පසුගිය සතියේ අන්තර්ජාතික අපරාධ අධිකරණය ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ ඔහුගේ ආරක්ෂක ඇමතිව සිටි යෝව් ගැලන්ට් අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කෙළේය. යුද උපක්‍රමයක් වශයෙන් ජනතාව සාගින්නේ තැබීම, මිනිස් ඝාතන, වධ හිංසා පැමිණවීම සහ වෙනත් අමානුෂික ක්‍රියා තුළින් මානව වර්ගයාට එරෙහි අපරාධ සිදු කිරීම යන චෝදනා ඊශ්රායෙලයට එරෙහිව ඉදිරිපත්ව තිබිණ. එම චෝදනා සලකා බැලූ අභිචෝදක කරීම් ඛාන් ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත්ව ඇති නිසා නඩු විභාගයට පූර්වයෙන් ඔවුන් අත් අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කෙළේ පසුගිය මැයි මාසයේ දිය. සාමාන්‍යයෙන් මෙවැනි ඉල්ලිමක් පිළිබඳව මාස දෙකක් ඇතුළත නියෝගයක් නිකුත් කරන නමුත් මෙම නියෝගය නිකුත් කිරීමට මාස හයකට අධික කාලයක් ගත වූයේ විශේෂයෙන්ම එක්සත් ජනපදය ඇතුළත් බටහිර රටවල් ඊට විරෝධය දැක්විම සහ කරන ලද බලපෑම් නිසාය.
තුන්වැනි ලෝකයේ රාජ්‍ය නායකයන්ට සහ වෙනත් නිලධාරින්ට ජන ඝාතන සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වැනි චෝදනා යටතේ අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරන නමුත් බටහිර ප්‍රබල රටවල අනුග්‍රහය ලබන රාජ්‍ය නායකයන්ට එරෙහි එවැනි නියෝග නිකුත් කරන්නේ නැති කරම් ය. විශේෂනේම එක්සත් ජනපදයේ සහ යුරෝපා සංගමයේ අනුග්‍රහය ලබන සහ නේටෝ සංවිධානයේ නිල නොලත් සාමාජිකයෙකු වන ඊශ්‍රායෙලය සම්බන්ධයෙන් එවැන්නක් කිසිසේත් අපේක්ෂා කළ නොහැකිය. එහෙත් ඊශ්‍රායෙලය ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ සිදු කරන ජනඝාතනය සහ ජනතාව සාගින්නේ තැබීම ලොව පුරා ජනතාව හෙළාදකින තත්වයක් යටතේ ජාත්‍යන්තර අපරාධ අධිකරණයට නිහඬව සිටීමට නොහැකි විය. වර්ගවාදය යටතේ ශතවර්ෂ ගණනාවක් පීඩාවට පත්ව සිටි දකුණු අප්‍රිකාව ද ඊශ්රායෙලයට එරෙහිව පෙත්සමක් ගොනු කර තිබීම තවත් වැදගත් සාධකයකි.
යුක්රේනයේ යුද කලාපයක සිටි ළමයින් කණ්ඩායමක් ඉවත් කිරීමට එරෙහිව මෙම අධිකරණයේ ගොනු කර තිබු පෙත්සමක් විභාගයට ගෙන සති දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත නියෝගයක් නිකුත් කර තිබුණ ද ඊශ්‍රායෙල් නායකයන් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මාස හයකට වැඩි කාලයක් ගතවීමට හේතුව බටහිර රටවල බලපෑම් ය.
