You are currently viewing දේශප්‍රේමී ගල්කටස් වලට එරෙහිව ජනතාව අවියක් කරගත් බාහු.. [ පළමුවන කොටස]

දේශප්‍රේමී ගල්කටස් වලට එරෙහිව ජනතාව අවියක් කරගත් බාහු.. [ පළමුවන කොටස]

බාහු මට මුණ ගැහුනේ, කතා කළේ කොම්පඤ්ඤවීදියේ, බැරක්ක පටුමගේ, අංක 17 නව සම සමාජ පක්ෂ (නසසප) කාර්යාලයේදී. 1983 මුල් කාර්තුවේදී වැල්ලවත්ත රෙදි මෝල වසා දැම්ම නිසා මගේ රස්සාව නැතිවුණා. ඒකට විරුද්ධව ගෙනගිය අරගලය අවසන් වුණේ වැල්ලවත්ත පොලිස් කූඩුවෙන්. රෙදි මෝලේ හිටිය නසසප මිත්‍රයන් පක්ෂ‍යට කියලා පොලිස් ඇපමත නිදහස් කරගෙන, මාව අරගෙන ගියේ නසසප ප්‍රධාන කාර්යාලයට. 

සංවර්ධනය වෙමින් පවතින රටක කොමිස්කාර ධනපතියන් පාලනය කරද්දී, අපි වගේ දුගියන්ගේ සිතුම් පැතුම් පොඩි පට්ටම් වෙන්නේ ඇයි කියන එකේ දේශපාලනය මුලින්ම තේරෙන බාසාවෙන් කියලා දුන්නේ ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න.

1983 කළු ජූලියේ ලේ පැල්ලම වහගන්න නසසප සහ කොමියුනිස්ට් පක්ෂය සමග තහනම් කරපු ජනතා විමුක්ති පෙ‍රමුණ (JVP) හිටියේ යටිබිම් ගතවෙලා. මේ අත‍ර විජය කුමාරණතුංගගේ නායකත්වයෙන් එක්සත් සමාජවාදී පෙරමුණ (එසපෙ) ගොඩනැගුණා. සැගවී සිටි නසසප දේශපාලන මණ්ඩලය (PB) තක්සේරු කළේ මේ පෙ‍රමුණ කම්කරු පන්තියට හයියක් වෙනව කියලා. ඒ අනුව එකී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එකතු වීමේ නිවැරදි තීන්දුව අරගෙන නසසපය විවෘත බහුජන දේශපාලනයට එලියට ආවා.

හබරාදූව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රින්ස් ගුණසේකර හරහා යටිබිම්ගතව සිටි JVP  හා නසසප මේ වෙද්දී අදහස් හුවමාරු කරගනිමින් හිටියේ. ඒ අනුව විජය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුත්තෙට්ටුවගම සමඟින් රජයට භාරවීමට නසසප ජවිපෙට යෝජනා කළා. මුලින් එකඟතාවයක් තිබුනත් අවසාන මොහොතේ ප්‍රතිචාරය වුනේ තවදුරත් ඔවුන් යටිබිම්ගත දේශපාලනයම පවත්වාගෙන යනවා කියලා. 

බාහු කිව්වා සුළු ධනේෂ්වර ගරිල්ලාවාදී පක්ෂ‍යක් හැමදාමත් කම්කරු පංතියේ ශක්තියට වඩා විශ්වාසය තියන්නේ තුවක්කුව මත කියලා. මාක්ස්ගේ ලෙනින්ගේ උදෘතයන් කියෙව්වාට ඕක තවත් “රතු බණ්ඩාරනායකවාදී පක්ෂයක්” කියලා. ඒ අනුව කොම්පඤ්ඤවීදියේ නිපොන් හොටලයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා නසසපය ගත්ත තීන්දුව ඒ අයුරින්ම ක්‍රියාත්මක කළා.

1987 ඉන්දියාවත් සමග එක්වී, ජේආර්ගේ ආණ්ඩුව ඉන්දු ලංකා ගිවිසුම හරහා දෙමළ ජනතාව නොඉල්ලපු පළාත් සභාවක් බලහත්කාරයෙන් ඔවුන් මත පැටෙව්වා. නමුත් ඒ ජනතාව එය පිළිගන්නවා නම් ඒ වෙනුවෙන් පෙනී ඉන්න, එය ජාතිවාදීන්ගෙන් ආරක්ෂා කරන්න  නසසප දේශපාලන තීන්දුවක් ගත්තා.

