You are currently viewing පැන්ඩෝරා වංචා දූෂණවලට සන්දර්ශනාත්මකව විරුද්ධවීමෙන් ඵලක් නැත.

පැන්ඩෝරා වංචා දූෂණවලට සන්දර්ශනාත්මකව විරුද්ධවීමෙන් ඵලක් නැත.

වංචා, දූෂණ සහ අක්‍රමිකතා ගැන නිතර කතා බහ වන අපේ රටේ අලුත්ම මාතෘකාව වන්නේ පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි කර ඇති නිරුපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා තිරු නඩේසන් සතුව  විදේශීය රටවල ඇති, මූලික වශයෙන් බ්‍රිතාන්‍ය වර්ජින්  දූපත්වල ලියා පදිංචි කර ඇති සමාගම් සතු ධනයයි. මෙම ධනය ලංකාව තුළ දී විවිධ අක්‍රමිකතාවලින් උපයා ගත් ඒවා බව සඳහන් කරන විපක්ෂය ඒ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස රජයට බලපෑම් කරයි. පරීක්ෂණ කටයුතු විධිමත් ව කිරීම සඳහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය ගෙන්වා ගන්නා මෙන් ද විපක්ෂයෙන් ඉල්ලීම් කර ඇත.

එම චෝදනාවලට ලක්ව සිටින නිරුපමා රාජපක්ෂ සහ තිරු නඩේසන් තමන් කිසිසේත් අයථා ආකාරයෙන් මුදල් උපයා ගෙන විදෙස් රටවල සඟවා නැති නිසා තම නිර්දෝෂී භාවය තහවුරු කිරීමට පරීක්ෂණයක් පවත්වන මෙන් රජයෙන් ඉල්ලා සිටිති. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද වහාම ක්‍රියාත්මක වී අල්ලස් හෝ දූෂණ පිළිබඳ චෝදනා විමර්ශන කොමිසමට වහාම පරීක්ෂණයක් පැවැත්වීමට උපදෙස් දුන්නේය. කොමිසම ද පසුවදාම අදාල චූදිතයන් කැඳවා දීර්ඝ ලෙස ප‍්‍රශ්න කළ බව ජනමාධ්‍ය වාර්තාවල සඳහන් වේ. පසුගිය කාලයේ මහා පරිමාණයේ අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් පැවැත් වූ විමර්ශන සම්බන්ධයෙන් මෙතෙක් අධිකරණයේ නඩු ගොණු නොකිරීමේ ඉතිහාසයක් ඇති ස්වාධීන යැයි හැඳින්වෙන මෙම කොමිසම මේ සම්බන්ධයෙන් කඩිනමෙන් ක්‍රියා කොට නීතිමය පියවර ගනු ඇතැයි බලාපොරොත්තු තබා ගත හැකි වන්නේ එය ජනාධිපති උපදේශයක් වන නිසා ය.

විපක්ෂයට රසවත් මස් කැබැල්ලක් ව ඇති දූෂණය ගැන කතා කිරීමට පෙර පැන්ඩෝරා  පත්‍රිකා යනුවෙන් නම් කර ඇති මෙම වාර්තාව ගැන පැහැදිලි කර ගැනීම වැදගත් ය.

පැන්ඩෝරා පෙට්ටිය මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ අර්ථ දක්වා ඇත්තේ වරක් ක්‍රියාත්මක කළ විට උභතෝකෝටික ප්‍රශ්න ඇති කරන දෙයක් සේය.  මෙම උභතෝකෝටික ප්‍රශ්නය එළියට දමා ඇත්තේ විමර්ශන ජනමාධ්‍යවේදීන්ගේ අන්තර්ජාතික එකතුව (CCIJ) මගින් වසර දෙකකට අධික කාලයක් තිස්සේ කරන ලද තොරතුරු එකතු කිරීම් තුළිනි. ඊට රටවල් 117ක ජනමාධ්‍යවේදීන් 600කට අධික සංඛ්‍යාවක් දායක වූ අතර එම උත්සාහයට අරමුදල් සපයා ඇත්තේ ලන්ඩනයේ පළ වන ගාඩියන්,  වොෂින්ටන් පෝස්ට් යන පුවත් පත් සහ බිබීසී ආයතනයයි. ඔවුන්ට අවශ්‍ය අරමුදල් එක්සත් ජනපදයේ අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියෙන් (USAID) මගින් ලැබී ඇත. ඊට අමතරව මහා දානපතියෙකු මෙන්ම (වංචා සහගත) මූල්‍ය ගනුදෙනුවලින් අතිමහත් ධනයක් උපයා ගෙන ඇතැයි චෝදනා ඇති ජොර්ජ් සොරෝ ගේ විවෘත සමාජ පදනම ( Open Society Foundation ) හා ගුගල් අන්තර්ජාල ආයතනය ද අරමුදල් සපයා ඇත.

