You are currently viewing මර්දන නීතිවලින් ක්‍රමයේ වෙනසකට ඇති ජනතා ඉල්ලීම වැළක්විය හැකිද?

මර්දන නීතිවලින් ක්‍රමයේ වෙනසකට ඇති ජනතා ඉල්ලීම වැළක්විය හැකිද?

  • කල් දැමු පළාත් පාලන ඡන්දය වළ දමයිද?
  • ලබන වසරේ පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද පාර්ලිමේන්තු මැතිවරණය ද?
  • නැතිනම් ජනමත විචාරණයකින් ඒ දෙකම කල් දමයිද?

මේ අද බොහෝ දෙනා පිළිතුරක් අපේක්ෂාවෙන් නිතර කතාබහ වන ප්‍රශ්න කීපයකි. පවතින දේශපාලන තත්වය මත මේ ප්‍රශ්න බෙහෙවින් අදාල මාතෘකා වුවත් ඉන් ලැබෙන පිළිතුර දිනෙන් දින උග්‍රවන දේශපාලන අර්බූදයට විසදුම් වන්නේ ද යන්න ගැන කිසිවෙකු සැලකිලිමත් වන්නේ ද යන්න සැකයකි. ඉතාමත් සරලව ඉහත සදහන් කුමන තත්වයක් ඇති වුවද පරිහානියට ලක්ව ඇති දේශපාලනයේ වෙනසක් වන්නේ නැත. දේශපාලනයේ වෙනසක් නොවන නිසාම ආර්ථිකයේ අර්බූදයෙන් ගොඩ ඒමට හැකි වන්නේ ද නැත.

දේශපාලනයේ අර්බූදය වන්නේ නියමිත කාලයට මැතිවරණ පැවැත්වීමෙන් විසදා ගත නොහැකි මට්ටම ඉක්මවා ඔඩු දිව ගිය රෝගයකි. පාලකයන් මාරුවීම හිසරදයට ‍කොට්ට මාරු කිරීමක් බව කලක සිටම අප ජන සමාජයේ පැවති මතයකි. ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන වෙනස්කම් හදුන්වා දීමට බලයට පැමිණි දේශපාලන පක්ෂ සහ සන්ධාන තනතුරු බෙදා ගත් සැණින්ම යොමු වන්නේ පැරණි සුපුරුදු ගමන් මාර්ගයේම යෑමටය. විපක්ෂයේ සිටිය දී දේශපාලන වේදිකාවේ හඬ නැංවූ වංචා දූෂණ නැවතත් දෛනික ක්‍රියා මාර්ගයේ මග සළකුණු ය. මහජන මතය සැනසීමට ජනාධිපති කොමිසන් සභා දුසිම් ගණන් පත් කළ ද ඒවායේ වාර්තා සියල්ල ලේඛනාගාරවල තැන්පත්ව දූවිලි බැදෙමින් පවතිනු ඇත. ඇත්ත වශයෙන්ම සිදු වන්නේ පුද්ගලයන් හා සමහර විට නිල නාම වෙනස්වීම පමණි.

මෙය ප්‍රමාණවත් නොවන බව වැසි නැති හෙනයක් මෙන් පිපිරී ගියේ පසුගිය වසරේ මාස හතරක් තිස්සේ ගාලුමුවදොර පිටියේ පැවති තරුණ තරුණියන්ගේ උද්ඝෝෂණයෙනි. ගෝටා ගෝ හෝම් ඔවුන්ගේ එක ප්‍රකාශනයකි. ගෝඨාට අවසානයේ දී ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ බල කිරීම නිසා ගෙදර නොව රට හැර යෑමට සිදු විය. ඔහුගෙන් පසුව බලයට පැමිණි පුද්ගලයන්ගේ හොද හිත නිසා ගෙදර ආ නමුත් රැකවල ලැබුණේ පිටරටවලිනි.

