You are currently viewing පාරද්‍රශ්‍ය සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා..

පාරද්‍රශ්‍ය සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා..

රාජපක්ෂ පාලනයේ අවසන් අදියර කඩිනමින් ළඟා වෙමින් පවතී. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක පත් කර ගැනීමට පැවති ඡන්ද විමසීමේ දී තුනෙන් දෙකක බහුතරයකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් රාජපක්ෂ පාලනය සතියක් ගතවීමටත් පෙර පාර්ලිමේන්තුවේ බහුතරයක් හෝ නැති තත්වයට පත් වූයේ පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරයෙන් මුදා හැරි ප්‍රචණ්ඩත්වය සමගිනි. ප්‍රචණ්ඩත්වය රාජපක්ෂ පාලනය හැම විටම විරුද්ධවාදින් මැඩීමට සහ තම බලය තහවුරු කර ගැනීමට යොදා ගත් හොඳින් ඔපමට්ටම් කළ අවියක් වුවද මෙවර එය විනාශය ළඟා කර ගැනීමේ කෙටි මාර්ගයක් විය.

මාසයකට අධික කාලයක් තිස්සේ ගාලු මුවදොර සාමකාමී විරෝධතාවයක යෙදී සිටින පිරිස් ලංකාවේ දේශපාලනයේ මුල පිරීම අතට ගෙන ඇති බව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධියක් නැති රාජපක්ෂ පාලනය තමන්ට වඩාත් සුපුරුදු ප්‍රචණ්ඩත්වයෙන් එය මර්දනය කිරීමට ගත් උත්සාහය විය යුතු ආකාරයෙන් ම ඔවුන්ගේ අවසානය සලකුණු කරන්නක් විය. සාමකාමීව උද්ඝෝෂණය කිරීමෙන් සැබැවින් ම ජනතාවගේ ඉල්ලීම් වූ, විරෝධතා කරුවන් හඬ නැගූ සටන් පාඨ අප සමාජයේ සෑම තරාතිරමක ජනතාවගේ සිත් සතන් අවදි කිරීමට සමත් විය. දෙමාපියෝ තම දූ දරුවන් කැමැත්තෙන්ම අරගල භූමියට එවූහ. අරගල භූමියේ සිටි අයට ආහාර පාන සැපයූහ. එය සමහර විට ලංකා ඉතිහාසයේ පළමු වරට සිදු වූවක් විය හැකිය. එය සැබැවින් ම සියලු ජන කොටස්වලට පොදු වූ අරගලයකි. ජනතාවගේ ආශීර්වාදය ඔවුන්ට හිමි වූයේ එම නිසා ය.

2022may18[1]_attack_gota_gama

අරගලය මැඬීමට ප්‍රචණ්ඩත්වය මුදා හළ වහාම රට පුරා ප්‍රචණ්ඩකාරී සිදුවීම් වාර්තා වූයේ කෝප වු ජනතාවගේ ආකස්මික ප්‍රතිචාරයක් සේය. පළමු ව ප්‍රචණ්ඩකාරී පිරිස් ප්‍රවාහනය සඳහා ගෙන ආ වාහනවලට එල්ල වූ විරෝධතා ප්‍රචණ්ඩත්වය පසුව නිවාස සහ දේපොළ විනාශ කිරීම දක්වා ව්‍යාප්ත විය.

ප්‍රචණ්ඩත්වයෙන් ඇති වන්නේ තවත් ප්‍රචණ්ඩත්වයක් නිසා දේශපාලන අරගලය සාමකාමී ව විසඳා ගැනීමට ප්‍රචණ්ඩත්වය කිසිසේත් ඉවහල් වන්නේ නැත. ආණ්ඩුවේ යාන්ත‍්‍රණය ඇතුළත් කුමන පාර්ශ්වයකින් හෝ එල්ල වන ප්‍රචණ්ඩත්වය වහා නතර කළ යුතුය. ඒ ප්‍රචණ්ඩත්වය කුමන තත්වයක් යටතේ හෝ සාධාරණය කළ නොහැකි නිසාය. නීතිය සහ සාමය රැකීම යන්නෙන් අදහස් වන්නේ කඳුළු ගෑස් හෝ වෙඩි ප්‍රහාර එල්ල කිරීම නොවේ.