දකුණු අප්‍රිකානු ඉල්ලීමට සහාය පළ කරමින් රටවල් ගණනාවක්ම පෙත්සමේ පාර්ශ්වකරුවන් වූ අතර යුරෝපා සංගමයට අයත් රටවල් ගණනාවක්ම ඊට විරුද්ධ වූහ. දකුණු අප්‍රිකානු පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතුයැයි බ්‍රිතාන්‍යය ඉදිරිපත් කළ කරුණක් වූයේ දැනට අමතක කර ඇති ඔස්ලෝ ගිවිසුම අනුව පලස්තීනය සම්බන්ධයෙන් නීතිමය පියවරක් ගැනීමට අන්තර්ජාතික අපරාධ අධිකරණයට නොහැකිය යන්න යි. මෙහිදී ඔස්ලෝ ගිවිසුමේ සඳහන් කරුණු කිසිවක් ඊශ්‍රායෙලය පිළිපදින්නේ නැති බව බ්‍රිතාන්‍යය සැලකිල්ලට ගත්තේ නැත. කෙසේ වුවත් කොන්සර්වෙටිව් පකෂය පරාජය කොට ලේබර් පක්ෂය බලයට පත්වීමත් සමග එම විරෝධය ඉවත් කර ගැනිණ.
වැදගත් වන්නේ ප්‍රමාද වී හෝ නිකුත් කරන ලද මෙම නියෝගය ක්‍රියාත්මක වන්නේ ද යන්නයි. මෙම අධිකරණයට තම නියෝග ක්‍රියාත්මක කිරීමේ විධාන බලයක් නැති නිසා අත් අඩංගුවට ගැනීම සිදු කළ යුත්තේ රෝම ව්‍යවස්ථාව යටතේ මෙම අධිකරණය පිහිටුවීම අනුමත කළ රටවල් ය. දැනට රටවල් 124ක් එම ගිවිසුම අපරානුමත කර ඇති නමුත් එක්සත් ජනපදය සහ රුසියාව වැනි ප්‍රබල රටවල් එම ව්‍යවස්ථාවට අත්සන් තබා නැත. එහෙත් බ්‍රිතාන්‍යය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් ගණනාවක් අත්සන් තබා ඇති නිසා මෙම දෙදෙනා සහ හමාස් සංවිධානයේ සන්නද්ධ අංශයේ නායක මොහොමඩ් ඩෙයිප් අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට එම රටවල් නීතියෙන් බැඳී සිටිති.
එහෙත් ලොව සුපිරි බලවතා වන එක්සත් ජනපදය අධිකරණයේ මෙම නියෝගයට තරයේ විරුද්ධය. මෙම නිති ක්‍රියාදාමය ආරම්භයේ සිටම එක්සත් ජනපදය ඊට විරුද්ධ වූයේ ඊශ්‍රායෙලය මෙම ගිවිසුමෙන් බැඳී නැති බවත් ඊශ්‍රායෙලය තම ආරක්ෂාවට ගනු ලබන පියවර අපරාධ අධිකරණයේ විමර්ශනයට භාජනය කළ නොහැකි බවත් පවසමිනි. ඇත්තෙන්ම මාස දෙකකින් ලබා දිය යුතු මෙම නියෝගය මාස හයක් ප්‍රමාද වීමට හේතු වූයේ ද එක්සත් ජනපදයේ විරෝධයයි.
ඊට අමතරව මෙම ක්‍රියාදාමය නතර කිරීමට උත්සාහ ගත්තේ අධිකරණයේ සාමාජිකයන්ට සහ එහි කාර්ය මණ්ඩලයට එරෙහිව සම්බාධක පැනවීමේ තර්ජනයෙනි. එක්සත් ජනපදයේ කොංග්‍රසයෙන් සම්මත කර ඇති සම්බාධක අනුව අපරාධ අධිකරණයේ සාමාජිකයන්ට එක්සත් ජනපදයේ මුදල් හෝ දේපොළ ගනුදෙනු තිරීම තහනම් ය. නියෝගය නිකුත් කිරීමෙන් පසුව අධිකරණයට පමණක් නොව එය පිහිටුවා ඇති නෙදර්ලන්තයට එරෙහිව ද සම්බාධක පැනවිය යුතුයැයි සෙනේට් සභික ටොම් කොටන් ඉල්ලීමක් කෙළේය. ඒ එක්සත් ජනපද කොංග්‍රසය 2002 දී සම්මත කර ඇති හේග් ආක්‍රමණය නම් පනත යටතේය. (Hague Invasion Act 2002 )
අන්තර්ජාතික අපරාධ අධිකරණය අයුක්ති සහගතව සහ වගකීම් විරහිතව ක්‍රියා කර ඇතැයි චෝදනා කළ සෙනේට් සභික ලින්ඩ්සේ ග්රහැම් ඉන් අධිකරණය භයානක විහිළුවක් බවට පත්කර ඇතැයි කිවේය.
නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන ග්රැහැම් මෙම විරෝධය දැක්විමට සැබෑ හේතුව ද ඔහුගේ එක්ස් ගිණුමේ සටහනක් තබමින් දක්වා ඇත.
‘.. ඊශ්රායෙලයට එරෙහිව අන්තර්ජාතික අපරාධ අධිකරණය ගෙන ඇති මෙම පියවර කිසියම් දිනක ඇමරිකාව සම්බන්ධයෙන් ගැනීමට ද පදනමක් විය හැකිය. එමනිසා මෙම පියවරට අප තදින්ම විරෝධය දැක්විය යුත්තේ අපේම යහපත සඳහා ය..’
අන්තර්ජාතික අපරාධ අධිකරණය අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කිරීම සාහසික ක්‍රියාවක්යැයි හඳුන්වන ජනාධිපති ජෝ බයිඩන් ‘ඊශ්‍රායෙලය සහ හමාස් සමානව සැලකීම කිසිසේත් කළ නොහැකි දෙයකි. අපි ඊශ්‍රායෙලයේ ආරක්ෂාව වෙනුවෙන් සැම විටම පෙනි සිටිමු’ යි ප්‍රකාශ කෙළේය.
ස්ලොවීනියාව, සයිප්‍රසය හා ඉතාලිය පමණක් නොව බ්‍රිතාන්‍යය පවා අන්තර්ජාතික නිතියට ගරු කරන බව පවසා ඇති නමුත් මෙම පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමක් සිදු වනු ඇතැයි සිකිය නොහැකිය. මෙම රටවල් බොහොමයක් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ඊශ්‍රායෙලය ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් දිනපතාම සිදු කරන මිනිස් ඝාතනවලට එරෙහිව දක්වන විරෝධතා හඳුන්වන්නේ ඊශ්‍රායෙලය හෙළා දැකිමක් සේය. ඒ සඳහා යොදා ගන්නේ සෙමිටික් විරෝධය (Anti-Semitic) යන්නයි. එහි අනෙක් තේරුම පලස්තීනුවන්ට එරෙහිව සිදු කරන සියලු සැහැසි ක්‍රියා යුක්ති සහගත කිරීම ය. කුමන අර්ථයකින් හෝ ජන ඝාතනයක් සේ හැඳින්විය හැකි ඊශ්‍රායෙල් ප්‍රහාර මෙම රටවල විරෝධය දැක්වීමට හෝ කම්පාවිමට හේතුවක් නොවේ.
හමාස් ප්‍රහාරයෙන් පසුව පසුගිය වසරේ ඔක්තෝබර් 9 වැනි දා සිට ගාසා තීරයට ආහාර, ජලය සහ විදුලිය සැපයුම සම්පුර්ණයෙන්ම නතර කොට පලස්තීනුවන්ට තිරිසනුන් මෙන් සලකන බවට එවකට සිටි ඊශ්‍රායෙල් ආරක්ෂක ඇමති යෝව් ගැලන්ට් ප්‍රකාශ කෙළේය. ඒ අනුව උතුරු ගාසා තිරයේ සම්පූර්ණ ජනතාවම පලවා හැරීම මානව අයිතිවාසිකම් වෙනුවෙන් උද්යෝගයෙන් බටහිර රටවල් යුද අපරාධ සේ දකින්නේ නැත. ඒ වෙනුවට ඇමරිකාව මෙම ප්‍රහාරය ආරම්භයේ දීම ඊශ්රායෙලයට රාත්තල් 2000 බෝම්බ 14000ක් ලබා දුන්නේය. ගණන් බලා ඇති ආකාරයට ඊශ්‍රායෙලය දැනට ගාසා තීරයට හෙළා ඇති බෝම්බ ප්‍රමාණයෙන් සිදුව ඇති විනාශය දෙවන ලෝක යුද්ධය අවසානයේ දී ඇමරිකාව හිරෝෂිමාවට හෙළන ලද න්‍යෂ්ටික බෝම්බයෙන් සිදු වූ හානියට සමානය.
