You are currently viewing ධම්මික පෙරේරා කියන විදියට ධන  කුවේරයන් මවන සිහින වලින් රට ගොඩ නැගිය හැකිද ? (1 කොටස)

ධම්මික පෙරේරා කියන විදියට ධන  කුවේරයන් මවන සිහින වලින් රට ගොඩ නැගිය හැකිද ? (1 කොටස)

කළු සල්ලි සුදු කරන ගෝල්ඩන් වීසා ක්‍රමය

ලංකාවේ පළමු හෝ දෙවෙනි  ධනකුවේරයා වන ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කළ ගෝල්ඩන් වීසා ක්‍රමය බැලු බැල්මට  ආකර්ෂණීය යෝජනාවලියකි. ඉන්කියවුනේ ලංකාවේ ඩොලර් ලක්ෂයක තැන්පතුවක් කරන අයෙකුට, වසර 10 ක නේවාසික වීසා ලංකාවෙන් ලබා දිය යුතු බවයි. ඒ අතරම මේ අය වයස අවුරුදු 60 ට වැඩි අය විය යුතුයි.  ලංකාවට ඩොලර් ආකර්ෂණය කිරීමේ  ක්‍රමයක් ලෙස වයස අවුරුදු 60ට වැඩි විදේශිකයන් පනස් දහසක ප්‍රමාණයක් ලංකාවට කැදවාගෙන ඩොලර් බිලියන 5 ක ආදායමක්  ලබාගත හැකි යැයි කියවෙන මෙම සංකල්පය ධම්මික පෙරේරා මැතිතුමා ගරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කරල තිබුණා.මෙම යෝජනාවලියේ මේ ඩොලර් ලක්ෂයෙන්  ඩොලර් 50,000 ක් නැවත එයාලට ගෙනියන්න පුලුවන් නිසා ඩොලර් 50,000 ක් තමයි ලංකාවට ඉතිරි වෙන්නේ. මෙම කරුණුවල තිබෙන ආකර්ශණීය බව නිසාම ජනාධිපතිතුමා ඒඅවස්ථාවේදීම නියෝග කරල තිබුනා මෙම ක්‍රමය වහාම ලංකාවේ ක්‍රියාත්මක කටයුතු කරන්න  කියලා. මම දන්නේ නැහැ ලංකාවේ විසා ලබාදෙන ක්‍රමවේදය මේ තරම් සරලද කියලා.  

මම සෞඛ්‍ය විද්‍යාත්මක ප්‍රවේශයක් තුලින් තමයි මේ දෙස මුලින් බැලුවේ. මට MBA උපාධියක් තිබෙනවා සෞඛ්‍ය සේවා සම්බන්ධව. ලංකාවේ ප්‍රධාන පෙළේ  පුද්ගලික රෝහලක අධ්‍යක්ෂ තනතුරක සේවය කරන විට  හෙල්ත් ටුවරිසම් ගැන මම අධ්‍යනයක් සිදු කලා. එම කරුණු ආශ්‍රිතව මෙම යෝජනාව දෙස වයස අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන් ලංකාවට ගෙන ආ හැකිදැයි බැලුවා.මෙම කාරණය හදාරණ විට මට අවබෝධ වුනා මෙයට වඩා ගැඹූරු, බරපතල භයානක කරුනු රාශියක් මෙම යෝජනාවලිය ඇතුලේ තිබෙන බව.

