You are currently viewing නිර්දේශපාලනයෙන් කියවෙන දේශපාලනය..

නිර්දේශපාලනයෙන් කියවෙන දේශපාලනය..

ගාලු මුවදොර ජන අරගලය මෙරට දේශපාලනයේ හැරවුම් ලක්ෂයකි. එය තරුණ ශිෂ්‍ය අරගලයක් ලෙස හැඳින්වීම වඩාත් ජනප්‍රිය වුවත් ඊට වර්ග ආගම් බේදයක් නොසලකා රට පුරා බාල මහලු තරුණ තරුණි සියලු දෙනාගේ සහභාගිත්වයත් ආශීර්වාදයත් ලබන ප්‍රබුද්ධ දේශපාලන පියවරකි. ගාලු මුවදොර පිටියට සහභාගි වීමට නොහැකි ලක්ෂ ගණන් ජනතාව එහි ජයග්‍රහණය අපේක්ෂාවෙන් පසු වෙති. කඩා හැළෙන වැස්සෙන් දවා තැවෙන අව්වෙන් එම තරුණ තරුණියන්ට දුකක් නොවේවායි පතති. එය යුක්තිය සාධාරණත්වය පතන සියලු දෙනාගේ ම අරගලයකි.

එසේ වන්නේ ඇයි?

එම උද්ඝෝෂකයන් නියෝජනය කරන්නේ සාගින්නේ හඬන දරුවාට දිය කර දීමට කිරි පිටි පැකට්ටුවක් සොයා ගත නොහැකිව පෝලිම්වල ලතැවෙන අම්මලාගේ හඬයි. බතක් පිස ගැනීමට ලිප ගිනි දැල්වීමට ගෑස් සොයා පෝලිම්වල දින ගණන් ගත කරන ජනතාවගේ හඬයි. ඉස්පිරිතාලයට ගොස් බෙහෙත් ටිකක් ලබා ගත නොහැකිව මරණාසන්න වන රෝගීන්ගේ හඬයි. අකුරු කරවීමට පාසල් යන දරුවාට ඇක්සයිස් පොතක් මිලදී ගැනීමට ලතැවෙන දෙමාපියන්ගේ ශොකාලාපයයි. කෙටියෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන දුප්පත් පොහොසක් සියලු දෙනා ගේ විරෝධයයි. 

මෙම අරගලයට කම්කරුවන්ගේ මෙන්ම උසස් වෘත්තිකයන්ගේ සහායත් ආශීර්වාදයත් ලැබෙන්නේ ඔවුන් සියලු දෙනාම මෙම දූෂිත දේශපාලනයෙන් තැවෙන නිසාය. මෙම තරුණ තරුණියන් තම අරගලය නිර්දේශපාලනයැයි හඳුන්වන්නේ එහි දේශපාලනයක් නැති නිසා නොවේ. පවතින දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමක් වන නිසාය. ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා වසර හැත්තෑහතරක් ගත වූ පසුව රට, සංවර්ධනයේ නාමයෙන් බංකොලොත් භාවයට ඇද දැමූ දේශපාලනයයි. ඔවුන්ගේත් එම අරගලයට විවිධාකාරයෙන් සහාය දක්වන ලක්ෂ ගණන් ජනතාවගෙත් පැතුම වන්නේ ඉන්දියාවේ හිඟමන් කා එකතු කර ගත් මුදල් ලබා ගැනීමට තරම් අගාධයකට අප රට පත් කළ දේශපාලකයන් සහ දේශපාලනය තුරන් කළ යුතුය යන්නයි.

