You are currently viewing දේශපාලකයන්ගේ මුක්තිය අහෝසි කිරීම ජනතා පරමාධිපත්‍යයයි.

දේශපාලකයන්ගේ මුක්තිය අහෝසි කිරීම ජනතා පරමාධිපත්‍යයයි.

ලංකාවේ දේශපාලකයන් වරප්‍රසාද හා අනුෂාංගික කරුණු නිර්ලෝභිව ලබා ගැනීම හැර වගකීම් බාර ගැනීමට දක්වන්නේ පුදුම මැලිකමකි. හැකි සෑම අවස්ථාවකම වගකීම් මගහැර සිටීම එම වෘත්තියේ ම ආවේනික ලක්ෂණයක් යැයි සිතේ. රට හැත්තෑ හතර වසරක් තුළ සම්පූර්ණයෙන්ම හිඟමන් තත්වයට පත් කිරීමට වගකිව යුතු කිසිවෙකු නැත. ඒ වෙනුවට තවත් වසර විසිපහකින් ලංකාව දියුණු ලෝකයේ රටක තත්වයට පත් කිරීමට වරම් ඉල්ලති. කිසියම් තත්වයක් යටතේ දේශපාලකයන්ට තමන්ගේ වගකීම් පැහැර හැරීම පිළිබඳ වගකීම පැවරුණ විට ඔවුන් එය අනුන්ගේ වැරදි නිසා විඳීමට සිදු වූ දඬුවමක් සේ සලකා ජනතාව පිටම එහි වගකීම පවරා අඩුම වශයෙන් ජනතා දෝෂාරෝපණයෙන් මිදීමට තැත් කරති. 

2023Jan25[2]_sirisena

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ දිනවල උත්සාහ කරන්නේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයයේ දී තම වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම වූ වන්දි මුදල තමාගේ වරදක් නිසා ගෙවීමට සිදු වූවක් නොවන බව පෙන්වීමට ය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉතාමත් නිවැරදිව පෙන්වා දී ඇති ආකාරයට රටේ ජනාධිපති ලෙසත් ආරක්ෂක ඇමති ලෙසත් ඔහු තම කාර්ය භාරය නොසලකා හැරි නිසා මෙම අපරාධය සිදුව ඇත. එහෙත් මෛත්‍රීපාල සිරිසේන දිගින් දිගටම කියන්නේ තමා එවැනි ප්‍රහාරයක් සිදුවන බව දැන නොසිටියේය යන්නයි. තමා ඉන්දියාවටත් ඉන් පසුව සිංගප්පූරුවටත් ගොස් ඇත්තේ එවැනි සිද්ධියක් නොදැන සිටි නිසාය. එම ප‍්‍රහාරය ගැන බුද්ධි අංශ සතුව තිබු තොරතුරු කිසිවක් ආරක්ෂක ඇමති ලෙසත් ත්‍රිවිධ හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරි ලෙසත් ඔහුට දන්වා නැත. එමනිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව වැරදි බව ඔහු අනියමින් කියයි.

ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව සලකා බැලීමේ දී සැලකිල්ලට ගෙන ඇත්තේ ඔහු පවසන ආකාරයට ඔහුගේ නොදැනුවත්කමයි. ජනාධිපති ලෙසත් ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප‍්‍රධානි ලෙසත් ඔහු දැනසිටිය යුතු කරුණු නොදැන සිටියාක් මෙන් ක්‍රියා කිරීමෙන් සිදුව ඇත්තේ මහත් ව්‍යසනයකි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම වගකීම ඔහුට පවරා ඇත්තේ ද ඔහු නොදැනුවත්ව සිටීම නිසාය. 2015 දී ජනාධිපති තනතුරට පත්වූ දින සිටි 2018 දෙසැම්බර් මස දක්වා නිකුත් කරන ලද විවිධ ගැසට් නිවේදන සහ නියෝග මගින් ඔහු නොයෙකුත් බලතල තමා වෙත පවරාගෙන ඇති ආකාරය ශ්‍රේෂ්ඨාධිකරණය සැලකිල්ලට ගෙන ඇත. ජාතියේ ආරක්ෂාව පිළිබඳ ව වැදගත් තීරණ ගන්නා ආරක්ෂක මණ්ඩලයට සහභාගි විය යුත්තේ කවුද බැහැර කළ යුත්තේ කවුද යන්න තීරණය කර ඇත්තේ ජනාධිපති සිරිසේන ය. ඔහු එම බලතල කෙතරම් හිතුවක්කාර ලෙස යොදා ගෙන ඇත්තේද යත් රටේ නීතිය සහ සාමය රැකීමේ කර්තව්‍යය භාර පොලිස්පති පවා එම රැස්වීම්වලින් බැහැර කර ඇත. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයෙකු සිටි නමුත් ඔහු ද ආරක්ෂාව පිළිබඳ කටයුතුවලින් බැහැර කොට ඇත.

