You are currently viewing ජවිපෙ පළමු වසර: ආණ්ඩුව, විපක්ෂය සහ තර්ජන

ජවිපෙ පළමු වසර: ආණ්ඩුව, විපක්ෂය සහ තර්ජන

මා පසුගිය වසරෙහි ජනාධිපතිවරණ සමයෙහි මෙරටට පැමිණි අවස්ථාවෙහි සෑම ත්‍රී රෝද රථ රියදුරකුම, සෑම පික්මී රියදුරකුම වාගේ කතා කළේ අපේක්ෂා සහගතවය. ‘ මේ පාර නම් වෙනසක් වෙනව. ඒක තමයි අපට ඕනෑ’ යැයි ඔවුහු කීහ.

මා මේ ඔක්තෝබරය ගෙවූයේ ද මෙරටය. මේ කාලයෙහි යාපනය, මන්නාරම, මඩකළපුව සහ මහනුවර ක්‍රියාකාරී ජන පිරිස් සමඟ අදහස් බෙදා ගැනීමට අවස්ථාව උදා විය.  එමෙන්ම ත්‍රී රෝද රථ සහ පික් මී රියදුරන් හා සල්ලාපයේ යෙදීමට ද අවස්ථාව ලැබුණි.

අද මේ සෑම තැනකදීම වාගේ අසන්නට ලැබෙන අදහස ප්‍රශ්ණයකි. එනම් ‘මොනවද වෙන්නේ’ යනුය. එය වෙනසකි. ආණ්ඩුවට දැනෙන බවක් නොපෙනෙන වෙනසකි.

රාජපක්ෂවරුන් හෝ සජිත් ප්‍රේමදාස කෙරෙහි මහජන ප්‍රසාදයේ කැපී පෙනෙන වැඩි වීමක් මේ කිසිදු අවස්ථාවක පෙනෙන්ට ලැබුණේ නැත. ඔවුන් දෙදෙනාටම නව ගැම්මත් ගැනීමට නොහැකි වී තිබේ.

ඒ සමඟම තවත් ප්‍රශ්ණ දෙකක් නැගේ.  ‘හොරු හිරේම යවයි නේද’ සහ කුඩු පාතාලයට සබ්බුව ලැබෙයි නේද?’ මෙය ආණ්ඩුව සම්බන්ධයෙන්  සාධනීය එනමුත් සම්පූර්ණ විශ්වාසයක් තවම නැති ප්‍රකාශනයකි.

රාජපක්ෂවරුන් හෝ සජිත් ප්‍රේමදාස කෙරෙහි මහජන ප්‍රසාදයේ කැපී පෙනෙන වැඩි වීමක් මේ කිසිදු අවස්ථාවක පෙනෙන්ට ලැබුණේ නැත. ඔවුන් දෙදෙනාටම නව ගැම්මත් ගැනීමට නොහැකි වී තිබේ.

ජාජබ ආණ්ඩුව ලිංගික හැසිරීමක් සඳහා කැමැත්ත දීමේ වසය අව්රුදු 16 බවට පත් කිරීම දරුවන්ට කරන අපරාධයක් යැයි වෙන්ඩ ජනාධිපති නාමල් රාජපක්ෂ අදෝනා නැගීම හාස්‍යකට වඩා කපටිකමකි. නීතිඥ නාමල් රාජපක්ෂ නොදන්නා දේ නම් 1995 දක්වා මෙරට ලිංගික හැසීරීමක් සඳහා කැමැත්ත දීමේ වයස අව්රුදු 12ක් වූ බවයි. එය 16 දක්වා ඉහළ දමන ලද්දේ ඔහුගේ පියා ද කොටස්කරුවකු වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුව විසිනි.

ඊටත් වඩා රාජපක්ෂවරුන් විසින් පත් කරගත් ජනාධිපතිවරයා වූ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ලිංගික කැමැත්ත දීම අව්රුදු 14 දක්වා අඩු කිරීමට නීති සංශෝධනයක් පවා ගෙන ආවේය. එම නීතිය බලහත්කාර ලිංගික කෙළෙසීම් සදහා දෙනු ලබන දඩුවම් අඩු කිරීමටත් යෝජනා කළේය. එම නීතිය මහජන විරෝධය හමුවේ හකුළා ගැනීමට සිදු විය. නාමල් රාජපක්ෂ ද ඔල්මොරෙන්දම් වී නැත්නම් මෙවැනි කකුල කටේ දා ගැනීමක් කරන්නේ නැත.

එසේ නමුත් විපක්ෂය විසින් මහජන අභිවෘද්ධියට අදාළ කාරණා බොහෝ ගණනාවක් මතු කරමින් ජජබ ආණ්ඩුව නිරුත්තර කර ඇති අවස්ථාද තිබේ. කන්ටේනර් 300 නිදහස් කිරීම, ජනාධිපති මාධ්‍ය ඒකකයට අනුයුක්ත කර ඇති පුද්ගලයින්ගේ විස්තර නොදීම, දේශපාලන පත්වීම් ලබා දීම, ජනඝාතක ඊශායලය සමඟ ආණ්ඩුවේ මිතුරුකම ඉන් කිහිපයකි.