දේශප්‍රේමී කල්ලිය දෙමළ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය වුන් 6,200 ක් රටපුරා මරා දැම්මා. මරා දැමූ බොහෝ දෙනෙක් පීඩිත ජාතීන්ගේ ජාතිකත්ව අයිතීන් ආරක්ෂා කිරීමට සිංහල මහජාතිවාදීන් එක්ක මුහුණට මුහුණ ලා අරගල කළ සටන්කාමී, මානවවාදී, ගෞරවණීය මිනිස්සු.  එහෙම මරලා දණෙන් පහළ එල්ලාගෙන ගිහින් පොළොවෙන් උඩට එන්න පස් නොගසා “දේශ ද්‍රෝහීන්” ලෙස වල දාන්න අණකළා. හැකි වූ හැම මොහොතකම ඒ අණ බල්ලට දාලා ගෞරවණීය ලෙස වල දැම්මා.

මරා දැමුවන්ගෙන් 27 ක් නසසප නායකයන්. සමහරුන් ගම්වල හිටිය නායක‍යෝ. ‍රැස්වීම්වලට බෝම්බ ගැහුවා. වෙඩි තිව්වා. නසසප පළමු රැස්වීමට බෝම්බය ගැහුවේ මීගමුවේදී. ඒවෙද්දී නසසප කිසිදු ගිණි අවියක් පාවිච්චි කළේ නැහැ.

1988 පෙබරවාරි 16 වෙනිදා එසපෙ නායක විජය කුමාරණතුංගත් මරා දැම්මා. ඒ අවමඟුල් පෙරහැරට දස දහසකට වැඩි ජනතාවක් සහභාගී වුණා. නසසප ආරක්ෂක අංශය සහභාගී වුණේ කරේ එල්ලා ගත් බෑග් වලට වතුර පිර වූ වීදුරු බෝතල් දාගෙන. PB එක මැදිකරගත් ආරක්ෂකයන් බෑගයේ බෝතලය දකුණු අතින් අල්ලා ගෙන වටපිට බලමින් ගමන් කළේ බෑගයේ කුමක් හෝ ආයුධයක් ඇතැයි සතුරාට හැඟවීමේ උපක්‍රමයක් විදියට. නසසප පළමු ආරක්ෂක ලේකම් වුණේ ඩී.එම්.ඩී. චන්‍ද්‍රවිමල.

ප්‍රේමදාස ආණ්ඩුවේත් ආශීර්වාදයෙන් තමයි ජවිපෙ මේ ෆැසිස්ට් පන්නයේ ත්‍රස්ත ක්‍රියා සිදු කළේ. විජය ඝාතන‍යෙන් පස්සේ රැස්වුණු නසසප PB එක තීන්දු කළා JVP – DJV යෙන් ආරක්ෂා වීමට නම් අපිත් ආයුධ ගන්න ඕන කියලා . ඒක හැංගි හොරා කළේ නෑ. පක්ෂයේ මුදුන් මණ්ඩලයේ තීන්දුව ප්‍රධාන ලේකම් බාහුගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකින් සකල ලංකාවටම දැනුම් දුන්නා.

මාධ්‍ය නිවේදනයෙන් දිනකට පස්සේ ආරක්ෂක අමාත්‍යංශයෙන් 143 කාර්යාලයට කතා කළා.

කොම්පඤ්ඤවීදියේ 143 කාර්යාලය කියන්නේ නසසපයට සම්බන්ධ වෘත්තීය සමිතිවලට අයිති කාර්යාලය. ඒක තිබුනේ තට්ටු හතරක බිල්ඩිමේ තුන්වැනි තට්ටුවේ. 17 බැරක්ක පටුමගේ නසසප කාර්යාලය තිබුණේ පාර අයිනේ ගෙවල් පේළියක. JVP – DJV ත්‍රස්ත ප්‍රහාර නිසා දේශපාලන නායකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කාර්යාල දෙකේ පදිංචිය තාවකාලිකව මාරු කර ගත්තා.

143 ට ආව දුරකතන ඇමතුමට පිළිතුරු දුන්නේ බාහු. ඒ අය ඇහුවා ආයුද ගන්නවා කියලා නිවේදනයක් දැම්මාද කියලා. බාහු කිව්වා ඔව්. ඇයි එහෙම අහන්නේ. ඊට පස්සේ එහෙන් ඇහුවා ආයුධ ගන්නේ කොහෙන්ද කියලා. බාහු කිව්වා වෙඩි තියන්න පුලුවන්නම් කොහෙන් වුනත් කමක් නෑ, අපි ගන්නවා කියලා. විනාඩි දහයක් විතර කතාබහ ගියා. ආයුධ වලට කිල්ලක් නෑ. පත්තුවෙනවානම් කොහෙන් වුනත් ගන්නවා. අපේ ජීවිත ආරක්ෂා කරගැනීමේ අයිතියක් අපටත් තියෙනවා. දුරකතන සංවාදයෙන් පස්සේ බාහු කිව්වේ දැඩි ස්වරයකින්.

