You are currently viewing බලවත් වන්නේ ව්‍යවස්ථානුකූලභාව නීතිය ද..? පාලකයාගේ කැමැත්ත ද..?

බලවත් වන්නේ ව්‍යවස්ථානුකූලභාව නීතිය ද..? පාලකයාගේ කැමැත්ත ද..?

පළාත් පාලන ඡන්ද විමසීමට නාමයෝජනා කැඳවන ගැසට් නිවේදනය නිකුත් කළ ද එම ඡන්දය පවත්වන්නේ ද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි. නාමයෝජනා කැඳවන්නේ ඡන්ද විමසීමට අවශ්‍ය සියලු කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසුව නිසා සාමාන්‍ය තත්වයක් යටතේ ඡන්දයක් පවත්වන්නේ ද යන්න ගැන කිසිදු සැක සංකාවක් තිබිය නොහැකිය. නියමිත ආකාරයට එම කාර්ය පටිපාටිය සිදු නොවන්නේ සුනාමියක් හෝ වෙනත් වසංගත තත්වයක් යටතේ ය. එවැනි අපදා තත්වයන් යටතේ වුවද පාලකයන්ට අවශ්‍යනම් ඡන්ද විමසීම් පැවැත්විය හැකි අතර එවැනි අවස්ථා ද අපේ ඉතිහාසයේ පවතී.

මෙවර පළාත් පාලන ඡන්ද විමසීමට ඇති ප්‍රධාන බාධකයක් සේ පාලක පක්ෂය පෙන්නුම් කරන්නේ මුදල් නොමැති කමය. මැතිවරණ කොමිසම පවසන ආකාරයට ඡන්ද විමසුම සඳහා ඇස්තමේන්තු කර ඇති වියදම රුපියල් බිලියන 10කි. එම වියදම් සීමාව ඇතුළත ඡන්ද විමසීම පැවැත්විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති ජනමාධ්‍යයට පවසා ඇත. එහෙත් ආණ්ඩුවේ සමහර නායකයන් පවසන ආකාරයට රට මුහුණ දී ඇති මූල්‍ය අර්බුදය හමුවේ මෙවැනි වියදමක් කිරීම සාධාරණ නොවේ. කෘෂිකර්ම ඇමති අමරවීර පවසන ආකාරයට මෙම මුදල මහ කන්නයේ වී මිලදී ගැනීමට දෙන්නේ නම් වඩාත් ප‍්‍රයොජනවත් ය. විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ද ඡන්දය පැවැත්වීම නතර කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ද ඉදිරිපත් කර ඇත. ගැසට් නිවේදනය නිකුත් කිරීමට පෙර ඡන්දය පැවැත්වීමට නියෝගයක් ලබා ගැනීමට ද විපක්ෂයේ මංත්‍රී කණ්ඩායමක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලුම් කළහ.

මේ සියල්ලට අමතරව සීමාවක් නැතිව පැතිරෙන කටකතා අනුව ඡන්දය පැවැත්වීම ගැන ස්ථිර විශ්වාසයක් ඇති කර ගත නොහැකිය. පසුගිය ඉරිදා අයිලන්ඩ් පුවත් පතේ පළ වූ වාර්තාවක් අනුව ඡන්දය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අතර ද එකඟතාවයක් නැත. ජනාධිපති ද පිළිතුරු අපේක්ෂාවෙන් කොමිසමට ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කර ඇත. සමහර විට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකින් මේ සියල්ල විසඳෙනු ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයකින් ඔබ්බට යෑමට කිසිම නීති ප්‍රතිපාදනයක් නැති තත්වය යටතේ එම තීරණය සියලු දෙනාටම පිළිගැනීමට සිදු වේ. එය වෙනස් කළ හැකි වන්නේ නව නීතියක් පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමෙනි.

රට පාලනය කිරීමේ පරමාධිපති බලය සතු පුරවැසියන් වශයෙන් අපට වැදගත් වන්නේ ඡන්දය විමසීම හෝ එසේ නොකිරීමට පාලකයන්ට බලයක් ලැබෙන්නේ කෙසේ ද යන්නයි. පාලකයන් බලය ලබන්නේ ඡන්දයක් තුළින් රට වැසියන්ගෙන් නිසා ඡන්ද පවත් වන්නේ ද නැද්ද යන්න එසේ ජනවරමක් ලත් පිරිසක් විසින් තීරණය කිරීම පරමාධිපති බලය කෙලසීමක් නොවන්නේ ද යන්නයි. රාජාණ්ඩුවක රජතුමාට කැමති ආකාරයේ තීරණ ගැනීමට හැකි වුවද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යටතේ එවැනි බලයක් පාලනයේ සිටින පිරිසට හිමි වන්නේ නැත. පාලකයන් පාලනය කිරීමට බලය ලබා ගන්නේ වචනාර්ථයෙන් නිදහස් සාධාරණ ඡන්ද විමසීමක් තුළිනි. එසේ ඡන්දයකින් ලබා ගත් බලය එවැනිම ඡන්දයක් කල් දැමීමෙන් හෝ වෙනත් මාර්ගවලින් නීතියේ සඳහන් වන ආකාරය නොසලකා කටයුතු කිරීමට යොදා ගත හැකිද?

