You are currently viewing කැඩපත දිස්වන ඔහුගේම පිළිරුව..

කැඩපත දිස්වන ඔහුගේම පිළිරුව..

ප මුලින්ම දුටුවේ ඡායාරූපයයි. රනිල් වික්‍රමසිංහ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයෙන් පිටත් වන්නේ, දෙතොල් මත නැගෙන මද සිනහවත් සමග, බොරිස් ජොන්සන්ගේ ‘Unleashed’ නම් වූ කෘතිය හරීන් ප්‍රනාන්දුගේ ජංගම දුරකතනයට හසු කර ගැනීමට ප්‍රමාණවත් තරම් ඉහළට ඔසවාගෙනය. එක්සත් රාජධානියේ හිටපු අගමැතිවරයා විසින් රචිත එම පොතේ  දිලිසෙන කවරයෙන් කියවෙන පණිවිඩය පැහැදිලිය. එය හුදෙක් අහම්බයක් නොව. රංගනයකි.

රනිල්ට අවශ්‍ය වූයේ, තමන් සිරගතව සිටියදී පවා සියල්ල විඳදරාගන්නා සහ වෙනත් රාජ්‍ය නායකයෙකුගේ දැනුම හදාරන දේශපාලන බුද්ධිමතෙකු, තලතුනා රාජ්‍ය නායකයෙකු ලෙස පෙනී සිටීමටයි. එහෙත්, ඔහුගේ තෝරාගැනීම ඔහු හිතාමතාම පෙන්වීමට උත්සාහ කළ දේට වඩා වැඩි යමක් හෙළි කළේය. මක්නිසාද යත්, බොරිස්ගේ කපටි මතක සටහන් තුළින්, රනිල්ට ආශ්වාදයක් පමණක් නොව, තමාගේම පිළිඹිඹුවක් ද හමු වීමට ඉඩ තිබූ බැවිනි.

මොවුන් දෙදෙනාම පරම්පරාගත උරුමය සහිත දරුවෝ වෙති. බොරිස් හැදී වැඩුණේ එංගලන්තයේ පාලක පන්තිය සඳහා සුවිශේෂී වූ පාසලක් වන ඊටන් විද්‍යාලයේ වන අතර, එහිදී උරුමය පිළිබඳ හැඟීම ලතින් පාඨ තරම්ම ස්වභාවිකව පැමිණියේය. රනිල් ඔප මට්ටම් කෙරුණේ එම ප්‍රභූ සම්ප්‍රදායේ දේශීය අනුකරණයක් වූ කොළඹ රාජකීය විද්‍යාලයේදීය. ආයතන දෙක මහ මුහුදෙන් වෙන් වී ඇතත්, ආත්මීය වශයෙන් එක් වී ඇත. ඔවුන් තම සිසුන්ට ගණිතය සහ ඔවුන්ගේම ඉතිහාසය පමණක් නොව, පාලකයන්ගේ හැසිරීම ද උගන්වති: කැමැති සේ හැසිරීමේ අයිතිය, බලය යනු උපන් අයිතියක් යන විශ්වාසය, සහ පරාජය කිසි විටෙකත් අවසානයක් නොවන, නැවත කැඳවීමක් ලබන තෙක් වූ තාවකාලික පිටුවහලක් පමණක් යන දැඩි හැඟීම පැලපදියම් විය.

ඒ අනුව බොරිස් එය මාධ්‍යවේදියෙකු, දේශපාලඥයෙකු ලෙස වෘත්තියක් බවට පත් කර ගත්තේය; ඒ ලතින් බසින් වූ ඔහුගේ විහිළුවලින් කුමන්ත්‍රණකාරී ගණන් බැලීම් වසාගත් විකට ඊටන් සිසුවා ලෙසිනි. රනිල් එම ආභාෂය දශක ගණනාවක් තිස්සේ පාර්ලිමේන්තු පැවැත්මේ දිගු රංගනයක් බවට පත් කර ගත්තේය; මැතිවරණ පැරදී, නැවත පැමිණ, නැවත පැරදී, කෙසේ හෝ නිතරම අත්‍යවශ්‍ය පුද්ගලයෙකු ලෙස රැඳී සිටියේය. මහජනයාට ඔහුව ඡන්දයෙන් පරාජය කළ හැකි නමුත්, ආදි සිසුන්ගේ ජාලය කිසි විටෙකත් ඔවුන් තෝරාගත් පුතුන් අතුරුදහන් වීමට ඉඩ නොදේ.