2022april15[2]_dhammika_perera
ධම්මික පෙරේරා

ධම්මික පෙරේරාගේ යෝජනාව

මේ ආකාරයට 60 ට වැඩි එනම් විශ්‍රාමික විදේශිකයන් ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවද? පළමුවෙන්ම  විමසිය යුතු කාරණය තමයි මෙවැනි වයස්ගත සංචාරකයින් ලංකාවට ගෙන්වා ගන්නේ කුමන රටවලින් ද කියන එක. මෙවැනි වයස්ගත වයසේ පසු වන්නන් වෙනත් රටවලට ගිහිල්ලා පදිංචි වෙන විදේශිකයින් වැඩි කොටසක් ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එම රටේ මෙම වයසේ පසු වන්නන්  බොහෝ අය ගිහිල්ලා පදිංචි වෙන්නේ  දකුණු ඇමරිකාවේ සහ මධ්‍යම ඇමරිකාවෙයි. තමන්ගේ වාසභූමියෙන් ඉතාම ඈත රටවලට යන ප්‍රමාණය අඩුයි. ඇමරිකාවේ සිට ලෝකයේ අනික් කෙළවරක තිබෙන ලංකාව වැනි රටකට පදිංචි වීමේ ඉඩකඩ අඩුයි. යුරෝපීයන් පදිංචි වෙන්නේ යුරෝපය අසලම මෝල්ටාව, සයිප්‍රසය, දකුණූ ප්‍රංශය, දකුණූ ස්පාඤ්ඥය වැනි රටවල. ඉතාම ක්‍රමවේදී ජපන් ජාතිකයන් ලංකාව වැනි වියවුල් සහගත රටවලට යන්නේ නැහැ.

ලංකාව විශ්‍රාමිකයින්ට සුව පහසුවෙන් සිටිය හැකි රටක්ද?

ලෝකයේ මෙවැනි  විශ්‍රාමිකයින් තමන්ගේ විශ්‍රාම වයස ගතකිරිමට  බලාපොරොත්තු වන රටවල් පිළිබදව Global retirement Index එකක් තිබෙනවා. මෙහි කියැවෙන්නේ වයසක උදවිය තමන්ගේ  උපන් රටින් බැහැරවී වෙනත් රටක පදිංචි වෙනවිට එම රටෙහි කුමන අංග බැලිය යුතුද යන්නයි. මෙම ග්ලෝබල් රිටයමන්ට් ඉන්ඩෙක්ස් එකේ ලංකාව ඉන්නේ ඉතාම පහළ තැනක  මෙහි පළමු කරුණ තමයි නිවාස වල මිල. ලංකාවේ ප්‍රධාන නගර ආශ්‍රිතව තිබෙන නිවාස වල මිල යුරෝපයේ මිල හා සමාන මිලක්. ලංකාවට විශාල වශයෙන් පැමිණෙන කලු සල්ලි නිසා ප්‍රධාන නගර ආශ්‍රිතව මහල් නිවාස වල මිල වැඩියි. දෙවැනි කරුණ තමයි  වයසක අයට දෙන විවිධ සහන සහ මිල අඩුකිරීම්. ලංකාවේ වයසක අය දුම්රියේ, බස්රියේ පොදු ප්‍රවාහන සේවයේ යනවිට, භාණ්ඩයක් ගන්නා විට එය ක්‍රියාත්මක වන්නේ නැහැ. තුන්වන කරුණ තමයි ඔවුන්ට ගැලපෙන වාතාවරණයක් තිබේද යන්න බැලීම. මේ අය තමන්ගේ සංස්කෘතියට සමාන සංස්කෘතියක් තිබෙන රටකට තමයි යන්න සිතන්නේ. ලංකාවට සමාන  සංස්කෘතියක් පවතින රටක් ලෝකෙ කොහේවත් නැහැ. එවිට ලංකාවට කෙනෙක් ඇවිල්ලා පදිංචි වෙයිද කියන එක ප්‍රශ්නයක්. ඉන්දියාවේ පවතින්නේ ලංකාවට සමාන සංස්කෘතියක් වුනත් ඉන්දියාවේ භාණ්ඩ මිල අඩුයි. නේවාසික වියදම අඩුයි. ඒ නිසා ඉන්දියාවේ වයසක කෙනක් ලංකාවේ ඇවිල්ලා පදිංචි වෙන්නේ නැහැ. ඒ වාගේම රට කොච්චරක් දියුණු වෙලා තිබෙනවද කියන තැනේදීද ලංකාව ඉන්නේ පහත් මට්ටමක. ලංකාවේ නිදහස් සෞඛ්‍ය ක්‍රමය හොඳයි. එනමුත් දියුණූ රටවල සිට පැමිණෙන සංචාරකයින්ට ගැලපෙන සෞඛ්‍ය ක්‍රමයක් ලංකාවේ නැහැ. ඒ අය බලාපොරොත්තු වෙනවා ඒ අයගේ භාෂාවෙන් කතා කරන වෛද්‍යවරුන්, හෙදියන්. ඒ වගේ ම දියුණු  රටවල තිබෙන කළමනාකරණ ක්‍රමයන් යටතේ පාලනය වන රෝහල් තිබෙනවාද කියලා. දියුණූ රටක රජයේ රෝහල්වල තිබෙන කළමනාකරණ  ආකාරයන්ටත් වඩා ලංකාවේ පුද්ගලික රෝහල් පවා තිබෙන්නේ ඉතාම පහළ මට්ටමක.