ගාලුමුවදොර අරගලකරුවන්ගේ සහ කාරියන්ගේ අනෙක් ඉල්ලීම වූයේ ක්‍රමයේ වෙනසක් නැතිනම් සිස්ටම් චේන්ජ් ය. ගෝඨා පාලනය හැර දමා පලා ගිය ද ඔහු නියෝජනය කළ දේශපාලනය වෙනස් නොවීම නිසා පැරණි ක්‍රමය නිරායාශයෙන්ම ආදේශ විය. ගෝඨා ගිය පසු ඒ වෙනුවට ජරාජීර්ණ වු, දේශපාලනයෙන් කිසිම ජනවරමක් නැති පුද්ගලයෙකු පළමුව අගමැති තනතුරටත් ඉන් පසුව ජනාධිපති තනතුරටත් පත්ව ගෝඨා නැවැත් වූ තැනින් පටන් ගෙන ඇත. පරණ පුරුදු ආකාරයට පුටු මාරුවත් ජනතා සම්පත් කොල්ල කෑමේ දේශපාලනයත් අතුරු ආන්තරාවක් නැතිව සිදු වේ. එහෙත් බාධාවක් වී ඇත්තේ ඒ පැරණි ක්‍රමය අනුව චාරිත්‍රාණුකුලව පැවැත්විය යුතු මැතිවරණ වැනි දේ පැවැත්වීම අවදානම් කටයුත්තක් වීම ය.

එය අවදානමක් වන්නේ රටෙ කළකෝළාහළ ඇතිවීමේ අනතුර නිසා නොවේ. දැනට වරින් වර පැවැත්වෙන ජනමත විමසුම් වලින් පැහැදිලි වන ආකාරයට පෙරමුණේ සිටින දේශපාලන පක්ෂවල නායකත්වයට ප්‍රකාශ වී ඇති කැමැත්ත සියයට පනහට අඩුය. එනම් බහුතරයේ කැමැත්තක් නැති බවය. ජාතික ජන බලවේගය වැනි සන්ධානවලට සමහර තත්වයන් යටතේ සියයට පනහ ඉක්මවා යන ජන කැමැත්තක් ප්‍රකාශ වුවද ඉන් ජනතා අපේක්ෂා සම්පූර්ණයෙන්ම නියෝජනය වන්නේයැයි කිව නොහැකිය. පැහැදිලි එකම කාරණය ජනතාව තුළ පවතින දේශපාලන ක්‍රමය ගැන විශ්වාසයක් නැති වීමය. කවුරු ආවත් කරන්නේ එකම දේය යන හැගීම ප්‍රබලව ජන සමාජයේ පවතින බවට අපමණ සාක්ෂි දැකිය හැකිය.

ජනතාවගේ විශ්වාසය සිදු ගත් දේශපාලන ක්‍රමයකට පවතින දේශපාලන සහ ආර්ථික අර්බූදයට විසදුම් සෙවිය හැකිද යන්නත් අද විවාදයට ලක්ව ඇති මාතෘකාවකි. පාලකයන් සහ පාලන බලය ගැනීමට අපේක්ෂාවෙන් සිටින අයත් එය දනිති. පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම ගැන අරගල සමයේ පැවති දේශපාලන උණුසුම නොමැතිවීමට එය ද හේතුවකි. පළාත් පාලන ආයතනවල බලය දිනා ගැනීම එක අතකින් තමන්ගේ ජනප්‍රියත්වය උරගා බැලීමට අවස්ථාවක් වුවද අලුතින් පිහිටුවන පළාත් පාලන සභාවලට තේරී පත් වන්නේ පැරණි ගමන් මාර්ගයේම යන පැරණි ක්‍රියා මාර්ග අනුගමනය කිරීමට තැත කවන අයයි. අපේක්ෂක තත්වයේ සිටිය දීම සමහරු කරන මැරකම් සහ හොරකම් ඉද හිට පුවත් වාර්තාවල පළ වේ.

