You are currently viewing ඩයනා ගේ ගණිකා මඩම් සහ මනුෂ ගේ වහල් වෙළඳාම

ඩයනා ගේ ගණිකා මඩම් සහ මනුෂ ගේ වහල් වෙළඳාම

මැති ඇමතීන්ගේ කතා බහ ගැන විවරණය කිරීම අරුත් සුන් දෙයකි. එක අතකින් එම කතා කිසිම ආකාරයකින් තර්කානුකූල නොවේ. අනිත් අතට ඔවුන් කියන දෙය මොහොතින් මොහොත වෙනස් කරන නිසා කුමන අවස්ථාවේ කියන දේ සත්‍ය වශයෙන්ම ඔවුන්ගේ මතයදැයි සිතා ගත නොහැකි ය.  එහෙත් රටේ අවිවාදිත වශයෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් වන්නේ ඔවුන් නිසා එම කතා සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකිය. එය අපගේත් රටේත් වර්තමානයට මෙන්ම අනාගතයට ද බලපාන නිසාය.

කටුස්සන් පාට වෙනස් කරන්නාක් මෙන් ප්‍රතිපත්ති වෙනස් කරන දේශපාලකයන්ට මෙවැකි ස්ථාවර ගැනීමට හෘද සාක්ෂිය ගැටලුවක් නොවේ. එහෙත් වසර දෙදහස් පන්සියයක ඉතිහාසයක් ඇති ජාතියකට තර්කානුකූල පදනමක් නැතිව මුදල් වාසිය සඳහාම ප්‍රතිපත්ති තීරණ ගැනීම බරපතළ කාරණයකි. රටේ ප්‍රතිපත්ති සම්පාදකයන් එවැනි ස්ථාවර ගැනීම මහජනයා අතර සාකච්ඡා විය යුතුය. අයුක්තියට සහ අසාධාරණයට විරුද්ධ නොවී ඩොලර් මත ප්‍රතිපත්ති ස්ථාවර ගැනීම අතීතය අකාමකා දමා අනාගතය ලොප් කර ගැනීමකි.

ඊශ්‍රායෙලය පලස්තීන ජනතාවට එරෙහිව විශේෂයෙන්ම ලොව විශාලතම එළිමහන් සිරකඳවුර සේ සැලකෙන ගාසා තීරයේ කරන ජන සංහාරය ජනඝාතනයක් සේ හඳුන්වන්නේ ඇයි ද යන්න තේරුම් ගත යුතුය. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනි දා හමාස් සංවිධානය ඊශ්‍රායෙලයේ ගාසා සීමාව අසළ හමුදා කඳවුරු කීපයකට සහ ඒ අසළ කිබුට්ස් ගම්මාන කීපයකට හදිසි ප්‍රහාර එල්ල කොට සිවිල් වැසියන් 1200ක් පමණ මරා දැමීම නිසැකයෙන්ම ත්‍රස්තවාදි ක්‍රියාවකි. කාන්තාවන් සහ ළමයින් ඇතුළත් නිරායුධ වැසියන් ඝාතනය කිරීම කුමන අරමුණෙන් වුවත් හෙළා දැකිය යුතුය. ඇත්තෙන්ම ලොව බොහෝ රටවල් මෙන්ම ප්‍රබුද්ධ නායකයෝ විය යුතු ආකාරයටම එම ප්‍රහාරය හෙළා දුටුහ. ත්‍රස්තවාදය කවුරුන් විසින් කුමන අරමුණෙන් කළත් අනුදැකිය යුතු නොවේ.