 ආණ්ඩුවට වසරක් ගත වී ඇත්තේ හනි හනිකටය. ඉදිරි වසර හතර ද ඒ වේගයෙන්ම ඉක්ම යනු ඇත.

සමහර විපක්ෂ දේශපාලඥයින් වෙඩි කෑ ඌරන් මෙන් කැ ගසමින් දුව පනින්නේ දූෂණ විරෝධී හස්තය තමන්ගේ ගෙලට තොණ්ඩුවක් වනු ඇත්දැයි යන බිය නිසාය.

දූෂණ විරෝධී ව්‍යාපාරය සමහර විට ආණ්ඩුවේ වඩාත්ම ආකර්ශනීය වැඩසටහනය. 2015 යහ පාලන ආණ්ඩුව බලයට පත්වීමට බල පෑ එක් ප්‍රධාන සාධකයන් වූයේ දූෂිතයින්ට දඩුවම් කරන බවට දෙන ලද පොරොන්දුව බව සළකන විට දූෂණ විරෝධී ව්‍යාපාරයේ වැදගත්කම අවතක්සේරු කළ නොහැක.

සමහර විපක්ෂ දේශපාලඥයින් වෙඩි කෑ ඌරන් මෙන් කැ ගසමින් දුව පනින්නේ දූෂණ විරෝධී හස්තය තමන්ගේ ගෙලට තොණ්ඩුවක් වනු ඇත්දැයි යන බිය නිසාය.

අන්තරයාකාරී මත්ද්‍රව්‍ය සමඟ බැදී ඇති ප්‍රබල යටිබිම්ගත ව්‍යාපාරික, දේශපාලන සහ ආරක්ෂක අංශ ජාලය මැඩලීමේ කැපී පෙනෙන සාර්ථකත්වයක් ද ආණ්ඩුව  දිනා ගෙන තිබේ. රනිල් රාජපක්ෂගේ වධක පොලිස්පති වූ දේශබන්දු ගෙන ගිය ව්‍යාජ සහ මර්ධනකාරී මත් ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය සමඟ සසඳන විට අද ඇති වෙනස අහසට පොළව මෙන්ය.

ලපයි සිපයි වැනි කඩකැඩුණු කතා කියන නමුත් අමාත්‍ය බිමල් රත්නායක පොදු ප්‍රවාහණ  සේවා  නීතියේ පාලනය යටතට ගෙන ඒමට සහ දියුණූ කිරීමට දරන ප්‍රයත්නය මේ තාක් කිසිදු ආණ්ඩුවක් නොදරන ලද සත් ව්‍යායාමයකි. ප්‍රවාහණ මාෆියාව, මත් ද්‍රව්‍ය මාෆියාවට වඩා බලගතු එකකි. එයද ජාවාරම්කාර පංතිය, දේශපාලනඥයින්, දාමරිකයයින් සහ බස් හිමි පොලිස් ප්‍රධානීන්ගේ හවුලකි.  පොදු ප්‍රවාහණය දියුණූ කිරීම, ශිෂ්ඨාචාර කිරීම සහ නීතියේ පාලනය යටතට ගැනීම අරභයා කැපී පෙනෙන සාර්ථකත්වයක් ලබා ගත් හොත් එය දෙවන ජනවරමක් සඳහා ශක්තිමක් අත්තිවාරමක් විය හැකිය.

ජාජබ- ජවිපෙ බලයට පැමිණියහොත් යළි ආර්ථික අර්බූදයක් ඇතිවන බවට අනෙක් දේශපාලන පක්ෂ ගෙන ගිය ප්‍රචාරය අනාථ කරමින් අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රසංසා දිනා ගැනීමට ආණ්ඩුව සමත් වී තිබේ.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම වැනි ප්‍රධාන පොරොන්දු  ක්‍රියාත්මකවන බවක් පෙනෙන්නට ද නැත. ආණ්ඩුවක් තීරණාත්මක වෙනස්කම් කළ යුත්තේ පළමු දින සියයේ දී යැයි ස්වර්ණමය රීතියක් තිබේ. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය වනු ඇත. ජාජබ නොනිල ආරංචි මාර්ග පවසන පරිදි ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇති කරන්නේ සිව් වැනි වසරෙහි දී නම් එහි සාර්ථකත්වය තීරණය වන්නේ ආණ්ඩුවේ දේශපාලන සාර්ථකත්වය මෙන්ම  ආර්ථික සාර්ථකත්වයද මතය.

අනුර කුමාර දිසානායකට මෙම ජනාධිපතිධූර කාලය භුක්ති විදීමට අවස්ථාව ඉතිරි කරගෙන පළමු වසර තුලදීම විධායක ජනාධිපති ක්‍රමය ද අහෝසි කැරෙන ව්‍යාවස්ථා ප්‍රතිසංස්කරණ කළේ නම් එය නිසැකවම ජය ගැන්වීමට ඉඩ තිබුණි.