රජයේත් ආණ්ඩුවේත් සුජාත භාවය තීරණය වන්නේ මහජන කැමැත්ත නැතිනම් ඡන්දය තුළිනි. රාජ්‍ය පරිපාලනයේ සහ ව්‍යවස්ථා සම්පාදනයේත් එමෙන්ම අධිකරණයේත් සුජාත භාවය රැකෙන්නේ ජනතා අභිලාෂය ඉටු වන්නේ නම් පමණි. මහජන අභිලාෂය පොදුවේ සමාජ සාධාරණත්වය සඳහා නොව පාලකයන් අතලොස්සකගේ සුඛ විහරණය සඳහා යොදා ගන්නා අවස්ථා පවතී. ඔවුන් තමන්ට ගැලපෙන ආකාරයට ඡන්ද පවත්වා සුජාත භාවය ව්‍යාජ ආකාරයෙන් ලබා ගැනීමේ අවස්ථා ද පවතී. ඒවා තාවකාලික විසඳුම් බව ඉතිහාසය දෙස උඩින් පල්ලෙන් බලන අයෙකුට හෝ ප්‍රත්‍යක්ෂ වන කාරණයකි.   

මෙවැනි තත්වයක් යටතේ ඡන්ද පැවැත්වීම කල් තැබීමේ ප්‍රයත්නය එක අතකින් පවතින නීතිය අභිබවා යෑමට ගන්නා පියවරකි. පළාත් පාලන ඡන්ද විමසීම සහ අනෙකුත් ඡන්ද විමසීම් පැවැත්විය යුතු ආකාරය අදාල පනත් වලින් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැහැදිලිව දක්වා ඇත. එම නීති රීති වෙනස් කර ගත යුතුනම් ඊට අවශ්‍ය ප්‍රතිපාදන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම දක්වා ඇත. කිසියම් ඡන්ද විමසීමක් කල් දැමීමට හෝ නො පැවැත්වීමට අවශ්‍ය නම් ගත යුතු ක්‍රියා පටිපාටියද පැහැදිලි ය. ඒවාට පටහැනිව කටයුතු කළ අවස්ථාවල ලබා දුන් අධිකරණ තීන්දු ද පවතී. පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඉතා පැහැදිලි ය. එසේ තිබිය දීත් නීතිය අභිබවා යෑමට පාලකයන් උත්සාහ කරන්නේ නීතිය තමන්ට අවශ්‍ය ආකාරයට යොදා ගත හැකිය යන බලාපොරොත්තුවෙනි. නීතියේ ආධිපත්‍යය යන සංකල්පය බැහැර කිරීමේ උත්සාහයකි.

දෙවැනිව ඡන්ද විමසීමට මුදල් නොමැතිකම එය නො පැවැත්වීමට හේතුවක් කර ගත හැකි ද? අද රට මුදල් නොමැතිකම නිසා බංකොළොත්වී ඇත්තේ පාලකයන්ගේ නොමනා දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්ති නිසා බව රටම දන්නා කරුණකි. යටත් විජිත පාලකයන් මේ රටින් ඉවත්ව ගිය දා සිට ජනතා ඡන්දයෙන් තේරී පත් වූ සියලු පාලකයන් මහජන සම්පත් පාලක පංතියේ සුඛ විහරණයට යොදා ගත් ආකාරය වෙන කිසිවක් නැතත් විගණකාධිපතිගේ වාර්ෂික වාර්තා බලන කෙනෙකුට පැහැදිලි කර ගත හැකිය. වැරදි කළමනාකරණය, නාස්තිය, වංචාව දූෂණය රාජ්‍ය මූලධර්මය වී ඇති බව මෙම වාර්තා බලන කෙනෙකුට තේරුම් ගත හැකිය. පුදුමය වන්නේ රට ජාතිය ආගම ගැන නිරන්තයෙන්ම දේශනා කරන සමෘද්ධිමත් අනාගතයක් ගැන අහසේ මාලිගා තනන මෙම පාලකයන්ට එය නොපෙනීමයි. මෑතක දී මෙම වැරදි පෙන්වා දෙන විගණකාධිපති ද පාලකයන්ගේ විවේචනයට ලක්වීමෙන් රෝගය කෙතරම් උත්සන්න ව ඇත් දැයි සිතා ගත හැකිය.

මෙහි දී රට බංකොළොත් වී ඇති නිසා ඡන්ද විමසීම් පැවැත්විය නොහැකියැයි කියන අයට මතක් කර දිය යුතු තවත් කාරණයක් ද ඇත. මුදල් නොමැතිකම විසඳා ගත නොහැකි ප්‍රශ්නයක් නම් බුද්ධිමත් මිනිසුන් කරන්නේ අනවශ්‍ය වියදම් කපා හැරීම ය. එහෙත් මෙම පාලකයන් කරන්නේ කුමක් ද? හැත්තෑපස් වැනි නිදහස් සමරුව මහත් උජාරුවෙන් පැවැත්වීමට යෝජනා කරන්නේ වියදම් අඩු කිරීමට දැයි පුහුදුන් මිනිසුන්ට ඇසිය හැකිය. ගතවූ කාලය මුළුල්ලේ ම අනුගමනය කළ වැරදි දූෂිත ප්‍රතිපත්තිය නිසා ලබා ගත් බංකොළොත් භාවය සැමරීමට තරම් කාරණයක් වන්නේ නරුමයන්ට පමණි.

