You are currently viewing චීන ඇන්ජින් දෙකෙන් ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වේද..?

චීන ඇන්ජින් දෙකෙන් ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වේද..?

චීන විදේශ ඇමති වාන්ග් යි [Wang Yi]

චීන විදේශ ඇමති වාන්ග් යි මහතා පසුගිය දා  දෙදිනක නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේ ය. ඔහු ගේ පැමිණීම චීන ලංකා සහල්-රබර් ගිවිසුම අත්සන් කර වසර 70ක් සහ දෙරට අතර තානාපති සබඳතා ඇති කර ගෙන වසර 65ක් පිරිනිමීම හා සමගාමි වුවද, එය සැමරීම එකම අරමුණ නොවේ. ඔහු ලංකාවට පැමිණියේ කෙන්යාව, එරිට්‍රියාව, කොමොරො සහ මාලදිවයින රාජ්‍යයන්හි සංචාර නිම කොට ආපසු සිය රට බලා යන අවස්ථාවේ ය. චීන විදේශ ඇමතිවරයාගේ මෙම සංචාරය එහි මුලපිරීමක් වන මාවත සහ කලාපය ( Road and Belt Initiative ) වැඩ පිළිවෙළට මෙම රටවල සහාය පුළුල් කර ගැනීම සහ එක්සත් ජනපදය දියත් කර ඇති ඉන්දු පැසිෆික් ආරක්ෂක සන්ධානයට අභියෝග කිරීම අරමුණු කර ඇති බවත් පැහැදිලි ය.

චීනය අප්‍රිකානු රටවල් අතර වෙළඳාම සහ ආයෝජනය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන අතර එය එක්සත් ජනපදයේ මෙන් ම ඉන්දියාවේ ද දැඩි අවධානයට ලක්ව ඇති කාරණයකි. එක්සත් ජනපදය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ ජපානය ඇතුළත් චතුර්-පාර්ශ්ව එකතුවේ උපාය මාර්ගික අරමුණ ඉන්දියන් සාගරය අවට රටවල ගොඩ නැගෙමින් පවතින චීන සබඳතාවලට අභියෝග කිරීම බව දැනටමත් ප‍්‍රකාශ කර ඇත. එමනිසා චීන විදේශ ඇමති වාන්ග් යි ගේ මෙම සංචාරය ඉන්දියන් සාගර කලාපයේ තම උපාය මාර්ගික අවශ්‍යතා අනුව සිදු වූවකි.  චීන ඇමතිවරයාගේ මෙම සංචාරයට ඇතුළත් වූ එරිට්‍රියාවේ චීනය විදේශ රටක පිහිටුවන ලද එකම හමුදා කඳවුරක් ඇති රට බවද සිහිපත් කළ යුතුය.

ලංකාව දැනට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයෙන් සහ ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒමට අත දිය හැකි රටවල් අතුරින් චීනයට හිමි වන්නේ සුවිශේෂ තැනකි. විදේශ විනිමය අර්බුදය නිසා චීනයට ගෙවිය යුතු ණය කල් දැමීමට මුදල් හුවමාරු (Currency Swap) ගිවිසුමක් දැනටමත් අත්සන් කර ඇති අතර එය නැවත වරක් දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් ද පවතී. එහෙත් අර්බුදයෙන් ගොඩ ඒමට එය ප්‍රමාණවත් නැත. තව තවත් චීන ණය” ආයෝජන සහ අපනයන අවස්ථා ද විවෘත විය යුතුය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන විදේශ ඇමතිවරයාගෙන් කළ ඉල්ලීමක් වූයේ චීනයට ගෙවීමට ඇති ණය ප‍්‍රතිව්‍යුහ ගත කිරීම ය. ලංකාවේ ණය ප්‍රමාණයෙන් සියයට 10ක්ම චීනයෙන් ලබා ගත් ඒවා නිසා එවැනි ප‍්‍රතිව්‍යුහ ගත කිරීමකින් ඉමහත් අස්වැසිල්ලක් ලැබෙනු ඇත.

චීන ලංකා සහල්-රබර් ගිවිසුම අත්සන් කිරීම-1952

එහෙත් කලාපයේ පවතින භූ දේශපාලන රටාව නිසා එය හුදු සරල රේඛාවකින් දැක්වෙන ගනුදෙනුවත්  නොවේ. ඇත්තෙන්ම එය ඉන්දියාව ද ඇතුළත් විෂම පාද ත්‍රිකෝණ සම්බන්ධතාවයකි. එක්සත් ජනපදය සමග සන්ධාන ගතවී සිටින ඉන්දියාව එක අතකින් චීනය අභියෝගයක් සේ දකින අතර අනෙක් අතට ඉන්දියාවට ද තම ආර්ථිකය ප්‍රසාරණය වීමත් සමග කලාපය තුළ ආර්ථික සහ වෙළඳ කටයුතු පුළුල් කර ගැනීමේ අවශ්‍යතාවයක් ද පවතී. එහිදී භූගෝලීය පිහිටීම නිසාම ලංකාව කිසිසේත් වෙනත් රටක, විශේෂයෙන් චීනය වැනි රටක බලපෑමට ලක් වීමට ඉඩ දිය නොහැකිය.