ඉන් ගම්‍ය වන්නේ ජාතික ආරක්ෂාව පිළිබඳ සියලූ වගකීම් ජනාධිපති සිරිසේන භාර ගෙන ඇති බවය. පොලීසිය භාරයේ පැවති රාජ්‍ය බුද්ධි අංශය ඉන් ඉවත් කර ආරක්ෂක අංශයට පවරා ගෙන ඇත්තේ ආරක්ෂක ඇමතිකම ද දරන ජනාධිපතිගේ නියෝග අනුවය. එමෙන්ම ජනාධිපතිට කෙළින්ම වාර්තා කරන නිලධාරියෙකු වූ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ගැන කෙරෙන විමර්ශන ඔවුන්ගෙන් ඉවත් කර රාජ්‍ය බුද්ධි අංශයට පවරා ගෙන ඇත්තේ ද ජනාධිපතිට සෘජුවම තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවය නිසා ය. මේ ආකාරයට බුද්ධි තොරතුරු ලබා ගැනීම සහ අදාළ නිලධාරීන් පත් කිරීම මාරු කිරීම් මෙන්ම වැඩ තහනම් කිරීම වැනි කරුණු ජනාධිපති සිරිසේන දැන බවට පැහැදිලි සාක්ෂි තිබිණ. ඒ සියල්ල ශ්‍රේෂ්ඨාධිකරණයේ අවධානයට යොමුව ඇත. එවැනි තත්වයක් යටතේ තමාට වන්දි ගෙවීමට නියම කර ඇත්තේ අනුන්ගේ වැරදිවලට යැයි පැවසීම අධිකරණයට අපහාසයක් කිරීමට දෙවැනි නැත.

ඊට අමතරව සියලු විධායක බලතල ජනාධිපතිට පවරෙන තත්වයක් යටතේ ආරක්ෂාව ඇතුළත් සියලු කාර්යන් පිළිබඳ වගකීම ද හිමි වන්නේ ඔහුට ය. කැබිනට් මණ්ඩලයට විධායක බලතල පැවරෙන තත්වය වෙනස් කර ඇත්තේ ජනාධිපතිට ඇමතිවරුන් පත් කිරීම ඉවත් කිරීම සහ අමාත්‍යංශ තමා වෙත පවරා ගැනීමේ බලතල ද පවරා ගෙන ඇති නිසා ය. එවැනි තත්වයක් යටතේ අනුන්ගේ වැඩ යනුවෙන් කිසිම දෙයක් නැත. මේ තත්වය ජනාධිපති සිරිසේන දැන නොසිටියා විය නොහැකිය. ඇතැම්විට ඔහු තමාට හිමි නැති බලතලත් පාවිච්චි කෙළේය.

ඊට හොඳ නිදර්ශනයක් වන්නේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා අගමැති රනිල් වික‍්‍රමසිංහ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය ඉවත් කර අගමැති තනතුර මහින්ද රාජපක්ෂට භාර දීමයි. එම වැරැද්ද නිවැරදි කෙළේ ද ශ්‍රේෂ්ඨාධිකරණයයි.