මාසයකට ආසන්න කාලයක් ගාලු මුවදොරත් දිවයිනේ සෙසු ප්‍රදේශවලත් සාමකාමීව දැක් වූ විරෝධයට නෑසු කන්ව සිටීමෙන් පාලකයන් අනුගමනය කළ පිළිවෙත කිසිසේත් සාධරණ හෝ යුක්ති සහගත නොවේ. රටේ ජනතාවගේ ඡන්දයෙන් තේරී පත්ව පාලන බලය හිමි කර ගත් මෙම කණ්ඩායම ජනතා හඬට සංවේදි විය යුතු ය. එසේ නොකිරීමෙන් ඔවුහු තමන්ට ලබා දී ඇති ජන වරම අහිමි කර ගනිති. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මහජන ඡන්දයෙන් තේරී පත් වූ නියෝජිතයෙකු ආපසු කැඳවීමේ ප්‍රතිපාදන නොමැති නිසා වසර පහක් ගත වන තෙක් ඔවුන්ට රිසි සේ බලයේ රැඳී සිටීමට සදාචාරමය අයිතියක් නැත. ඒ ඔවුන් ජනවරම ලබා ගැනීමේ දී දුන් පොරොන්දු බරපතළ ආකාරයෙන් කඩ කර ඇති නිසාය.

නිදහස ලබා වසර හැත්තෑ හතරක් පසු කරන අපට පොරාන්දු කඩ කිරීම ගැන අපකීර්තිමත් ඉතිහාසයක් ඇති නමුත් අද පොරොන්දු කඩ කිරීම ජන ජීවිතය පවත්වා ගත නොහැකි තත්වයට පත් කර ඇත. මහජනයාගේ බදු මුදල් වලින් නඩත්තු කරන අමාත්‍යංශ සහ ඇමතිවරුන් දුසිම් ගණනාවක් සිටින නමුත් ජන ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය මූලික දේ හෝ සපයා දීමට මෙම පාලකයින් අපොහොසත්ව ඇත. මේ නිසා දිවයින පුරාම කිරි පිටි සඳහාත් ඉන්ධන සඳහාත් සැතපුම් ගණන් දුරට දික්වෙන පෝලිම් ඇත. පෝලිමේ සිටිය ද එම භාණ්ඩය හෝ සේවාව ලබා ගැනීමට අවස්ථාවක් හැම විටම ලැබෙන්නේ නැත. මේ නිසා බොහෝ දෙනා වරු ගණන් පෝලිමේ ගත කර ආපසු නිවසට යන්නේ හිස් අතිනි. රෝහලට ගොස් ආපසු යන්නේ ද අවශ්‍ය කරන බෙහෙත් ලබා ගැනීමේ තු‍ණ්ඩු කෑල්ලක් පසුම්බියේ රුවා ගෙන ය. ඉන් රෝගය සුව වෙන්නේ නැති බව පාලකයන් නොදන්නා සේය.

මේ සියල්ලෙන් කියවෙන්නේ අපේ පාලකයන්ට සම්පත් කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවයක් හෝ හැකියාවක් නැති කම ය. වරායට පැමිණෙන තෙල් නැවට ගෙවීමට මුදල් සොයා ගත නොහැකි, ඖෂධ ගෙන්වීමට මුදල් නොමැති, අවශ්‍ය කරන අනෙකුත් දේ ලබා දිය නොහැකි පාලකයන් තවදුරටත් පාලනයේ රැඳී සිටින්නේ කාගේ අවශ්‍යතාවයට ද?. සැලසුමක් නැති පාලකයන්ට බංකොළොත් වූ රටක් ගොඩ ගැනීමට කිසිසේත් හැකියාවක් නැත.