අනික් කරුණ තමයි රාජ්‍ය තන්ත්‍රය. රාජ්‍ය තන්ත්‍රය කොහොමද කියල බලන විට එය විශාල කඩා වැටීමකට ලක්ව තිබෙනවා. මෙහිදි ලංකාවේ පවතින එකම හොද දේ තමයි ලංකාවේ දේශගුණය. අනික් සියලුම සාධක අතින් ලංකාව වැඩිහිටි සංචාරකයින්ට තමන්ගේ රටෙන් විතැන් වෙලා ඇවිල්ලා පදිංචි වෙන්න සුදුසු රටක් නෙමෙයි. මේ වන විටත් විවිධ රටවලින් පැමිණි අය සුළු පිරිසක් ලංකාවේ සිටියත් විශාල වශයෙන් ඇද ගැනීමේ හැකියාවක් ලංකාවට නැහැ. වසරක් තුල පනස් දහසක් පදිංචි කිරීම බලාපොරොත්තු ඉටුනොවන සිහිනයක් පස්සේ හඹා යාමක්.

ධම්මික පෙරේරා මැතිතුමා යම් කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර විශාල වශයෙන් තමන්ගේ කණ්ඩායම් යොදවල  අධ්‍යයන කටයුතු සිදුකරනු ලබනවා.  එතුමා පිළිබදව යම් විග්‍රහයක් නොකරද මෙවැනි යෝජනාවක් කළේ.  එතුමා දන්නවා මෙවැනි පිරිසක් ලංකාවට ගෙන්වන්න අපහසු බව. එසේ නම් මෙම ගෝල්ඩන් විසා ක්‍රමය කාට ද හැදුවේ. වයස අවුරුදු 60, දියුණු රටවල දන්නවා ආර්ථික වශයෙන් අක්‍රිය කාලයක් නොවන බව.   ඇමරිකාව වගේ රටවල වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයසක් නැහැ. අවුරුදු 5 න් 5ට එයාල විභාගයකට මුහුණ දිලා තමුන්ගේ දැනුම අලුත් කරගත්තා කියල නිර්දේශ කරගෙන අවුරුදු 85 වෙනකල් වුනත් වැඩ කරන්න පුලුවන්.  අපේ ලංකාවේ අයට ළිංමැඩි ආකල්පයක් තිබෙනවා 60 න් පස්සේ වැඩ කරන්නේ නැහැ ගෙදර ගිහිල්ලා ළමයින් සමග මුණුපුරු මුණිබිරියන් රැක බලාගෙන ඉන්නවා කියලා. එම ආකල්පයට හරියන ආකාරයට තමයි මෙම යෝජනාව ගෙනත් තිබෙන්නේ.  