2019 දී, බොරිස්, මහජන මංත්‍රී මණ්ඩලයේ දී අසරණ වූ විට, එය කල් දැමීමට උත්සාහ කළේය. ඔහු විවාදය නතර කිරීමටත්, අධීක්ෂණය යටපත් කිරීමටත් උත්සාහ කළේය.  ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීති විරෝධී ලෙස තීන්දු කළ විට, ඔහුගේ කපටි බුද්ධිය ඉස්මතු විය: අනතුරකදී, විපක්ෂය නිහඬ කරන්න.

රනිල්ගේ ක්‍රියාවලිය ඇරඹුණේ 2022 දීය. අරගලය පුපුරා ගොස් තිබුණි; ගාලු මුවදොර කූඩාරම්, පෝලිම්වල බඩගින්න, දරිද්‍රතාවයට ඇද වැටුණු මධ්‍යම පාන්තිකයන්ගේ කෝපය. ඉන්ධන පෝලිම්වල විශ්‍රාමිකයන් සිහිසුන්ව වැටීම, විශ්වවිද්‍යාල සිසුන්, භික්ෂූන් වහන්සේලා, කන්‍යා සොහොයුරියෝ වෙනසක් ඉල්ලා කොළඹට පාගමනින් පැමිණියහ. දක්ෂතම නූල් සූත්තරකරුවා වූ රනිල්, එකම ගැලවුම්කරුවා වශයෙන්, ශ්‍රී ලංකාවේ ජනාධිපති බවට පත් කර ගැනීමට අරගලයේ පිටුපසින් සිටිමින් උපක්‍රමශීලීව ක්‍රියා කළේය.

බලය අතට ගත් පසු, රනිල් පාර්ලිමේන්තුව කල් නොදැමීය; ඔහු අරගලය කල් දැමුවේය (prorogued the street). කූඩාරම් කඩා දැමුවේය, සටන් පාඨ මකා දමන ලදී, පොලිස් බැටන් පොලුවලින් පහර දී යකඩ සපත්තුවලින් පාගා ජනතාව විසුරුවා හරින ලදී. ඒ දෙකම සාධාරණීකරණය කරනු ලැබුවේ නීතිය ක්‍රියාත්මක කිරීම, ආයතන ආරක්ෂා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ගලවා ගැනීම ලෙසය. සත්‍ය වශයෙන්ම, ඒ  දෙකම තමා ආරක්ෂා වීම හැර අන් කිසිවක් සඳහා නොවේ.

ගිනි තැබීමෙන් පසු යාපනය මහජන පුස්තකාලය

2022 දී, විරෝධතා අතරතුර ඔහුගේ පෞද්ගලික පුස්තකාලය ගිනි තැබූ විට, රනිල් තමන් ම්ලේච්ඡත්වයේ ගොදුරක්ව ඇතැයි කීවේ පශ්චාත්තාපයට පත් දර්ශනවාදී රජෙකු ලෙසිනි. ඔහු ගේ පොත්පත් නැති වීම සහ සංස්කෘතියට එරෙහි ප්‍රචණ්ඩත්වය ගැන කතා කොට එහෙත්, 1981 වසරේ දී ඔහු ද අයත් දේශපාලන පන්තිය, යාපනය මහජන පුස්තකාලය ගිනිබත් කෙළේය. පොත් අනූහත් දහසක් දවා අළු කරන ලදී, මතකය මකා දමන ලදී. එවිට කිසිදු කතාවක් නැත. ශෝක වීමක් නැත. බලයෙන් උදම් වී අගනා පැරණි පොත් පුළුස්සා දැමීම පමණි.

කුහක රටාව රනිල්ගේ වෘත්තිය පුරාම දිව යයි. ඔහු අගමැතිව සිටියදී සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව: ඔහු විසින්ම පත් කළ මහ බැංකු අධිපති, රාජකීය විද්‍යාලයේ තවත් ආදි සිසුවෙක් නිසා ඔහු ද අපකීර්තියට අත් විය, නමුත් රනිල්ට අත තැබිය නොහැකි ය. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර: බුද්ධි අංශ අනතුරු ඇඟවීම් නොසලකා හැරීම, 300 කට ආසන්න පිරිසක් මිය යාම, ආර්ථිකය කඩා වැටීම, කිසිදු ඉල්ලා අස්වීමක් නැත.

