You are currently viewing ජන මතයට ගරු කරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

ජන මතයට ගරු කරන්න – සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

මාධ්‍ය නිවේදනයයි

ජන මතයට ගරු කරන්න – මේ රට තවත් බංගලාදේශයක් බවට පත් නොකිරීමට සියලූම පාර්ශව වගකීමකයින් යුතුව කටයුතු කරන්න

මේ වනවිට අප අභිමුව ඇත්තේ ඉතාමත්ම තීරණාත්මක වූ ජනාධිපතිවරණයකි. එමගින් ඉදිරි අවුරුදු පහක කාලයක් සඳහා තමන් කැමති රාජ්‍ය නායකයකු තෝරා ගැනිමට ජනතාවට අවස්ථාව උදා වී තිබේ. කිසිදු බාධාවකින් තොරව සෑම පුරවැසියකුටම එකී අයිතිය ලැබිය යුතුය.

එහිදී මෙවර ජනාධිපතිවරණයට තරග කරන්නා වූ සියළුම අපේක්ෂකයන් මෙන්ම පක්ෂ නායකත්වයන්ට විශාල වගකීමක් පැවරී තිබේ. ඒ ජනතාව ලබාදෙන තීන්දුවට ගරු කිරීමටය. රටේ නීතියට හා සමාජ යුක්තියට අනුවද, ශිෂ්ට සම්පන්න මෙන්ම සදාචාරාත්මක වටිනාකම්වලට අනුවද එය ඔවුන් විසින් අත්‍යවශ්‍යයෙන්ම සිදුකල යුතුව ඇති වගකීමකි.

අප මේ බව අවධාරණය කරන්නේ මෑත දශක කිහිපය තුළදී ප්‍රචණ්ත්වයෙන් තොර නිදහස් හා සාමකාමී මැතිවරණ සංස්කෘතියක් නිර්මාණය කර ගැනීමට ලාංකීය සමාජය දක්වා ඇති උනන්දුව හා කැපවීමට ගරුත්වයක් ද ලබාදෙමිනි. එය යාවත්කාලීන කිරීම කරගත යුතුව තිබේ. අප එකී ප්‍රතිපත්තියෙහි තවදුරටත් කටයුතු කිරීමට අපහොසත් වූවහොත් එමගින් ශ්‍රී ලංකාව තවත් බංගලාදේශයක් බවට පත්වීමේ අනතුරක් පවතී. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඇතැම් අප්‍රිකානු රටවල ඇතිවී ඇති අවසානාවන්ත සිදුවීම් හේතුවෙන් එම රටවල ජනතාවට මුහුණදීමට සිදුවූ ඛේදජනක තත්ත්වයන් අප ගැඹුරින් අවබෝධ කරගත යුතුය.

එමෙන්ම මේ රටේ  බහුතර කැමැත්තට අනුව මෙම මස 21 දිනදා ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන රාජ්‍ය නායකයාට ද ජාතියට ඉටුකිරීම සඳහා දැවැන්ත කාර්යය භාරයක් ඇති බව සිහිපත් කිරීමටද මෙය අවස්ථාවක් කරගනිමු. ලැබෙන ජනවරම තුළ රාජ්‍ය බලයට පත්වන ජනාධිපතිවරයා වෙත පැවැරෙන එක් ප්‍රධාන වගකීමක් වන්නේ, පාර්ලිමේන්තු, පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ නිසි ලෙස පවත්වා රටේ පාලනයට හවුල්වීම සඳහා මහජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමයි. එමෙන්ම අත්තනෝමතික පාලනයකට ඉඩ සලසන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් මැතිවරණ ක්‍රමයද නොපමාවම සංශෝධන කිරීම එහිදි ඉතා වැදගත්ය. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට අදාළව හිටපු අගවිනිසුරුවරයෙකු වන ප්‍රියසාද් ඩෙප් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ ජනාධිපති කොමිෂන් සභාව ඉතා වැදගත් යෝජනා රැසක් දැනටමත් ඉදිරිපත් කර ඇති බව දැනගැනීමට ඇත. එම යෝජනා නොපමාවම මහජන අවධානය සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවයක් පවතී. සිවිල් සමාජ සංවිධාන, විද්වත් පර්ශදයන් ඇතුළු ආයතන රාශියක් ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කර ඇති එකී යෝජනාවලිය ධවල පත්‍රිකාවක් ලෙස ඉදිරිපත් කළහොත් එය පුළුල් සමාජ කතිකාවකට අවස්ථාවක් සැලසෙන බව අපගේ විශ්වාසයයි.

මෙම ජනාධිපතිවරණ කාලවකවානුවේදී අප අමතක කොකළ යුතු තවත් වැදගත් කරුණක් වන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ජාතික මැතිවරණ කොමිෂන් සභාව, ආරක්ෂක අංශ හා අනෙකුත් රාජ්‍ය නිලධාරින් අද්විතීය සේවාවක් සිදුකර ඇති බවය. මැතිවරණ කොමිෂන් සභාවේ සක්‍රීය අධීක්ෂණය හේතුවෙන් මේ දක්වාම ජනාධිපතිවරණයට අදාළ සියළු කටයුතු සාමාකාමී හා නීති ගරුක ආකාරයට පවත්වා ගැනීමට හැකිවී තිබේ. ඒ පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත හා අනෙකුත් රාජ්‍ය අංශ වෙත අප-අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. එමෙන්ම මෙම මස 22 දිනයෙන් පසුවද මේ රටේ අනාගතය තීන්දු වනු ඇත්තේ, බලධාරින්ගේ යහපත් ක්‍රියාකාරිත්වයන් හා ජනතාවගේ නීති ගරුකභාවය පදනම් කරගෙනය. ඒ අනුව රටේ සෑම පාර්ශවයක්ම  තමන් සතු ජාතික වගකීම නිසි ලෙස ඉටුකරනු ඇතැයි අපි වැඩිදුරටත් අපෙක්ෂා කරන්නෙමු.

කරු ජයසූරිය
සභාපතිසාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය
2024 සැප්තැම්බර් මස 19 දිනදීය

Leave a Reply