අනුන්ගේ වැරදිවලට වන්දි ගෙවීමට සිදුවීයැයි කෙඳිරි ගෑමෙන් අරමුණු කරන්නේ නැවත වරක් ජනතාව නොමග යැවීමය. අනුන්ගේ පව්වලට කර දීම නිසා ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමේ උත්සාහයකි. ජනතාව නොමග යැවීමට ගන්නා තවත් උත්සාහයක් වන්නේ තමාට නියම වූ රුපියල් දශ ලක්ෂ සියය ගෙවීමට වත්කමක් නැති බව පැවසීමය. ඔහුගේ පියාට ජනපදිකයෙකු වශයෙන් ලැබුණු ඉඩම් ප්‍රමාණය හැර වෙනත් කිසි දේපොළක් නැත. ඇත්තේ අඹ වගා කළ අක්කර තුනක ඉඩම පමණි. එමනිසා වන්දිය ගෙවීමට ද සහාය පතන්නේ ජනතාවගෙනි. ජනාධිපති සිරිසේන හාස්‍යයට ලක් කිරීමට ජනප්‍රිය නළුවෙකු වූ සුදන්ත තිලකසිරි පිටකොටුවේ රඟපෑමෙන් ජනතාවගෙන් එකතු කර ගත් මුදල ද වන්දිය ගෙවීම සඳහා ලබා ගත්තේ විලි ලැජ්ජාවක් නැතිකම ප්‍රදර්ශනය කිරීමෙනි.

අපට මතුවන ගැටලුව තනතුර නැති වුවද ජනාධිපතිට හිමි වැටුප ඇතුලුව සියලු වරප්‍රසාද භුක්ති විඳින පුද්ගලයෙකුට අඹ වගාවෙන් හැර වෙනත් ආදායමක් නැතැයි පැවසීමය. ලැබෙන වැටුප සහ වෙනත් වරප්‍රසාද ලංකාවේ වලංගු මුදලින් නොවන්නේ ද යන්නයි. මෙම තනතුර නිසා ලබා ගෙන ඇති නිල නොවන වෙනත් වරප්‍රසාදය ගැන කතා කිරීම අනවශ්‍ය ය. ඒවා තවම තහවුරු වී නොමැති කට කතා පමණි. එහෙත් ඔහු සහ ඔහුගේ පවුලේ උදවියගේ ජීවන ශෛලිය අනුව ජනාධිපති වැටුපටත් වඩා කීප ගුණයකින් වැඩි ආදායම් ලැබෙන බව අනුමානය කළ හැකිය. ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානි අල්ලස් ගත් නමුත් ඔහුට එවැනි මුදල් ලැබෙන්නේ නැත.

ගහ දන්නා අයට කොළ පෑමක් වන මෙවැනි කතාවලින් තහවුරු වන්නේ ජනාධිපති සිරිසේන විශේෂයෙන්ම සහ අනෙකුත් දේශපාලකයන් පොදුවේ ජනතාව නොමග යවා තම පටු පරමාර්ථ දේශපාලනය තුළින් ලබා ගැනීම ජීවන වෘත්තිය බවට පත් කර ගෙන තිබිම ය. රෝහලක සුළු සේවකයෙකු ලබා ගන්නා සොච්චම් මුදලක් (සොච්චම් වුවත් එය වරදක් බව ද අවධාරණය කළ යුතුය.) අල්ලස් සහ දූෂණ කොමිසමේ අවධානයට ලක් වුවද දේශපාලකයන් ගේ අල්ලස් හෝ දූෂණ ගැන පැමිණිලි ලැබුණත් ඒවා විමර්ශනය කිරීමට ඉඩ පහසුවක් නැත. විමර්ශනය කිරීමට ඉදිරිපත්වන නිලධාරීන්ට සිදු වන්නේ රැකියාව අතහැර යෑමට ය. නොඑසේනම් වෙනත් ස්ථානයකට මාරු කිරීමය. අවසානයේ දී දේශපාලකයන්ට උරුම වන්නේ දඬුවම් නොලැබ සිටීමේ මුක්තියයි. ජනාධිපති සිරිසේනට අවශ්‍ය වන්නේ ද එම මුක්තියයි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් ගේ මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ලබා දී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පැහැදිලි වන්නේ දේශපාලකයන් අනියම් වශයෙන් ලබා ගැනීමට තැත් කරන මුක්තියට රටේ පවතින නීතිය අනුව ඉඩක් නැති බවයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන ප‍්‍රසිද්ධියට පත්ව ඇති කරුණු අනුව ජීවිත සහ දේපොළ විනාශයට වගකිව යුත්තේ දේශපාලකයන්ගේ අමනෝඥ ක්‍රියා පටිපාටියයි. දේශපාලන බලය තමන්ට හිමිව ඇති නිසා  ඕනෑම තීරණයක් ගැනීමේ සහ  ඕනෑම නියෝගයක් දීමේ හැකියාව වගකීමට බැඳීමෙන් තොරව ඔවුන්ට ඇතැයි සිතීම සහ ක්‍රියා කිරීම සාමාන්‍ය භාවිතාවයි. මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් එවැනි මුක්තියක් දේශපාලකයන්ට නැති බව තහුවරු විය. අනුන්ගේ වැරදිවලට දඬුවම් ලැබුණේ යැයි පැවසීමෙන් උත්සාහ කරන්නේ නීතියෙන් නොහැකි වුවත් ජනතාවගෙන් සහනයක් ලබා ගැනීමේ නිවට උත්සාහයයි.