ඉන් පසු ඊශ්‍රායෙලය හමාස් සංවිධනය අතු ගා දෑමීමට ආරම්භ කළ යුද්ධය ද එවැනිම සමහර විට ඊටත් වඩා දරුණු ත්‍රස්තවාදී ක්‍රියාවකි. ඊශ්‍රායෙල් රාජ්‍යය බිහි වූයේ ද ත්‍රස්තවාදී මිලේච්ඡ ඝාතන වලිනි. ඒ ගැන නැවත සඳහන් කළ යුතු නොවේ. 1948 දී පලස්තීනුවක් උන්හිටි තැන්වලින් පළවා හැරීමටත් අනුගමනය කෙළේ ඉවක් බවක් නැතිව මිනිසුන් ඝාතනය කිරීමේ සහ දේපොළ විනාශ කිරීමේ ප්‍රතිපත්තියයි. ඊශ්‍රායෙලයේ ත්‍රස්තවාදි ක්‍රියාවලට එල්ල වූයේ එවැනිම ප්‍රතිප්‍රහාරය. එහෙත් ඒවා කිසි විටෙකත් ඊශ්‍රායෙලය අනුගමනය කළ පරිමාණයෙන් නොවේ. අපට සිහි වන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන ඉගැන්විම යි.

දැනට ගාසා තීරයේත් බටහිර ඉවුරේත් සිදු වන්නේ නිරායුධ ජනතාව පමණක් නොව රෝහල් පාසල් සහ සරණාගත කඳවුරු නිරනුකම්පිතව විනාශ කිරීමකි. ඒ සඳහා යොදා ගන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් ලබා දෙන නවීනතම අවි ය. මෙවැනි අමානුෂික කුරිරු ප්‍රහාර එල්ල කරන විට ශිෂ්ට සමාජයකට නිහඬව සිටිය හැකි ද? අපගේ විරුද්ධවීම ඊශ්‍රායෙලයට තම කුරිරු ප්‍රහාර නතර කිරීමට හේතුවක් නොවන නිසා විරෝධය පෑම කිරීම නිෂ්ඵලයැයි මනූෂ නානායක්කාර වැනි අයට තර්ක කළ හැකිය. එහෙත් ඔහු ගේ අනුදැනුම ඇතිව ඊශ්‍රායෙලයට ශ්‍රමිකයන් යැවීමෙන් සිදු වන්නේ නිහඬව සිටීමක් නොව එම අමානුෂික යුද්ධයට සහාය දීමකි.

ඊශ්‍රායෙලයේ හදිසියේ ශ්‍රම හිගයක් ඇති වූයේ එහි ගොවිපොළවල වැඩ කළ පලස්තීන ජාතිකයන් එම රැකියාවලින් ඉවත් කිරීම නිසාය. දකුණු අප්‍රිකාවේ සුදු සුළුතර පාලනය යටතේ අනුගමනය කළ වර්ගභේදවාදී ප්‍රතිපත්තියට සමාන ප්‍රතිපත්තියක් ඊශ්‍රායෙලය අනුගමනය කරන නිසා පලස්තීනුවන්ට රැකියා අවස්ථා ලබා නොදීම ද එම රජයේ අප්‍රකාශිත ප්‍රතිපත්තියකි. පලස්තීන ජනතාවට රැකියා පමණක් නොව දේශපාලන නිදහස ඇතුළත් සියලු නිදහස් අහිමි කර ඇත.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් අහිමි කොට ඔවුන් අතු ගා දැමීමේ මිලේච්ඡ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් සම්බන්ධයෙන් නිදහස් නොබැඳි රටක්යැයි හඳුන්වා ගන්නා අපේ රටේ ප්‍රතිපත්තිය විය යුත්තේ එය කොන්දේසි විරහිතව හෙළා දැකීම ය. වර්ග භේදවාදී දකුණු අප්‍රිකා රජය හෙළා දැකීමටත් ජාත්‍යන්තර වශයෙන් එම රට කොන් කිරීමටත් අපේ රාජ්‍ය නායකයන් ඉදිරිපත් වූ බව අමතක කළ යුතු නොවේ. එවකට අගමැතිනිය වූ සිරිමා බණ්ඩාරනායක මැතිනිය දකුණු අප්‍රිකාවේ වර්ග භේදවාදී පාලනය හෙළා දැනීමට ඉදිරිපත් වූයේ එම තීරණය නිසා ඇති විය හැකි ආර්ථික හානි නොසලකාය. මිනිසාගේ ගරුත්වය රැකීමත් ඊට හානි කරන අයට විරුද්ධවීමත් උසස් රාජ්‍ය ප්‍රතිපත්තියකි.

