You are currently viewing ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු සියලු සමාජ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරනු..!

ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු සියලු සමාජ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරනු..!

mddr_letterhead_web

පුවත් පත් නිවේදනයයි.

අධිෂ්ඨානශීලී සමාජ ක්‍රියාකාරිකයෙකු මෙන් ම අප්‍රතිහත වෘත්තීය සමිති නායකයෙකු වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසප් ස්ටාලින් සහෝදරයා සිය වෘත්තීය සමිති කාර්යාලයේ දී පොලිසිය විසින් හිතුවක්කාර ලෙස අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් ව්‍යාපාරය සිය බලවත් අප්‍රසාදය පළ කරයි. අසනීප තත්වයේ පසුවන ස්ටාලින් සහෝදරයාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ව ද පොලිසිය සහ ආණ්ඩුව වගකිව යුතු බව අවධාරණය කරමු.

රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිය දී ජොසප් ස්ටාලින් සහෝදරයා ජාත්‍යන්තර කීර්තියට පත් වෘත්තීය සමිති නායකයෙකු නිසා ඔහු රඳවා ගැනීමට විරුද්ධ වු බවද සිහිපත් කළ යුතුය. 

සාම්ප්‍රදායික වෘත්තීය සමිති නායකයෙකු නොවූ ස්ටාලින් සහෝදරයා ගුරු අයිතීන් මෙන්ම මහජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් අභීතව පෙනී සිටියේය. ඔහු ගාලු මුවදොර අරගලයට එක් වූයේ එය මර්දනයට සහ පීඩනයට එරෙහි ජනතා නැගිටීමක් නිසා ය. ගාලු මුවදොර අනෙක් ප්‍රධාන ක්‍රියාකාරීන් මෙන් ඔහු ද කිසිවිටක ප්‍රචණ්ඩත්වය අනුමත කෙළේ නැත. 

ජේ ආර් ජයවර්ධන පාලන සමයේ පැවති මර්දනකාරී දූෂිත පාලන ක්‍රමය පොහොට්ටු ආණ්ඩුවක් යටතේ ක්‍රියාත්මක කිරීමට කැස කවන රනිල් වික‍්‍රමසිංහ නීතිය සහ සාමය ඇති කිරීමේ මුවාවෙන් සමාජ ක්‍රියාකාරීන් දඩයම් කිරීමට ආරක්ෂක අංශවලට අසීමිත බලතල පවරා ඇත. මෙම ප්‍රතිපත්තිය ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හෙළා දැක ඇති බව පවතින දූෂිත වංචනික පාලනය තේරුම් ගත යුතුය.

ජනතාවට අවම මට්ටමෙන් හෝ ජීවිතය පවත්වා ගත නොහැකි තරම් ආර්ථිකයත් පරිපාලනයත් කඩා වැටී ඇති අවස්ථාවක සියලු දෙනාගේ අයිතිවාසිකම්වලට ගරු කරමින් ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම ප‍්‍රමුඛතාවය කරනු වෙනුවට ජනතාව වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති නායකයන් සහ සමාජ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගෙන රඳවා ගැනීම අනිවාර්යයෙන් ම පරාජය කළ යුතු ය. අරගලයෙන් ඉස්මතු කළ අයිතිවාසිකම් දිනා ගැනීමට ජනතාව පෙළ ගැසිය යුතුය.

ජෝසප් ස්ටාලින් සහෝදරයා ඇතුළු සියලු සමාජ ක්‍රියාකාරීන් වහාම නිදහස් කරනු..! 

මහින්ද හත්තක
ලේකම්, ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැක ගැනීමේ ව්‍යාපාරය
– MDDR

Leave a Reply