ගෝල්ඩන් වීසා ක්‍රමය

2022april15[2]_golden_visa

මෙම ක්‍රමය මගින් ඇදගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයන් කවුද, ඇයි මේ අවස්ථාවේ මේක ආවේ කියන දේ පිළිබදව තමයි ඊළඟට බලන්න අවශ්‍ය වෙන්නේ.  මේ ගෝල්ඩන් වීසා කියන ක්‍රමය යුරෝපයේ සමහර රටවල කාලයක් තිස්සේ තිබිලා විශාල වශයෙන් විවාදාත්මක තත්ත්වයකට පත්වෙලා අද යුරෝපීය සංගමය විසින් ඒ ගෝල්ඩන් වීසා ක්‍රමය නවත්වන්නයි යන්නේ. ගෝල්ඩන් වීසා ක්‍රමය මෝල්ටාව, සයිප්‍රසය, නැගෙනහිර යුරෝපයෙන්,  යුරෝපා සංගමයට ළඟදි එකතු වෙච්චි රටවල් තිබුනා. මේ රටවල ඩොලර් දසලක්ෂයක් තැන්පත් කළවිට පුරවැසිභාවය දෙනවා.  ඒ රටවල ෂෙන්ගන් වීසා  එක අරගෙන ලෝකයේ ඕනෑම රටකට යන්න හැකියාව ලැබෙනවා. මේ ක්‍රමය පාවිච්චි කරල ලෝකයේ කළු සල්ලි තිබෙන ධනවතුන් මේ රටවල වීසා ලබාගැනීම නිසා යුරෝපා සංගමය තුළ විශාල ප්‍රශ්නයක් පැන නැගිල තිබෙනවා. මෝල්ටාවට තුළට මේ ක්‍රමය තුලින් ඇවිල්ලා කළු සල්ලි ධනවතුන් රුසියාව වගේ රටවලින් පදිංචි වීම සම්බන්ධව සාකච්ඡා කරපු “ඩිෆ්නි ගැලීසියා“ කියන ජනමාධ්‍යවේදිනිය මරා දැම්මා. මෙම මරාදැමීම පිටුපස ගෝල්ඩන් විසා ක්‍රමයට අනුග්‍රහය දක්වන දේශපාලනඥයින් ඉන්නවා කියලා විශාල කැලඹීමක් ඇති වුනා. දැන් එතුමියගේ නමින් පදනමක් හදල මේ වගේ වැරදි ක්‍රියාවලට විරුද්ධව සටන් කරන ජනමාධ්‍ය වේදීන් ඉන්නවා.විශේෂයෙන්ම මෙම ක්‍රමය සයිප්‍රසය වගේ රටවලට විශාල ප්‍රශ්නයක් වෙලා තිබුනා.ළඟදි ඇතිවුන රුසියානු- යුක්ක්‍රෙන් යුද්ධය නිසා  රුසියාවට සම්බාධක පැනවීමත් සමගම ගෝල්ඩන් වීසා ක්‍රමය මගින් රුසියානු ජාතිකයින් යුරෝපයට පැමිණීම වැළැක්වීමට මේ අවුරුද්දේ මාර්තු 09 වෙනිදා යුරෝපීය පාර්ලිමේන්තුවේ අනුමත කර මේ ක්‍රමය නවත්වන්න පටන්ගත්තා.