මෙය තේරුම් ගත් පාලකයන්ගේ අනෙක් අවිය වන්නේ ප්‍රචණ්ඩත්වය සහ බලහත්කාරය යොදා ගැනීම ය. මාධ්‍ය නියාමන අධිකාරිය, ප්‍රතිත්‍රස්ත පනත වැනි පනත් අවශ්‍ය වන්නේ ජනතාව විකල්ප ක්‍රියා මාර්ග සෙයො යෑමෙන් වැළැක්වීමට ය. විකල්ප ක්‍රියා මාර්ග යනු සන්නද්ධ ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වීම නොවේ. ප්‍රවණඩ නොවන විකල්ප දේශපාලන මාර්ග බොහොමයක් ඇත. ඒ සියල්ලේ පොදු අරමුණ වන්නේ ජනතාවට වඩාත් වගකියන, ජනතාවට වසර කීපයකට වරක් ඡන්දය දීමට ඉඩ සැලසෙන ක්‍රමයට අමරතව පාලනයට සහභාගි විය හැකි පාලන ක්‍රම සෙවීම ය. එහෙත් ඒවා පාලකයන් දකින්නේ ත්‍රස්තවාදී ක්‍රියාසේය. ඔවුන්ගේ බලයට කරන අභියෝග සේය. එමනිසා ඒවා මාධ්‍ය මර්දනය හෝ ත්‍රස්ත මර්දනය හරහා ලත් තැනම ලොප් කළ යුතුය.

පාලකයන්ගේ මෙම වුවමනාව කෙටි නිදර්ශනයකින් පැහැදිලි කළ හැකිය.

ගාලු මුවදොර අරගලයේ අවසාන භාගයේ දී මතු වූ සාධනීය අදහසක් වූයේ බලයේ සිටින පාලකයන් ගේ අමන ක්‍රියා වැළැක්විමටත් ජනතාවාදී පාලනයක් පවත්වා ගැනීමටත් මහජන සභා පිහිටුවිය යුතුය යන්නයි. ජනතාවට පාර්ලිමේන්තුවේ ප්‍රතිපත්ති සම්පාදනයට බලැපෑම් කිරීමට මහජන සභා වැනි ප්‍රබල ආයතන බිහි වන්නේ නම් ජනතාවටත් පොදුවේ රටටත් හානිකර ප්‍රතිපත්ති පියවර ගැනීම වැළැක්විය හැකිය. පුළුල් අර්ථයෙන් එය වෘත්තීය දේශපාලකයන්ගේ බලය සීමා කිරීමේ අවියකි.

පවතින දේශපාලනයට අලුත් සංකල්පයක් වන මේ අදහස් ජනතාව අතර සාකච්ඡාවට සම්මන්ත්‍රණයට ලක් විය යුතු කාරණයකි. ඒ ගැන විවිධ උත්සාහයන් රට තුළ විවිධාකාරයෙන් සිදු වෙමින් පවතී. පසුගිය දිනක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගමක එවැනි සාකච්ඡාවක් කැදවා තිබිණ. ඔවුන්ගේ අරමුණ වූයේ මහජන සභා යනුවෙන් අදහස් වන්නේ කුමක් ද ඒවා සිස්ටම් චෙන්ඡ් කිරීමට යොදා ගන්නේ කෙසේද වැනි කරුණුය. එම සාකච්ඡාව කිසිසේත් රහසිගතව කළ එකක් නොවේ. ත්‍රස්තවාදි කටයුතු සැලසුම් කිරීම සදහා ද නොවේ.

නමුත් පාලකයන් එය දුටුවේ කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් සේය. එමනිසා වහාම එම සාකච්ඡාව සැලසුම්කළ පුද්ගලයන්, සහභාගිවන අය, කතා බහ කරන කරුණු වැනි බොහෝ දේ ගැන තොරතුරු සෙවීමට බුද්ධි අංශවලට නියම කෙරිණ. එසේ තොරතුරු රැස් කිරීමට ගිය පොලිස් නිලධාරියෙකුගේ ප්‍රශ්නයක් වූයේ එම රැස්වීමට වසන්ත මංත්‍රි තුමා ද පැමිණෙන්නේ ද යන්නයි. එවැන්නෙකු ගැන නොදැන සිටි නිසා ඒ කවුද යන්න බුද්ධි අංශයේ නිලධාරියාගෙන් නැවත විමසන ලදී. එහිදී පැහැදිලි වූයේ ඔවුන් අදහස් කරන්නේ අරගලයේ නායකයෙකු වූ වසන්ත මුදලිගේ පැමිණෙන්නේ ද යන්න තහවුරු කර ගැනීමේ අවශ්‍යතාවයයි.

