ජනතාවට තිත්ත බෙහෙත් බිමට සිදු වන බව අනුප්‍රාප්තික ජනාධිපති හා මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ පසුගියදා කීවේය. මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2023 අයවැය ලේඛනයෙන් මෙම තිත්ත බෙහෙත පැහැදිලි කරනු ඇත. මෙම කියමන රනිල් වික්‍රමසිංහට අලුත් දෙයක් වුවද ජනතාවට නම් අලුත් දෙයක් නොවේ. දශක ගණනාවක් තිස්සේම ජනතාවට ලැබුණේ තිත්ත බෙහෙත් බව අමුතුවෙන් කිව යුතු නැත. මෑතක දී යහපාලනය සහ සෞභාග්‍යයේ දැක්ම වැනි සාටෝපවත් වචනවලින් ඉදිරිපත් කෙළේ තිත්ත කසාය බව අත්දැකීමෙන්ම අපි දනිමු. වෙනසකට ඇත්තේ මෙවර එය තිත්ත කසායක් බව එළිපිටම කීමය. ඒ ඔවුන්ගේ අවංක භාවය නිසා නොව එය තවදුරටත් ජනතාවගෙන් වසං කළ නොහැකි නිසාය. ජීවන වියදම සියයට හැත්තෑව ඉක්මවා ඉහළ නගින වාතාවරණයක පාලකයන්ට කිව හැකි වෙනත් දෙයක් නැත. නාහෙටත් උඩින් වතුර ගලා යයි.
මෙම දුර්භාග්‍ය තත්වයට රට පත් කිරීම ගැන වගකීම පිළිබඳ කිසිම හැඟීමක් නැතිව ජනතාව මත තවදුරටත් බදු බර පැටවීම ආර්ථිකය ගොඩ ගැනීමේ පියවරක් වශයෙන් හැඳින්විය හැක්කේ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි වජිර අබේවර්ධන මහතාගේ වචනවලින් ද්‍රෝහි කමක් සේය. මොවුන් ද්රෝහීන්වන්නේ රටේ දේශපාලනයත් ආර්ථිකයත් නැති භංග කිරීම සහ එහි ආනිසංස ජනතාව පිට පැටවීම නිසාය. දේශපාලන වශයෙන් ද්‍රෝහීන් වන්නේ ඔවුන්ට සර්වජන ඡන්දය තුළින් පාලන බලය ලබා දුන් ජනතාවට වග නොකියන නිසාය. මැතිවරණයේ දී ඡන්දය ලබා ගැනීමට දෙන පොරොන්දු සාහසික ලෙස කඩා දැමුවත් නැවතත් මැතිවරණයක් එන තෙක් ජනතාවට කළ හැකි කිසි දෙයක් නැති නිසාය. ජනතා වරම ලබා අයථා මාර්ගවලින් ධනය උපයා කෝටි ප්රකෝටිපතියන් වන පාලකයන් සම්බන්ධයෙන් ජනතාවට කළ හැකි කිසිත් නැති නිසාය.
මෙම පාලකයන්ගේ අතීත කාර්ය දර්ශනය අනුව ඔවුන්ට ජනතාව වෙනුවෙන් ආර්ථික හෝ දේශපාලන තීරණ ගැනීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැති වුවද පවතින දේශපාලන ක්‍රමයෙන් බලයට පැමිණෙන්නේ ඔවුන් හෝ ඔවුන් වැනි වෙනත් පිරිසකි. කැලය මාරු වූවාට පුල්ලි මාරු නොවන්නාසේය. කවුරු බලයට ආවත් ජනතාවට ලැබෙන්නේ තිත්ත බෙහෙත් පමණි.