බාහු ඊට පහුවෙනිදාම විශේෂ PB එකක් කැදෙව්වා. ආරක්ෂක අමාත්‍යාංශය බලපත්‍ර සහිත ආයුධ දෙන්න එකඟයි, හැබැයි මුදල්වලට කියලා දැනුම් දුන්නා. අන්තිමේදී ඒ මොහොතේ පක්ෂයට සල්ලි තිබුණු විදියට සාමාන්‍ය වර්ගයේ පිස්තෝල තුනක් ගන්න තින්දු කළා. එක පිස්තෝලයක් රුපියල් 15, 000 වුණා.

නසසප ආයුධ ගත්තේ ඔන්න ඔහොම. ඊට පස්සේ එසපෙ ට ලැබුණු ආයුධ ඒකේ සාමාජික පක්ෂවලට ලැබුණා. ඒකෙන් නසසපයටත් කෝටා එක අනුව රිපීටර්, ෂොට්ගන්, පිස්තෝල ලැබුණා. නසසප අනෙක් පක්ෂ වගේ ආණ්ඩුවේ ආරක්ෂක අංශවලට තමන්ගේ ආරක්ෂාව බාර දුන්නේ නෑ. මොකද එයාල පුරුදු පුහුණු කරලා, පඩි ගෙවන්නේ සිංහල බෞද්ධ ජාතිවාදී ඒකීය රාජ්‍ය ආරක්ෂා කරන්න. ඒනිසා පක්ෂ කාඩර්වරුන්ම තමයි ආරක්ෂාවට යොදා ගත්තේ. ඒක දේශපාලන තීන්දුවක්.

එසපෙ සාමජික වූ අනෙක් හැම ප්‍රධාන කාර්යාලයක්ම එක්කෝ ගිණි තිබ්බා, නැතිනම් බෝම්බ ගැහුවා. ඒත් JVP – DJV නසසපයේ කාර්යාල පැත්ත පළාතේවත් ආවේ නැහැ. ඒ දුර දක්නා මාක්ස්වාදී න්‍යාය හා භාවිතාව බාහුගේ. එසේ වුවත් ආරක්ෂාව පිළිබඳව නසසපට තනිවම තීන්දුගත නොහැකි පොදු වේදිකාවක් වූ කඩවතදී බඩවැල් එළියට එන්න ජවිපෙ තුවක්කුකාරයන් බාහුට වෙඩි තිබ්බා. ඒත් වෙඩිකා අවුරුදු 81 ක් බාහු ජීවත්වුණා. ඒ විතරක් නෙමේ, නසසප ආයුද නොගත්තානම් වාසු ඇතුළු ඒ භීෂණ සමයේ නසසපයේ සිටි බොහෝ මුල් පෙලේ නායකයන් අද වෙනකොට ජීවතුන් අතරවත් නැහැ.

පක්ෂය ආයුද සන්නද්ධ කරමින් ප්‍රධාන ලේකම් බාහුගේ නමින් විශේෂ බුලටීනයකුත් නිකුත් කළා.

යි කියලා.

වෙඩි වැදුණු බාහු වෛද්‍යවරුන්ගේ දස්කම් නිසා ජීවිතය බේරා ගත්තත් ඉන්පසු විවිද අතුරු ආබාධ ආවා. වයසට වඩා ඉක්මනින් කාය ශක්තිය පිරිහී යන්නත් ඒක ප්‍රධාන හේතුවක් වුණා. ජවිපෙ නායක අනුර කුමාරත් බාහුට අවසන් ගෞරව දක්වන්න ඇවිත් තිබෙනවා. ඒත් පීඩිත ජාතීන්ගේ ජාතිකත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනිසා බාහුට තැබූ ජාතිවාදී මරණීය වෙඩිල්ලේ සළකුණ දකින්න නැතිව ඇති.

කඩවත රැස්වීමෙන් පස්සේ පක්ෂයේ ආරක්ෂක අංශය තීන්දු කළා වාසුයි බාහුයි නැවත එකවර එකම වේදිකාවක තියන්නේ නැහැ කියලා. නමුත් රැස්වීම අවසන් වෙනතුරු දෙන්නාගෙන් එක්කෙනෙක් අනිවාර්යෙන්ම වේදිකාවේ ඉන්න ඕන කියලත් තීන්දු කළා. ඒ එකඟ වූ තීන්දුව කඩ කරමින් කිරුළපනේ තිබුණු එසපෙ රැස්වීමක් අවසන් වෙන්නට පෙ‍ර වාසු වේදිකාවෙන් බැහැලා ආවා. බාහු වාසුටත් ඔහුගේ ආරක්ෂකයන්ටත් ඒගැන තදින් දෝෂාරෝපණය කළා. වාසු වරද පිළිගත්තා. ඊට පසු කවදාවත් එහෙම වුණේ නැහැ.

