You are currently viewing කමල් ගුණරත්නගේ මාධ්‍ය භාවිතය..

කමල් ගුණරත්නගේ මාධ්‍ය භාවිතය..

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පසුගිය දවසක මාධ්‍යවේදීන්ට අපූරු යෝජනාවක් කරළ තිබුණා. ” මාව හමුවෙන්න ගෙදරට එන්න. කන්න බොන්න ඔක්කොම දෙන්නම්.  ප්‍රෙස් එකක් තියන්නම්.  කන්න බොන්න බුරියානිම දෙන්නම්. එන්න”  කියල. හෙතෙම මේ යෝජනාව කර තිබුනේ මෙයට වසර කිහිපයකට පෙර රූපවාහිනී සංස්ථාව තුළට බලහත්කාර ඇතුළුවීමක් සම්බන්ධ චෝදනාවට අධිකරණයට ගොස් එමින් සිටියදියි.

2022Aug26[1]_defense_secretary
ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, මර්වින් සිල්වා පන්නයේ ප්‍රකාශයක් කර තිබුනේ පසුගිය 19 වෙනිදා. ඔහු කියනවා,

 “හරි මාධ්‍ය වාර්තාකරණයක් ලබාගැනීමට නම් හමුදා නිලධාරීන් වන ඔබ ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි මේ මාධ්‍යවේදීන් ගේ විශ්වාසය දිනා ගැනීම.  එහෙම විශ්වාසය දිනා ගත්තානම් වැරදි වාර්තාකරණයක් සමාජය ඉස්සරහට යන්නේ නෑ.  එහෙම වුනොත් අපට කියන්න පුළුවන් මල්ලී ඕක දාන්න එපා. එහෙම වුනොත් රටට හරි නෑ, අපට හරි නෑ.  කරුණාකර ඕක නොදා ඉන්න කියල කියන්න.  අපි එහෙම අනන්තවත් කරල තියනවා.  ඒ නිසා අන්‍යෝන්‍ය සම්බන්ධතාවය, විශ්වාසය ගොඩනගා ගන්න.  එහෙම කරගෙන අර යුද්දේ අවසාන කාලේදී වගේ අපට එකතුවෙලා හරි මාධ්‍ය වාර්තාකරණයක්, සුජාත මාධ්‍ය වාර්තාකාරණයක් මාධ්‍යවේදීන් ලව්වා මහජනතාවට හරි පින්තූරය දෙන්න පුළුවන් වේවි,”   කියල.

යුද්දේ ඉවර වෙලා අවුරුදු 13කට පස්සේ ආරක්ෂක ලේකම් මෙලෙස සත්‍ය ප්‍රකාශ කිරීමෙන් බොහෝ දේ එළියට එනවා. ආරක්ෂක ලේකම්ට අනුව හමුදා, පොලිසි විසින් මාධ්‍යවේදීන් ලව්වා මහජනතාවට දෙන දේ තමයි  “සුජාත මාධ්‍ය වාර්තාකරණය” කියන්නේ. එතකොට එම නියෝගයන් නොසලකා වාර්තාකරණයේ යෙදීම අවජාතක වෙන්න ඕන. ඒ අවජාතකයන්ට ලැබුනු දඩුවම් තමයි අතුරුදහන් කරවීම, පහරදී අත පය කඩා දැමීම, රටින් පළවා හැරීම, අවසාන වශයෙන් මරා දැමීම. ඒ අතරේ ක්ලේමෝ බෝම්බ, ග්‍රෙනේඩ් පුපුරුවලා විනාශ කිරීම, ගිනි තැබීම ඒ අවජාතක මාධ්‍ය ආයතවලට ලැබුනු දඩුවම් කියල අපට හිතාගන්න වෙනව.  මේවා කරපු අපරාධකාරයෝ තාම හොයා ගන්නත් බැරි ඒ නිසා වෙන්න ඕන.

2022Aug26[1]_media_freedom

එහෙනම් දරුස්මාන් වාර්තාව, එක්සත් ජාතින් ගේ ලංකාව පිලිබඳ වාර්තාව, චැනල් ෆෝ වාර්තාව , JDS වාර්තා වැනි ජාත්‍යන්තර ආයතන වලින් යුද අපරාධ චෝදනා විදියට එළියට ආවේ මේ වසන් කළ අපරාධ වෙන්න ඕන.  ඒ දවස්වල මේවා ආරක්ෂක අංශ අපකීර්තියට පත් කරන්න කරන බටහිර කුමන්ත්‍රණ, NGO ඩොලර් කාක්කන් ගේ හිතලු කියල  තමයි කිව්වේ.  නමුත් දැන් හෝ ඒවා සත්‍ය සිදුවීම් ලෙස නිර්භිතව පිළිගැනීම ගැන වර්තමාන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්නට සැලියුට් එකක් දෙන්න වෙනව.