මෙම නාටකයේ උත්ප්රාසය තේරුම් ගත් ජනතාව පළමුවෙන්ම තම නියෝජිතයන් තෝරා ගැනීමේ වෙනසක් ඉල්ලා සිටියහ. කලින් තිබු කේවල ඡන්ද ක්‍රමය වෙනස් කොට සමානුපාතික ක්‍රමය හඳුන්වා දුන්නත් ඉන් සිදු වූයේ අතීසාරයට අමුඩ ගැසීමකි. මෙම අභාග්‍යය තේරුම් ගත් ජනතාව නියෝජන ක්රමයේ පමණක් නොව සමස්ත ආණ්ඩුක්‍රමයේම වෙනසක් ඉල්ලා සිටියහ. පසුගිය මැතිවරණ ගණනාවකදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු වූ නායකයන්ට ජන වරම ලබා දුන්හ. අද ජනතාවට තවත් තිත්ත බෙහෙත් පෙවීමට සැලසුම් කරන්නේ ද ජනවරමක් නොලත් ජනාධිපතියෙකි. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන්නේ ද හැත්තෑහතර වසරක් සිය නොහැකියාව සහ වංක භාවය ප්‍රදර්ශනය කළ පාලකයන්ය. ඔවුන් කෙටුම්පත් කරන ව්‍යවස්ථාවක් පැරණි ඒවායින් වෙනස් නොවන බවට කිසිදු සැකයක් නැත.
මෙම පාලකයන් රාජ්‍ය පාලනයටත් ව්‍යවස්ථා සම්පාදනයටත් කිසිසේත් සුදුසු නොවන බවට සාක්ෂි ඔවුන් විසින් නිරන්තරයෙන්ම ලබා දී ඇත. සාමාන්‍ය ජනතාවට වහාම දඬුවම් ලැබෙන වැරදිවලින් ඔවුන්ට නීතියේ කඩතොලූ හරහා පහසුවෙන්ම ගැලවී යා හැකිය. එම අවස්ථා අපට වැදගත් වන්නේ සිදුවෙමින් පවතින මංකොල්ලය ගැන දුක්වීමට පමණි. මෑතක දී ජනමාධ්‍ය වාර්තා කළ එවැනි සිද්ධියක් වන්නේ තමා යටතේ ඇති ආයතනයක අරමුදලින් දුර කතන බිලක් ගෙවීම සම්බන්ධයෙනි. මෙම සිදුවීම 2012 දී වූවකි. අදාල පුද්ගලයා එනම් කෙහෙලිය රඹුක්වැල්ල එවකට රාජ්‍ය මුද්‍රණ සංස්ථාව භාරව සිටි ඇමති වන්නට ඇත. ඔහු 2012 මාර්තු 15 සිට අප්‍රේල් 14 දක්වා රුපියල් 230,984 ක් වූ තම දුරකතන බිල ගෙවා ඇත්තේ රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ මුදල් වලිනි. මේ පිලිබඳව දැන් එනම් වසර 11කට පසුව අධිකරණයේ නඩුවක් විභාගයට ගැනීම පිළිබඳ සාකච්ඡා වන නිසා එම ක්රියාවේ හොඳ නරක කතා කිරීම අනවශ්‍ය ය. එහෙත් ලිත් මාසයක් ඇතුළත දුර කතන වියදම වශයෙන් ලක්ෂ දෙකකට අධික මුදලත් එනම් දිනකට රුපියල් 7700ක් වැනි මුදලක් වැය කිරීම කුසගින්න නිවා ගැනීමට පාන් පෙත්තක් හෝ මිලදී ගැනීමට නොහැකි පරමාධිපති බලය හිමි අසරණයෙකු විස්මයට පත් කරනු ඇත. (දුරකතනය සඳහා දිනකට මෙවැනි මුදලක් වැය කළ ඔහු අනෙක් වියදම් සඳහා කොපමණ මුදලක් වැය කරන්නට ඇත්ද?) අධිකරණය ඉදිරියේ විභාග වන නඩුවේ ප්‍රතිඵලය කුමක් වුවත් මෙම පුද්ගලයා අඩුම වශයෙන් අරපිරිමැස්ම යන වචනය හෝ නොදත් අයෙකු බව පැහැදිලිය. එවැනි පුද්ගලයෙකු වත්මන් රජයේ සෞඛ්‍ය ඇමතිවීම රටේම අභාග්‍යයකි. ඔහු නැවත වරක් තිත්ත බෙහෙත් නිර්දේශ කිරීමට පසුබට නොවනු ඇත.
