකූල වීම ශ්‍රී ලංකාවාසීන්ගේ මූලික අයිතිවාසිකම් තහවුරු කිරීමට තීරණාත්මක වේ.”
මාර්ගගත සුරක්ෂිත භාවය පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තින්දුවේ එම පනතේ වගන්ති තිහකට අධික සංඛ්‍යාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ සමහර තැන්වල 14(1)(අ) ව්‍යවස්ථාවලට නොගැලපෙන බවත් සමහර අත්හැර දැමීම් ඇති බවත් පෙනෙන්නට ඇත. ඒ අනුව පනත පාර්ලිමේන්තුවෙන් සම්මත කළ හැකි වන්නේ විශේෂ බහුතරයකින් පමණි. කෙසේ වුවත් අධිකරණයෙන් නිර්දේශ කර ඇති සියලු සංශෝධන පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී ඇතුළත් කරන්නේ නම් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් සම්මත කළ හැකි බව ද පෙන්වා දී ඇත. එමනිසා පනත සාමාන්‍ය බහුතරයකින් සම්මත කර ගන්නේ නම් අධිකරණයෙන් නිර්දේශ කර ඇති අවශ්‍ය සියලු නිර්දේශ ඇතුළත් කිරීම පාර්ලිමේන්තුවේ වගකීමකි. එවැනි නිර්දේශ කිසිවක් අත්හරින්නේ නම් පනත සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය ය.
මාර්ගගත සුරක්ෂිත භාවය පනත සැලකිල්ලෙන් සමාලෝචනය කළ කොමිසමට පනත පහත සඳහන් වගන්ති ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශවලට අනුකූල නොවන බවත් සමහර අත්හැරීම් පවතින බවත් දැක ගත හැකි විය.
1.13 වගන්තිය ( පනතේ 13 ඡේදය)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ 46 සහ 47 පිටුවල ගරු නීතිපතිවරයා යෝජනා කළ සංශෝධනවලට අමතරව 13 වැනි ඡේදයට ( පනතේ 13 ඡේදය) අධිකරණයෙන් මූලික සංශෝධන යෝජනා කර ඇත. අධිකරණයේ නිර්දේශ මෙසේය:
අ. එවැනි නඩු පිළිබඳ අධිකරණ බලය මහෙස්ත්‍රාත් උසාවියකට ලබා දීම වෙනුවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 105(3) ව්‍යවස්ථාව ප්‍රකාරව විභාග කිරීමේ සහ විනිශ්චය කිරීමේ අධිකරණ බලය පැවරීම
ආ. 1979 අංක 37 පනතේ 49(3) ඡේදයේ ප්‍රතිපාදනවලට යටත්ව එවැනි අධිකරණ බලය පැවරීම 1919 අංක 37 විනිශ්වයක පනතේ 55 ඡේදය අනුව දිස්ත්‍රික් උසාවියට, පවුල් උසාවියට, මහෙස්ත්‍රාත් උසාවියට පවරා ඇති බලතලවලට අමතරව විය යුතුය.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශ කර ඇති නිශ්චිත යෙදුම් පනතේ 13 වගන්තියේ පිළිබිඹු වන බවක් දක්නට නැත.
2.16 වගන්තිය ( පනතේ 17 ඡේදය)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ 51 පිටුවේ මෙසේ නිරීක්ෂණය කර ඇත:
‘17 වැනි වගන්තියේ ( පනතේ 16 වැනි ඡේදය) ප්‍රකාශිත අරමුණ ආගමික හැඟීම්වලට හිතාමතාම සහ ද්වේෂ සහගතව කෙරෙන සාවද්‍යතාවයන්ගෙන් ආරක්ෂා කිරීම වුවද එහි තත්‍ය විෂය පථය සම්ප්‍රදායිකව තේරුම් ගන්නා ‘මාර්ගගත ආරක්ෂාව’ පිළිබඳ සීමාවන් ඉක්මවා යයි. හරයාත්මක වශයෙන් මාර්ගගත ක්‍රම වල ආරක්ෂාව යන්නෙන් අදහස් වන්නේ එය භාවිතා කරන්නන් සයිබර් බියවැද්දීම, අවඥාවට ලක් කිරීම (Phising) කූටෝපක්‍රම හෝ හානිකර අන්තර්ගතයන්ට නිරාවරණය කිරීම වැනි ආසන්නතම සංඛ්‍යාංක තර්ජනවලින් ආරක්ෂා කිරීම පිළිබඳ කරුණු බව ද එහි නිරීක්ෂණය කෙරේ. අවධානය යොමු විය යුත්තේ භාවිතා කරන්නන් ට පුද්ගලිකව හානියක් නොවීමෙන්, පෞද්ගලික රහස්‍යතාවය කඩ නොවීමෙන් හෝ සංඛ්‍යාංක උපක්රමවලට ලක් වීමේ බියෙන් තොරව තොරතුරු සොයා යෑම සහ ප්‍රතිචාර දැක්වීමට ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම ය.’