කළු සල්ලී සුදු කරන විදිය

දැන් අපි බලමු මෙම ක්‍රමය කොහොමද රටකට ප්‍රශ්නයක් වෙන්නේ කියලා. මෙම ක්‍රමය රටක ඇති කළවිට, රටට සල්ලි අරගෙන එන්නේ වෙනත් රටවල කළු සල්ලි තිබෙන පුද්ගලයන් අතලොස්සක්. මෙම කලු සල්ලි ගෝල්ඩන් වීසා තිබෙන රටේ තැන්පත් කරල මෙම කලු සල්ලි සුදු කිරීමක් තමයි මේ පුද්ගලයෝ කරන්නේ. මේ කළු සල්ලි සුදු කරපු විගස ම වගේ මේ අයට මේ සල්ලි ගෙනියන්න පුලුවන්. යම් කිසි අයෙකුට මෙම විසා ලබා ගැනීමට තැන්පත් කල යුත්තේ ඩොලර් ලක්ෂයක් පමණයි. එම ලක්ෂයක මුදලට අමතරව තවත් මුදල් තැන්පත් කල හැකියි. මේ මුදල් තැන්පත් කළ පසුව මෙම මුදල් ලංකාවේ බැංකු පද්ධතිය හරහා  කිසිම ප්‍රශ්න කිරිමකට ලක් නොවී ගෙනයෑමේ හැකියාවක් තිබෙනවා සුදු සල්ලි ආකාරයට.  කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපෘතියක් තමයි ගෝල්ඩන් වීසා ක්‍රමය කියන්නේ. ඔබ තර්ක කරන්න පුළුවන්, ලංකාවට ප්‍රශ්නයක් නෑනේ, ලංකාවට ඩොලර් එනවා, මේක විශාල සේවයක් කියලා. ඔය ප්‍රශ්ණයම මිට වසර හතරකට පමණ පෙර ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් වෙනත් රටක ඉදල අත්අඩංගුවට ගත් වෙලාවේ, මට එක පුද්ගලයෙක් කිව්වා. මොකටද මෙයාට ප්‍රශ්න ඇති කරන්නේ, මෙයා ලංකාවේ මත් කුඩු විකුණන්නේ නැහැනේ, වෙන රටක නේ මත්කුඩු විකුණන්නේ ඒ විකුණලා ලංකාවට ඩොලර් එවනවා. ඉතිං ප්‍රශ්නයක් නැහැනේ කියලා. බැලූ බැල්මට මේක හරි ලස්සන තර්කයක්. නමුත් කළු සල්ලිත් සමග ඇති වන ප්‍රශ්න රාශියක් තිබෙනවා.

කළු සල්ලි හසුරන අයගේ හැසිරීම

2022april15[2]_money_laundering

එක් ප්‍රශ්නයක් තමයි කළු සල්ලි රටක් ඇතුලට ආවහම, ඒ කලු සල්ලි හසුරුවන අයගේ හැසිරීම. මේ අය මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්,  මිනිස් ජාවාරම්කරුවන්, අවි ආයුධ ජාවාරම්කරුවන් වෙන්න පුළුවන්. විශ්‍රාමික නොවී සක්‍රීය අය තමයි බොහෝ දුරට මේක පාවිච්චි කරළ අවුරුදු  60 වැඩියි කියා රට ඇතුලට එන්නේ. මේ අය හොද මිනිසුන් ද ? මේ අයත් සමග ලංකාවට විවිධාකාරයේ බරපතල දාමරික ක්‍රියා, මැර ක්‍රියා, මිනිමැරුම් සිදු කරපු අය එන්න පුළුවන් කල්ලි අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඊළඟට  ලංකාවට සල්ලි දාන වේගෙන්ම මේ අය ලංකාවෙන් සල්ලි එළියට ගන්නවා. එතකොට ලංකාවේ කොටස් වෙළඳ පොලේ  විශාල විචලනයක්  සිදු වෙනවා. මෙවැනි විචලනයන් ඇති වෙන විට ඇත්ත වශයෙන්ම මෙම කොටස් වෙළද පොළේ ආයෝජනය කරන්න කැමැත්තෙන් ඉන්න අයට  කොටස් මෙහි එන්නේ නැහැ. විශේෂයෙන් ම ලංකාවේ දේපොල විශාල ලෙස මිළ ඉහල යනවා. එවිට ලංකාවේ සාමාන්‍ය පුද්ගලයෙකුට මිලදී ගත නොහැකි ආකාරයෙන් බරපතල ඉහළ මිලක් ලංකාවේ දේපොලවලට ඇති වෙනවා.