එක්සත් ජාතින්ගේ වාර්තාවල සඳහන් වන ආකාරයට ජනතාව පලවා හැරීමෙන් සහ ආහාර ජලය විදුලිය සැපයීම වැළැක්වීමෙන් ගාසා තිරයේ සිදුව ඇත්තේ ගණනය කළ නොහැකි තරම් වූ විනාශයකි. බෝම්බ වලින් මිය යන ප්‍රමාණයට සමාන ජන සංඛ්‍යාවක් සාගින්නෙන් සහ ජලය නොමැතිවීමෙන් මිය යති. රෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩල ද ඊශ්‍රායෙල් ප්‍රහාරවල ඉලක්ක වන නිසා තුවාලකරුවෝ ප්‍රතිකාර නොමැතිවම මිය යති. ගුවන් ප්‍රහාර මධ්‍යයේ සහන සේවා සපයන කාර්ය මණ්ඩල ද ඊශ්‍රායෙල් හමුදාවේ ඉල්ලකයි. මේ සියල්ල පැහැදිලිවම පලස්තීන ජනතාව ගාසා තීරයෙන් සහ බටහිර ඉවුරෙන් පලවා හැර එම භූමි ප්‍රදේශ අත්පත් කර ගැනීමේ අරමුණෙන් කරන බවට කිසිම සැකයක් නැත. මෙම කුරිරු අමානුෂික ක්‍රියා ජනඝාතන සේ බටහිර රටවල් සලකන්නේ නැත. ජන ඝාතනය යන වචනය පවා බටහිර රටවල ජන මාධ්‍යයේ සම්බාධතයට ලක්ව ඇත.
පසුගිය සතියේ ප්‍රකාශයට පත් කළ අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නියෝගය ක්‍රියාත්මක වීමට පවතින ලෝක රටාව අනුව කිසිම ඉඩක් නොමැති වුවද ඉන් මානව අයිතිවාසිකම් සහ අන්තර්ජාතික නීතිය වෙනුවෙන් පෙනි සිටින්නේයැයි කියන බටහිර රටවල නිරුවත් භාවය හෙළි කරයි. ඊශ්රායෙලයට බටහිර ඉවුර සහ ගාසා තිරය අත්පත් කර ගෙන සිටීමට කිසිම නිත්‍යානුකූල අයිතියක් නැතැයි අන්තර්ජාතික අධිකරණය තීරණය කර ඇති නමුත් මෙම රටවල් පලස්තීනුවන්ගේ අයිතිය තහවුරුකිරීමට කිසිදු පියවරක් ගන්නේ නැත. ගාසා තීරයේ පවතින ඛේදනීය තත්වය නිසා වහාම සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතුයැයි පසුගිය සතියේ එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව එක්සත් ජනපදය නිෂේධ බලය යෙදවීමෙන් ප්‍රතික්ෂේප විය. ඒ ගාසා තීරයේ ජන ඝාතනය ආරම්භ වීමෙන් පසුව එක්සත් ජනපදය එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී ඊශ්‍රායෙලයේ ආරක්ෂාව ඉදිරිපත් වූ සිවු වැනි අවස්ථාවයි.
ඉතිහාසයේ පෙර කිසි දා නොවු ආකාරයේ ජන ඝාතනයක් සිදු කිරීමට ඉඩ හැර නිහඬව සිටීමෙන් සහ අන්තර් ජාතික අපරාධ අධිකරණයේ නියෝග නොසලකා හැරීමෙන් නිරුවක් වන්නේ බටහිර රටවල දෙබිඩි ප්රතිපත්තියයි.
- නෙතන්යාහු අත් අඩංගුවට ගැනීමේ නියෝගය තවත් පුස් වෙඩිල්ලක්? - November 25, 2024
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024