ඇමතිගේ දුර කතන බිල්පත් ගෙවීම හෙළිකර ගැනීම මහා කුණු කන්දකින් දුවිලි පොදක් සොයා ගැනීමක් වැන්න.
2022 ඔක්තෝබර් ෆයිනෑෂල් ටයිම් පුවත් පතේ පළවූ වෙරිටේ සමීක්ෂණ (Verite Research) වාර්තාවක් අනුව 2021 අයවැය යොජනාවෙන් ප්රතිපාදනය කළ වියදම්වලින් සියයට 48ක්ම වැය කළ ආකාරය හෙළි කර නැත. සරල භාෂාවෙන් අයවැයෙන් භාගයක්ම වියදම් කළ ආකාරය හෙළිදරවු කර නැත. ඉන් මෙපමණ විශාල මුදලක් යටිමඩි ගසා ගෙන ඇතැයි අදහස් වන්නේ නැත. පැහැදිලි කර ගත යුතු කාරණය අයවැයෙන් ප්රතිපාදනය කළ ආකාරයට වියදම් සිදුව නැති බවය. බොහෝ විට ඇමතිගේ හෝ සමහර විට ඊටත් ඉහළින් සිටින බලදරයෙකුගේ හිතුවක්කාර තීරණ අනුව ප්‍රතිපාදන වැය කරන්නට ඇත. තිත්ත බෙහෙත් බොන ජනතාවට මුදල් වැය වූ ආකාරය හෙළි කළ යුතුයැයි ඔවුන් අදහස් කරන්නේ නැත.
තිත්ත බෙහෙත් බොන ජනතාවට දිනකට රුපියල් හත්දහසක දුරකතන වියදම් කරන අය ඇතුළත් වන්නේ නැත. ඊට තරු පහේ සුපිරි හොටල්වලින් කෑම කන බොන අය ද ඇතුළත් නොවේ. එම ප්‍රමාණය සියයට එකක්යැයි කීම ප්‍රමාණවත් පැහැදිලි කිරීමක් නොවේ. සති අන්තයේ දිනක මෙවැනි සුපිරි හෝටලයකට අහම්බෙන් හෝ ගොඩවෙන පුද්ගලයෙකුට පවා එහි ප්‍රමාණය ගැන අදහසක් ඇති කර ගත හැකිය. රටේ කෙතරම් දුර්භික්ෂයක් ( ඇත්තෙන්ම පාලකයන් රටේ දුර්භික්ෂයක් පවතින්නේයැයි පිළිගන්නේ නැත) පැවතුනත් තව්තිසා ලෝකය සිහි කරන එම හෝටල්වල ආපන ශාලා පිරී ඉතිරී යන තරම් සෙනගක් දැකිය හැකිය. එහි මද පමණට හෝ තිත්ත ඇත්තේ ඔවුන් තොල ගාන මධු විතක පමණි.
මෙවැනි තත්වයක් පවතින්නේ වියදමට සරිලන ආදායමක් ලබන අයගේ ප්‍රමාණය පෙපර් කියුබ් දර්ශකය (Peper Cube Index) පෙන්වා දෙන ආකාරයට සියයට අටක් වූ රටකය. රටේ ජනතාවගෙන් සෑම දහදෙනකුගෙන් නමයකටම තමන් උපයන ආදායම ජීවිතය ගැට ගසා ගැනීමට ප්‍රමාණවත් නොවේ. ගෙදර දොර සහ දරු දැරියන්ගේ අඩුපාඩු පිරිමසා ගැනීමට කාට හෝ ණය විය යුතුය. නැතිනම් ඉතුරු කළ දෙයක් වැය කළ යුතුය.
