එක්සත් ජාතීන්ගේ මහා සභාවේ වාර්ෂික රැස්වීම ඇමතීමට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටාර් සහ ඉස්ලාමීය රටවල සංවිධානයේ (OIC) නායකයන් හමු වී ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන මෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තාවල පළ විය. මෙහි විශේෂත්වය වන්නේ පාර්ලිමේන්තුවෙන් මහත් කඩිනමින් සම්මත කර ගත් පනතකින් ස්ථාපනය කළ පෝර්ට් සිටියේ ආයෝජනය කරන මෙන් කටාර් රාජ්‍යයෙන් ඉල්ලා සිටීම ය. පෝර්ට් සිටි පනත ඉදිරිපත් කරන විට සාමාන්‍ය ජනතාවට ලබා දී තිබුණ අදහස වූයේ එය සම්මතවීමත් සමග ලොව හැම දෙසකින්ම ආයෝජකයන් ගලා එනු ඇතැයි යන්නයි. එහෙත් එවැනි දෙයක් සිදු වන්නේ නැති නිසා ආයෝජකයන් සොයා රටවල් ගානේ යෑමට ජනාධිපතිවරයාට සිදුව ඇත. කෙසේ වුවත් පෝර්ට් සිටියත් තවත් සුදු අලියෙකු වීමට ඇති ඉඩ කඩ බෙහෙවින් වැඩිය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ නියෝජිත කණ්ඩායම විදේශීය ආයෝජකයන්ට ලංකාවේ පවතින හිතකර තත්වය සිත් ගන්නා ආකාරයට ඉදිරිපත් කළත් ඔවුන් ආවට ගියාට එවැනි තීරණ ගන්නේ නැත. මූලික වශයෙන් ආයෝජකයන්ට හිතකර තත්වයක් ලංකාවේ පවතින්නේ ද යන්න ඔවුන් නොයෙකුත් මූලාශ්‍රවලින් විමසා බලනු ඇත. මෙහි දී ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතන ලංකාව ගැන පවසන දේ ඔවුන්ට වැදගත් ය. ලෝක බැංකුවෙන් පසුගිය වසරේ නිකුත් කළ ප්රකාශනයක සඳහන් වන ආකාරයට ලොව ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුකම අනුව රාජ්‍යයන් 190ක් ශ්‍රේණිගත කිරීමේ දී ශ්‍රී ලංකාව සිටින්නේ 99 වැනි ස්ථානයේ ය. එනම් ආයෝජකයන්ට ව්‍යාපාරික කටයුතු කිරීමට ලංකාවට වඩා හිතකර රටවල් 98ක් ඇත. අනිත් අතට ට්රාන්ස්පෙරන්සි ආයතනය පවසන ආකාරයට දූෂිත රටවල් 180ක් අතරින් ශ්‍රී ලංකාව සිටින්නේ 94 වැනි ස්ථානයේ ය. ආයෝජකයන් තීරණයක් ගැනීමට පෙර මෙම දර්ශක ගැන සැලකිලිමත් වනු ඇත.
ශ්‍රී ලංකාව භූ දේශපාලනය අතින් කේන්ද්‍රීය වැදගත් කමකින් යුත් ස්ථානයක පිහිටියත් දූෂණයෙන් පිරි රටක ආයෝජනය කිරීමේ දී වඩාත් අවදානමක් දැරීමට සූදානම් රටවල් හෝ ආයතන ඇත්තේ කිපයක් පමණි. චීනය අපේ රටේ ආයෝජනය කිරීම සඳහා නොපැකිළ ඉදිරිපත් වන්නේ මුදල් ඉපැයීමට වඩා උපක්රමික වශයෙන් ඇති වැදගත් කම නිසාය. එක්සත් ජනපදය සහ ඉන්දියාව ලංකාව ගැන උනන්දු වන්නේ ද එවැනි ම අරමුණුවලිනි. එවැනි ආයෝජන ගෙන්වා ගැනීමේ අවසාන ප්‍රතිඵලය වන්නේ රට බලවතුන්ගේ සටන් බිමක් බවට පත්වීම ය. එය බලයේ සිටින අතළොස්සකට වාසිදායක වුවත් රටේ පැවැත්මට කිසිසේත් හිතකර තත්වයක් නොවේ. එය සෞභාග්‍යය වෙනුවට විනාශය කරා යන ගමනක් වනු ඇත. හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තොටුපොළ ඒ ගැන නිදසුන් ය.
එසේනම් සෞභාග්‍ය උදා කිරීමට සැබැවින්ම ගත යුතු පියවර කුමක් ද?
ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලයේ දි සහ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටින විට දේශපාලකයන් ගිරිය පුප්පා කෑ ගසන ආකාරයට රට දූෂණ යෙන් තොර කළ යුතුය. දූෂණය සහ වංචාව ආගම බවට පත් වූ විට සංවර්ධනය වන්නේ බලයේ සිටින දේශපාලකයන් සහ අනුගාමිකයෙක් පමණි. නිදහසින් පසු ගත වූ වසර හැත්තෑවකට අධික කාලය ඇතුළත අප අත්කර ගත් සංවර්ධනයේ වපසරිය කෙටි නිදසුන් දෙකකින් පෙන්වා දිය හැකිය. එකක් රටක ආර්ථිකයේ ශක්තිය විදහා දැක්වෙන ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයයි. මෙය ධනය බෙදී යෑමේ දැඩි විෂමතා පවතින රටක ජනතාවගේ ශුභ සිද්ධිය දැක්වෙන හොඳම දර්ශකයක් නොවන නමුත් කිසියම් අදහසක් ඇති කර ගත හැකිය. 1948 දී නිදහස ලබන විට අපේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 120කි. එය ජපානය සමග සැසඳින. 2021 දී ජපානයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් 40,113ක් වන අතර ලංකාවේ ඩොලර් 3,682කි.
අනෙක් නිදසුන වන්නේ අද රට බංකොලොත් භාවයේ මුවවිටට පත් කර ඇති විදේශ ණය ප්‍රමාණයයි. 1948 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් විදේශ ණය ප්‍රමාණය සියයට 4.4කි. අද එම ප්‍රතිශතය සියයට සියය ද ඉක්මවා ගොස් ඇත.
මෙම දර්ශක දෙකින්ම පෙන්වන්නේ අපේ රට දශක හතක කාලයක් තුළ එක තැනම පල්වී තිබීමය. ඒ ගැන කතා කිරීමට පෙර දේශපාලන කැපවීමක් සහ පැහැදිලි අරමුණක් ඇතිනම් සංවර්ධනය වන්නේ යැයි හැඳින්වෙන රටකට අත්කර ගත හැකි ජයග්‍රහණ ගැන සිහිපත් කිරීම වැදගත් ය. චීනයේ දේශපාලන ගමන් මග අමතක කළත් ආසියාවේ අඳෝනාව වශයෙන් හැඳින් වූ චීනය 1990 දී විවෘත ආර්ථික ප්‍රතිපත්තිය අනුගමනය කිරීමත් සමග ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිනය 2019 වන විට 32ක ගුණයකින් වැඩි කිරීමට සමත් වූයේය. (ලංකාව විවෘත ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ආරම්භ කෙළේ 1977 සිට ය.) 2023 වන විට ඒක පුද්ගල ආදායම ඩොලර් 12,536ක් වී ලොව මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් වනු ඇත. වසර 2000 දී ගෝලීය දළ ජාතික නිෂ්පාදිතයෙන් චීනයට හිමි වූයේ සියයට 3.6කි. 2019 වන විට එම ප්‍රතිශතය 17.8 දක්වා වැඩි කර ගෙන ඇත. මෙම සංඛ්‍යා ලේඛන දැක් වූයේ චීනයේ ක්‍රමය අප අනුගමනය කළ යුතු නිසා නොව සංවර්ධනය කිරීමට ඇති විභවයන් පෙන්වා දීමට ය.
නොයෙකුත් අධ්‍යයනවලින් පෙන්නුම් කරන ආකාරයට රට පසුගාමී තත්වයකට පත්වීමට මූලික හේතුව වන්නේ වංචාව සහ දූෂණය යි. අල්ලස් සහ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසමක් පැවතිය ද එය වෙනත් රාජ්‍ය දෙපාර්තමේන්තුවකට වඩා වෙනස් වන්නේ නැත. බලයේ සිටින දේශපාලකයන්ට නතුව ඇති ඉන් දූෂණ හෝ වංචා තුරන් කිරීමට මෙතෙක් කිසිම සාධනීය පියවරක් ගෙන නැත. වැදගත් කරුණ වන්නේ පාලකයන්ට දූෂණ හෝ වංචා තුරන් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති වීමය. ඒ වෙනුවට සිදු වන්නේ එවැනි අකටයුතුවලට දිරි දීමකි, පෙළඹවීමකි.