එහෙත් මානුෂ නානායක්කාර වැනි අය මෙහෙයවන ආර්ථික සහ දේශපාලන ක්‍රියාදාමය තුළ මිනිසාගේ ගරුත්වය සුරැකීම සහ තහවුරු කිරීම වැදගත් නැත. වැදගත් වන්නේ මුදල් ය. ප්‍රතිපත්තිය වන්නේ රටේ ආර්ථික සමෘද්ධිය නාමයෙන් ආත්ම ලාභය සඳහා මුදල් ඉපැයීමය. විශාල වශයෙන් මුදල් ඉපැයිය හැකි ගංජා වගාව කැසිනෝ ව්‍යාපාරය සහ ගණිකා වාත්තිය දියුණු කළ යුතු ව්‍යවසායන් ය. මේවායින් සිදු විය හැකි සමාජයීය පිරිහීම මෙම පාලකයන්ට වැදගත් නැත. ජන ඝාතක ඊශ්‍රායෙල් රාජ්‍යයට ශ්‍රමිකයන් යැවීම හේතුයුක්ති කළ හැක්කේ එවැනි පසුබිමක් තුළය.

ඊට අමතරව ආණ්ඩුවේ වියදම් සඳහා වැඩි වැඩියෙන් ජනතාව මත බදු බර පැටවීමට සිදු වේ.

මනුෂ නානායක්කාර ඇතුළත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අපේ ශ්‍රමිකයන් ඊශ්‍රායෙලයට යැවීමට ඉදිරිපත් වීමෙන් ප්‍රකාශයට පත් වන්නේ එක අතකින් ඔවුන්ගේ අදමිටු ආත්මලාභී චින්තනයයි. රටේ උග්‍රව ඇති විරැකියාව සහ ආර්ථික පීඩණයට විසඳුම් නැති ඔවුහු මුදල් උපයා ගැනීමට කුමන හෝ කටයුත්තක යෙදීම අනුමත කරති. ‘යුක්තිය’ නමින් මෙහෙයුමක් තිබුණ ද කුඩු ජාවාරම නොඅඩුව සිදු වන්නේ එම නිසාය. දැනට පාර්ලිමේන්තුවෙන් ඉවත් කර සිටින ඩයනා ගමගේ වැනි අය මූර්තිමත් කරන්නේ එම අධ්‍යාශයයි. බටහිර හොර ජාවාරමකරුවන්ට රටට පැමිණ ආයෝජනය කරන්නැයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ආරාධයනක් කළාය.

දෙවැනිව මෙම පාලකයන්ට සහ ලෝක බැංකුව වැනි මූල්‍ය ආයතනවලින් පුරුදු පුහුණු කළ ඔවුන්ගේ උපදේශකයන්ට රටේ පවතින ආර්ථික සහ දේශපාලන ප්‍රශ්න විසඳීමට ඔවුන්ගේම විසඳුම් නැත. ඔවුන්ට කළ හැකි වන්නේ සිංගප්පූරුවේ හෝ වෙනත් රටක සාර්ථක වූයේයැයි කියන ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම ය. නීති පනවන්නේ ද කිසියම් රටක කළ නිසා හෝ බලවත් සංවිධාන නිර්දේශ කිරීම නිසාය.

ඒ ඒ රටට ගැලපෙන දේශපාලන ක්‍රමයක් සහ ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ කාලය අද උදා වී ඇත. ගෝලීය දකුණ වශයෙන් හැඳින්වෙන රටවල නිර්මාණය වී ඇති දේශපාලන සහ ආර්ථික විසඳුම් ඒ රටවල්ම සොයා ගත යුතුය. එසේ නොමැතිව නිර්දේශිත ප්‍රතිපත්ති අනුගමනය කිරීමෙන් බංකොලොත් වු සහ බංකොලොත් වන රටවල් සංඛ්‍යාව දිනෙන් දින වැඩි වනු ඇත. ජනතාවට ගැලපෙන රටට ඔරොත්තු දෙන දේශපාලනයක් සහ ආර්ථිකයක් නිර්මාණය කිරීමේ පළමු පියවර ජනතාව විවිධ මාර්ගවලින් එම කතිකාවට හවුල් කර ගැනීමෙනි. ජනතාව එය ඉල්ලා සිටිය යුතුය.

Leave a Reply