2022may05[1]_doller_crisis

ගත වූ වසර හැත්තෑ හතරක කාලය තුළ මේ රට පාලනය කළ සියලුම දේශපාලන පක්ෂ සහ එහි නායක කාරකාදීන් මෙම තත්වයට වගකිව යුතුවා පමණක් නොව රට ගොඩ ගැනීමට විසඳුම් ඔවුන් සතුව නැති බව ද පිළිගත යුතුය. පසුගිය කාලය පුරාම සංවර්ධනයේ නාමයෙන් සිදු කෙළේ රටේ සම්පත් කොල්ල කෑම බව ඔවුන් පිළිගත යුතුය. රටේ මුදල් සංචිත අවසන් වූ පසුව පිට රටවලින් ණයට ගත් මුදල්වලින් වැඩිම කොටස වෙන් කර ගත්තේ පාලක පංතියේ සහ ඔවුන්ගේ ගෝල බාලයන්ගේ  සුඛවිහරණය සඳහාය. මේ නිසා ණය ආපසු ගෙවීමට තව තවත් ණය ගැනීමට සිදු විය. ණය ගෙවා ගැනීමට නොහැකි වූ විට ණය ගෙන තැනු වරාය, ගුවන් තොටුපොළවල් ණයට හිලවු වශයෙන් භාර දීමට සිදු විය. එසේ කිරීමෙන් හෝ ණය පියවා ගත නොහැකිව අවසානයේ රට බංකොළොත් ව  ඇතැයි ප්‍රකාශ කළහ. රටම බංකොළොත් කළ වත්මන් දේශපාලකයන්ට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම විසඳුම ඉන්දියාව, චීනය, අයි එම් එෆ් හෝ ලෝක බැංකුව වැනි ගැනුම්කරුවෙකුට කීයකට හෝ රට පවරා දීමය. දැන් සාකච්ඡා කරන්නේ එහි කොන්දේසි ගැනයි.

ගාලු මුවදොර සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විරෝධතාකරුවන් නිර්දේශපාලනය වන්නේ මෙම ක්‍රමය ප්‍රතික්ෂේප කිරීමෙනි. ඔවුන් ඉල්ලා සිටින්නේ වංචාව දූෂණය හොරකම ප්‍රතික්ෂේප කරන දේශපාලනයකි. එය පාර්ලිමේන්තු මැතිවරණයෙන් තෝරා පත්වන බලය අරමුණු කර ගත් දේශපාලන පක්ෂවලට හෝ නායකයන්ට කළ නොහැකි දේශපාලනයකි. පසුගිය දශක ගණනාවක් තුළ වංචාව, දූෂණය සහ හොරකම නවත්වන බවට ප‍්‍රතිඥා දී ජනවරම ලබා ගත් සියලු දෙනා පක්ෂ පාට නොබලා කෙළේ ඒවා තව තවත් පෝෂණය කොට රට අගාධයට පත් කිරීම ය. ආණ්ඩු බලය ලබා ගත නොහැකි වූ සමහරු මංත‍්‍රී වරප‍්‍රසාදය යටතේ ලබා ගත් බලපත‍්‍ර විකුණා මහත් ධනයක් උපයා ගත් හ. එමනිසා නැවත වරක් තවත් පිරිසක් පාර්ලිමේන්තුව තුළ බලයට පත් කිරීමෙන් ඒ කිසිත් නිවැරදි කළ නොහැකිය.

පසුගිය වසර හැත්තෑහතරක ඉතිහාසය දෙස බැලීමේ දී පැහැදිලි වන සරල කාරණය මෙම වැරැද්දට හේතුව පුද්ගලයන් නොව පවතින ක්‍රමය බවයි. පාර්ලිමේන්තුවට මහජන වරමක් ලබා තේරී පත්වන ඉතාම හොඳ පුද්ගලයෙකු පවා තම දේශපාලන ගමන අවසන් කරන්නේ කිසියම් ආකාරයකින් හෝ දූෂිත පුද්ගලයෙකු ලෙසිනි. වෙනත් කිසිත් නැතිවුවත් වසර පහක් පාර්ලිමේන්තුවේ සිටීම නිසා ජීවිත කාලය පුරාවටම විශ්‍රාම වැටුපක් ලබා ගනිමිනි. රජයේ සේවකයන්ට පමණක් හිමි මෙම වරප්‍රසාදය දේශපාලකයන් ද හිමි කර ගැනීම ඔවුන් කළ අවම මට්ටමේ දූෂණයකි.

