ලාංකේය දේශපාලනයේ කලු පැල්ලමක් සනිටුහන් කරන ලද කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම ජූලි 23වෙනි දින පස්වරුවේදී බොරැල්ල කනත්ත වට රවුමේදී පවත්වන ලදි.බහු ජන,වෘත්තීය හා සිවිල් සංවිධාන කීපයක සහභාගිත්වයෙන් පැවති මෙම සිහි කැඳවීම සංවිධානය කරන ලද්දේ ‘උතුර දකුණ සහෝදරත්වය’ විසිනි.
“දෙමළ ජන සංහාරය අමතක නොකරනු ! මරා දැමූ පුද්ගලයින්ට යුක්තිය ඉටු කරනු!” යන බැනරය යටතේ මීට වසර 42කට පෙර සිදු කරන ලද ඛේද ජනක සිදුවීම සිහිපත් කිරීමට ජනතාව රැස් වූහ.
‘කලු ජූලියේ ඛේදයට වසර 42 යි. යුක්තිය තවම ඉටු වී නෑ.

“No more black July.” යන පුවරු ප්‍රදර්ශනය කරමින් මෙම අවස්ථාවට රැස් වූ විරෝධතාකරුවෝ මරා දැමූ අහිංසක ජනතාවට යුක්තිය, සාධාරණත්වය ඉල්ලා සිටියහ.මෙම මහා අපරාධය සිදු වූ අවස්ථාවේදී එය මැඩ පැවැත්වීමට එවක පැවති පාලනය මැදිහත් නොවීමත්,ජාතිවාදී උමතුව මර්ධනය කිරීමට නීතිමය පියවර නොගැනීම ගැනත් මෙහි රැස්ව සිටි පිරිස දැඩි අප්‍රසාදය පල කළහ.මරා දමන ලද සහෝදර දෙමළ ජනතාව සිහිපත් කිරීමට පහන් දැල්වීම මෙහිදී සිදු කරන ලදි.
මෙම අවස්ථාවේදී මාධ්‍යයට අදහස් ප්‍රකාශ කළ උතුර දකුණ සහෝදරත්වයේ නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සහෝදරයා කියා සිටියේ වසර 42 ක් ගත වී තිබුණද මෙතෙක් මෙම ව්‍යසනයට ගොදුරු වූ අහිංසක ජනතාව වෙනුවෙන් කිසිදු සාධාරණයක්, පැවති රජයන් විසින් ඉටුකර නොමැති බවයි. ජාතිවාදය, බෙදුම්වාදය මර්ධනය කිරීමට පියවර නොගෙන ජාතීන් අතර බරපතල වෛරයක් හා අසමගියක් ඇතිවන තෙක් එවක පැවති පාලනය නිහඬව සිටීම බරපතල දෙයක් බව සඳහන් කළේය.එසේ කිරීම තුල ස්වකීය පැවැත්ම ආරක්ෂා කිරීමේ අපේක්ෂාවක් පැවතියේයැ යි ඔහු කියා සිටියේය.

මෙහිදී මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ මෙලනි ගුණතිලක සහෝදරිය මාධ්‍යට කියා සිටියේ 83 කලු ජූලිය යනු නැවත කිසිදු අවස්ථාවක මෙරටේ සිදු නොවිය යුතු දෙයක් බවයි.මෙම සිදු වීම රටක් වශයෙන් සමස්ත ජනතාවම මුහුණ දුන් අපකීර්තිමත්ම ක්‍රියාකාරිත්වයක් බව ඇය ප්‍රකාශ කළාය.
බිඳී ගිය ශ්‍රී ලාංකීය ජාතියේ තියුණුම කඩ ඉම සළකුණු කරන ලද මෙම සිදුවීම මෙරට ජන සමාජයෙන් ක්‍රමයෙන් ඉවත් වෙමින් තිබේ.එසේ වුවද එමගින් මෙරට ජන සමාජයට සිදු කරන ලද අගතිය වර්ථමානයේදී ද මෙරට සංවේදී ජන හදවත් කම්පාවට පත් කරනු ලබයි.





- ශ්‍රී ලාංකේය ව්‍යවස්ථාදායකයේ කෘතහස්ත දේශපාලනඥයා: NM ගේ අභාවයෙන් වසර 46 ක්.. - August 14, 2025
- කලු ජූලියේ 42 වෙනි සිහිපත් කිරීම.. - July 27, 2025
- කළු ජූලියෙන් නූගත් පාඩම්.. - July 23, 2025