ඇමරිකාවේ සහාය ඇතිව පවත්වන ලද පළමු ජනාධිපතිවරණයෙන් ජය ගත් හමීඞ් කර්සායි පැවසූ ආකාරයට ඇෆ්ගන් ජනතාව ඇමරිකානු හමුදා පැමිණීම මහත් අපේක්ෂාවෙන් පිළිගත් නමුත් වැඩි කලක් යෑමට පෙර එම බලාපොරොත්තුව සුන් විය. ඊට මූලික හේතුව වූයේ තලෙබාන් සටන්කරුවන් හඹා ගිය ඇමරිකානු හමුදා සාමාන්‍ය ජනතාව ගේ ආරක්ෂාව නො තකා ක්‍රියා කළ කිරීම ය. ජනතාව එක් රැස්වන ඕනෑම ස්ථානයක් ඇමරිකානුවන්ගේ ඉලක්ක විය. ඉන් වඩාත්ම කම්පා සහගත සිද්ධිය වූයේ 2015 ඔක්තෝබර් 3 වැනි දින කුන්දුස් පළාතේ රෝහලකට එල්ල කළ ප්‍රහාරයයි. එහි දී රෝහලේ කාර්ය මණ්ඩලය ඇතුළත් 47ක් මිය ගියහ. නිරන්තරයෙන් ම වාර්තා වූ එවැනි සිද්ධීන් නිසා ඇමරිකානු හමුදාව පමණක් නොව ඔවුන්ගේ සහායෙන් බලයේ සිටි රාජ්‍යය කෙරේ ද ජනතාව තුළ කිසිම ප්‍රසාදයක් තිබුණේ නැත.
ඇමරිකානු හමුදා ඉවක් බවක් නැතිව එල්ල කරන ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් මිය යන ආකාරය සමහර ඇමරිකානු හමුදා නිලධාරීන් ද කම්පාවට පත් කරවීය. එම සිද්ධීන් ජනමාධ්‍යයට වාර්තා කිරීම නිසා ඇමරිකානු හමුදා නිලධාරියෙකු වූ ඩැනියෙල් හොල්ට දැනට සති කීපයකට පෙර වසර 11ක සිර දඬුවමක් එරට අධිකරණයෙන් නියම කෙරිණ. ඊට පෙර ඇමරිකානු හමුදා නිලධාරියෙකු වූ චෙල්සී මැනිංග් ටද එවැනි ම චෝදනා යටතේ සිර දඬුවම් නියම විය. විකිලික්ස් නිර්මාතෘ ජූලියන් ඇසන්ජේ ද ඇමරිකානු උදහසට ලක් වූ තවත් ජනමාධ්‍යවේදියෙකි.
තලෙබාන් සංවිධානය සමග සම්බන්ධතා පවත්වන්නේ යැයි සැක කළ ඇෆ්ගන් වැසියන් අත් අඩංගුවට ගෙන නඩු විභාගයක් නැතිව කියුබාවේ ගුවන්තනමෝ හමුදා කඳවුරේ වසර ගණනාවක් මූලික පහසුකම් හෝ නැතිව සිර ගත කරන ලදී. ගාඩියන් පුවත්පතේ සඳහන් වාර්තාවක් අනුව එසේ අත් අඩංගුවට ගත් තරුණයන්ගෙන් සියයට 86ක්ම නිර්දෝෂී පුද්ගලයන් ය. එමනිසා ඇමරිකාව ඇෆ්ගනිස්ථානයේ මූලික අයිතිවාසිකම් සහ කාන්තා අයිතිවාසිකම් තහවුරු කිරීමට මුල් වූයේ ය යන්න කතාවේ එක පැත්තක් පමණි.
දෙවැනි ව, ජනාධිපති බයිඩන් සඳහන් කළ ඩොලර් ට්‍රිලියනයක අධික මුදල ඇෆ්ගනිස්ථානයේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා යෙදවීමට වඩා වංචා සහ දූෂණ තුළින් ඇමරිකානු හමුදාවේ කොන්ත‍්‍රාත්කරුවන්ගේ සහ දූෂිත පාලකයන් ගේ අතට පත් විය. ඇෆ්ගන් හමුදාවේ භට සංඛ්‍යාව තුන් ලක්ෂයක් යැයි පැවසුවද සැබෑ සංඛ්‍යාව 50,000කට වැඩි නොවන්නේයැයි සඳහන් වේ. හමුදාවේ සංඛ්‍යාව වැඩි කොට දැක්වීමෙන් වැටුප් සහ වෙනත් දීමනා වෙනුවෙන් ලැබෙන මුදල් දූෂිත නිලධාරීන්ගේ සාක්කුවලට වැටිණ. තලෙබාන් සටන්කරුවන් හමුවේ රජයේ හමුදාව සටන් බිමෙන් පලා ගියේ දූෂිත පාලනයට විරෝධය දැක්වීමක් වශයෙන් විය හැකිය.
තලෙබාන් සටන්කරුවන් කාබුල් නගරයට ඇතුළුවීමට පෙර රටින් පලා ගිය ඇෆ්ගන් මහ බැංකවේ අධිපති අජ්මාල් අහ්මඩි විදේශ ජනමාධ්‍යයට පැවූ ආකාරයට ඇෆගන් මහ බැංකුව සතුව ඇති විදෙස් මුදල් සංචිතය ඩොලර් දශ ලක්ෂ 362කි. සම්පූර්ණ විදෙස් සංචිතයේ වටිනාකම ඩොලර් බිලියන 10ක් වන අතර ඉන් ඩොලර් බිලියන 1.3ක් ඇත්තේ රන් සංචිත වශයෙනි. මෙම වත්කම් බොහොමයක් ආයෝජනය කර ඇත්තේ එක්සත් ජනපදයේ ය. එම මුදල් තලෙබාන් සංවිධානයට ලබා නොදෙන බව ඇමරිකාව දැනටමත් ප‍්‍රකාශ කර ඇත. මෙවැනි වත්කම් ප්‍රමාණයක් විදෙස් රටවල තැන්පත් කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 42.9ක්ම විදෙස් ආධාර වශයෙන් ලැබෙන තත්වයක් යටතේය. ( මෙම සංචිත ශ‍්‍රී ලංකාවේ විදෙස් වත්කම් හා සසඳා බැලීම ද හොඳ අත්දැකීමක් වනු ඇත.)
මෙවැනි පසුබිමක් තුළ දූෂිත පාලකයක් පලායෑම සහ ඔවන්ට බලයේ සිටීමට ශක්තිය ලබා දුන් ඇමරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටව යෑම එරට සාමාන්‍ය ජනතාවට දුකට ශෝකයට පත්වීමට හේතුවක් නොවේ. එහෙත් ඉන් තලෙබාන් සංවිධානය වඩාත් ජනහිතකාමී වන්නේ යැයි කිසිසේත් අදහස් වන්නේ නැත. සමහර විට එය හිසරදයට කොට්ට මාරු කිරීමක් විය හැකිය.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024