ඊට හොඳ නිදසුනක් වන්නේ දෙවන වරටක් මහ බැංකුවේ අධිපති තනතුරට පත් අජිත් කබ්රාල් මහතා ය. ඒ මහතා කලින් වර මහ බැංකුවේ අධිපති තනතුර දැරූ සමයේ 2014 ජනාධිපතිවරණය ආසන්නයේ ලංකාවේ ප්‍රතිරූපය ජාත්‍යන්තරව නගා සිටුවීමට ඇමරිකානු ආයතනයකට ඩොලර් දශ ලක්ෂ 6.5ක මුදලක් ගෙව්වේය. (එවැනි ගෙවීමක් කිරීමට මහ බැංකුවට අයිතියක් නැති බවද විශ්ලේෂකයෝ පෙන්වා දෙති) එහෙත් එක්සත් ජනපදයේ විමර්ශන ආයතනයක් සොයා ගත් ආකාරයට එය සම්පූර්ණයෙන්ම වංචා සහගත ගනුදෙනුවකි. එම ගනුදෙනුවට සම්බන්ධ වූ ඉමාඩ් සුබෙරි නම් පුද්ගලයාට එරෙහිව නඩු පවරා දඩ මුදලක් අය කර ගැනීමටත් සිර ගත කිරීමටත් එක්සත් ජනපද අධිකරණයෙන් නියම කෙරිණ. එම ගනුදෙනුවෙන් එක්සත් ජනපද රාජ්‍යයට කිසිම අලාභයක් සිදු නොවු නමුත් සිදු කළ දූෂණ ය වෙනුවෙන් ඒ රටේ නීතිය අනුව ගත් පියවරකි.
නමුත් ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් අවභාවිතා කිරීම නිසා සිදු වූ පාඩුව ගැන සහ ඊට අනුමැතිය දුන් පුද්ගලයාට එරෙහිව අපේ රට ගත් පියවර කුමක් ද? ඇමරිකානු රාජ්‍යය ගත් පියවර පිළිබඳ අපේ රටේ සමහර මාධ්‍යවලින් වාර්තා වුවද බලධාරීන් කිසිම පියවරක් ගත්තේ නැත. ඒ වෙනුවට අදාල පුද්ගලයා නැවත වරක් මහ බැංකුවේ අධිපති තනතුරට කිසිම හිරිකිතයක් නැතිව පත් කෙරිණ.
අජිත් කබ්රාල් මහතා මහ බැංකුවේ අධිපති තනතුර දැරූ සමයේ බංකොළාත් භාවයට පත්වෙමින් සිටි ග්‍රීක රජයේ බැඳුම්කර මිලදී ගැනීමෙන් සිදු වූ පාඩුව ගැන ද කතා බහ කරන්නේ නැත.
මෙය ඇත්තෙන්ම පුද්ගලයෙකු සම්බන්ධ කරුණක් නොවේ. ආර්ථික සහ දේශපාලන කළමනාකරණය ගැන ප්රශ්නයකි. 1948 දී බි්රතාන්යයෙන් නිදහස ලබන විට ලංකාවේ ආර්ථිකය ශක්තිමත් තත්වයක පැවතියේ ආර්ථික කළමනාකරණයේ පැහැදිලි නිවැරදි කි‍්‍රයා පිළිවෙතක් පැවති නිසාය. එවකට රටේ ප්‍රධාන ආදායම් මාර්ග බි්රතාන්ය හෝ වෙනත් විදේශ සමාගම් සහ පුද්ගලයන් සතුව පැවතීම ආර්ථික වර්ධනයට ගැටලූවක් වූයේ නැත. එම සමාගම් සමහර විට අසීමිත ලාභ ලැබුව නමුත් ආර්ථිකයට එය හානියක් වූයේ නැත. එකල අපේ විදේශ සංචිත ඉතා හොඳ තත්වයක පැවතිණ. නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව පවත්වා ගැනීමට හැකි විය.
නිදහස ලැබීමත් සමග ආර්ථික කළමනාකරණය දිනෙන් දින පිරිහීමට පත් විය. ඒ අවස්ථා එකක් එකක් ගැන සඳහන් කිරීම අනවශ්‍ය වුවත් රටේ ආර්ථික කළමනාකරණයේ මර්මස්ථානය වන මහ බැංකුව සම්බන්ධයෙන් ගෙන ඇති අමනෝඥ කි‍්‍රයාවෙන් අප පත්ව ඇති තැන ගැන අවබෝධයක් ලබා ගත හැකිය.
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024
- වෘකයා පොරවා ගත් බැටළු හම ඉවත් කිරීමට පෙර සිතා බැලිය යුතුය.. - October 14, 2024