මෙම ශෝචනීය තත්වය ජනතාවට තිත්ත කසාය පොවන පාලකයන්ට නොපෙනෙන්නේ හෝ නොබලන්නේ වුවද මානුෂීය කටයුතු සම්බන්ධීකරණය සඳහා වූ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (OCHCA) පවසන ආකාරයට ශ්‍රී ලාංකිකයන්ගෙන් සියයට 26කට එනම් දශ ලක්ෂ 5.7කට මානුෂීය ආධාර ලබා දිය යුතුය. එක්සත් ජාතීන්ගේ කාර්යාලය මෙම සංඛ්‍යා ඉදිරිපත් කරන්නේ පාලකයන් අපහසුවට පත් කිරීමට නොව ලංකාවේ සාගින්නෙන් පෙළෙන ජනතාවට ලෝකයාගෙන් සහනාධාර සිඟා කෑමට ය.
අපේ රටේ පාලකයන් දැනුවත්ව හෝ අන්ධයන් සේ දුවන්නේ මිරිඟුවක් පිටු පසය. ඔවුන් තැත් කරන්නේ ඇමරිකානු ධනවාදයේ සෞභාග්‍යය ලංකාවට ගෙන ඒමට ය. අන්තර්ජාතික මූල්‍ය සංවිධාන අනුදක්නා එවැනි වැඩ පිළිවෙළකින් ධනපති අතළොස්සකට සෞභාග්‍යය උදා කළ හැකි බව සැබවි. එහෙත් බහුජනතාවට උරුම වන්නේ සාගින්නත් මන්දපෝෂණයත් පමණි. ධනවාදයේ අග්‍රඵලය සේ සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ පවා මෙම සංවර්ධන ක්‍රමයෙන් ඵල ප්‍රයෝජන ලබන්නේ සුපිරි ධනපතියන් පමණි. මේ බව පසුගිය දා ලන්ඩනයේ පළවන ගාඩියන් පුවත් පතේ වාර්තාවකින් පැහැදිලි වේ. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ ගුණාත්මක භාවය පිළිබඳව එක්සත් ජාතීන් විසින් මෑතක දී සකස් කරන ලද දර්ශකයක් අනුව ඇමරිකා එක්සත් ජනපදයට හිමි වන්නේ 41 ක් වන ස්ථානයයි. එය ඊට පෙර වසරේ හිමි වූ 32 ස්ථානයෙන් පහත වැටීමකි. ඒ අනුව ඇමරිකාව සිටින්නේ කියුබාවට වඩා පහතිනි. බල්ගේරියාවට වඩා යාන්තමින් ඉදිරියෙනි. ලෝකයේ ධනවත්ම රටක් සේ සැලකෙන ඇමරිකා එක්සත් ජනපදයේ සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතයේ ගුණාත්මක භාවය සම්බාධකවලට ලක්ව ඇති කියුබාවටත් වඩා පහත්වීමෙන් අදහස් වන්නේ මූල්‍ය සංවිධාන අගය කරන සංවර්ධන රටාව සාමාන්‍ය ජනතාවගේ සුබ සිද්ධිය සඳහා නොවීම ය.
රාජ්‍ය වියදම් කපා හැර වක්‍ර බදුබර ජනතාව මත පටවන ලිබරල් ධනවාදී සංවර්ධන රටාවෙන් සිදු වන්නේ ජනතාවට තිත්ත බෙහෙත් පොවමින් ධනපතියන් තර කිරීම ය. එවැනි සංවර්ධන රටාවකින් සිදු වන්නේ අසහනයට පත් ජනතාව තවත් අරගලයකට තල්ලූ කිරීම ය.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024