ශ්‍රේෂ්ඨාධිකරණ නිරීක්ෂණයේ ඉහත සඳහන් ඡෙදයේ හරය වන්නේ පනතේ අදාල ඡේදය ඉවත් කළ යුතුය යන්නයි. එසේ වුවද එම ඡේදය පනතේ 16 වගන්තිය ලෙස පවතී.
3.19 වගන්තිය ( පනතේ 21 ඡේදය)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ 53 වැනි පිටුවේ මෙසේ සඳහන් වේ.
“රජයට එරෙහිව කැරලි ගැසීම සහ වැරදි කිරීමේ අදහසින් සාවද්‍ය ප්‍රකාශන සන්නිවේදනය කිරීම අපරාධයක් බව නිශ්චිතවම සඳහන් වන වගන්තියේ හැඳින්වීම පැහැදිලිවම පුළුල් වන අතර යෝජිත පනතෙන් අදහස් කරන විෂය පථය ට දැඩිව ගැලපීමක් වන්නේ ද නැත. පුළුල් ජාතික ආරක්ෂාව සහ මහජන සාමය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් අන්තර්ජාලය භාවිතා කරන්නන් සහ ජනතාව මාර්ගගතව කෙරෙන හානිවලින් ආරක්ෂා කිරීමේ සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීමේ මූලික අරමුණුවලින් බැහැර වන බව ද අධිකරණය තවදුරටත් නිරීක්ෂණය කරයි.’
නැවත වරක් අධිකරණ නිරීක්ෂණයේ හරය වන්නේ ඉහත සඳහන් වගන්තිය ඉවත් කිරීම බව පෙනේ. කෙසේ වුවත් පනතේ 19 වගන්තියෙන් එම ඡෙදය ඇතුළත් කර ඇත.
4.20 වගන්තිය ( පනතේ 22 ඡේදය)
ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයේ 61 පිටුවේ පනතේ 22 වගන්තියයේ ඇති පැහැදිලි කිරීම් සංශෝධනය කළ යුතුයැයි පැහැදිලිවම නිර්දේශ කර ඇත.
කෙසේ වුවත් පනතේ අදාල කොටසේ එනම් 20 වැනි වගන්තියේ පැහැදිලි කිරීම මුල්ම පනතේ ආකාරයෙන්ම පවතින අතර අධිකරණයේ නිර්දේශයට අනුකූල වී නැත.
5.27 වගන්තිය ( පනතේ 31 ඡෙදය)
අධිකරණ විනිශ්චයේ 59 සහ 60 පිටුවල සමහර සේවා සහ කරුණු පහත සඳහන් නිර්ණායකවලට අනුකූල වන්නේ නම් මෙම පනත යටතේ වගකීමට බැඳී සිටීමෙන් නිදහස් විය යුතුයැයි නිර්දේශ කර ඇත.
(අ) ඊ මේල් ලිපි සේවාවන් මගින් සබල කරවන ලද අන්තර්ගතයෙන් භාවිතා කරන්නා ලියන ලද නම්,
(ආ) එස් එම් එස් සහ එම් එම් එස් සේවා,
- සේවා විසින් සබල කරන ලද අන්තර්ගතය භාවිතා කරන්නා පමණක් ලියන ලද එස් එම් එස් පණිවුඩ වන්නේ නම්,
- සේවා විසින් සබල කරන ලද අන්තර්ගතය භාවිතා කරන්නා පමණක් ලියන ලද එම් එම් එස් පණිවුඩ වන්නේ නම්,
- සේවා විසින් සබල කරන ලද අන්තර්ගතය භාවිතා කරන්නා පමණක් ලියන ලද එස් එම් එස් පණිවුඩ සහ එම් එම් එස් පණිවුඩ වන්නේ නම්
(ඇ) සේවා විසින් සබල කරන ලද අන්තර්ගතය භාවිතා කරන්නන් විසින් මුල පුරන ලද දෙදෙනෙකු අතර කෙරෙන සජීවී ශබ්ද සන්නිවේදන නම්,
(ඈ) පනත ක්‍රියාත්මක වූ දිනයේ සිට මාස හයක් ඇතුළත ඉවත් කරන ලද සාවද්‍ය ප්‍රකාශ, තහනම් ප්‍රකාශ, සහ වෙනත් තහනම් කරුණු සහ
(ඉ) තුන් වැනි පාර්ශ්වයක් විසින් අන්තර්ජාලයට එක් කළ හෝ මැදිහත් වූ (interfered) කිසියම් කරුණු යනාදියයි.
