පළාත් පාලන ඡන්ද විමසුම අප්‍රේල් 25 වැනි දා පවත්වන බව මැතිවරණ කොමිසම පසුගිය දා ප්‍රකාශ කිරීමත් සමග පළාත් පාලන මැතිවරණයේ ප්‍රධාන තරගකරුවන් දෙදෙනා වන ජාතික සමගි බලවේගය සහ ජාතික ජනබල වේගය ඡන්ද විමසීම පැවැත්වීමට අලුත් දිනයක් ප්‍රකාශ කිරීම තම තමන්ගේ ජයග්‍රහණයක් බව පෙන්වීමට උනන්දු වූහ. මාර්තු 8 වැනිදා ඡන්ද විමසීම භාණ්ඩාගාරයෙන් අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන නො ලැබීම නිසා කල් දැමූ විට මෙම පක්ෂ දෙකම මදක් පසු බෑ බවක් දක්නට ලැබිණ.
ඡන්ද විමසීම කල් දැමීමට හේතුව අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් මුදල් ඇමති සහ ජනාධිපතිගේ නියෝගයක් අනුව නිකුත් නො කිරීම නිසා ජාතික ජන බලවේගය එය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසඳුමක් බලාපොරොත්තු වූයේ ය. ජාතික ජන බලවේගය රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ පියවරට අභියෝග කෙළේ ආණ්ඩුවේ තහනම් නියෝග නොතකා කොළඹ නගර ශාලාව අසළ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමෙනි. පොලිසිය විසින් සුපුරුදු ආකාරයට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලින් ඊට පිළිතුරු දුන්හ. ඉන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායකට ද කඳුළු ගෑස් සැර බැලීමට අවස්ථාවක් ලැබුණ අතර ජාතික ජන බලවේගයේ ඡන්ද අපේක්ෂකයෙකු ජීවිතය පූජා කෙළේය.
කලින් වතාවක ටෙක්නිකල් හන්දියේ දී කඳුළු ගෑස් සහ ජලප‍්‍රහාරයේ රස බැලූ සමගි ජන බලවේගය මෙවර ඊට පහසු ක්‍රියා මාර්ගයක් යොදා ගත්තේ ය. ස්වාධීන මැතිවරණ කොමිසම සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන ලබා දීමට භාණ්ඩාගාරයේ ලේකම්ට අතුරු නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතීම ප්‍රශ්නයට විසඳුමක් සේ පෙනින. ඡන්ද විමසීම සඳහා අලුත් දිනයක් ප්‍රකාශ කර ඇත්තේ ද ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය පදනම් කර ගෙනය.
සාමාන්‍යයෙන් උසාවි නියෝගයක්, විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිකුත් කර ඇති නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම උසාවියට උපහාස කිරීමක් නිසා මෙම නියෝගය ක්‍රියාත්මක කිරීම පිළිබඳව බොහෝ දෙනකුට ගැටලුවක් තිබුණේ නැත. උසාවියට අපහාස කිරීම නිසා රන්ජන් රාමනායකගේ මංත‍්‍රී ධුරය අහෝසි වන ආකාරයට සිර දඬුවමක් නියමවීම තවමත් අපගේ මතකයේ රැඳී ඇත. එමනිසා මෙම ජයග්‍රහණයේ කීර්තිය දිනා ගැනීමට සජබෙ මෙන්ම ජාජබ ද උනන්දු වූහ. ගැටුමකින් තොරව ප්‍රශ්නය විසඳුන බවක් පෙනුන නිසා සාමාන්‍ය ජනතාව ද සුසුම් හෙළුවාට සැක නැත.
එහෙත් රනිල්ට තවත් තුරුම්පු තිබෙන බව විපක්ෂය අමතක කරන්න ඇත.
දැන් සමහර විට මැතිවරණ කොමිසම පවා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉදිරියට කැඳවීමට තරම් බලවත් තත්වයක් වර්ධනය වෙමින් පවතී. පොහොට්ටුවේ මංත‍්‍රී කෙනකු කතානායකට කර ඇති පැමිණිල්ලක් අනුව මුදල් පිළිබඳ සම්පූර්ණ බලතල උත්තරීතර පාර්ලිමේන්තුව සතුව ඇති නිසා අධිකරණයට ඒ පිළිබඳ ව මැදිහත්වීමක් කළ නොහැකිය. ඒ කරුණු නොදැන හෝ අමතක කර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ගොණු කිරීමෙන් ස්වාධීන මැතිවරණ කොමිසම කර ඇත්තේ ඇත්තේ අධිකරණය නොමග යැවීමකි. ස්වාධීන වුවත් මැතිවරණ කොමිසම පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් නිසා ඔවුන් වගකිව යුත්තේ ද පාර්ලිමේන්තුවට ය. මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුව ඉදිරියට කැඳවිය හැක්කේ එම නිසාය. ඊට අමතරව අධිකරණය ලබා දුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළාකන්න නියෝගයක් භාණ්ඩාගාරයේ ලේකම්ට නිකුත් කරන මෙන් කතානායකගෙන් ඉල්ලීමක් කර ඇත.
