You are currently viewing ජනතාවට අදමිටු පාලනයෙන් නිදහස ලබා ගැනිමට නම්..

ජනතාවට අදමිටු පාලනයෙන් නිදහස ලබා ගැනිමට නම්..

නිදහසේ හැත්තෑහතර වැනි දිනය සමරණ විට ඇසිය යුතු වැදගත් ප්‍රශ්නයක් ඇත. එය නිදහස හා සෘජුවම සම්බන්ධ නැති නමුත් නිදහස ලැබී ඇත්තේ කාටද යන්න පැහැදිලි කර ගැනීමට ඉවහල් වේ.

2022feb07[4]_mahinda

කුස්සියක් නවීකරණය කිරීමට කොපමණ මුදලක් වැයවේද ? ඒ සෑම භාණ්ඩයකම මිල සහ වැඩ කුලිය අහස උසට නැග ඇති අද වැනි දිනයක නොව 2020 වසර සඳහා ය. පසුගිය සතියේ අනිද්දා පත්‍රයේ පළ වු ආකාරයට කොළඹ 7 විජේරාම පාරේ ඇති අගමැති නිල නිවසේ කුස්සිය නවීකරණය සඳහා ශ‍්‍රී ලංකා නාවික හමුදාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවක් අනුව රුපියල් හැටපන් ලක්ෂ හැත්තෑහත් දහසක් වැය වී ඇත. මෙම මුදල නාවික හමුදාවට ලබා දී ඇත්තේ ජනාධිපති කාර්යාලයට වෙන් කර ඇති ප්‍රතිපාදනවලිනි. ජනාධිපති කාර්යාලය සඳහා වෙන් කර ඇති මුදල් ප්‍රතිපාදන අගමැති කාර්යාලයේ නඩත්තු කටයුතු සඳහා වැය කිරීමේ නීත්‍යනුකූල භාවය ගැන විමසීමට අපි අදහස් නොකරමු. රාජපක්ෂ පවුලට රටම භාර දී ඇති අවස්ථාවක මෙම ගනුදෙනු ගැන විමසීමේ තේරුමක් නොමැත.

අපට වැදගත් වන්නේ තමන්ගේ ම නිවසක් (මාලිගාවක් නොවේ) තනා ගැනීමට දස අතේ ණය වන සාමාන්‍ය ජනතාව මුහුණ දෙන තත්ත්වය ගැන සිතා බැලීම ය. කුස්සියක් අලුතින් තැනීමට නොව නවීකරණය සඳහා ලක්ෂ හැට හයකට ආසන්න මුදලක් වැය වන විට අඩුම ගණනේ කාමර තුනක ගෙයක් තැනීමට යන මුදල් එමෙන් තුන් ගුණයක් හෝ විය හැකි යැයි අනුමානය කළ හැකිය. අගමැති නිල නිවසේ කුස්සිය නවීකරණය සඳහා භාණ්ඩ මිල දී ගන්නේ වෙළඳ පොළ පවතින මිල ගණන් අනුව නිසා එවැනි ගණන් බැලීමක් අසාධාරණ ද නොවේ. මෙම ගණන් බැලීම වෙනස් වන්නේ අගමැති නිවසේ අලුත් වැඩියාවක් සඳහා බව වෙළඳුන්ට දැන් වූ විට භාණ්ඩ අඩු මිලකට දෙන්නේ නම් පමණි. මෙම කාර්ය සම්පාදනය වී ඇත්තේ නාවික හමුදාවෙන් නිසා මිල හෙට්ටු කිරීමේ අවශ්‍යතාවයක් තිබෙන්නට නැත. පුද්ගලික තොන්ත‍්‍රාත්කරුවෙකු නවීකරණය සිදු කෙළේ නම් වංචා සහගත ව අඩු මිලක් ලබා ගැනීමට උත්සාහ කෙළේයැයි සිතිය හැකිය. එම නිසා මෙම ගණන් හිලව් ගැන කිසිම අනුමානයක් අවශ්‍ය වන්නේ නැත.