මීට පෙර 2016 දී මෙම ජනමාධ්‍ය එකතුව පැනමා පත්‍රිකා යනුවෙන් විවිධ රටවල රාජ්‍ය නායකයන් හා දේශපාලකයන් ගේ ගනුදෙනු ගැන හෙළිදරව්වක් කළ නමුත් එය සීමා වූයේ මොසැක් පොන්සේකා නමින් හැඳින්වෙන ජාවාරම්කරුගේ සමාගම් හරහා කරන ලද මහා පරිමාණයේ මුදල් ගනුදෙනුවලට පමණි. ඉන් පසුව පැරඩයිස් පත්‍රිකා යනුවෙන් ද හෙළිදරව් කිරීම් සිදු කළද මෙවර එහි පරිමාව ඉතා විශාලය.

පැන්ඩෝරා පත්‍රිකාවල ලෝක නායකයන් 35 දෙනෙකුගේ සහ රාජ්‍ය සේවකයන් හා සමාජයේ ප‍්‍රභූන්යැයි හැඳින්වෙන පුද්ගලයන් 300කගේ පමණ අයථා ගනු දෙනු පිළිබඳ ව සඳහන් වේ. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර් ගේ  මෙන්ම ඉන්දියාවේ විශාලම ධනපතියන් යැයි හැඳින්වෙන අම්බානි සොහොයුරන් ගේ ද එහි නම් සඳහන්වේ.

මෙම හෙළිදරව්ව පදනම්ව බොහෝ රටවල් විමර්ශන කටයුතු දැනටමත් ආරම්භ වී ඇති අතර ඉන් පසු අධිකරණ ක්‍රියාමාර්ගවලට ද යොමු වනු ඇත. පැනමා පත්‍රිකා පදනම් කර ගෙන පාකිස්ථාන රජයෙන් කළ පරීක්ෂණවලින් පසුව  ගොණු කළ නඩුවකින් හිටපු අගමැති නවාස් ෂරීෆ්ට සිර දඬුවම් පවා නියම විය. එහෙත් ලංකාවේ ස්වාධීන අල්ලස් හෝ දූෂණ කොමිසමෙන් පැනමා පත්‍රිකාවල සඳහන් ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව නඩු පැවරු බවක් දැන ගන්නට නැත.

2021Oct13_1_Hattaka2

පැන්ඩෝරා පත්‍රිකා මහත් ධනයක් සහ කාලයක් වැය කොට සකස් කරන ලද වාර්තාවත් බව පැහැදිලිව පෙනෙන නමුත් එහි සොයා ගැනීම් කිසියම් සීමාවන් තුළ කර ඇත්දැයි සැකයක් ද මතු වේ. නිදසුනක් වශයෙන් එක්සත් ජනපදයේ දේශපාලකයන් හෝ ව්‍යාපාරිකයන් ගැන මෙම වාර්තාවේ සඳහන් වන්නේ නැත. වැඩියෙන්ම සඳහන් වන්නේ යූක්‍රේනය (38) සහ රුසියාවයි. (19) රුසියානු ජනාධිපති පූටින්ගේ නම සඳහන්ව නැති වුවද ඔහුට සමීප කීපදෙනකුගේ ගනුදෙනු රාශියක් ගැන තොරතුරු ඇතුළත් ය. එහෙත් රුසියාව මෙම වාර්තාව ප්‍රතික්ෂේප කරයි.