ගරු මංත‍්‍රී ගේ ඉල්ලීම අනුව කතානායක භාණ්ඩාගාරයේ ලේකම්ට නියෝගයක් යවා ඇති බවක් තවමත් ප‍්‍රකාශයට පත්ව නැතත් අප්‍රේල් 25 හෝ ඡන්ද විමසීම පැවැත්විය හැකි ද යන්න ගැන සැකයක් පවතින බව එහි මැතිවරණ කොමිසමේ සභාපති පුවත්පත්වලට කර ඇති ප්‍රකාශයකින් පෙනේ.
ඇත්තෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙන්වා දී ඇත්තේ මාස ගණනාවක් වාද විවාද කර පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත් 2023 අයවැය ලේඛනය අනුව පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ප්‍රතිපාදනය කර ඇති මුදල් නිකුත් කළ යුතු ය යන්නයි. මෙම ගෙවීම සඳහා අලුතින් මුදල් ප්‍රතිපාදනය කිරීමක් අවශ්‍ය නැත. කිරීමට ඇත්තේ නිසි ක්‍රියා පටිපාටියක් අනුව වෙන් කර ඇති මුදල් නිකුත් කිරීම පමණි. ඒ සඳහා මේ වන විට භාණ්ඩාගාරයේ මුදල් නැතිනම් එය සොයා ගැනීම භාණ්ඩාගාර ලේකම් ගේ සහ විෂය භාරව සිටින ඇමතිවරයාගේ කාර්යකි. එසේ නොකිරීමට භාණ්ඩාගාරයේ ලේකම්ට බලය අහිමි කිරීමක් නැතිනම් තහනමක් පනවා ඇත්තේ විෂය භාර ඇමති සහ රටේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට සපථ කර ඇති ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ විසිනි.
ඔහු නිකුත් කර ඇති නියෝගයක් අනුව අයවැය ප්‍රතිපාදන කුමක් වුවත් භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කළ යුතු වන්නේ අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණි. එම අත්‍යවශ්‍ය කටයුතු මොනවාද යන්න ද ඔහු දක්වා ඇත. එම ලේඛනයේ මැතිවරණ කොමිසම ඇතුළත් නොවන නිසා ප්‍රතිපාදන කුමක් වුවත් මුදල් නිකුත් කළ නොහැකිය. දැන් පවතින තත්වය අනුව අධිකරණ නියෝගයකින් පවා එය වෙනස් කළ නොහැකිය. රජ කාලයේ ව්‍යවහාරය අනුව ජනාධිපති නිකුත් කර ඇත්තේ කිසිවෙකුට අභියෝග කළ නොහැකි රාජාඥාවකි. එය ව්‍යවස්ථාදයකය සහ අධිකරණය පිළිගත යුතුය. පොහොට්ටු මංත‍්‍රී කතානායකගෙන් කර ඇති ඉල්ලීමේ හරය එයයි.
මෙහිදී මතුවන පළමු එමෙන්ම ප්‍රධාන කරුණ වන්නේ ව්‍යවස්ථා සම්පාදනය සහ මුදල් පිළිබඳ බලතල හිමිව ඇතැයි කියන පාර්ලිමේන්තුවෙන් නිසි ක්‍රියා පටිපාටියක් අනුව ප‍්‍රතිපාදනය කළ මුදලක් නතර කිරීමේ බලතල මුදල් ඇමතිට හෝ ජනාධිපතිට ලැබෙන්නේ කෙසේද යන්නයි. ජනාධිපති, ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය පවා එහි බලතල ලබන්නේ ජනතාවගෙනි. නීතියේ කුමක් සඳහන් වුවද ජනතා අභිලාෂයන් ඉටු කිරීම අධිකරණයේ ද වගකීමකි. එය නොසලකා හැරීම සමාජය තුළ අසහනය සහ අතෘප්තියට හේතුවන බැවින් නීති පද්ධතියේ සුජාත භාවය රැකගත නොහැකිය.
ව්‍යවස්ථාදායකය සහ විධායකය පැහැදිලිවම නිසි ආකාරයෙන් පවත්වන ඡන්ද විමසීම්වලින් ජනවරම ලබා පත්වන නිසා ඔවුන් ජනතාවට වගකිව යුතුය. සමහර රටවල ඉන් ඔබ්බට ගොස් නියමිත කාලයකට මංත‍්‍රීන් පත් කර ගන්නා නමුත් ඔවුන් පැවරුණ කාර්ය නිසි පරිදි ඉටු නොකරන්නේ නම් ආපසු කැඳවීමේ බලයක් ද ජනතාව සතු කර ඇත. අපේ රටේ ජනතාවට එම බලය ලැබෙන්නේ අදාළ ව්‍යවස්ථාවන්හි සඳහන් වන ආකාරයට වසර පහකින් පමණි. වඩාත් පුළුල් අර්ථයකින් ජනාධිපතිත් සෙසු මහජන නියෝජිතයනුත් නීති පැනවීමටත් බලය ක්‍රියාත්මක කිරීමට වරමක් ලබන්නේ එම කාලයට පමණි. එහෙත් ඒ කාලය තුළද ඔවුන්ට හිතුමතේ ව්‍යවස්ථාදායක හෝ විධායක බලය පාවිච්චි කළ නොහැකිය. සමාජ ගිවිසුමක් යනුවෙන් අදහස් වන්නේ එයයි.