බැංකු පද්ධතියට වන හානිය

ලංකාවේ බැංකු පද්ධතිය තුලින් කළු සල්ලි එළියට යන විට ලෝකයේ බැංකු, ලංකාවේ බැංකු දිහා සැකෙන් බලනවා පමණක් නොවෙයි. මේ අය පසුපස විවිධ රටවල් හඹා එනවා. මේ වන විට  මැලේසියාවේ සිටි කළු සල්ලි උපයන්නෙක් යුරෝපීය රටකට ගිහිල්ලා පදිංචි වෙලා,  එයා පස්සෙන් ඉන්ටර්පොල් එක හඹා එනවා. ලංකාවට වගේ රටකට වෙන ප්‍රශ්නය තමයි මේ ආකාරයෙන් ලෝකයේ විවිධ රටවල අය ඇවිල්ලා ලංකාවේ මුදල් තැන්පත් කළ විට, විරුද්ධව යුරෝපා සංගමය, එක්සත් ජනපදය වැනි රටවල් මේ අය ගේ ක්‍රියාකාරකම් බලල මේ අය පස්සේ එළවන්න පටන් ගන්නවා. විශේෂයෙන් අවි ආයුධ ජාවාරම්කරුවන් ඉන්නවානම් ලංකාවේ ආර්ථිකයට ලංකාවේ බැංකු පද්ධතියට ලංකාවේ කීර්ති නාමයට විශාල වශයෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න රාශියකට මුහුණදෙන්න සිදුවෙනවා මේගෝල්ඩන් වීසා ක්‍රමය ලංකාවට ගෙනාවොත්.

මුදල් ගැනීම සදහා හරියාකාර විග්‍රහයක් නොකර මේ ආකාරයෙන්, නේවාසික විදේශිකයන් ගෙන්වා ගැනීම ප්‍රශ්නයක්. ඔබ අහන්න පුලුවන් හරි පරීක්ෂණයන් කලොත් මේක කරන්න පුලුවන් නේද කියලා. එහෙම කරන්න අමාරුයි. මේ වන විට සයිප්‍රසය කියන රට ගෝල්ඩන් වීසා ක්‍රමය නිසා පීඩා විදින රටක්. ඒරට අවසාන වශයෙන් තීන්දු කරල තිබෙනවා ඒරටටත් අමාරුයි කියලා මේ ආකාරයට එන පුද්ගයන් පිළිබදව හරි විස්තර හොයා ගන්න. ලංකාවේ කුඩා මූල්‍ය අපහරණයන්වත් සොයා ගැනීමට නොහැකි විටදී මේ අයගේ හරි තොරතුරක් සොයා ගැනීම කිසිම විටකත් සිදු කල නොහැක්කක්. මේ කලු සල්ලි ඇතුලට ඒම තුලින් ලංකාවේ අතලොස්සකට ඒ අයගෙන්  මුදල් සොයා ගැනීමේ හැකියාවක් තිබෙනවා. ලංකාව කළු සල්ලි ජාවාරම්කාරයන්ට ඉන්න පුලුවත් තැනක් බවට පත්වෙනවා. අවසාන වශයෙන් සිදු වෙන්නේ ලංකාවේ ආර්ථිකය කළු සල්ලි සහිත ආර්ථිකයක් හැටියට ලෝකයේ පිලිගැනීමට පත්වෙනවා. ඇත්ත වශයෙන්ම මේ යෝජනාවෙන් වෙන්නේ මේ තිබෙන ආර්ථික අවපාතය තව දුරටත් වැඩි වෙන එකයි.

විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ,  වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ල්ගේ මෙහෙයවන ලද
සූම් දේශනයක් ඇසුරින් සකස් කලේ සුජීව සෙනරත් විසිනි.

Leave a Reply