පරිගණකයේ යතුරු පුවරුවකින් දෙන නියෝගයක් අනුව තත්පර කීපයකින් කෝටි ප‍්‍රකෝටි මුදල් ප‍්‍රමාණයක් ලොව  ඕනෑම රටකට යැවීමටත් පැවරීමටත් හැකියාවක් පවතින යුගයක මෙම වාර්තාවෙන් දැක්වෙන්නේ අල්ප මාත්‍ර ප්‍රමාණයක දූෂණ බව නිසැකය. එහෙත් හෙළි කර ඇති තොරතුරු සහ එම ව්‍යාපෘතිය පසුපස සිටින අරමුදල් සපයන්නන්ගේ ස්වභාවය අනුව එහි දේශපාලන අරමුණක් පවතින බව ද දැකිය හැකිය. මෙම හෙළිදරව්ව සිය විරුද්ධවාදීන්ට එරෙහිව මානව අයිතිවාසිකම් යොදා ගන්නා ආකාරයේ ආයුධයක් ද යන සැකය ද මතු වේ.  

ඒ සියල්ලට වඩා අපට වැදගත් වන්නේ පැන්ඩෝරා හෙළිදරව්වෙන් නොනැවති මේ රට තුළත් සිදු කර ඇති මහා පරිමාණ හා දූෂණ ගැන සොයා බලා වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග නිකුත් කරන්නේ ද යන්නයි. පසුගිය සතියේ අනුරාධපුරයේ පැවති ශ‍්‍රී ලංකා යුද හමුදාවේ හැත්තෑ දෙවන සංවත්සර උත්සවයට සහභාගි වෙමින් තමා කිසි දිනක වංචා දූෂණ කර නොමැති බවත් ඉදිරියටත් නොකරණ බවත් දැඩි ස්වරයෙන් කීවේය. එමනිසා දැනට වාර්තා වී ඇති වංචා සහ දූෂණ සම්බන්ධයෙන්ද ඔහු ක්‍රියා කරනු ඇතැයි සිතිය හැකිය.

එවැනි සිතුවිල්ලක් සාධාරණ වන්නේ අයථා ආකාරයට ධනය එක් රැස් කිරීම දේශපාලන බැඳියාව අනුව නිර්වචනය වන දෙයක් නොවන නිසාය. පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් නිසාම නොව ජාතික දේශපාලන දේහය මෙම පිළිකාවෙන් මුදවා ගැනීමේ අවංක අධ්‍යාශයෙන් කළ යුතු කාර්යයක් නිසාය. එහි දී නිරුපමා රාජපක්ෂ සහ තිරුනඩේසන් ගැන කරන පරීක්ෂණ සැබැවින්ම අවංක කාර්යයක් වන්නේ වාර්තා වී ඇති අනෙක් වංචා ගැන ද පරීක්ෂණ කිරීමෙන් පමණි. මිග් ගනුදෙනුව පිළිබඳව ගොණු කර ඇති නඩුව කිසිදු බලපෑමකින් තොරව එහි අවසානය දක්වා ගෙන යෑම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවංක සිතුවිල්ල තහවුරු කිරීමකි.

පැන්ඩෝරා පත‍්‍රිකා මෙන්ම ආන්දෝලනයට තුඩු දුන් තවත් හෙළිදරව්වක් වූයේ 2014 ජනාධිපතිවරණයට පෙර චයිනා හාර්බර් ඉන්ජිනියරිං කෝපරේෂන්  නම් චින සමාගමක් මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් දශ ලකෂ 800ක් ලබා දුන්නේය යන චෝදනාවයි. මෙම සිද්ධිය 2018 දී නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පත වාර්තා කිරීමත් සමග උණුසුම් මාතෘකාවක් වුවද ඒ ගැන විධිමත් පරීක්ෂණයක් සිදු වූයේ නැත. සාවද්‍ය තොරතුරක් පළ කිරීම පිළිබඳ ව නිව්යෝර්ක් ටයිම්ස් පුවත් පතට එරෙහිව නඩු පැවරීමේ සූදානමක් තිබුණ ද එවැන්නක් මෙරට අධිකරණයේ විභාග වූ බවක් දැන ගන්නට නැත. එවකට බලයේ සිටි යහපාලන රජය ද අනෙක් සියලූ දේ ගැන මෙන් ඒ ගැන ද මුණිවත රැක්කේ ය. ඒ වන විට අල්ලස් හෝ දූෂණ පිළිබඳව විමර්ශනය කිරීමේ ස්වයං අභිමථාර්ථ ( Suo motu ) බලයක් කොමිසමට තිබුණ ද එය භාවිතා කොට පරීක්ෂණ කෙළේ නැත.