බීජිනයේ ප‍්‍රකාශයට පත් වෙන ග්ලෝබල් ටයිම්ස් වාර්තා කළ ආකාරයට මෙම මිතුරු සබඳතා දෙරටට ම ප‍්‍රයෝජනවත් වන අතර මූලික අවශ්‍යතාවයන්ට ද ගැලපෙන බව චීන ඇමති ලංකාවේ සංචාරයේ දී අවධාරණය කෙළේය.

‘‘එය තුන්වැනි පාර්ශ්වයක් ඉලක්ක කර ගෙන නැති අතර කිසියම් තුන්වැනි පාර්ශ්වයක මැදිහත් වීමක් ද අපේක්ෂා කරන්නේ නැත.’’

මෙහි දී තුන්වැනි පාර්ශ්වය යනුවෙන් අදහස් කරන්නේ කුමන රට ද, සන්ධානය ද යන්න තේරුම් ගැනීමට විවරණ අවශ්‍ය වන්නේ නැත. පසුගිය දෙසැම්බරයේ දී යාපනය අසළ දූපත් කීපයක චීන සමාගමක් ඉදි කරමින් තිබූ සූර්ය බලශක්ති ව්‍යාපෘතිය ඉන් ඉවත් කර මාල දිවයිනේ පිහිටුවීමට එම සමාගම තීරණය කර ඇති බව කොළඹ සිටින චීන තානාපති ප්‍රකාශ කෙළේය. මෙම ව්‍යාපෘතිය පිළිබඳ ව ගිවිසුම් අත්සන් කිරීමත් සමග ඉන්දියාව ඊට විරෝධය පළ කෙළේ ආරක්ෂක හේතු මතය. දකුණු ඉන්දියාවට ආසන්න ස්ථානයක චීන සමාගමක් ඉදි කරන සූර්ය බලශක්ති මධ්‍යස්ථානයක් වුවද ඉන්දියාව දකින්නේ තම ආරක්ෂාවට තර්ජනයක් සේය.

වාන්ග් යී පෙන්වා දෙන ආකාරයට චීනය දැනටමත් ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට ආයෝජන රැසක් කර ඇත. කොළඹ පොර්ට් සිටි නගරයේ දැනටමත් ඩොලර් බිලියන 1.5ක් ආයෝජනය කර ඇති අතර ඉදිරියේ දී එම ප්‍රමාණය තවත් වැඩි වනු ඇත. හම්බන්තොට වරාය ආශ්‍රිතව ද ආයෝජන අවස්ථා පුළුල් වෙමින් පවතී. ඔහු පෝර්ට් සිටිය සහ හම්බන්තොට වරාය හැඳින්වූයේ ලංකාවේ ආර්ථිකයේ ‘‘එන්ජින්’’ දෙකක් සේය. 

ලංකාව මුහුණ දී ඇති ආර්ථික සහ විදේශ විනිමය අර්බුදයට පිළියමක් වශයෙන් ඔහු කළ යෝජනාව වූයේ චීනයේ මුලපිරුමක් වන කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP ) එකතුවීමය. එමෙන්ම දැනට ඇණ හිට ඇති නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නැවත අරඹන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. (පසුගිය යහපාලන ආණ්ඩු සමයේ ඉන්දියාවත් සමග නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමට එරෙහිව දැන් රජයේ ආධාරකරුවෙකු වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA ) ගෙන ගිය අරගලය ද අපට සිහිපත් වේ) වාන්ග් යී පවසන ආකාරයට දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීමෙන් ලංකාවට සුවිශාල වූ චීන වෙළඳ පොළ විවෘත වනු ඇත. චීනයට ගෙවීමට ඇති ණය ප‍්‍රතිව්‍යුහ කිරීමට ඉල්ලා සිටීමේ දී ගෝඨාභය රාජපක්ෂට මෙම යෝජනා අමතක කිරීම පහසු නොවේ.