මෙම පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වීමටනම් ඉහත සඳහන් කාණ්ඩ පහම වෙන් වෙන් වශයෙන් වගකිමෙන් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අවශ්‍ය වු බව අපට නිරීක්ෂණය කළ හැකිය. කෙසේ වුවත් මෙම පනතින් අධිකරණයේ නිර්දේශ ක්‍රියාත්මක කළ ආකාරය සාවද්‍ය බව පෙනේ.
පනතේ 27(1) වගන්තියෙන් ඉහත සඳහන් (අ) (ඇ) සහ (ඈ) වගන්ති නිදහස් වු කාණ්ඩ වන අතර 27(2) වගන්තියෙන් (ඈ) සහ (ඉ) ගැන සඳහන් කරයි. කෙසේ වුවත් පනතේ 27(1) වගන්තිය 27(2) වගන්තියට යටත් කරයි. එමනිසා පනත යටතේ 27(1) වගන්තියේ කාණ්ඩ ඉවත් වන්නේ ඒවා (ඈ) සහ (ඉ) කාණ්ඩවල දක්වන ලද අවශ්‍යතාවයන්ට අනුකූල වන්නේ නම් පමණි. එවැනි සකස් කිරීමක් කණ්ඩායම් පහ වෙන් වෙන් වශයෙන් පනතේ විෂය පතයෙන් ඉවත් කළ යුතුය යන ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සමග ගැලපෙන්නේ නැත.
අතිරේකව මුල්ම පනතේ 31 ඡේදයෙන් ඉවත් කරන ලද කාණ්ඩවල කලින් තිබු ලැයිස්තුව එනම්:
(අ) අන්තර්ජාල අන්තර්මාධ්‍ය සේවා,
(ආ) විදුලි සන්දේශන සේවා
(ඇ) ජනතාවට අන්තර්ජාලයට පිවිසීම ලබා දෙන සේවා, හෝ
(ඈ)පරිගණක සම්පත් මෙම පනතේ 27(1) යටතේ නිදහස් වන්නේ පනතේ 27(2) ට අනුකූල වන්නේ නම් පමණි. එනම් අදාල කරුණු පනත බලාත්මක වීමෙන් මාස හයක් ඇතුළත ඉවත් කරන්නේ නම් හෝ එම කරුණු අන්තර්ජාලයට තුන් වැනි පාර්ශ්වයක් විසින් එක් කරන්නේ හෝ මැදිහත් වන්නේ නම් පමණි.
පාර්ලිමේන්තුවේ කොමිටි අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කිරීමට පෙරාතුව ඉහත සඳහන් සේවා සපයන්නන් පනත බලාත්මක වීමෙන් මාස හයක් ඇතුළත එම කරුණුවල ඇතුළත් දේ ඉවත් කළ යුතුව තිබුණේ නැත. කෙසේ වුවත් 27(2) වගන්තිය යටතේ දැන් අන්තර්ජාල සේවා සපයන්නා නිදහස් කිරීම සඳහා ඒවා ඉවත් කළ යුතුය.
ඒ අනුව 27 වගන්තිය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශවලට සම්පූර්ණයෙන් අනුකූල නොවන්නේයැයි සටහන් කරමු.
ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයට සම්පූර්ණයෙන්ම අනුකූල වන්නේ ද යන්න ගැන මාර්ගගත සුරක්ෂිත භාවය පනතේ අත්හැරීම් ගැන කොමිසම බරපතළ අවධානය යොමු කරයි. එවැනි අත්හැරීම් සහ අනතුරුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සමග ඇති අනනුකූලතාවය නිසා මාර්ගගත සුරක්ෂිත භාවය පනත පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කර ගැනීමට අවශ්‍යව තිබිණ. එමනිසා අධිකරණයේ විනිශ්චයන්ට සම්පූර්ණයෙන්ම අනුකූල වීමට අපොහොසත්වීමෙන් එම පනත දැනට පවතින ආකාරයට පාර්ලිමේන්තුවේ අවශ්‍ය කරන ඡන්ද ප්‍රමාණය ලබා ගත්තේ ද යන්න ගැන බරපතළ අවධානය යොමුවීමට හේතු වේ.