එමනිසා ජනාධිපතිට අත්‍යවශ්‍ය සේවා යනුවෙන් සමහර සේවා නම් කිරීමටත් එම නිර්ණායකය අනුව තවත් සමහර සේවාවන්ට මුදල් නොදී සිටීමේ බලය ලැබෙන්නේ කොතැනින්ද යන්න පැහැදිලි කළ යුතුය. මෙහිදී ඡන්ද විමසීමට මුදල් නොදීම ජන වරමෙන් පත් වූ පාලකයෙකුට කිසිසේත් කළ නොහැකි වන්නේ ඔහු හෝ ඇය එම තනතුර දරන්නේ ද ජනතා කැමැත්ත මත නිසාය. පරමාධිපත්‍ය නමින් හැඳින්වෙන එම බලය පැවරිය නොහැකියැයි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ම සඳහන් වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවීම සහ සමාජ ගිවිසුම යන කරුණු අමතක කළද තවත් වැදගත් සාධකයක් වන ජනබලය ජන සමාජය තුළ ක්‍රියාත්මක වන බව සියලු දේශපාලන නායකයන් සිහිපත් කර ගැනීම වැදගත් ය. ජනබලය සමහර විට ප්‍රචණ්ඩ ක්‍රියාත්මක වූ අවස්ථා ඉතිහාසයේ අපමණ ඇත. ආචාර ධර්ම සහ ජනමතය නො සලකා පාලකයන් දිගින් දිගටම බලහත්කාරයෙන්, කඳුළු ගෑස් ජලප‍්‍රහාර සහ ඒවා ඉක්මවා ගොස් වෙඩි උණ්ඩ යොදා ජනතා කැමැත්ත යටපත් කිරීමට ගන්නා උත්සාහය සැම විටම අවසන් වන්නේ ඛේදනීය ලෙසය.
මෑතකදී ගාලූමුවදොර අරගලය ද ආරම්භ වූයේ සාමකාමී විරෝධතාවයක් සේය. එය බලහත්කාරය යොදා මර්දනය කිරීමට ගත් උත්සාහය රට පුරාම ප්‍රචණ්ඩ ක්‍රියා මතුවීමට හේතු විය. කෙසේ වුවත් අවසානයේ දී ජනාධිපතිට පස්සා දොරින් පැන ගොස් දිවි රැකගැනීමට සිදු වූූයේ ද බුර බුරා නැගුණ ජනතා විරෝධය නිසා ය. ජන කැමැත්ත නොසලකා හිතුවක්කාර පාලනයක් වෙනස් කිරීමට ජනතාව යොදා ගත්තේ සම්මත ක්‍රියා මාර්ග නොවේ. වෙඩි උණ්ඩ යොදා තාවකාලිකව ජන කැමැත්ත පාලනය කළත් එය සම්පූර්ණයෙන්ම යටපත් කළ නොහැකිය. විශේෂයෙන්ම ජීවත්වීම නොමැරි මැරීමක් වන තත්වයක් තුළ ජනතාවට විකල්පය වන්නේ ජීවත්වීමද මරණය ද යන්න තීරණය කිරීමට අවස්ථාවක් එළඹෙනු ඇත.
මෙවැනි වට පිටාවක විපක්ෂයට අධිකරණයේ පිහිට පැතීමෙන් පමණක් ජනතා අයිතිය සුරැකිය නොහැකිය. පාලකයාට එම ව්‍යුහයන් ඉක්මවා යෑමට ඉඩකඩ, පවතින රාමුව තුළින් ම සලසා ගත හැකිය. රනිල් රාජපක්ෂ සහ පොහොට්ටුවේ මංත‍්‍රීන් අද ජනතා කැමැත්ත යටපත් කිරීමට යොදා ගන්නේ එවැනි බලයකි. නීතියක් සේ පෙනෙන අනීතික ක්‍රම යොදා ගැනීමෙනි. සජබ සහ ජජබ මෙම අභියෝගය හැඳින ගන්නේ ද ඊට අභියෝග කිරීමට සූදානම් ද යන්න මත ඔවුන්ගේ දේශපාලන පැවැත්ම තීරණය වනු ඇත. ඒ අද ඔවුන්ට ඇති විකල්ප සියල්ල අවසන් නිසා ය.
- හසරක් නැතිව අඳුරේ අත පත ගාන ජාතික ජන බලවේගය.. - December 18, 2024
- කබරගොයා තලගොයා කර ගන්නා ඇමරිකානු නීතිය පදනම් ජාත්‍යන්තර සමය.. - December 13, 2024
- නව පාලනයේ අභියෝගය ප්‍රතිකාර කිරීමට පෙර ලෙඩේ හඳුනා ගැනීමයි.. - December 4, 2024