ශ්‍රී ලංකාවේ සේවකයින්ට බලපාන කාර්මික නීතිය පිළිබඳ ලිපි මාලාව
[තුන්වන කොටස]
මේ පිළිබඳව විමසා බැලීමේ දී අදාළ වන්නේ 1958 අංක 15 දරණ සේවක අර්ථ සාධක අරමුදල් පනතයි. එය මේ වන විට කීප වතාවක් ම සංශෝධනය වී තිබේ. මේ පනත පැනවීමේ අරමුණ වුයේ වයෝවෘද්ධ භාවය හා බෙලහීනතාවය නිසා රැකියාවකින් ඉවත් වන රජයේ නොවන සේවකයින්ගේ ඉදිරි ජීවිකාව සඳහා අරමුදලක් රැස් කර දීමයි. මේ වන විට එය නිවාස ණය ප්‍රදානය දක්වා ද පුළුල් වී තිබේ. සේවකයා රැකියාවෙහි සේවය කල සීමාව තුළ දී සේව්‍ය සේවක දෙපක්ෂය විසින් ම ගෙවිය යුතු මාසික දායක මුදල් වලින් මෙම අරමුදල ගොඩ නැගේ. මේ සඳහා වාර්ෂික පොළියක් ද ලැබේ. ඒ අනුව වර්තමාන පොලි අනුපාතිකය 12.75% කි.
සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබීමට ආධුනික, ස්ථිර, අස්ථිර, තාවකාලික, අනියම්, දෛනික වැටුප් ලබන, කොමිස් ක්‍රමයේ පඩි ලබන, කොන්ත‍්‍රාත් වැටුප් ලබන, නිම කල වැඩ ප්‍රමාණයට ගෙවීම් ලබන, කලින් කල සේවය ලබන ක්‍ෂේත්‍ර කාර්යන් හි නියුතු පූර්ණ දිනයකට අඩු කාලයක් වැඩ කරන, දවසේ කඩින් කඩ වැඩ කරන, චාරිකාවෙහි යෙදමින් භාණ්ඩ අලෙවි කරන සහ ආයතන කිහිපයක වැඩ කරන ආදී සියළුම වර්ගයන්ට අයත් සේවකයෝ සුදුසු වෙති.
මෙහිදී සේවක අර්ථ සාධක අරමුදලේ ප්‍රතිලාභ ලැබීමට නො සුදුසු අය වශයෙන් ගැනෙන්නේ සේවා යෝජකයාගේ ස්වාමිපුරුෂයා/භාර්යාව සහ සේවා යෝජකයාගෙන් යැපෙන දරුවන්, රජයේ හා පළාත් පාලන සේවයේ නියුතු අය, යම් ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පමණක් ගැනෙන පුද්ගලයින්, හවුල් ව්‍යාපාරයක කොටස් කරුවන්, විදේශයක පවත්නා විශ්‍රාම ගෙවීමේ ක්‍රමයකට හිමිකම් ඇති සේවකයන්, විදේශයක සේවයේ යොදවා ඇති මෙරට පදිංචි නැති සේවකයන්, වයස අවුරුදු 14 න් පහල අය, සහ 10 දෙනෙකුට අඩු සේවක සංඛ්‍යාවක් සිටින රජයේ පිළිගත් පුණ්‍යායතන වල සේවකයන් යන පිරිසයි. එසේම බොහෝ කම්කරු, නීතිරීති වලින් මෙන් ම සේවක අර්ථ සාධක අරමුදල් පනත යටතේ ද ගෘහ සේවකයන් පනතේ විධිවිධාන වලින් බැහැර කර ඇත.
සේවක අර්ථ සාධක අරමුදලට මුදල් බැර කිරීමේ දී සේවක වැටුපෙන් 12% ක ප්‍රතිශතයක් සේවා යෝජකයා ගෙවිය යුතු වන අතර සේවකයාගේ වැටුපෙන් මාසිකව 8 % ක ප්‍රතිශතයක් ඒ සඳහා කපා ගැනේ.
මේ සම්බන්ධයෙන් අතිශයින් වැදගත් කරුණ වන්නේ කවර හේතුවක් නිසාවත් සේවකයා අකමැතියි යැයි පැවසීමෙන් හෝ ඔහුගෙන් ලිඛිත ප්‍රකාශන ලබා ගෙන හෝ දායක මුදල් ගෙවීමෙන් නිදහස් විමට කිසිම සේවා යෝජකයෙකුට නුපුළුවන් බවයි. සේවකයාගේ දායක මුදල් කොටස් අඩු කර ගෙන ඉතිරි වැටුප ගෙවීමට සේවා යෝජකයාට නීතියෙන් බලය ලබා දී ඇත.
මේ තත්ත්වය මත සේවා යෝජකයාගෙන් අදාළ සේවකයාට සේවක අර්ථ සාධක මුදල් ඉල්ලා සිටීමට අයිතිය තිබේ. එසේ ලබා දිමට කටයුතු නො කරන්නේ නම් කම්කරු කොමසාරිස්වරයා වෙත කරනු ලබන ලිඛිත පැමිණිල්ලක් මඟින් සේවා යෝජකයාට එරෙහිව නිතිය ක්‍රියාවේ යෙදවීමට සේවකයාට නීත්‍යානුකූල හිමි කමක් ඇත. එහි දී වැටුප් ලේඛන පවා තබා ගෙන නැත්නම් සේවකයන්ගේ ප‍්‍රකාශනයන් මත වුව ද හිඟ මුදල් ගණන් බැලීමට නිලධාරීන්ට බලය තිබේ. මෙහිදී ගෙවීම් පැහැර හැර ඇති සේවා යෝජකයා දඩ මුදල් ද සමඟ හිඟ මුදල් ගෙවීමට යටත් වේ. මාස 12කට වැඩි කාලයක් සේවක අර්ථ සාධක අරමුදල් ගෙවා නැත්නම් සේවා යෝජකයාට 50% ක උපරිම දඩ මුදලක් ද ගෙවීමට සිදු වේ.
මෙවැනි සේවා යෝජකයෙකු කම්කරු කොමසාරිස්වරයාගේ නියෝගය අනුව හිඟ මුදල් නොගෙවු විට සේවක අර්ථ සාධක අරමුදල් පනතේ 38 (2) වගන්තිය යටතේ සහතිකයක් මඟන් මහේස්ත්‍රාත් අධිකරණයක නඩු පවරා හි`ග මුදල් අය කර ගැනීමට කටයුතු කල හැකිය. එවැනි නඩු පැවරීමකින් පසුව වුවද සේවා යෝජකයෙකුට හිඟ මුදල් ගෙවීමෙන් නිදහස් විය හැක්කේ චූදිතයා ආයතනයේ නිත්‍යානුකුල හිමි කරුවා නොවිම, එකි ආයතනය අදාල අධිකරණ බල ප‍්‍රදේශයකට අයත් නොවිම හා නඩුව පවරන විටත් හිඟ මුදලක් ගෙවා අවසන් කර තිබීම යන සාධක මත පමණි. හිඟ මුදල් නොගෙවීම සිර දඬුවම් ලැබිය හැකි වරදකි.