ජනතාවට සේවය කිරීමට යැයි බලය ලබා ගෙන එය තමන්ගේ සහ හිතවතුන්ගේ ආර්ථික සමෘද්ධිය සඳහා යොදා ගැනීම වැළැක්වීමටත් ඒ සඳහා අධිකරණයෙන් නොවුවත් සුදුසු දඬුවම් ලබා දීම සමාජයේ ද යුතුකමකි. වැරදි නිවැරදි කිරීමට පියවර ගත හැකි වන්නේ එවැනි ප්‍රබුද්ධ ජන සමාජයක් පවතින්නේ නම් පමණි. වඩාත් පුළුල් වශයෙන් ජනතාවගෙන් වරම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින දේශපාලන පක්ෂවලට ද එම වගකීමෙන් නිදහස් විය නොහැකිය. තමාගේ වගකීම නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත් වූ අයකුට නැවත වරක් ජනවරමක් ලබා ගැනීමට ඉදිරිපත්වීමටත් දේශපාලන පක්ෂයක නායකත්වය දැරීමටත් සදාචාරමය අයිතියක් නැත. එම තනතුරුවලින් සහ වගකීම්වලින් ඉවත් කිරීම  අභියාචනා තීන්දුවක් ලැබෙන තෙක් ප්‍රමාද විය නොහැක. අධිකරණයෙන් දඬුවම් නියම වූ සමහර දේශපාලකයන් තවමත් දේශපාලන බලය හිමි කර ගෙන සිටින්නේ අභියාචනයේ තීන්දුව ලැබෙන තෙක් ය. ජනාධිපති සිරිසේන සම්බන්ධයෙන් එසේ බලා සිටීමේ හැකියාවක් නැත. එය අවසානාත්මක තින්දුවක් වන හෙයිනි.

එහෙත් සිරිසේන ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එවැනි පියවරක් ගැනීමට සූදානම් බවක් මෙතෙක් පෙන්නුම් කර නැත. නායකයන්ට එරෙහිව නැගෙන සියලු චෝදනා දේශපාලන පලිගැනීම් සේ බැහැර කිරීමේ සංස්කෘතියක් මුල් බැස ඇති ජන සමාජයක ඊට වෙනස් දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. එහෙත් අද අප රට මුහුණ දී ඇති බැ?රුම් ප‍්‍රශ්නවලට තිරසාර විසඳුම් සෙවීමටනම් මුක්තිය උරුම කර ගෙන ඇති දේශපාලන සංස්කෘතිය මුලිනුපුටා දැමිය යුතුය. එමනිසා අවසාන විනිශ්චය ලබා දිය යුත්තේ ජනතාව විසිනි.     

Leave a Reply