එවිට කළ යුතු වන්නේ තම අමනෝඥ පිළිවෙතින් ජනතාව තවදුරටත් පෙළන්නේ නැතිව පාලනයෙන් ඉවත්වීම ය. තමන් ඉවත්වීමෙන් රට අරාජික වන්නේය යන්න බලයේ රැඳී සිටීමට හේතුවක් නොවේ. ඔවුන් බලයේ සිටිය දීම රට අරාජික වී හමාර ය. දැනට ඔවුන් සතුව ඇත්තේ මහජන මුදල්වලින්ම නඩත්තු කරන පොලීසියේ සහ සන්නද්ධ හමුදාවල බලය පමණි. රටේත් ජනතාවගේත් ආරක්ෂාව සඳහා ගොඩ නගා ඇති මෙම ආයතන දැන් කරන්නේ ජනතාව පෙළන දුෂ්ට පාලකයන් රැකීම පමණි.

ජනතාවගේ ස්වෛරීත්වය තහවුරු කිරීමට සම්මත කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමේ මුවාවෙන් දුෂ්ට පාලනය පවත්වා ගැනීම කිසිසේත් හේතු යුක්ති කළ නොහැකිය. එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම පාලකයන් ජන ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය නීති මෙන්ම මූලික අවශ්‍යතා නිසි ආකාරයට ලබා දීමට බැඳී සිටින හෙයින් එය කඩ කරන පාලකයන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුවාවෙන් බලයේ රැඳී සිටිය නොහැකිය. ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නිල කාලය සම්පූර්ණ වන තෙක් බලයේ රැඳී සිටීමට අදහස් කරන්නේ නම් කුසට අහරක් නැතිව ලෙඩට බෙහෙතක් නැතිව මිය යන ජනතාව වෙනුවෙන් පෙනී සිටින්නේ කවුද?

2022may18[1]_sl_protests2

ඇත්තෙන්ම ගාලූ මුවදොර විරෝධතාකරුවන් හඬ නගා කියන්නේ එයයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ කුමක් සඳහන් වුවත් තම වගකීම් ඉටු කළ නොහැකි පාලකයන් නඩත්තු කිරීමට ජනතාවට අවශ්‍යතාවයක් නැත. කෙටියෙන් ඔවුන් ගන්නා පඩියට වැඩ කර නැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති නිසාය. තම සේවය ඉටු කරන්නේ නැති සේවකයන් ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නැත. එය සාමාන්‍ය හාම්පුතෙකු වුවද ගන්නා පියවරයි. වඩාත් හානිකර වන්නේ ජනතාවගේ සෞභාග්‍යය උදා කිරීම සඳහා පත් කළ මෙම පාලකයන් ජනතාවගේ සම්පත් හොරා කෑමයි. පසුගිය දිනවල සමහර ඇමැත්තන්ගේ නිවෙස්වලට බලහත්කාරයෙක් කඩා වැදුණු පුද්ගලයන්ට ගොවීන්ට නැති පොහොර එම ඇමැත්තන්ගේ ගෙවල්වල තිබෙනු දැක ගැනීමට හැකි විය. සාමාන්‍ය පුද්ගලයෙකුට වරු ගණන් පෝලිමේ සිට ලබා ගත නොහැකි වූ ගෑස් සිලින්ඩර තොග ගණනේ එම ගෙවල්වල ගබඩා කර ඇති බව දක්නට ලැබිණ. මෙවැනි හොරුන්ට දඬුවම් කිරීමට හැකියාවක් නැත. ඒ නීති නැති නිසා නොව ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාවක් නැති නිසාය. එම යාන්ත‍්‍රණය පාලනය කරන්නේ ද ඔවුන් ය. නීතියේ දෙචඟනගේ ඇස් බැඳ ඇති නිසා ඇයට මේවා පෙනෙන්නේ නැත. 