පෙනෙන විදියට ආණ්ඩුව හසුව සිටින තවත් හිරවීමක් නම් නව ව්‍යවස්ථාවක් මගින් ජනවාර්ගික ප්‍රශ්නයට ද විසදුමක් සැපයිය යුතු වීමයි. අමාත්‍ය විජිත හේරත් කියන පරිදි පළාත් සභා ක්‍රමය ජාජබ- ජවිපෙ ආණ්ඩුව පිළිගන්නේ නැත. මේ  සම්බන්ධයෙන් ජවිපෙ මතය වන්නේ, සමාජවාදය යටතේ ජාතීන්ගේ පිඩනය තුරන් වී යන්නේය යන යල් පැනගිය න්‍යායයි.

ජාජබ -ජවිපෙ ආණ්ඩුවේ මංත්‍රීන්ගේ වත්කම්  අල්ලස් කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ විට දේශපාලන කම්පනයක් ඇති විය. ඊට මුහුණ දීමට ආණ්ඩුවට පොදු මතයක් තිබුණේ නැත. තමන්ගේ වත්කම් ප්‍රකාශණය ගැන ප්‍රශ්ණ කිරීමට මාධ්‍යට අයිතියක් නැතැයි මුල්පෙළ ඇමතිවරයකුද, තමන්ගේ දියණිය මල්වරවීමේ උත්සවයට (මල්වරවීමේ උත්සව යනු ගතානුගතික ලිංගිකත්වය ඔප් නංවන ලැජ්ජා සහගත ක්‍රියාවකි) ලද ත්‍යාග සිය ආදායම ලෙස තවත් ඇමැතිවරයකුද, තමාගේ වත්කම් ඇතුළත ‘නීති විරෝධී’ ක්‍රිප්ටෝ කරන්සි ඇතැයි තවත් මුලපෙළ ඇමතිවරයකු කීවේ එම කම්පනයට තනි තනිව මුහුණ දීමට සිදු වූ නිසාය.

සමහර විට ආණ්ඩුව මත විශාලතම තෙරපුම ගෙන එන්නේ එහි සන්නිවේදන අකාර්යක්ෂමතාවය සහ එහි ප්‍රධානීන් දක්වන අහංකාර සහ නොමේරූ  මාධ්‍ය හැසිරීම් විසිනි. ලක්ෂයක් මරා හෝ අවශ්‍ය දේ කරන බවට එහි නගරාධිපතිවරයකු කී කතාව, වයිරල් වී නවතින්නේ අනුර කුමාරගේ කීර්තිය අබියසය.

සමාජ මාධ්‍ය විශ්ලේෂකයකු වන ආචාර්ය සංජන හත්තොටුවගේ අධ්‍යනයකින් හෙළිවන්නේ අමාත්‍ය සුනිල් හදුන්නෙතිගේ සිය වත්කම් ලබාගත් පිළිවෙත අහංකාර  ලෙස ප්‍රතික්ෂේප කිරීම සමාජ මාධ්‍ය අදහස් 5000ට ආසන්න ප්‍රමාණයක හෙළා දැකුණු බවයි.

ආණ්ඩුව පෙන්නුම් කරනවාට වඩා එයට එරෙහිව ඇති ව්‍යාපාර සහ තර්ජන බලවත්ය. එම සියලු තර්ජන නාභිගතවීමක් වුවහොත් එය අනුර කුමාර දිසානායක කෙරෙහි ඉලක්කය ගැනිමට පවා ඉඩ තිබේ.

අනවශ්‍ය ලෙස රනිල් රාජපක්ෂ  අත්අඩංඟුවට ගැනීම ඛණ්ඩනය වූ විපක්ෂය නැවත තාවකාලිකව හෝ එක්රැස් වීමට අවස්ථාවක් පාදා දුන්නේය.  දැනට බෙදී සිටියද, මහජන අතෘප්තිය වර්ධනය වුවහොත් විරුද්ධ පක්ෂ ජාජබ ආධිපත්‍යයට අභියෝගක් විය හැකිය.

ආණ්ඩුවට දැනෙන අභියෝගයක් දැන් එල්ල වන්නේ මහජන විරෝධතාවයන්ගෙනි. ත්‍රිකුණමලයේ ගොවිජන පිරිස්ද, මන්නාරමේ පුරවැසි පිරිස්ද වෘත්තීය සමිති එක පිට එකද විරෝධතායන්ට එක්ව සිටිති. මෙම විරෝධතාවයන්ට දක්ෂිනාංශික පක්ෂවලින් සහායක් නැත. නමුත් අවසානයේ දී මෙම විරෝධතා තමන්ගේ ජන්ද මල්ලට වැටෙනු ඇතයි දක්ෂිනාංශික විපක්ෂය කල්පනා කරමින් සිටිනවා විය හැක.

ආණ්ඩුව පෙන්නුම් කරනවාට වඩා එයට එරෙහිව ඇති ව්‍යාපාර සහ තර්ජන බලවත්ය. එම සියලු තර්ජන නාභිගතවීමක් වුවහොත් එය අනුර කුමාර දිසානායක කෙරෙහි ඉලක්කය ගැනිමට පවා ඉඩ තිබේ.

Leave a Reply