ඉහතින් සඳහන් කළ ආකාරයට වැටුපක් ලබන රජයේ හෝ පෞද්ගලික අංශයේ සේවකයකු නිවසක් තනා ගැනීමට මිල උද්ධමනය නොසලකා අඩුම වශයෙන් හැට හය ලක්ෂයක් උපයා ගන්නේ කෙසේ දැයි පැනයක් නගී. දැන් පෙර මෙන් නොව වැටුප් ද වැඩි වී ඇති බැවින් ඉහළ ශ්‍රේණියේ සේවකයෙකු ගේ වැටුප සියලු දීමනා සහිත ව ලක්ෂයක් වේ යැයි ගණනය කළ හොත් තමන්ගේ ම ඉඩමක් ඇත්නම් නිවසක් තැනීමට අඩුම වශයෙන් මාස හැට හයක් වැටුප ඉතිරි කළ යුතු ය. මාස හැටහයක් සම්පූර්ණ වැටුප වෙනත් කිසි දේකට වැය නො කොට ඉතිරි කළ හැකි දැයි පුහුදුන් පුද්ගලයෙකුට ප්‍රශ්න කළ හැකි ය.

සමහර පුද්ගලයන්ට වැටුප සම්පූර්ණයෙන්ම ඉතිරි කළ නො හැකි වුවත් හිත ඇත්නම් එය කළ නො හැකි දෙයක් නොවේ. ඊට නිදසුන් ද අගමැති මහින්ද රාජපක්ෂ මහතා ම පෙන්වා දී ඇත. ලේකම්වරයෙකු ඔහුගේ බැංකු ගිණුමෙන් ඒටීඇම් යනුවෙන් හඳුන්වන කාඩ් පතක් යොදා රුපියල් කෝටි තුන හමාරක් හොරකම් කළ සිද්ධියක් පසුගිය දා ජනමාධ්‍යයෙන් වාර්තා කර තිබිණ. කෝටි තුන හමාරක් හොරකම් කර ඇති බව දැන ගත්තේ ද මාස ගණනාවක් පසු වී නිසා එපමණ මුදලක් හොරකම් කිරීම ගිණුම් හිමියා වහාම දැන නොගත්තේ ඇයි ද යන්න වෙනම ප්‍රශ්නයකි. අපට වැදගත් වන්නේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පැහැදිලි කිරීම යි.

ඒ අනුව කෝටි තුන හමාරක මුදලක් එම බැංකු ගිණුමේ ශේෂ වී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරේ සිටි වසර දහයක කාලයක් තුළ වැටුප එම ගිණුමේ තැන්පත් කිරීමෙනි. එනම් මාස එකසිය විස්සක කාලය තුළ වැටුප සම්පූර්ණයෙන්ම තැන්පත් කිරීමෙනි. එවිට ගිණුමේ තිබිය හැකි වන්නේ කෝටි එකක් සහ ලක්ෂ විස්සක් වීම නිසා ගණන්වල පරස්පරයක් තිබෙන නමුත් එයත් අපට වැදගත් නැත. වැදගත් ම කාරණය වන්නේ අධිෂ්ඨානයක් ඇත්නම් සම්පූර්ණ වැටුප වුවත් ඉතිරි කළ හැකි තත්ත්වයක් අපේ රටේ පැවතීම ය.