ජනරාල් කමල් ගුණරත්න කරන මේ හෙළිදරව්වේ ඇත්ත, නැත්ත යුද වාර්තාකරණයේ සිටිය මාධ්‍යවේදීන්, මාධ්‍යවේදිනියන්ගෙන් ගෙන් තමයි අපට තහවුරු කර ගන්න වෙන්නේ.  අපි කැමතියි දැන ගන්න කමල් ගුණරත්න මේ කියන්නේ සත්‍යයද?  පෑන ඔබේ වුනාට වාර්තාව ආරක්ෂක අංශවලද?  එතකොට ඔබ කළේ සත්‍ය සඟවා පක්ෂපාතී මාධ්‍ය වාර්තාකරණයක්ද?  ඒ වෙනුවෙන් ලැබුණු විශේෂ ප්‍රතිලාභ මොනවාද?  ආරක්ෂක ලේකම්වරයාගේ  සුජාත මාධ්‍යවාර්තකරණයට ඔබලාත් එකඟද?  මොකද යුද්දේ පවතින දවස්වල ජනමාධ්‍යවේදීන් අතර කසුකුසුවක් තිබුනා පිරිසක් වාර්තාකරණයේ යෙදෙමින් සුවපහසු ජිවිත ගතකරන්නත්, ඒ වෘත්තියම කරන තව පිරිසක් ගුටි කන්නත්, මැරුම් කන්නත්,  රටින් පළා යන්නත් සිදුවෙන්නේ ඇයි කියල. ඔන්න දැන් ජනමාධ්‍යවේදීන්ටත්, මාධ්‍ය සංවිධානවලටත් අවස්ථාවක් තිබෙනවා ආරක්ෂක ලේකම් වගේ නිර්භීතව සත්‍ය ප්‍රකාශ කරන්න.

ආරක්ෂක ලේකම්වරයා මේ කතාවේ එක් තැනකදී කියනවා අරගල කරුවන් උසාවි ගෙනාවාම එකසිය පනහක් දෙසිය පනහක් විතර නීතිඥවරුන් ඔවුන් වෙනුවෙන් නොමිලේ  පෙනී හිටිය කියල.  ඒ මදිවට පොලිසිය අරගලකරුවන් උසාවියට අරගෙන එනකොට උසාවිය ඇතුළේ අත් පොළසන් දුන්න කියල. මේ ක්‍රියාවෙන් පොලිස් නිලධාරීන් ගේ චිත්ත ධෛර්ය සහ මානසික මට්ටම ළිඳ පතුළටම කඩා වැටුනලු. නමුත් පොලිසිය බාර ඇමතිතුමා ඇතුළු ඉහළ නිලධාරීන් දැඩි මැදිහත්වීමක් කරනවලු පොලිසිය ගොඩ ගන්න.  දැන් දැන් පොඩි සාර්ථක භාවයක් පෙනෙන්න තිබෙනව කියලත් ලේකම්වරයා කියනව.

ආරක්ෂක ලේකම්වරයාගේ මේ කතාවත් ඇත්ත.  රනිල් ජනාධිපති වෙලා කරපු මැදියම් රෑ පළමු ගෝල්ෆේස් ප්‍රහාරයත් රජය පැත්තෙන් සාර්ථකයි. ඒක සාර්ථක කරගන්න අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයට ජනාධිපති රනිල් ගියේ ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න හා නිතිපතිත් එක්ක.  ඊට පස්සේ  පසුගිය 19 දා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දියත් කළ සාමකාමී පෙළපාලියට රනිල් – රාජපක්ෂ ආණ්ඩුව මහ දවල් එළව එළවා එල්ළ කළ ෆැසිස්ට් පන්නයේ දෙවැනි මෘග පොලිස් ප්‍රහාරයත් සාර්ථකයි.

ථෙරවාදී බුදු දහම ගැන නිතර දෙවේලේ සිහිපත් කරන රනිල් පොලිසිය ලවා බුද්ධ පුත්‍රයන්ටත් බැටන් ප්‍රහාර, කදුළු ගෑස්, ජල ප්‍රහාරක පූජා කළේ සිවුරු, පාවහන් මහ මඟ දාල දුවන්න.  මේනිසා දැන් නැවතත් ආරක්ෂක අංශ ප්‍රභූ බලතන්ත්‍රය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නියමිත සේවාව සපයන තත්වයට එමින් සිටින බව තමයි කමල් ගුණරත්න සාඩම්බරයෙන් කියන්නේ.  “ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය කියල ආරක්ෂක අංශ සේවකයන්ගේ වගකීම” පිලිබඳ නැවත මතක්කරදීමේ දේශනයක් ආරක්ෂක ලේකම්ට කරන්න බල කෙරිලා තියෙන්නේ රටේ මතුවී තිබෙන දේශපාලන අර්බූදය විසින් බවට සැකයක් නැහැ.  