පෞද්ගලික අංශ‍යේ හා රාජ්‍ය අංශයේ වෘත්තීය ශාඛා ඒකාබද්ධ වුණු බාහු අනුශාසකවරයා වූ වෘත්තීය සම්මේලන දෙකක් තිබුණා. ඒ කාල‍යේ මේ සම්මේලන දෙක බොහොම බලවත්. මේ සම්මේලන දෙකෙන් ඉල්ලා සිටියා අනෙක් සමිති සම්මේලන එන්නේ නැතිනම් මේ සම්මේලන දෙකේ කම්කරුවන්ගේ සමුළුවක් තියලා හරි යුද්ධ‍යට විරුද්ධ යෝජනාවක් සම්මත කර ගන්න කියලා. මධ්‍යම කාරක සභාවේත් මේ ගැන වාද විවාද කරළා ඒ වෘත්තීය සමිති නායකයන් එකඟ වුණා. දින සති ගෙවිලා ගියා. ඒත් වැඩේ වෙන්නේ නෑ.

එක දවසක් දවල් දෙකට විතර 143 බාහු ඉන්න කාමරයෙන් එළියට ආවේ අව්කණ්නාඩියක් දාගෙන, රතු අත්කොට ෂ‍ර්ට් එකක් ඇඳගෙන, මෙගාෆෝන් එකක් කරේ එල්ලන් ඔක්කෝටම බැනගෙන. තමුසෙලාගේ මේ පක්ෂයයි, වෘත්තීය සමිතියි බල්ලට දානවා. මොකටද මේවා තියාගෙන ඉන්නේ. මේවා විසුරුවලා දානවා. අරහේ මහා ජනඝාතනයක් වෙනවා. තමුසෙලා මෙහේ බකංනිලාගෙන ඉන්නවා කියලා.

එක්කෙනෙක් ඇහුවා බාහු සහෝදරයා කොහෙද මේ යන්නේ කියලා. මම යනවා මට පුලුවන් දේ කරන්න. තමුසෙලා එනවානම් එනවා. නැතිනම් තමුසෙලාත් ඔහොම පල් හෑලි කියව කියවා ඉන්නවා. එහෙම කියපු බාහු  143 පඩි පෙළ බහින්න වුණා. කොම්පඤ්ඤවීදියේ වතුපුරා රැස්වීම් තියමින් ගිය බාහු හවස හතර විතර වෙද්දී කොටුව දුම්රියපොළ ඉදිරිපිට යුද විරෝධී රැස්වීමක් තනිවම කළා.

ආණ්ඩුව තීන්දු කරළා රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුපෙන් බලහත්කා‍රයෙන් යුද්ධයට මුදල් කැපුවා. ඉබ්බාගෙන් දියට දාන්නද ඇහුවාම කිව්වා වාගේ සියලුම වෘත්තීය සමිතිත් ඇන්නෑවේ කියලා කරබාගෙන හිටියා. එවකට රත්මලානේ නසසප දිස්ත්‍රික් ලේකම්වෙලා හිටියේ ප්‍රේමලාල් පෙරේරා. එයා දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිතියේත් නායකයා. බාහු එයාව කැඳවලා උපදෙස් දුන්නා මේ මුදල් කැපීමට විරුද්ධව අධිකරණයට යන්න කියලා. නඩුව දිනුවා. බලහත්කාර‍යෙන් යුද්ධයට මුදල් කැපීම නැවැත්තුවා.

නලීන් ද සිල්වාගේ සිට මේ දක්වා අන්තිමට පක්ෂය හැරගිය නීල්, ලීනස්ලා ඇතුළු බොහෝ දෙනෙක් කරන එක චෝදනාවක් තමයි එයාලව පක්ෂ‍යෙන් එළෙව්වා කියළා. එහෙම චෝදනා කරනා අය අද ඉන්නා තැන බැලුවොත් මේ කතාවල සත්‍ය අසත්‍යතාවය දැක ගන්න පුලුවන්. එක්කෝ නසසප දෘෂ්ඨිවාදය ආත්මීය ලෙසම බිඳ වැටීම, සිංහල, බෞද්ධ මහජාතියේ  ජාතිවාදයට බියෙන් ආරක්ෂණවාදී තීන්දු ගැනීම හෝ වෙනත් වානිජ අරමුණක් කියලා හොඳින් පෙනෙනවා. මොකද ලංකා සම සමාජ පක්ෂය වැරදියි කියලා එළියට ආව බාහු නසසප ඊට වඩා උතුම් දේශපාලන ආස්තානයක පිහිටෙව්වා.

Leave a Reply