වාන්ග් යී ගේ තවත් වැදගත් යෝජනාවක් වූයේ ඉන්දියන් සාගර කලාපයේ දූපත් රටවල එකඟතාවය සහ ප‍්‍රවේගය ගොඩ නැගීම සහ පොදු සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා සාකච්ඡා මණ්ඩපයක් ගොඩ නැගීම ය. මේ පිලිබඳව ලංකාවේ ආණ්ඩුවෙන් ලැබුණු ප‍්‍රතිචාරය ප‍්‍රකාශ වී නැතත් චීනයෙන් කෙරෙන එවැනි යෝජනාවක් නොසලකා සිටීම පහසු නොවේ. එහෙත් එය උභතෝකෝටික ප්‍රශ්නයක් වන්නේ ඉන්දියාවෙන් ද ඒ සමාන යෝජනාවක් ඉදිරිපත් ව තිබීම ය.

ඉන්දියානු අගමැති යෝජනා කරන්නේ කලාපයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහ වර්ධනය (SAGAR) සඳහා ආයතනයකි. පසුගිය වසරේ දී කොළඹ පිහිටුවන ලද සාගර ආරක්ෂාව සඳහා වූ ත‍්‍රයිපාක්ෂික සහයෝගිතාවය ද එහි තවත් දිගුවකි. ඊට අයත් වන රටවල් තුන වන්නේ ඉන්දියාව, ලංකාව සහ මාලදිවයින යි. මෙවැනි ගිවිසුම් සහ එකඟතාවලින් ඉන්දියාව පැහැදිලිව ම අදහස් කරන්නේ අසල්වැසි රටවල් අතර ආරක්ෂක සහයෝගිතාවක් පවත්වා ගැනීම සහ කලාපයේ චීන බලපෑම සීමා කිරීම හෝ අවම කිරීම ය.

මෙවන් පසුබිමක චීන විදේශ ඇමති වාන්ග් යි මහතාගේ ලංකා සංචාරය වසර 70කට පෙර අත්සන් කළ දැනට අභාවයට ගොස් ඇති රබර්-සහල් ගිවිසුම සැමරීමට වඩා ගැඹුරට දිවෙන ආරක්ෂක සහ දේශපාලන වුවමනාවන් සමග තදින්ම ගැට ගැසී ඇති බව පැහැදිලි ය. මෙම තත්වය වඩාත් සංකීර්ණ සහ අවුල් සහගත වන්නේ ඉන්දියාව තුළ ද එවැනි ම අවශ්‍යතා පැවතීමය. ඉන්දියාවේ දොරකඩ පිහිටා ඇති ලංකාව ඉන්දියානු ආරක්ෂක වැඩ පිළිවෙළක් තුළ කිසිසේත්ම නොසලකා සිටිය හැකි තත්වයක් නොවේ.

බිලියනයක් වටිනා ප්‍රශ්නය වන්නේ ආර්ථික අර්බුදයක පත්ළටම ගිලා බැස ඇති ලංකාවට මෙවැනි සංකූලතා තුළ රටේ ආරක්ෂාවත් ආර්ථික ස්වාධීනත්වය මෙන් ම රටේ ස්වෛරීත්වයත් රැකෙන ආකාරයට ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගත හැකි ද යන්නයි. ඒ සඳහා මූලික අවශ්‍යතාවය වන්නේ නිවැරදි දේශපාලන දැක්මක් පැවතීම ය. ඇමරිකාවේ පොලිස්කාරයෙකු බවට පත්ව ඇති අසල්වැසි බලවතා වන ඉන්දියාව සහ ආර්ථික සහ හමුදාමය වශයෙන් ඊටත් වඩා ප්‍රබල චීනය සමග කේවල් කිරීමේ ශක්තියක් හෝ රාජ්‍ය තාන්ත්‍රික නිපුණත්වයක් වසර දෙකක් පසුකර ඇති පොහොට්ටු ආණ්ඩුවට නැති බව හොඳින් ම පැහැදිලි ය. ඔරලෝසුවක බට්ටා මෙන් මාරුවෙන් මාරුවට ඒ අන්තයටත් මේ අන්තයටත් පැද්දෙන පොහොට්ටු ආණ්ඩුවේ පරම අභිලාෂය වන්නේ වසර පහක කාලය කෙසේ හෝ සම්පූර්ණ කර ගැනීම ය. අනෙක් සියල්ල ද්විතීය හෝ ඊටත් වඩා නොවැදගත් කරුණු ය.

සිහිනෙන් ඇවිදින්නාත් මෙන් වූ මෙම ගමන එල්ටීටීඊ ත්‍රස්තවාදියන්ගෙන් ආරක්ෂා කර ගත්තා යැයි කියන මාතෘ භූමියේ අනාගතයට කිසිසේත් හිතකර නොවේ. එය ගැට‍ළුවක් නොවන්නේ ද්විත්ව පුරවැසියන්ට පමණි. 

Leave a Reply