2022may05[1]_gota_go_protest

අද උද්ඝෝෂකයන්ගේ ඉල්ලීම වන්නේ හොරකමට වංචාවට සහ දූෂණයට ඉඩ සැලසෙන මෙම ක්‍රමය වෙනස් කළ යුතුය යන්නයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් ක්‍රමය වෙනස් වන්නේ නැත. සිදු වන්නේ කැලය මාරුවීමක් පමණ ය. කොටියාගේ ගොදුරු සොයා යෑම වෙනස් වන්නේ නැත. කෙටියෙන් පාර්ලිමේන්තු ක්‍රමයෙන් ජනතාවාදී පාලනයක් පවත්වා ගත නොහැකි බව පසුගිය අත්දැකීම යි. එය අප රටට පමණක් නොව මෙම ක්‍රමය අපට දායාද කළ බ්‍රිතාන්‍යයෙන් පවා පෙන්නුම් කරන සත්‍යයි. අගමැති ගේ සිට මංත‍්‍රීන් දක්වා ආණ්ඩු බලය තම අභිවෘද්ධියට යොදා ගෙන ඇති ආකාරය ගැන නොයෙකුත් නිදසුන් ඇත.

එහෙත් අවාසනාවකට මෙන් අපේ දේශපාලකයන් මෙම පණිවුඩය තවම ලබා ගෙන ඇත. එමනිසා ඔවුන් ඊළඟ ආණ්ඩුවේ මැති ඇමතිකම් ලබන අය ගැන දැනටමත් කතා කරති. තමා ආණ්ඩුවක් පිහිටු වුව හොත් ආරක්ෂක ඇමති කමත් හොරුන් අල්ලන ඇමති කමත් ලබා දෙන පුද්ගලයෙකු ගැන සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා විරෝධතා පෙළපාලියේ දී කීවේ එම තනතුරට පත් කිරීමට සපථ කළ පුද්ගලයාත් අසළට ගෙන්වා ගෙන ය. ඉන් පෙනී යන්නේ ඔහු ගාලු මුවදොර විරෝධතාවයට සහාය පළ කළත් විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් මොනවාද යන්න ගැන දැනුවත් කමක් නොමැති බවය. විරෝධතාකරුවන් හඬ නගන්නේ හොරුන්ට එරෙහිව පමණක් නොව හොරකම් කිරීමට ඉඩ සලසන ක්‍රමයට එරෙහිවය.

ඇත්තෙන්ම මෙම රට අගාධයට පත්වීමට මූලික හේතුවක් වන්නේ දේශපාලකයන් පරිපාලනය සිය ග්‍රහණයට ගැනීම ය. ජනාධිපති නැතිනම් ඇමතිගේ අනුමැතිය නැතිව අමාත්‍යංශයක, දෙපාර්තමේන්තුවක, සංස්ථාවක කිසිත් කළ නොහැකිය. ගංවතුරෙන් වැළකීමට ගං මුවදොර ඇති වැලි කන්දක් කැපීමට පවා ඇමතිගේ අනුමැතිය අවශ්‍ය ය. ආණ්ඩුවේ සියල්ල සිදු වූයේ දේශපාලකයන්ගේ වුවමනාවට ය. දේශපාලකයා විධායකය, ව්‍යවස්ථාදායකය පමණක් නොව අධිකරණය පවා මෙහෙයවන තත්වයට පත් විය. හොරු ඇල්ලීම ඇමතිගේ කාර්යක් වන්නේ එම නිසා ය. රාජ්‍ය සේවය සැබැවින් ම මහජන සේවයක් සේ පවත්වා ගැනීමට අවශ්‍ය වූ සියලු විධි විධාන නිදහසින් පසු එකින් එක දේශපාලකයා හිමි කර ගත්තේය. රාජ්‍ය සේවකයන් සේවය කෙළේ ජනතාවට නොව දේශපාලකයාට ය. හොරකම වංචාව සහ දූෂණය රජ වූයේ එබැවිනි. ඒ තත්වය වෙනස් කිරීමට ඇමැත්තෙකුට බලය ලබා දීමෙන් කළ නොහැකිය. කළ යුත්තේ රාජ්‍ය පරිපාලනය දේශපාලකයන්ගේ ග්‍රහණයෙන් මුදවා ගෙන රටේ ජනතාවට වගකියන වගවෙන තත්වයකට පත් කිරීම ය.