බොරිස්ගේ කුහකකම වඩාත් කලහකාරීය. වඩාත් නාට්‍යෝචිතය. රටම වසා කිබුණ කොවිඩ් සමයේ ඩවුනින් වීදියේ අගමැති මන්දිරයේ දොරගුලු දමා පැවැත් වූ සාදයේ  දී වයින් සහ සිනහව උතුරා යන විට, කොවිඩ් වසංගතයෙන් රටම  ශෝක වන විට. යෝක්ෂයර් හි හව්හරණක් නැතිව රෝගීන් මිය යනු බලා සිටි හෙදියක්, අගමැතිවරයා වයින් වීදුරුවක් ඔසවා සව්දිය පුරනු ඡායාරූපයකින් දුටුවාය. රනිල්ගේ කුහකකම් වඩාත් නිහඬ, වඩාත් පද්ධතිමය, දශක ගණනාවක දඬුවම් නොලැබීම මත පදනම්ව ඇත. නමුත් ප්‍රතිඵලය එකම ය: තමන් විසින් මෙහෙයවනු ලබන අර්බුදවල ප්‍රතිවිපාකවලින් ගැලවෙන නායකත්වයයි.

නායකයින් දෙදෙනාටම ප්‍රතිපත්තිවලින් මඟ පෙන්වනු ලැබුවේ නැත. බ්‍රෙක්සිට්, බලයේ උච්චතම අවස්ථාවට ළඟාවීමට මඟ පෙන්වන ඉණිමඟක් බවට පත්වන තෙක් බොරිස් එය විශ්වාස කළේ නැත. ඉන්පසු ඔහු එහි වීරයා වූයේය. දඩයම් බල්ලා බවට පත් වූ විකටයා, අග්‍රාමාත්‍ය බවට පත් වූයේ අවස්ථාවාදියෙකු ලෙසිනි.

රනිල් අවස්ථාව අනුව, ලිබරල්වාදී, ජාතිකවාදී, තාක්ෂණවේදීයෙකු වී ඇත. ඔහුගේ වෙනස් නොවන එකම දේ බලයේ රැඳී සිටීමේ ආශාවයි.

එම උන්නතිවාදය සඳහා විශාල මිලක් ගෙවීමට සිදු විය. බොරිස් එක්සත් රාජධානියේ කොන්සර්වේටිව් පක්ෂය හෑල්ලු කළේ, තමන්ට පමණක් පක්ෂපාතී වූ නොපැසුණු අයගෙන් පුරවමිනි. රනිල් එක්සත් ජාතික පක්ෂය හෑල්ලු කළේ, හැකියාවක් නැති අයගෙන් පුරවා, එහි පදනම පටු කර, එය තනි ආසනයකට සීමා කිරීමෙනි. මිනිසුන් දෙදෙනාම තම ආරක්ෂා සඳහා පක්ෂය විනාශ කළහ.

බොරිස් තමන් නැවත උපන් චර්චිල්යැයි සිතුවේය; වයින් වීදුරුවක් අතැති බ්‍රිතාන්‍ය දඩයම් බල්ලා, පෙනි සිටියේ බ්‍රෙක්සිට් බ්‍රිතාන්‍යයේ ගැලවුම්කරුවා ලෙසිනි. රනිල් තමන් ශ්‍රී ලංකාවේ කීසිංජර්යැයි සිතුවේය, රාජපක්ෂ පරපුරේ  එකම යථාර්ථවාදීයා, බහුශ්‍රතයා ලෙසිනි.

නමුත් ජනතාව වෙනස් රූපකායක් දුටහ. බ්‍රිතාන්‍යයේ, තහනම් නීති නිසා තම පියාගේ අවමංගල්‍යයට යෑමට නොහැකි වූ පුතෙක් තහනම කඩ කළ අගමැතිගේ සාදවල ඡායාරූප දුටුවේය. ශ්‍රී ලංකාවේ, සති ගණනාවක් ගාලු මුවදොර කඳවුරු බැඳ සිටි ශිෂ්‍යයෙකු, එම ස්ථානයෙන් ඉවත් කරන විට ආරක්ෂක අංශවල  ප්‍රහාරයට ගොදුරු වූයේය. “අපට අවශ්‍ය පද්ධතිමය වෙනසක්” යැයි ලේ ගලමින් සිටි ඔහු  මාධ්‍යවේදියෙකුට කීවේය.

උඩඟු බව වන්නේ මෙම රූප දර්ශන නොනැසී පවතිනු ඇතැයි ද, කැඩපත සෑම විටම මතකයට වඩා කරුණාවන්ත වනු ඇතැයි ද යන විශ්වාසයයි.

රනිල්ගේ නිමක් නැති සටකපටකම් තුළ වරමක් නොමැතිව බලය භාර ගැනීමට ඇති කැමැත්ත, තමන් ට හානියක් නොවන තාක් කඩා වැටෙන රාජ්‍යයක් මෙහෙයවීම, රටේම දක්නට ලැබෙන රටාවයි. නිතරම ප්‍රතිසංස්කරණයේ මුවවිට සිටිමින්, නිතරම දුෂ්කර තේරීම් කල් දමමින්, නිතරම කයිවාරු රංගනයෙන් දුර්වලකම වසා ගනිමිනි.