මෙවැනි සිද්ධීන් අපමණ සංඛ්‍යාවක් ගෙන හැර දැක්විය හැකි වුවද වැදගත් වන්නේ මෙම අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසම එම කාර්ය කිරීමේ දී අලසකමක් දැක්වීම ය. එය අලස කමක් සේ හැඳින්වූයේ කිසියම් වංචාවක් හෝ දූෂණයක් ගැන විමර්ශනය කිරීමේ ඉහළම දක්ෂතා දක්වන නිලධාරීන් එහි සිටින බව පෞද්ගලිකවම දන්නා නිසාය. යහපාලන සමයේ එක්තරා දේශපාලකයෙකු ගේ වත්කම් ප්‍රකාශනයක ඇති කරුණු සාවද්‍ය බවට සැක කළ නිලධාරීන් ඒ ගැන කළ පරීක්ෂණයක් ඊට නිදසුනක් සේ දැක්විය හැකිය. අදාල වත්කම් ප්‍රකාශනයේ සාවද්‍ය කරුණු පවතින බව ඔප්පු කිරීමට  ඕනෑවටත් වඩා තොරතුරු ඔවුන් රැස් කළ ද විමර්ශනය අවසානයේ නඩු පැවරීමක් සිදු වූයේ නැත. එම දේශපාලකයා අදත් ආණ්ඩුවේ ආයතනයක යහතින් වැජඹේ.

පැන්ඩෝරා පත්‍රිකාවලින් හෙළි කර ඇති වංචා හෝ දූෂණ ගැන මහජන මුදල් තවත් වියදම් කර විමර්ශන කළ ද ඒවා අවසානයේ දී දූවිලි බැඳෙන ලිපි ගොණුවලින් ඔබ්බට යන්නේයැයි අතීත අත්දැකීම් අනුව සිතිය නොහැකිය. නඩු ගොණු කළ ද පැමිණිල්ලේ ඇති අඩුපාඩු නිසා චූදිතයන් නිදහස්වීම ද බොහෝ විට සිදු වන්නකි. ඒ වන විට පැන්ඩෝරා පත්‍රිකා ගැන උනන්දුව ද හීන වී තිබිය හැකි නිසා ජනමාධ්‍යයේ කතා බහට ලක් වන්නේ නැත.

අල්ලස් හෝ දූෂණ පිළිබඳව අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ දැනට පවතින තත්වය කිසිසේත් ඒවා මර්දනය කිරීමට හෝ තුරන් කිරීමට ප්‍රමාණවත් නොවන බව අතීතයෙන් උගන්වා ඇති පාඩම් ය. එමනිසා විපක්ෂයේත් වංචා දූෂණවලට විරුද්ධ සියලු දෙනාගේත් කාර්ය විය යුත්තේ පවතින නීති හෝ අපක්ෂපාතී ව සහ සාධාරණව ක්‍රියාත්මක කිරීමට ප්‍රබල මහජන මතයක් තුළින් බලපෑම් කිරීම ය. එවැනි මහජන මතයක් ගොඩ නැගීම රූපවාහිනී කැමරා ඉදිරියේ උද්වේගයෙන් කතා කිරීමට වඩා සැලසුම් සහගත ව සහ අවංක කැපවීමකින් කළ භාරදූර කාර්යයකි.   

Leave a Reply