සජබ නායකයා අදහස් කරන්නේ දේශපාලකයන්ගේ ග්‍රහණයට නතුව ඇති පාලන තන්ත්‍රය ජනතාවට වගකියන වගවෙන ආයතනයක් බවට වෙනස් කිරීමකට නොව තම හිතවතෙකු එම තනතුරට පත් කිරීමය. පසුගිය ඉතිහාසය පුරාවටම සිදු වූයේ එයයි. යහ පාලන ආණ්ඩුවෙන් ජනතාව බලාපොරොත්තු වූයේ ජනතාවට වගකියන, ජනතාවට බැඳීමක් ඇති පාලනයකි. ඇත්තෙන්ම සිදු වූයේ කුමක් ද යන්න ජනතා සිත් සතන්වල තවමත් සටහන්ව ඇත. එමනිසා හොරු ඇල්ලීමට විශ්‍රාමික හමුදාපතිවරයෙකු පත් කිරීමට සූදානම්වීම නැවතත් රාජ්‍ය පාලනය දේශපාලකයන් සතු කර ගැනීමේ අවලං උත්සාහයකි. නැතිනම් හොරාට පෙර කෙසෙල් කැන කඩුල්ලෙන් පැනීමකි.

එමනිසා ගාලු මුවදොරත් දිවයිනේ සෙසු ප්‍රදේශවලත් අව් වැසි නොතකා දිවා ? නොබලා උද්ඝෝෂණය කරන ජනතාවට මෙම දේශපාලකයන්ගෙන් පිළිසරණක් බලාපොරොත්තු විය නොහැකිය. ඔවුන් පුරුදු පුහුණුව ඇත්තේ බලය උරුම කර ගැනීමේ සහ රාජ්‍යය සහ එහි සම්පත් තම බූදලය බවට පත් කර ගැනීමේ ‘‘ප්‍රජාතන්ත්‍රවාදය’’ට යි. අද එහි බංකොළොත් භාවය ඇස් පනා පිටම පෙන්වා ඇත. අවදි වූ ජනතාවගේ එකම ප්‍රබල ඉල්ලීම එය වෙනස් කළ යුතුය යන්නයි. හඬා වැළෙපෙන දරුවාට කිරි කඳුලක් සොයා ගත නොහැකිව ඇත්තේත් රෝගියාට බෙහෙත් වෙනුවට තුණ්ඩු ලබා දෙන තත්වයට පත්ව ඇත්තේත් බලවතාගේ සුව පහසුවට ගොඩ නගා ඇති මෙම ක‍්‍රමය නිසාය. එය වෙනස්වන්නේ නැතිව මතු පරපුරටත් අපටත් අනාගතයක් නැත.

අද අප ඉදිරියේ ඇත්තේ සුවහසක් ජනතා බලාපොරොත්තු ඉටු කිරීමට සමත්වන පාලන තන්ත්‍රයක් බිහි කිරීමේ අභියෝගයයි. ඒ පිළිබඳව අපට ආදර්ශයට ගත හැකි කිසිත් නැති නිසා අතිශය දුෂ්කර වූත් වෙහෙසකර වූත් කාර්යකි. සමහර විට අපේ පළමු උත්සාහයේ දී එය සම්පුර්ණ කර ගත නොහැකි විය හැකිය. එහෙත් එම ඉල්ලීම කිසිදා යටපත් කළ නොහැකිය. දැල් වූ ගිනි සිලූව නිවී ගියත් ඒ තාවකාලිකව ය. සුවහසක් ජනතාව තුළ ගිනි පුපුරක්ව ඇති එය සදා දැල්වෙනු ඇත.

කුමන තත්වයක් යටතේ වුවද මෙම සම්ප්‍රදායික දේශපාලකයන්ට නැවතත් පරණ පුරුදු ආකාරයට දාම් ක්‍රීඩාවේ යෙදිය නොහැකිය. ජනතාව තව දුරටත් ඉත්තන් නොවන බව ඔවුන් අවබෝධ කර ගත යුතුය.   

Leave a Reply