මෙම තොරතුරු විමසීම් හෙමින් සීරුවේ සිදු වුව ද ඉන් ලබා දෙන පණිවුඩය රජය රටේ දිනපතාම සිදුවන අපරාධ මංකොල්ල කොපමණ වුවද වැඩි අවධානයක් ජනතාවගේ දේශපාලන අවබෝධය ගමන් කරන දිශාව නිරීක්ෂණය කිරීමට යොදා ඇති බවය. මහජන සභාවල සංයුතිය ඒවාට ඉටු කළ හැකි කාර්ය භාරය, ප්‍රතිපත්ති සම්පාදනයේ දී කළ හැකි බලපෑම වැනි කරුණු ගැන නිශ්චිත අදහසක් තවම වර්ධනය වී නැති වුවත් එය පාලකයන්ට අගුණ ක්‍රියාවක් බව ඉවෙන් මෙන් දනිති. පාලකයන්ට අපරාධකරුවන් සොයා යෑමට වඩා ජනතා ක්‍රියාකාරීන් ලුහුබැද යෑම ප්‍රමුඛතාවය වී ඇතතේ එම නිසාය.

මහජන සභාව යන්න තවමත් සංකල්පීය මට්ටමෙන් සාකච්ඡාවන කරුණක් වුවද එහි මූලික අරමුණ වන්නේ පවතින දේශපාලන පක්ෂවල බල අධිකාරිය සීමා කෙරන ජනතා බලවේගයක් ගොඩ නැගීමයි. එය යථාර්ථයක් වුවහොත් ජනතාවගේ සම්පත් කොල්ලකෑමට ඇති අවස්ථා සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට නොහැකි වුවත් දැඩි සීමාවන්ට ලක් කළ හැකිය. දේශපාලනය පිරිසිදු කිරීමේ පියවරක් ද විය හැකිය. සල්ලි ඉපැයීමේ සැගවුණ අරමුණෙන් දේශපාලනයට පිවිසීම වැළැකිවවීමේ උපාය මාර්ගයක් ද විය හැකිය.

පවතින පක්ෂ දේශපාලන ක්‍රමය සහ මැතිවරණ ක්‍රමය පිලිබදව ජනතා විශ්වාසය බිදී ඇති තත්වයක් යටතේ වෙනස් ජනතා නියෝජන ක්‍රම සොයා යෑම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රිය අයිතියකි. ඊට ප්‍රධාන හේතුව පවතින ක්‍රමය පසුගිය දශක හතකට වැඩි කාලයක් තිස්සේ අසමත් වූ නිසාය. එක අතකින් ජනතාවට සමගිය හා සමෘද්ධිය ළගා කර දීමට අසමත් වූ මෙම පාලන ක්‍රමය ජනතාවගේ සම්පත් මංකොල්ල කෑම නොඅඩුව සිදු කරයි. ඒවා වැළැක්වීමටත් වංචනිකන් සහ දූෂිතයන් නීතිය ඉදිරියට පමුණවා යුක්තිය ඉටු කිරීමටත් පාලකයන් අසමත්ව ඇත. අසමත් පාලකයන් සහ එම ක්‍රමය වෙනස් කිරීමට ඇති ජනතා අපේක්ෂාව මර්දනය කිරීමට ගන්නා උත්සාහය අනිවාර්යෙන්ම අසමත් වනු ඇත. එය වෙනස් කළ හැකි වන්නේ පාලකයන් සිය ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග වෙනස් කිරීමෙන් පමණි. එසේ නැතිව ජනතාව වෙනස් කිරීමට උත්සාහ කිරීම හමන සුළග මැඩීමට දැල් දැමීමක් වනු ඇත.  

Leave a Reply