ශ්‍රී ලංකාව මෙන්, රනිල් ද සෑම දෙයකින්ම දිවි ගලවා ගෙන ඇත: කැරලි, බංකොලොත් භාවය, ගිනිබත් කළ පුස්තකාල, කඩා වැටුණු ආණ්ඩුමෙන්, රනිල් ද අමුතු උඩඟු කමකින් හිස ඔසවා ගෙන සිටියේය.  දිවි ගලවා ගැනීම ම ජයග්‍රහණයක් විය. අලුත් වීමකින් තොරව විඳ දරාගැනීම ඉරණම කර ගත්තේය.

බොරිස් සිතුවේ තමන් “බ්‍රෙක්සිට් අත්පත් කර ගත්” මිනිසා ලෙස මතකයේ රැඳෙනු ඇතැයි කියාය. රනිල් සිතුවේ තමන් ආර්ථිකය බිඳවැටීමෙන් සහ දේශපාලන අරාජිකත්වයෙන් ශ්‍රී ලංකාව “බේරා ගත්” මිනිසා ලෙස මතකයේ රැඳෙනු ඇතැයි කියාය.

නමුත් ඔවුන්ගේ උරුමයන් ඊට වඩා අල්පතරය. බොරිස්ව මතකයේ රැඳෙන්නේ බ්‍රිතාන්‍යය ශෝක වන විට ඩවුනින් වීදියේ වූ නීති විරෝධී සාද පැවැත් වූ නිසාය. රනිල්ව මතකයේ රැඳෙන්නේ රජපක්ෂ පරපුර ආරක්ෂා කිරීම නිසාය.

උඩඟුකම යනු බලය ඉරණම් වී ඇති බව විශ්වාස කිරීමයි. ඒ වෙනුවට ඉතිරිව ඇත්තේ ද්‍රෝහීකමේ ප්‍රතිරූපයන් ය.

ඡායාරූපය නැවත බලමු. ඇප මත නිදහස් වූ රනිල් වික්‍රමසිංහ, බොරිස් ජොන්සන්ගේ Unleashed කෘතිය සහතිකයක් ලෙස පෙන්වයි.

එහෙත් එය සහතිකයක් නොවේ. එය පාපොච්චාරණයකි. මන්ද යත්, එම පොත තුළ ද ඇත්තේ එකම කතාවයි: ආදි සිසුන්ගේ ජාලය, පරපුරේ අහංකාරය, සහ ස්වයං-ආරක්ෂාව සඳහා ප්‍රතිපත්ති හා ජනතාව පහසුවෙන් ඉවත දැමීම.

බොරිස් වරක් චර්චිල්ගේ ප්‍රතිමාවක් සමඟ පෙනී සිටියේය. රනිල් දැන් බොරිස්ගේ මතක සටහන් සමඟ පෙනී සිටියි. නායකයින් දෙදෙනාම ගාම්බීරත්වයක් ණයට ගනිති, නායකයින් දෙදෙනාම තමන් නිරුවක් තෙරෙන දේ ඉදිරිපිට සිට ගනිති.

කැඩපත අනුකම්පා විරහිතය. රනිල් Unleashed කෘතිය ආවරණයක් ලෙස භාවිත කළේය. ඒ වෙනුවට, එය ඔහු නිරුවත් කළේය; කැපවීමක් නැති වෘත්තීයවේදියා, මහාර්ඝත්වයේ මායාවන් මුවා වූ අහංකාරය, සහ ඔහුගේ මාමා වන ජේ. ආර්. ජයවර්ධනගේ 1977 කැබිනට් මණ්ඩලයෙන් ජීවතුන් අතර සිටින  අවසාන මිනිසා ලෙසිනි. රණසිංහ ප්‍රේමදාස, ලලිත් ඇතුලත්මුදලි සහ ගාමිණී දිසානායක යන අයට වඩා වැඩි කාලයක් ඔහු ජීවත් ව සිටී.

දූපත් දෙකක්. ප්‍රභූ පැලැන්ති දෙකක්. පාසල් දෙකක්. ඊටන් සහ රාජකීය. ඩවුනින් වීදිය සහ අරලියගහ මන්දිරය.

එකම කතාව, දෙවරක් කියවේ. ඛේදවාචකය ඔවුන්ගේ නොවේ. එය ඔවුන්ගේ රටට, සෙමින් සිදුවන පරිහානියට, ඔවුන්ගේ උඩඟුකමේ අවමානයට අයිති දෙයකි.

Leave a Reply