මෙවැනි අසාධාරණ අයුක්ති සහගත තත්වයක් යටතේ ජනතාවට ගත හැකි පියවර මොනවාද?

මහජන නියෝජිතයන් යැයි කියන පිරිස් සම්මත කර ගෙන ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එක්කෝ ඔවුන්ගේ නිල කාලය අවසන් වන තෙක් ජනතාව බලා ගෙන සිටිය යුතුය. නැතිනම් විශ්වාසභංග හෝ දෝෂාභියෝග යෝජනාවකින් පාලකයන් ඉවත් කළ යුතුය. ඒ දෙකම කළ හැකි වන්නේ තවදුරටත් මහජන කැමැත්ත නියෝජනය නොකරන පාලකයන්ට පමණි. ජනතාව හුදු ප්‍රේක්ෂකයන් සහ වින්දිතයන් පමණි. ගාලු මුවදොරත් රටේ විවිධ ප‍්‍රදේශවලත් ජනතාව වීදි බැස සාමකාමීව ඉල්ලා සිටින්නේ මෙම ක්‍රමය වෙනස් කළ යුතුය යන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පෙන්වා දෙමින් මෙම පීඩාකාරී පාලනය තවදුරටත් පවත්වා ගැනීමට ජනතා විශ්වාසය කඩ කළ පාලකයන්ට කිසිම අයිතියක් නැත්තේ ඔවුන් මූලික වශයෙන්ම තම වගකීම නිර්දය ලෙස පැහැර හැර ඇති නිසාය.

මෙම තත්වයට විසඳුමක් ලෙස ඉදිරිපත් කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම අතීසාරයට අමුඩ ගැසීමක් පමණි. ඊට අයත් වන්නේ දැනට පාර්ලිමේන්තුව තුළ සිටින දේශපාලන පක්ෂ යි. මේ දේශපාලන පක්ෂ හැම එකක්ම පාලන බලය අත් කර ගෙන සිටි ඒවා නොවන නමුත් බහුතරය මෙම විනාශයට වගකිවයුතු අයයි. ඔවුන් තම පාලන කාලය තුළ අසමත් භාවය පෙන් වූ අයයි. සර්ව පාක්ෂික වූ පමණික් ඔවුන්ගේ අසාර්ථකත්වය පහව යන්නේ නැත. දැනට කිඳා බැස ඇති ආර්ථිකය සහ පිරිහීමට පත්ව ඇති දේශපාලනය ගොඩ ගැනීමට අවශ්‍ය දැක්මක් හෝ කැපවීමක් ඔවුන්ට නැත. බලයේ රස දැනෙන විට ඔවුන්ට ජනතාව අමතක වනු ඇත.

එසේ නම් කළ යුත්තේ කුමක් ද?

ඇති කර ගන්නා සර්ව පාක්ෂික ආණ්ඩුවකින් හෝ වෙනත් ව්‍යුහයකින් කළ යුතු වන්නේ නිශ්චිත කාලසීමාවක් තුළ රට දැනට මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩ ඒමට වැඩ පිළිවෙළක් පාරද්‍රශ්‍ය ආකාරයෙන් සකස් කොට ක්‍රියාත්මක කිරීමට ඇඟිලි ගැසිමකින් තොරව පවතින පාලන තන්ත‍්‍රයට පැවරීමය. දැනට පවතින අතිශය වියදම්කාරී පාලන ව්‍යුහයන් වෙනස් කළ යුතුය. වඩාත්ම වැදගත් වන්නේ පවතින දේශපාලන වරප්‍රසාද සියල්ල අත්හැර ජනතාවට සංවේදි වන පාලන ක‍්‍රමයක් ඇති කිරීමය. රටේ වර්ධනය වෙමින් පවතින ප්‍රචණ්ඩත්වය නතර කළ හැකි වන්නේ එවැනි ක්‍රියා මාර්ගයකින් පමණි.      

Leave a Reply