මෙම තත්ත්වය කුමක් දැයි විමසා බැලීම තමන්ගේ ම නිවසක් තැනීමට හෝ පවතින නිවසක් අලුත් වැඩියා කර ගැනීමට අදහස් කරන කාට කාටත් වැදගත් ය. දරු තිදෙනෙකු සහිත පවුලක් වන මහින්ද රාජපක්ෂ මහතාට අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිය වැටුප සම්පූර්ණයෙන්ම ඉතිරි කර ගත හැකි වූයේ වෙනත් මාර්ගවලින් මුදල් ඉපැයීමේ හැකියාව තිබෙන නිසා ය. ඔහු සතු නිවාස දේපොළ හෝ කර්මාන්ත හෝ ව්‍යාපාරවලින් එම වියදම් පුරවා ගැනීමට හැකි වූයේ දැයි පැහැදිලි කර නැත. ඊට අමතරව මැතිවරණ ව්‍යාපාරයට ද විශාල මුදලක් වැය වන්නට ඇත. ඒ කාලයේ ගුවනින් යෑම සඳහා ද තවත් අතිරේක මුදල් වැය වන්නට ඇත. ඒ සියල්ල වැටුපට අමතරව උපයා ගත් හෝ ලබා ගත් ඒවා ය. රටේ සෙසු ජනතාව ද දරිද්‍රතාවයෙන් මිදී සෞභාග්‍ය ලැබීමට නම් එවැනි අතිරේක ආදායම් මාර්ග සොයා ගත යුතු ය.

අතිරේක ආදායම් මාර්ග සොයා ගැනීම සහ අල්ලස් හෝ ¥ෂණ කොමිසමේත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේත් විමර්ශන සහ පරීක්ෂණ වලට ලක් නොවී මුදල් උපයා ගත හැකි වන්නේ කෙසේද යන්න මත දියුණුවේ රහස පවතී. මෙම රහස අගමැති පමණක් නොව ආණ්ඩු පක්ෂයේ අනෙකුත් අය ද දන්නා බවට සාක්ෂි වන්නේ ඔවුන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් සොරකම් කළ බවක් වාර්තා නොවන නමුත් ඔවුනගේ ජීවන රටාව අනුව ඉමහත් ධනයක් පවතින බව නිසැකවම දක්නට ලැබෙන නිසා ය. දේශපාලනයට පිවිසීමට පෙර සීගිරිය නැරඹීමට යෑමට තරම් හෝ වත්කමක් නැති අයට මංත‍්‍රීකමක් හෝ ඇමතිකමක් ලැබුණ විට වසර කීපයකික් යාන වාහනවලට අමතරව සුඛෝපභෝගී නිවාස තනා ගත හැකිය. ඡන්ද ව්‍යාපාරයට අත දිග හැර වියදම් කළ හැකි ය. එම මුදල් උපයා ගත් ආකාරය කිසිවෙකු විමසන්නේ නැත. බලය ගිලිහී විපක්ෂයට පත් වූ විට අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් ඔවුන්ට විරුද්ධව නඩු පැවරුව ද පසුව ඒවා දේශපාලන පළිගැනීම් සේ සලකා නිදොස් කොට නිදහස් විය හැකිය.

දේශපාලනයෙන් උත්පාදනය වන මෙම ආදායම් මාර්ග සමහරුන් අල්ලස් හෝ ¥ෂණ ලෙස හැඳින්වුවද එම වෘත්තියේ යෙදෙන්නන්ට බදුවලින් නිදහස් ව්‍යාපාරයකි. නිදහස ලබා හැත්තෑ හතර වැනි වසර පසු කරන ශ‍්‍රී ලංකාවේ හොඳම වෘත්තිය බවට පත්ව ඇත්තේ දේශපාලනයයි. කිසිවෙකුට වග නොකියන කිසිවෙකුට ප්‍රශ්න කළ නොහැකි යන එන හැම තැනම ගරු බුහුමන් ලබන එකම වෘත්තියයි. විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පවා වෘත්තිය අතහැර දේශපාලන ව්‍යවසායට එක් වන්නේ සෞභාග්‍ය කරා ළඟා වීමේ පහසු කෙටිම මාර්ගය එය නිසා ය.