මේ වගේ රාජකාරියේ වගකීම් නැවත නැවත මතක්කරදීල ආරක්ෂක අංශවල මොරාල් එක උස්සන්න විශේෂ හේතු කීපයක් තියෙනවා. මොකද පසුගිය අරගල දියත් වූ කාලයේ ආරක්ෂක අංශයන්ට ඝෘජු නියෝග දෙන්න, වගකීම් භාර ගන්න රනිල් ජනාධිපති වෙනතුරු හරිහමන් නායකත්වයක් තිබුනේ නැහැ.     

එයට අමතරව රනිල් උත්සාහ කළ සර්ව පාක්ෂික ආණඩු යෝජනාවට බාලගිරි දෝෂය හැදිලා. මොකද සර්ව පාක්ෂික ආණ්ඩුවක් අටවා ගන්න පුළුවන් වුනානම් ලෝක බලවතුන්ට, IMF එකට පෙන්වන්න පුළුවන්කම තිබුනා ආණ්ඩුවට අනෙකුත් පක්ෂවල සහය තිබෙනව කියල. දැන් ඒකත් අසාර්ථක නිසා රටතුළ මහ පරිමාන අරගල පැන නැගුනොත් ජාත්‍යන්තර ආධාර උපකාර නොලැබී යන්න පුළුවන්.  ණය ආපසු ගෙවීමේ ශක්‍යතාවය පෙන්වීම වෙනුවෙන් රාජ්‍ය ආයතන 40ක් පමණ විකුණන්න සැලසුම් කරළ තියෙන්නේ.  මේනිසා විධායක බලය හා මර්දන අණ පනත් තුළින් තමයි මහජන නැගිටීම් යටපත් කරන්න වෙන්නේ. මහජන සාමය පවත්වා ගෙන යාමට බව පවසමින් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ටම සන්නද්ධ හමුදා කැඳවීමේ අති විශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපති රනිල් දැනටමත් නිකුත් කරල තියෙන්නේ. ඒක අගෝස්තු 22 සිට ක්‍රියාත්මකයි.

මේ අතර ආරක්ෂක ලේකම්වරයා සිය දේශනය තුළදී කියනව ගෙවල් ගිනි තියපුව, මරපුව, ගහපුව මේ ඔක්කොම ඇතැම් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඒ අයුරින්ම පෙන්නුව කියල. ඒ අය තමන්ගේ පපුවට තට්ටු කරළ අහන්න කියනව මේ ඉටු කළේ මාධ්‍ය යුතුකමද කියල. මොකද හෙට අනිද්දා වල පල්ලට යන්න ඉන්න එක්කෙනා ගේ ඉදල අනාගතයේ මේ රටභාර ගන්න ඉන්න දරුවන් පවා මේ ප්‍රචණ්ඩ සිදුවීම් නරඹන නිසා . 

ප්‍රචණ්ඩක්‍රියා මාධ්‍ය මගින් පෙන්වීම නොකළ යුත්තක් ලෙස අවධාරනය කරන ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ගේ  “රණමඟ ඔස්සේ නන්දිකඩාල් “ නම් පොතේ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් ලද ආශ්වාදය ගැන මෙහෙම කියල තියෙනවා.  

“යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිට නගරය දෙසට ගිය හමුදා සෙබළු පිරිසක් තම සටන් සගයාගේ මරණයට එරෙහිව පලි ගැනීම සඳහා පුද්ගලික දේපල විනාශ කරමින් නීති විරෝධී ආකාරයෙන් හැසිරෙන ආකාරය දැකීම මට තෘප්තියක් ගෙන දුන් බව පිලිගනිමි. ආපසු හැරී බලන විට මේ සම්බන්ධයෙන් වහාම පියවරක් නොගැනීම ගැන මට ලජ්ජා සිතුනි ” යි කියල. නැසීගිය මංගල සමරවීර ඇමතිවරයා මේ වාක්‍ය කණ්ඩය උපුටා දක්වමින් මාධ්‍ය සාකච්ඡාවකදී උපහාසයෙන් කියා තිබුනේ  “අහිංසක මිනිසුන්නේ ගෙවල් කඩනවා මේකා බලන් ඉදලා දැන් කියනවා ලැජ්ජ හිතුන කියල. මේ පොත නන්දිකඩාල් නෙමේ, හන්දිකඩාල්, ගෙවල් කඩාල්” 

කියල.

විශ්‍රාමික ජෙනරාල්  කමල් ගුණරත්නයිනි, උඳු වපුරා මුං බලාපොරොත්තු වෙන්න එපා යැයි අපේ පැරැන්නෝ කියල තියෙන්නේ කට කහනවට නොවේ කියල දැන්වත් තේරුම් ගන්නේනම් යහපති. 

ආරක්ෂක ලේකම් ගේ සමස්ත කතාව අධ්‍යනය කළාම පෙනෙන්නේ ජනමාධ්‍යයට නරක දසාවකුත් කමල් අයියාගේ කරේ අත දාගෙන ඉන්න මාධ්‍යවේදී නංගිලා මල්ලිලාට ආයෙමත් සුබ දසාවකුත් උදාවේගෙන එනව කියල. 

Leave a Reply