ජනතා විරෝධය හමුවේ පස්සා දොරින් පැන ගිය ගෝඨාභය රාජපක්ෂත් ඔහුගේ පොහොට්ටුවත් නිතර පවසන්නේ තමන් ලෝකයේ භයානක ම ත්‍රස්තවාදය පරාජය කොට රට මුදා ගත් බවය. ඇත්තෙන්ම දැන් උතුරේ හෝ දකුණේ අවි ගැටුම් නැත. බිම් බෝම්බ අනතුරක් නැතිව පාරේ ගමන් කළ හැකිය. ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් නැති වුවත් සාමකාමී තත්වයක් රට තුළ පවතී. ඒ නිසා ආරක්ෂක වියදම් යුද ගැටුම් පැවති දිනවල මට්ටමෙන් පවත්වා ගත යුතු නොවේ. ඒ සමයේ යුද්ධය සඳහා වියදම් සොයා ගත්තේ රටේ වෙනත් ආර්ථික ක්‍රියාකාරකම් නතර කර හෝ සීමා කිරීමෙන් නිසා නැවතත් ඒ අංශවලට සම්පත් ලබා දිය යුතුය.

එහෙත් සිදුව වන්නේ කුමක් ද? ආරක්ෂක වියදම්වල කිසිදු අඩුවක් නැත. 2007 දී දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2.26ක්  වූ ආරක්ෂක වියදම් අදත් රාජ්‍ය වියදමෙන් සියයට 10ක මට්ටමේ පැවතීම ය. පසුගිය අයවැයෙන් ආරක්ෂක වියදම් වශයෙන් රුපියල් බිලියන 539ක් වෙන් කර ඇත. ලෝකයේ අබ ඇටයක් තරම් වූ ශ්‍රී ලංකාව හමුදා භට සංඛ්‍යාව අනුව ලොව 14 වැනියාය. වෙන කිසිත් නොමැති වුවත් පළාත් පාලන ඡන්දය පැවැත්වීම සඳහා ආරක්ෂක අංශවලට වෙන් කර ඇති ප්‍රතිපාදනවලින් බිලියන 10ක් ලබා ගැනීමට නොහැකි ඇයි ද යන්න පාලකයන් පැහැදිලි කළ යුතුය. කෘෂිකර්ම ඇමතිට මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා බිලියන දහයක් ආරක්ෂක අංශයේ වියදම්වලින් ලබා ගැනීමට නොහැකි ඇයි ද යන්නත් එවැනි ම ප්‍රශ්නයකි.    

ඇත්තෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමටත් අනෙකුත් ඡන්ද විමසීම් කල් දැමීමටත් පාලකයන් සූදානම් වන්නේ මුදල් නොමැතිකම නිසා නොවේ. එක අතකින් ජනතාවට පාලකයන් ගැන තමන් තුළ පවතින කැමැත්ත හෝ නො කැමැත්ත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ලබා නොදීම ය. කැමැත්ත පැහැදිලි නම් නැති මුදල් සොයා ගැනීමට පාලකයන් පසුබට වන්නේ නැත. භාණ්ඩාගාරයේ මුදල් නැතිනම් ජනාධිපති කාර්යාලයේ මේස ලාච්චුවෙන් හෝ මුදල් සොයා ගත හැකිය. දෙවැනි කාරණය නම් ‘නීතිය පාලකයාගේ කැමැත්තය’ යන භාවිතාවයි. නීතිය ඇත්තේ තම විරුද්ධවාදීන් මර්දනය කිරීම සඳහා ය.

පළාත් පාලන ඡන්දය පැවැත්වීමෙන් තේරී පත්වන නියෝජිතයින් කලින් සිටි නියෝජිතයන්ට වඩා වෙනස් වන්නේ යැයි සිතීමට තරම් දෙයක් තවම දක්නට නැත. බොහෝ විට සිදු වන්නේ පරණ දේම කිරීමට අලුත් පිරිසත් පත් කර ගැනීමය. සමස්ත පද්ධතියේ ම වෙනසක් නැතිව ඊට වඩා වෙනස් දෙයක් බලාපොරොත්තු විය නොහැකිය.

විරුද්ධ විය යුත්තේ පාලකයන් නීතිය තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීමට ගන්නා උත්සාහයට ය. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන ජනතා විශ්වාසය මුළුමනින්ම පාහේ බිඳ වැටී ඇති අවස්ථාවක මෙවැනි අමනෝඥ පියවරක ප්‍රතිඵල භයානක විය හැකිය. 

Leave a Reply