මෙම දේශපාලන ව්‍යවසායේ එහි නියැලෙන්නන්ට ඇලඩින්ගේ පුදුම පහනක් වුවද රටටත් ජනතාවටත් අත්ව ඇත්තේ අසරණකම සහ දරිද්‍රතාවයි. අසරණකම වන්නේ තමන්ගේ ම ස්වෛරී අයිතිය පාවිච්චි කර පත් කළ නියෝජිතයන් ස්වෛරී ජනතාවම දාස භාවයට ගෙන ඇති නිසා ය. දාස භාවයෙන් මිදීමට තැත් කරන්නේ නම් ඒවා මර්දනය කිරීමට ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන යාන්ත‍්‍රණ පිහිටුවා ගෙන ඇත. එම යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාව වුවද ඔවුන්ට දේශපාලන ව්‍යවසායකයන්ගේ අණසක ඉක්මවා යා නොහැකිය. එම අණසක ඉක්මවා යෑමට කිසියම් ඉඩක් ඇත්තේ නම් වහාම එම සිදුර වැසීමට අලුතින් අණ පනත් ජනතාවගේ නාමයෙන්ම පනවා ගනී. ඒවා අභියෝග කිරීමේ ශක්තියක් හෝ අවස්ථාවක් ජනතාවට නැත. කිසියම් පනතක් ගැන දේශීය දේශපාලක ව්‍යවසායකයන්ට සිතා ගත නොහැකි නම් ජාත්‍යන්තරයෙන් ද ඒවා ලබා ගෙන තමන්ට අවශ්‍ය පරිදි සකසා ගත හැකිය. ජනතා අයිතිය සුරැකීමට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් සම්මත කළ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික ප්‍රඥප්තිය අයිසිසීපීආර් පනත නමින් සම්මත කර ගෙන ඇත්තේ ඒ ආකාරයෙනි.

බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා වසර හැත්තෑ හතරක් පසු කරන විට කලක් ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින් හැඳින් වූ ශ‍්‍රී ලංකාවේ ඉතිරිව ඇත්තේ හපයක් පමණි. දැන් ජාතියට විදුලි ආලෝකය ලබා දීමට බලාගාර පවත්වා ගැනීමට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට හෝ නො හැකි තත්ත්වයකට පත්ව ඇත. ඉන්ධන ලබා ගන්නේ කාගෙන් හෝ ණයට හෝ අතමාරුවට මුදල් ලබා ගැනීමෙනි. එය ප්‍රමාද වුවහොත් අඳුරේ සිටිය යුතුය.

ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙමින් ආ මෙම තත්ත්වය අද නාහෙටත් උඩින් ගොස් ඇත්තේ දේශපාලනය ව්‍යවසායක් කර ගත් පිරිසක් රට භාර ගැනීමෙනි. සංවර්ධනය ඔවුන්ට මුදල් ගසා කෑමේ තවත් නාමයකි. ආයෝජකයන් පිටරටවලින් ගෙන්වා ගන්නේත් ආයෝජනයේ නාමයෙන් පිටරටවලින් ණය ලබා ගන්නේත් කොමිස් ගසා කෑමේ පහසු මාර්ගයක් වන නිසා ය. දැන් රට හපයක් බවට පත්ව ඇති නිසා ණයට දෙන කෙනෙකුත් නැත.

මේ තත්ත්වය වෙනස් කිරීමට අලුතින් පිරිසක් දේශපාලන ව්‍යවසායට තෝරා පත් කර ගැනීම ප්‍රමාණවත් වන්නේ නැත. අවශ්‍ය වන්නේ රටේ ජනතාවගේ ස්වෛරී අයිතියෙන් බැඳ තබන ජනතාවගේ වත්කම් ආරක්ෂා කරන සහ එසේ නොකරන විට පැවරූ බලය ආපසු ගත හැකි ජනතාවට සෘජුවම වගකියන එසේ නොමැති නම් බලය අහෝසි වන පාලන ක්‍රමයකි. බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබුණු නිදහස අර්ථවත් කර ගත හැකි වන්නේ එවැනි තත්ත්වයක් තුළ පමණි.    

Leave a Reply